පණ දෙවෙනි කොට දිය ඇල්ලක් රකින රත්නඇල්ලේ මිනිස්සු | Page 3 | සිළුමිණ

පණ දෙවෙනි කොට දිය ඇල්ලක් රකින රත්නඇල්ලේ මිනිස්සු

ප්‍රසන්න සිල්වා දිඹුලාගල සමූහ

“මැයි මාසයේ පළමු සතියේ දිනක අපි හසල වස්ගමුව මාර්ගයේ පැමිණ මහඇස්සැද්දුම ගම මැදින් රත්න ඇල්ල ගම්මානයට පැමිණියෙමු. සමිදු, සහන් සහ ප්‍රසාද් එදා මගේ ගමන් සගයෝ වූහ. අමිල ක්‍රිෂාන්තගේ ආපනශාලාව අසලින් අපේ වාහනයේ ගමන සීමා විය. මීදුම සහ වැසි සහිත කාලගුණය නිසා ගමේ උදවියගෙන් දියඇල්ල අසලට නොයන ලෙස අවවාදයක්ද ලැබුණි.

එදා රත්නඇල්ල ගම්මානය මෙන්ම දියඇල්ල ද මිහිදුමින් වැසී ගොස් තිබුණි.. ගමේ උදවියගේ කථාව සැබෑවකි. දියඇල්ලේ ආසන්නයට යෑම මාරයාට අතවැනීමකි. ගිගුම්දෙමින් වැටෙන මහා ජලකඳ දිය ඇල්ල ආසන්නයට නොයන ලෙස අපට හඬගා කියයි. මිහිදුම් ඈත්වූ සැනින් අපි රත්නඇල්ලේ සේයාරූ කීපයක් සටහන් කරගතිමු. සිරිපොද වැස්සේ තෙමෙමින් නැවතත් අපි රත්නඇල්ල ගමට ජලය ගෙන එන ඇල මාර්ග දිගේම අමිලගේ කඩේට පැමිණියෙමු.

දහඅටවංගු සහිත මාර්ගය,හෙල්මළු වී වගාව, මිහිදුම් සළුපොරවා ගත් කඳුපන්තිය එදා අපේ කැමරා කාචයේ සොඳුරු මතක සටහන් විය. කිතුල් හකුරු කැබැල්ලක රස බලමින් කහට කෝප්පයක් තොළ ගෑ අපි නැවත දිනක රත්නඇල්ල බලන්න එන අදහසින් එදා ඔවුන්ගෙන් සමු ගත්තෙමු.

රත්නඇල්ල ගම්මානයේ පදිංචි උදවියගේ ජීවිතය දිය ඇල්ල හා බැඳී පවතින්නේ ගහට පොත්ත මෙනි. පසුගිය අගොස්තු මාසේ අග අපි නැවත රත්නඇල්ල ගම්මානයට ගියෙමු. එදා පැල ගොයම අද රන්වනින් පැසී ඇත. දියඇල්ල චණ්ඩ පෙනුම අතහැර ඇත. නමුත් සුන්දරත්වය එලෙස ම ය. දිය ඇල්ලේ හැඩරුව විවිධ කෝණවලින් කැමරා කාචයේ සටහන් කරගත් අපි රත්නඇල්ල ගමට පැමිණියෙමු. ගමේ බොහෝ දෙනකු දියඇල්ල හා බැඳී ඇති ඔවුන්ගේ ජීවිතය ගැන කථාකරන්නට වූහ.

හසලක,රත්නඇල්ල ගමේ පදිංචි බී.ඒ ඉන්ද්‍රාණි රත්නඇල්ලෙන් ජීවිතය ගොඩනඟා ගෙන ඇති ආකාරය පැහැදිලි කළාය.

“අපි පරම්පාරවෙන් රත්නඇල්ල ගම්මානයේ පදිංචිව සිටින උදවිය . අපේ ගමේ පවුල් 1300 පමණ අය බොන්නේ දිය ඇල්ලෙන් එන වතුර ටිකයි. ඒ වගේම ගම්මානයේ කුඹුරුවල වී වගාව වගේම එළවළු වගාවට යොදා ගන්නේ රත්න ඇල්ලේ වතුර ටිකයි. අපේ මුළු ජීවිතයට රඳා පවතින්නේ දිය ඇල්ල මත කිව්වොත් එය වැරදි නැහැ. ඒ වගේම දැනට ගමේ කීප දෙනෙක් සංචාරක කර්මාන්තය මඟින් ආදායම් උපයා ගන්නවා. ඉදිරියේදී මේ දිය ඇල්ල මුල් කරගෙන අපේ ජන ජීවිතය නඟා සිටුවීමට වැඩ පිළිවෙළක් සකස් වෙනවා නම් හොඳයි. අපේ ගම්මානය අශ්‍රිතව පාරම්පරික කර්මාන්ත ගණනාවක් තිබෙනවා. මැටි වළං කර්මාන්තය, අත්කම් නිර්මාණ කිරීම, පන් ආශ්‍රිත නිර්මාණ කිරීම, වගේම තවත් පාරම්පරික කර්මාන්ත කීපයක්ම තිබෙනවා. එ් කර්මාන්තවල යෙදී සිටින අයට ජීවිතය ගොඩනංවා ගැනීමට මෙය උදව් කර ගන්න පුළුවන්.

රත්නඇල්ල,පදිංචි අයි.ජී.සිරිසේන දියඇල්ල නැරඹීමට එන සංචාරකයන්ට වැදගත් වන කරුණු කීපයක් අනාවරණය කළේය.

“මේ දිය ඇල්ල නැරඹීටම දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එනවා. ඒ එන අයට කාරුණිකව මතක් කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. පළමු කාරණය තමයි මේ ඇල්ලට පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන යන්න එපා. ඒ වගේම වතුර වැඩිපුර තිබෙන දවස්වලට දිය ඇල්ලේ අසලට යෑම අවදානම්. මේ වන විට රත්නඇල්ල ජීවිත කීපයක් බිලිගෙන තිබෙනවා. දියඇල්ලේ සුන්දරත්වය වගේම එහි භයානක බවක් තිබෙනවා. විශේෂයෙන් අපේ දේශීය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මත්පැන් පානය කරලා දිය ඇල්ලට යන්නත් එපා. දිය අල්ලට ගිහිං මත්පැන් බොන්නත් එපා.

රත්නඇල්ල පදිංචිකරුවකු වූ එච්.එන්.කේ. ජයතිලක අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මේ ඇල්ල පිහිටා තිබෙන්නේ රක්ෂිත ප්‍රදේශයක. සමහර උදවිය දිය ඇල්ල අසලට ගිහිං කෑම උයාගෙන කනවා. මේ නිසා පරිසරයට හානි සිදු වෙනවා. ඇල්ලෙන් වැටෙන වතුරටික අපි අපේ සියළුම අවශ්‍යතාවලට යොදා ගන්නවා. ඒ නිසා දිය ඇල්ල අවට පරිසරය අපිරිසුදු කරන්න එපා. දියඇල්ලේ නාන අය ෂැම්පු වර්ග හා සබන් වර්ග භාවිත කිරීම නිසාත් ගමට එන ජලය අපිරිසිදු වෙන බව කියන්න ඕනෑ. රත්නඇල්ල බලන්න යන ඔබ රැගෙන යන කිසි දෙයක් එහි පරිසරයට දමා එන්න එපා. පරිසරයට හානියක් නොකර දියඇල්ලේ සුන්දරත්වය විදින්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.

දියඇල්ල පාමුලින් පටන්ගෙන රත්නඇල්ල ගම්මානය දක්වා ජලය ගෙන එන ඇල මාර්ගයට සමාන්තරව ඇති අඩිපාර රත්නඇල්ලට ළඟාවීමට ඇති ඉතා සුන්දරවූ එකම මාර්ගයයි. මේ ඇල මාර්ගයෙන් ලැබෙන සුපිරිසුදු ජලය ගම්මානයේ මිනිසුන්ට ජීවිතය ලබා දෙයි.

ඩබ්.එම්.ලලිත් බණ්ඩාර වාසල මහතා දිය ඇල්ලට එන සංචාරකයන්ට ප්‍රවාහන සේවා සපයන ත්‍රි රෝදරථ හිමියෙකි. ඔහු දියඇල්ල හා බැඳි තම ගම්වැසියන්ගේ ජීවන රටාව ගැන පැහැදිලි කළේය.

“අපේ ගම්මානයේ සියලුම දෙනා ඉතා සමගියෙන් ජීවත් වෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා අපේකම ,අපේ සංස්කෘතියට හානියක් වෙන්න බැහැ. අපේකම ආරක්ෂා කරගනිමින් දියුණු විය යුතුයි. ගමේ සිට දිය ඇල්ල දක්වා ගමන් කිරීමට දැනට තිබෙන අඩිපාරම තිබෙන්න ඕන. පළාත් සභාව හෝ ප්‍රාදේශීය සභාව මැදිහත්වී දියඇල්ලට පොලිතින්, ප්ලාස්ටික් හා මත්පැන් ගෙනයන එක නතර කළ යුතුයි. ගමේ අයට එය කරන්න බැහැ. සිවිල් ආරක්ෂක බලකාය වැනි ආයතනයක සේවය මේ සඳහා ලබා ගන්න පුළුවන්.

රත්නඇල්ල ඇසුරෙන් ගම්මානයේ ජන ජීවිතය නගා සිටුවීමට ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කළ දිරිය තරුණියක් මේ ගමනේදී අපට හමුවිය. ඇය නමින් දිනුෂා මධුෂාණියි.

සොබා දහමට හානියක් නොවන ලෙස දියඇල්ල ආශ්‍රිතව සිටින ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආකාරය ගැන ඇය ගම්වැසියන් හා එක්ව සැලසුම් කළ ව්‍යාපෘති යෝජනා ගණනාවක් අපට ඉදිරිපත් කළා ය. මේ ව්‍යාපෘති වලට ප්‍රදේශයේ නිළධාරීන් කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බව ඇය පැවසුවා ය. ප්‍රදේශයේ බලධාරීන් ප්‍රතික්ෂේප කළත් මධ්‍යම පළාත්සභාවට මේ ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට ඇය සූදානම් ය.

“මිනිපේ ප්‍රාදේශීය සභාව විසින් දැනට අපේ ගම්මානයේ කෙළවර සනීපාරක්ෂක පහසුකම් ලබා දී තිබෙනවා. නමුත් එතැන සිට දියඇල්ලට කිලෝමීටර් තුනක විතර දුරක් තිබෙනවා. ඒ වගේම තමයි සංචාරකයන් වැඩි වෙලාවක් රැඳී ඉන්නේ දිය ඇල්ල අවටයි. ඒ නිසා වැසිකිලියක් දිය ඇල්ල ආසන්නයේ සෑදීමට ප්‍රාදේශීය සභාවේ අවධානය යොමුවිය වෙනවා නම් හොඳයි.

දිය ඇල්ල පාමුලින් අපේ ගමට වතුර ගෙන එන අමුණ තිබෙනවා. මේ අමුණට පහළින් සංචාරකයන්ට දිය නෑමට හැකි ස්ථානයක් ඉදි කිරීමත් කළ යුතුයි. එවිට වයස්ගත අය කාන්තාවන් සහ කුඩා දරුවන්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම සබන් සහ ෂැම්පු වර්ග අපේ ගමට එන දිය පාරට එකතුවීම වැළකෙනවා. දියඇල්ල අසල කසල බැහැර කිරීමට විධිමත් වැඩ පිලිවෙලක් නෑ. දිය ඇල්ලට යන අයට ආහාර ද්‍රව්‍ය රැගෙන යෑමට අපි ඉදිරියේදී කඩදාසි බෑග් ලබා දීමට අදහස් කරනවා. අපි බලාපොරොත්තුවෙනවා සංචාරක ක්ෂේත්‍රය ගැන අත්දැකීම් තිබෙන සහ නීති රීති ගැන බලයක් ඇති පළාත් සභාවේ වගකිවයුතු බළධාරීන් අපේ යෝජනා සහ අදහස් ගැන අවධානය යොමු කරයි කියලා.

රත්නඇල්ල ගම්මානයේ ජනතාවගේ යෝජනා සහ අදහස් පිළිබඳ ව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගෙන් විමසුවෙමු.

“අපි මධ්‍යම පළාත තුළ තිබෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන ගැන මීට වසර තුනකට පෙර විශ්වවිද්‍යාල මහාචාර්යවරු කණ්ඩායමක් එක්ක පළාත් සභාව අධ්‍යයනයක් කළා. එහිදී සංචාරක ආකර්ෂණීය ස්ථාන 456 ක් හඳුනා ගත්තා. රත්න ඇල්ලත් ඉන් එක ස්ථානයක් වෙනවා. මෙහිදී හඳුනාගත් දර්ශනීය ස්ථාන 456 ම ක්‍රමානුකූලව සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස රටට. ජනතාවට ආදායමක් උපයාගත හැකි ආකාරයට සංවර්ධනය කරනවා. ඒ වගේම සාම්ප්‍රදායික කලා නිර්මාණ තිබෙන ගම්මානවලට සංචාරකයො නොයන නිසා ඒ නිෂ්පාදන ප්‍රධාන පාරටගෙන ඒමටත් අපි කටයුතු කළා. අපේ සාම්දායික උරුමයන්ට, සංස්කෘතියට සහ පාරම්පරික ජනජීවිතයට හානියක් නොවන විදිහට ජනතාවගේ සහයෝගයෙන් බොහොම පරිස්සමෙන් මෙය කළ යුතු වෙනවා. පසුගිය කාලයේ රත්නඇල්ල ගම්මානයට යන මාර්ග පද්ධතිය නවීකරණය කළා. මේ ගම්මානය මෙන්ම අවට ගම්මාන වලට විදුලිය ලබා දුන්නා. ඉදිරියේදී මේ ගම්මානයේ පදිංචි උදවියගේ අදහස් ලබාගෙන ඔවුන්ගේ ජනජීවිතය නඟා සිටුවීමට අපි කටයුතු කරනවා.

අපේ රටේ සංචාරක ආකර්ෂණය දිනා ඇති බොහෝමයක් දර්ශනීය ස්ථානවලට හිමිවී ඇත්තේ කණගාටුදායක ඉරණමකි. නමුත් රත්නඇල්ල ගමේ ජනතාව දියඇල්ල හා අවට පරිසරය තම දිවි දෙවනිකොට ආරක්ෂා කරන බැවින් දිය ඇල්ල තවමත් නිර්මල ව පවතියි. මේ ගැමියන්ගේ ඉල්ලීම් පිළිබදව අවධානය යොමුකොට රත්නඇල්ල ජනජීවිතය නගා සිටුවීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුව ඇත.

 

Comments