
පසුගිය සතියෙන්
විසිරුණු සිත ඇති අයට ආනාපානසති භාවනාව ඉතා වැදගත් වෙනවා. යහපතක් ප්‍රතිපලයක් මෙයින් ලබාගන්න හැකිවෙනවා. ඒවගේම තමයි සමථ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න තවත් අවස්ථාවක් පිලිබදව සමහර විට ඔබේ සිත් තුළ බුද්ධ රත්නය පිළිබඳව සැක පහළ වි තියෙන්න පුළුවන්. ධර්ම රත්නය සංඝරත්නය පිළිබඳ සැක ඇති වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව පිළිබද සැක ඇති වෙන්න පුළුවන්. බුදුදහම කෙරේ හිත යොමු නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදි ඉතා වටිනවා සමථ භාවනාව. ඒ අවස්ථාවලදී බුද්ධානුස්තති භාවනාව ඉතා වැදගත් වෙනවා. මේ භාවනාව කරන්න කැමැති කෙනෙකු පෙර සදහන් කළ ආකාරයට වාඩිවෙලා බුදු රජාණන් ගේ එක් ගුණයක් මෙනෙහි කරන්න. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ සේක. සියලු කෙලෙස් සතුරන් නැසු සේක. සංසාර චක්‍රයෙහි කෙලෙස් නැති කළ සේක. ආමිස පුජා ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක. රහසින් වත් පවු නොකළ සේක. භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක වන සේක යනුවෙන් කියමින් මේ ආකාරයට විනාඩි විස්සක් පමණ සිතන්න.
පුංචි පබළු ඇට එකසිය අටක් ගෙන නූලක අමුණන්න ඉන් අනතුරුව එක් පබළු ඇටයක් අරගෙන අරහන් බුදු ගුණය සිහි කරන්න මේ ආකාරයට එකසිය අටවතාවක් බුදු ගුණ සිහි කළ හැකි නම් එය ඉතා වැදගත් වනවා. බුද්ධානුස්සති භාවනාවෙන් තෙරුවන් කෙරේ ඇති සැකය දුරුවීම ශාසනික ගුණ පිළිවෙත්වලට ඇති අකමැත්ත දුරුකරගන්න පුළුවන්. ඔබේ හිතේ ධර්මානුකූල පැවැත්මක් ඇති කරගන්න පුළුවන්.
අද අපි කතා කරන්නට සුදානම් වෙන්නේ අනන්ත අප්‍රමාණ ගුණ ඇති බුද්ධානුස්සතිය පිළිබඳයි. බුදු ගුණ භාවනාව වැඩිමෙන් ලැබෙන සුවිශේෂි ආනිශංස පෙළක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. බුදු ගුණ වඩන කාලයේ ඔබේ සිත ලෝබයට යට වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂයට සිත යට වෙන්නේ නැහැ. ද්වේෂයෙන් පිඩා ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මෝහයට සිත යට වෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත පිඩා ඇති වෙන්නේ නැහැ. බුද්ධානුස්සතිය වඩන තැනැත්තා පවු කිරීමට ලැජ්ජා ඇති කෙනෙකු බවට පත්වෙනවා .
- අනුලෝම ප්‍රතිලෝම
- අෂ්ට විද්‍යවෙන්
- අකුසල ධර්මය
පාපයට ලැජ්ජා වීම බුදු දහමේ හඳුන්වන්නේ හිරිගුණය කියලයි. ඒ වගේම බුද්ධානුස්සතිය වඩන තැනැත්තා පවු කිරීමට බය ඇති කෙනෙකු බවට පත් වෙනවා. පවු කිරීමට බය වීම ඔත්තප්ප ගුණය කියලා හඳුන්වනවා. බුදු ගුණ වඩන කෙනෙකුට පවු කරන්න සිත යොමු වුණොත් ශාස්තෘන්වහන්සේ ඉදිරියේ සිටිනවා යැයි හැඟෙන අතර බුදුරජාණන්වහන්සේ ඉදිරියේ දී මම මේ පාපය කරන්නේ කොහොමද? කියලා ඒ පව කරන්නට නොහැකි බවක් ඇතිවෙනවා. ඒ වගේම බුද්ධානුස්සතිය වඩන්නාගේ ශරීරය පවා පුජනීය තත්ත්වයට පත්වනවා. ධර්මයේ සඳහන් වෙලා තියනවා චෛත්‍යය ධාතු ගර්භය වගේ පුජනීය වෙනවා කියලා.
මේ වගේ ආනිශංස ඇති බුද්ධානුස්සතිය වැඩුවහොත් මරණාසන්න මොහොතේ පවා සිහිය විකල් වෙන්නේ නැතුව, බයට පත් වෙන්නේ නැතුව, තැති ගන්නේ නැතුව, මරණයට පත් වෙන්න පුළුවන්. හොඳ සිහිනුවණින් අභාවටයට පත් වෙලා සුගති ලෝකයක ඉපදීමට බුදු ගුණභාවනා වැඩිම හේතු වෙනවා. ඒ නිසා සැදැහැ ඇති සත් පුරුෂයන් ආදරයෙන්, ගෞරවයෙන් ,බුද්ධානුස්සතිය පුරුදු කළ යුතුයි.
බුද්ධානුස්සතිය වැඩිමට පළමුවෙන් පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. අත් දෙක පහසුවෙන් තබාගෙන ඇස් පියාගෙන බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා! මගේ නමස්කාරය වේවා! මගේ ජිවිතය ද පුජා කරමි පුජාවේවා! පූජාම වේවා! කියලා හිතන්න. තථාගතයන් වහන්සේ අනන්ත අප්‍රමාණ දුක් පිඩා ඉවසා වදාළ සේක. මම උන් වහන්සේ අනුව යමි. දුක් පිඩා ඉවසන්නෙමි. කියා දැඩි අධිෂ්ඨානයක් සිතේ තබාගන්න.
ඉන් පසු ප්‍රථමයෙන් පාළියෙන් බුදු ගුණ නවය මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කරන්න . අරහන්, සම්මා සම්බුද්ධෝ, විජ්ජා චරණ, සම්පන්නෝ, සුගතෝ, ලෝක විදු, අනුත්තරෝ, පුරුෂ ධම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධො, භගවා යනුවෙන් මේ ආකාරයට අනුලෝම වශයෙන් මෙම බුදු ගුණ මෙනෙහි කළ යුතුයි. මුල සිට අගට මෙනෙහි කරනු ලබන ආකාර හඳුන්වන්නේ අනුලෝම මනසිකාරය වශයෙනුයි. ඉන් අනතුරුව ප්‍රතිලෝම ආකාරයට අග සිට මුලට සිහි කළ යුතුයි. එය ප්‍රතිලෝම මනසිකාර ලෙස හඳුන්වනවා. භගවා බුද්ධෝ සත්තා..... යනුවෙන් බුදු ගුණ මෙනෙහි කළ යුතුයි. මේ ආකාරය කිහිප විටක් අනුලෝම ප්‍රතිලෝම ආකාරයට බුදු ගුණ මෙනෙහි කරන්න. ඉන් පසුව අරහං බුදු ගුණයේ තේරුම නැවත නැවත සිතන්න.
ප්‍රථමයෙන් අරහං බුදු ගුණය සිතන ආකරය ගැන සිතා බලමු.
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වු සේක. සියලු කෙලෙස් සතුරන් නැසු සේක. සංසාර චක්‍රයෙහි කෙලෙස් අර සිද ලු සේක. ආමිස ප්‍රතිපත්ති පුජා සියල්ලට සුදුසු වන සේක. රහසින්වත් පව් නොකළ සේක. භාග්‍යවතුන් වහන්සේ අරං වන සේක . අරහං වන සේක අරහං වන සේක. මෙය නැවත නැවත සිතමින් විනාඩි විස්සක් කල් ගත කරන්න.
ඉන්පසුව තවත් දිනයක දී සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණය මෙනෙහි කරන්න පුළුවන්. සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණය මෙනෙහි කරන්නේ මේ ආකාරයටයි. සම්මා සම්බුද්ධ වු බුදුරාජාණන් වහන්සේ අතීත, අනාගත සහ වර්තමාන යන ත්‍රිත්ව කාලයට අයත් සියලු ධර්මයන් ගුරුඋපදේශ නොමැතිව අවබෝධ කරගන්නා ලද සේක. දුක්ඛ ආර්යය සත්‍ය පිළිසිඳ දැන වදාළ සේක. ඒ සමුදය ආර්යය සත්‍ය ප්‍රහාණය කළ සේක. නිරෝධ ආර්යය සත්‍ය සාක්ශාත් කළ සේක. ආර්යය මාර්ග සත්‍යය වඩා නිම කළ සේක. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධෝ වන සේක. සම්මා සම්බුද්ධෝ වන සේක. සම්මා සම්බුද්ධෝ වන සේක. එයම නැවත නැවත මෙනෙහි කරන්න . දින කිහිපයක් මෙය පිළිබදව මෙනෙහි කර ප්‍රගුණ කළ යුතුයි .
ඉන් අනතුරුව විජ්ජා චරණ ගුණයත් මෙනෙහි කරන්නට පුළුවන්. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යවෙන් ද පසළොස් චරණ ධර්මයන්ගෙන් ද සමන්විත වන හෙයින් විජ්ජා චරණ සම්පන්නෝ වන සේක. විජ්ජා චරණ සම්පන්නො වන සේක. විජ්ජා චරණ සම්පන්නෝ වන සේක. ඒ වාක්‍ය නැවත නැවත මෙනෙහි කරන්න .
සුගතෝ බුදුගුණය වඩන්නට කැමැති සත්පුරුෂයන් එය නැවත නැවත මෙනෙහි කරන්න භාවනාවේ යෙදෙන්න. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සෙ ඔබ වහන්සේ සුන්දර වු ආර්යය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කළ සේක. සුන්දර වු නිර්වාණස්ථානයට වැඩම කළ සේක. ප්‍රහාණය කළ කෙලෙස්වලට නැවත නොපැමිණි සේක. දීපකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා පාරමි පුරමින් උප පාරමී පුරමින් පරමත්ථ පාරමී පුරමින් බුද්ධ රාජ්‍යය වෙත වැඩම කළ සේක. සුන්දර වු මිහිරි වචනම කතා කළ සේක. බුදුරජාණන් වහන්සේ සුගතෝ වන සේක. සුගතෝ වන සේක. සුගතෝ වන සේක. සුගතෝ වන සේක.
ලෝක විදු නම් බුදු ගුණය වඩන්නට කැමැති තැනැත්තන් එය භාවනාවක් ලෙස පුරුදු කරන්නට කැමැති සත් පුරුෂයන් පහත සදහන් ජේදය පාඩම් කරමින් නැවත නැවත මෙනෙහි කර භාවනාවේ යෙදෙන්න. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ පංච උපාදාන ස්කන්ධ ලෝකය ද එම ලෝකය හටගැනීමට හේතුව ද එම ලෝකයෙන් නිදහස් වීම ද එම ලෝකයෙන් නිදහස් වීමට මාර්ගය ද අවබෝධ කර වදාළ සේක. සත්ත්ව ලෝකය අවබෝධ කළ සේක. සස්කාර ලෝකය අවබෝධ කළ සේක. එම අවකාශ ලෝකය අවබෝධ කළ සේක. බුදු රජාණන් වහන්සේ ලෝක විදු වන සේක. ලෝක විදු වන සේක. ලෝක විදු වන සේක.
අනුත්තරෝ පුරුෂ ධම්ම සාරතී බුදු ගුණ භාවනාව වඩන්නට කැමැති සත් පුරුෂයන් පහත ඡේදය හොදින් පාඩම් කළ යුතුයි. මතකයේ තබාගෙන මෙනෙහි කරමින් නැවත නැවතත් මෙනෙහි කිරිමට අවශ්‍යයි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ සීලගුණයෙන් සියලු සත්ත්වයන්ට වඩා උත්තරීතර වන සේක. සමාධි ගුණයෙන් සියලු සත්වයන්ට වඩා උත්තරීතර වන සේක ප්‍රඥා ගුණයෙන් සියලු සත්ත්වයන්ට වඩා උත්තරීතර වන සේක. විමුක්ති ගුණයෙන් සියලු සත්ත්වයන්ට වඩා උත්තරීතර වන සේක. විමුක්ති ඥන දර්ශන ගුණයෙන් සියලු සත්ත්වයන්ට වඩා උත්තරීතර වන සේක. දමනය කළ යුතු දිව්‍ය, මනුස්ස, යක්ෂ ,රාක්ෂ, සිද්ධ, විද්‍ය ධර , පුරුෂයන් උත්තර ක්‍රමයෙන් දමනය කළ සේක. අනුත්තරෝ ,පුරුෂ, ධම්ම ,සාරතී වන සේක. අනුත්තරෝ පුරිසධම්ම සාරතී වන සේක.
සත්ථා දේවමනුස්සානම් බුදු ගුණ පුරුදු කරන්නට කැමැති සත්පුරුෂයන් පහත සදහන් ආකාරයෙන් දැන ඉගෙන එය මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙන්න. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සියලු දෙවි මිනිසුන්ට මෙලොව යහපත පිණිස අවවාද අනුසාශනා කළ සේක. පරලොව සුගතිය පිණිස අවවාද අනුසාසනා කළ සේක. නිර්වාණ පරමාර්ථ පිණිස අවවාද අනුසාසනා කළ සේක. ඉපදීම නැමැති කාන්තාරයෙන් සත්පුරුෂයන් එතෙර කළ සේක. වයසට යෑම නැමැති කාන්තාරයෙන් සත්වයන් එතෙර කළ සේක. ලෙඩ වීම නම් වු කාන්තාරයෙන් සත්ත්වයන් එතෙර කළ සේක. මරණය නම් වු කාන්තාරයෙන් සත්ත්වයන් එතෙර කළ සේක. වැලපීම නම් කාන්තාරයෙන් සත්ත්වයන් එතෙර කළ සේක. හැඬිම නම් වු කාන්තාරයන් සත්ත්වයන් එතෙර කළ සේක. කායික දුක නම් කාන්තාරයෙන් සත්ත්වයන් එතෙර කළ සේක. මානසික පිඩාව නම් වු කාන්තාරයෙන් සත්ත්වයන් එතෙර කළ සේක. කායික මානසික දැඩි වෙහෙස නම් වු කාන්තාරයෙන් සත්ත්වයන් එතෙර කළ සේක. බුදුරජාණන් වහන්සේ සත්ථා දේව මනුස්සානං වනසේක සත්ථා දේවමනුස්සානං වනසේක.
බුද්ධෝ බුදු ගුණය වැඩිමට කැමැති සැදැහැති සත් පුරුෂයන් හොඳින් පාඩම් කර මෙනෙහි කළ යුතුයි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ සේක. අන් අයට චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරවූ සේක. සියල්ලන් දන්නා සේක. සියල්ල දක්නා සේක. රාගය ,ද්වේෂය දුරු කළ සේක. මෝහය දුරු කළ සේක. ළාමක පාපක අකුසල ධර්මයන් දුරු කළ සේක. ඒකාන්තය නිර්මාණයට පැමිණි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ බුද්ධෝ වන සේක. බුද්ධෝ වන සේක.
භගවා යන ගුණය මනසිකාර වශයෙන් පුරුදු පුහුණු කිරීමට කැමැති සැදැහැති සත් පුරුෂයන් පහත සදහන් ආකාරයට මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙන්න. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ රාගය බිද දැමු සේක. ද්වේෂය බිඳ දැමු සේක මෝහය බිඳ දැමු සේක. ළාමක පාපක අකුසල ධර්මයන් බිඳ දැමු සේක. භාග්‍යවතුන් වහන්සේ භගවා වන සේක. වශයෙන් තුන් විටක් මෙනෙහි කරන්න .
මේ ආකාරයට බුදු ගුණ නවය මෙනෙහි කරමින් භාවනාවෙහි යෙදෙන්නට පුළුවන්. හොඳින් පුරුදු පුහුණු කළ පසු මේ බුදු ගුණ නවයම අනුපිළිවෙළින් මෙනෙහි කරමින් භාවනාවේ යෙදීම ඉතා සුදුසු වෙනවා. බුදුගුණ වැඩිමෙන් අනන්ත අප්‍රමාණ කුසල ධර්මයන් ජීවිතයට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම ශ්‍රද්ධාව දියුණු කර ගැනීමටත් බුද්ධානුස්සතිය වැඩිම උපකාරී වෙනවා.
ඕනෑම තැනැත්තෙක් භාවනාව ප්‍රගුණ කරයි නම් නොදැනුවත්ව ම එම තැනැත්තා සුමඟට යොමු වෙයි. වැරැදි අඩුපාඩු හදා ගැනීමට හැකි වෙයි. ඔබට නොදැනුවත් ව ම ඔබේ සිත සමාධි ගත වේවි. බුද්ධාධි රත්නත්‍රයේ ආශිර්වාදය ලැබී ධර්ම මාර්ගයේ ගමන් කිරීමට වාසනාව ලැබේවි. ඒ සඳහා මේ භාවනාව ක්‍රම සියල්ල උපනිත්‍රය වේවා කියලා අපි සැහැදැ සිතින් ප්‍රාර්ථනා කරමු.