
රජයේ සියලු ව්‍යාපෘති පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණයට හා ඇගැයුමට ලක්වන නව වැඩපිළිවෙළක් ආරම්භ වීමට නියමිතය. මේ කටයුත්තට ප්‍රවේශයක් සපයමින් ඇගැයුම පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ‘ප්‍රථම ගෝලීය සමුළුව (EvalColombo2018) රටවල් 52ක සහභාගිත්වයෙන් හෙට එනම්17 වැනි දා සිට 19 වැනි දා දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක හා ඇගැයුම පිළිබඳ ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා සිළුමිණ පුවත්පත සමඟ කළ සාකච්ඡාවකි මේ.
• මොකක්ද මේ පසුපෙළ මන්ත්‍රීවරුන් කරන්න සූදානම් වෙන
ඇගැයීම් කටයුත්ත..?
මේ ඇගැයීම් ක්‍රියාවලිය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නක්. අපි අයවැයෙන් වියදම් කරන්නේ මහජනතාවගේ මුදල්. ඒ නිසා ඒ මුදල්වලට නිසි වටිනාකමක් දිය යුතුයි. එම මුදල් වියදම් කරන්න ඒ ඒ අමාත්‍යාංශ වලට අදාළ මුදල වෙන් කර දුන් පසු එම මුදල් ඒ අය වියදම් කළ ආකාරය පිළිබඳව අපිට සොයා බලන්න වෙන්නේ වාර්ෂික වාර්තා ලැබුණට පසුවයි. වාර්ෂික වාර්තාව එන තුරු අපි දන්නේ නැහැ ඔවුන් මේ මුදල් වෙන් කළේ මොනවට ද, එයින් කුමන ප්‍රයෝජන ලැබුවා ද කියන එක.
ඒත් ගැටලුවකට ඇත්තේ අදාළ අවුරුද්දේ වියදම කළ තොරතුරු ඇතුළත් වාර්ෂික වාර්තාව එන්නේ තව අවුරුදු තුන හතරකින්. ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදු වී අවසන්. මේ නිසා ඒ කටයුත්ත කළේ කවුද කියා සොයා ගන්නවත් ලැබෙන්නේ නැහැ. මේ නිසා කතානායකතුමා දැඩි ලෙස උත්සාහ කරනවා මේ වාර්ෂික වාර්තා ඉක්මනින් ගෙන්වා ගැනීමට. මහජන මුදල් වෙන් කරලා බලාපොරොත්තු වන ඉලක්කයට අපිට යන්නට පුළුවන් කමක් නැති නම් එය අපි ජනතාවට කරන අපරාධයක්. ඉදිරියේ දී අපි ඇගැයීම් ක්‍රියාවලියකට යන්න අපේක්ෂා කරන්නේ ඒ නිසයි.
• යම් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට පෙර මේ ඇගැයීම්
ක්‍රියාවලිය ඊට ප්‍රවේශයක් සපයන්නේ කොහොමද?
යම් ව්‍යාපෘතියකට මුදල් වෙන් කරන්න කලින් හා එය ආරම්භ කරන්නට ප්‍රථම මේ ඇගැයීම් කළ යුතුමයි. උදාහරණයක් ගෙන බලමු. අපි ගමකට පාරක් හදනවා කියමු. මේ පාර හදන්න යම් මුදලක් වෙන් කරනවා. ඒත් මේ පාර හදන්නේ එක්තරා අයෙකුගේ පෞද්ගලික ප්‍රතිලාභයකට නම් එතැන සිදු වී තියෙන්නේ මහජන මුදල් අවභාවිතාවක්. මේ නිසා යම් කටයුත්තක් ආරම්භ කරන්න කලින් ඒ පිළිබඳ නිසි ඇගැයීමක් කළ යුතුයි.
දැන් බලන්න මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය මෙන්ම උමා ඔය වගේ ව්‍යාපාර. මේ මහා පරිමාන ව්‍යාපෘති කරන්න කලින් නිසි ඇගැයීමක් කළා නම් පසුකාලීනව ප්‍රශ්න කිසිවක් මතු වෙන්නේ නැහැ. එය කරන්න තිබුණු හදිසියට කළා මිසක් නිසි ඇගැයීමකින් මේ දේවල් නොකළ නිසා පසුකාලීනව විසඳිය නොහැකි තරමේ ප්‍රශ්න මතු වුණා.
• ඔබ පවසන්නේ පසුගිය කාලයේ සිදු කළ මෙවැනි මහා
පරිමාණ ව්‍යාපෘති නිසි ඇගැයීමක් නැතිව සිදු වු බවද?
ඔව්. ඒවායේ නිසි ඇගැයීමක් පමණක් නොව සමහරක් ඒවායේ පරිසර වාර්තා පවා තිබුණේ නැහැ. හරි ඇගැයීමක් සිදු විණි නම් රටක මෙවැනි වැරැදි ආයෝජන සිදු වෙන්නේ නැහැ.
ඒ අනුව වියදම් වන මුදල, එය කළ යුතු ආකාරය, ලැබෙන ප්‍රතිවිපාක අනුව අපි මෙය කරනවාද නැද්ද යන්න තීරණය කළ හැකි වෙනවා. ඇගැයීම් ක්‍රමවේදයට අනතුරුව දෙවැනියට ඇත්තේ අධීක්ෂණය කිරීමයි. යම් ව්‍යාපාතියකට මුදල් වෙන් කළ පසු එය හරියාකාරව යෙදවෙනවාද යන්නත් අධීක්ෂණය කළ යුතුයි. 2013 දි කබීර් හෂීම් ඇමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටින කාලයේ තමයි මේ වැඩපිළිවෙළ ගැන අවධානය යොමු කළේ.
එදා නේපාලය, බංගලාදේශය හා ලංකාව යන රටවල් තුන එකතු වෙලා තමයි මෙය පටන් ගත්තේ. එතැනදි අවශ්‍ය වුණේ අපේ රටේ පමණක් නොව අනිකුත් රටවල්වල මන්ත්‍රීවරුන් එක්ක සම්බන්ධ වෙලා මෙය කරන්න. අද ලෝකයේ බොහෝ රටවල මෙම ඇගැයීම් කටයුත්ත අත්‍යාවශ්‍ය කටයුත්තක් බවට පත්වෙලා තියෙනවා. මේ වන විට අපිට රටවල් හැත්තෑවක පිරිස් එකතු වෙලා ඉන්නවා.
• ලංකාවේ මේ කටයුතු සිදු කරන්නේ කොහොමද ?
මේ කටයුත්ත වසර එකහමාරකට පෙර පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් එකතු කර ගෙන ආරම්භ කළා. සමහර දේශපාලනඥයෝ කැමැති නැහැ, මෙවැනි කටයුතුවලට. මොකද ඔවුන්ට තමන් සිහින මවන දේම කරන්න ලැබෙන්නේ නැති නිසා. මේ නිසා පසුගිය කාලයේ මේ පිළිබඳව කතා කළත් හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ.
• මේ ඇගැයීම් කටයුත්තට දේශපාලඥයන්ම දායක විය යුතුද, ඇයි විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මේ කටයුත්ත සිදු කළ නොහැක්කේ?
විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් බලන්නේ තියෙන නිති රීති යටතේ යම් කටයුත්තකට මුදල් වෙන් කළාද කියා පමණයි. එතැනින් එහාට ප්‍රතිඵලය බලන්නේ නැහැ. වාර්ෂික වාර්තාවක් මුලින්ම එන්නේ පාර්ලිමේන්තුවට. මුලින් මේ වාර්තාව උපදේශක කාරක සභාවට යොමු කරනවා. එහි රැස්වීම් තියන්නේ ඇමැතිවරයාට අවශ්‍ය විදියට. අද ස්ථාවර නියෝග යාවත්කාලීන කර තියෙනවා. ස්ථාවර නියෝග යටතේ අපිට අවශ්‍ය වුණේ නැහැ උපදේශ කාරක සභා පවත්වා ගෙන යන්න. ඊට වඩා ආංශික අධීක්ෂණ කාරක සභා ශක්තිමක් .
මේ අංශික අධීක්ෂණ කාරක සභාවට ඕනෑම කෙනෙක් කැඳවීමට පුළුවන් වගේම අඩුපාඩු පෙන්වා දිය හැකියි. එම අංශික අධීක්ෂණ කාරක සභාවලට තමයි මේ වාර්ෂික වාර්තා යන්නේ. එතැනට ගියාට පස්සේ අපි එකින් එක බලනවා. මෙතැනදි අපිට නියෝග කරන්න හැකියාව තියෙනවා අලුත් වාර්තා ලබා ගන්න. මේ නිසා වාර්ෂික වාර්තාවක් ආ පසු එහි අඩුපාඩු පෙන්වීමේ හැකියාව අපිට පවතිනවා. අපි නිලධාරීන්ගෙනුත් යම් යම් ගැටලු තත්ත්වයන් පිළිබඳ විමසිමක් කරන නිසා ඒ පිරිසත් උනන්දුවෙන් මේ කටයුතු කරන්න උත්සාහ ගන්නවා.
ඒ වගේම අලුතින් පනතක් ගේනවා නම් එය ඇගැයීමට ලක් කිරීමේ හැකියාවත් තියෙනවා. හොඳම උදාහරණය තමයි මේ පළාත් පාලන මැතිවරණ පනත. මේ පනත ගැන හරි ඇගැයීමක් කළේ නම් ගැටලු මතු වන්නේ නැහැ. ඉදිරියේදි නීති වගේ දේවලුත් නිසි ඇගැයිමක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ප්‍රධාන දේ වන්නේ ඇගැයීම් සංස්කෘතියක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කිරීමයි.
• ඉදිරියේදි රට තුළ සිදු වන මේ සියලු ව්‍යපෘති මේ
ඇගැයීම් ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට ගෙනයෑමට
බලාපොරොත්තු වෙනවාද?
තවමත් මෙය නීතියක් බවට පත් වී නැහැ. අද පාර්ලිමේන්තුවේ විශාල වෙනස්කම් කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ වෙනස්කම් මිනිසුන්ගේ ඇඟට දැනෙන්නේ නැහැ. අද වාර්ෂික වාර්තාවක් පැමිණි පසු මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න කළ හැකියි. යම් යම් දේ කොහොමද සිදුවුණේ කියලා. මේ නිසා පාර්ලිමේන්තුව තුළ පර්යේෂණ අංශය මේ සමඟම ශක්තිමත් කරනවා. ඉදිරියේ දී මහජනතාවගේ මුදලට වටිනාකමක් දෙන දෙයක් කරන්න අපිට පුළුවන් වෙයි.
• මේ කටයුත්තට පසුපෙළ මන්ත්‍රීන්ගේ දායකත්වය
කොහොමද?
2013 දි මේ සම්මන්ත්‍රණය තියන්න අපිට අවස්ථාව උදා වුණා. නමුත් එදා මේ ගැන උනන්දුවක් තිබුණේ නැහැ. අද මෙයට අවංකව උදවු කරන මන්ත්‍රීවරුන් පිරිසක් අපිත් සමඟ ඉන්නවා. ඒ වගේම රජයේ නිලධාරීන් දැනුම්වත් කරන්න අපි ප්‍රාදේශීය වැඩමුළු සංවිධානය කළා. දැන් අපට තියෙන්නේ ප්‍රතිපත්තියක් ලෙස මෙය අනුමත කර ගැනීමටයි. ලෝකයෙන්ම මේ සම්බන්ධනේ උනන්දුවක් ඇති විවිධ රටවල මන්ත්‍රීවරුන් 110 පමණ ලංකාවට එනවා. අද බොහෝ රටවල මේ කටයුත්තට දැඩි උනන්දුවක් තියෙනවා. අපිට අවශ්‍ය මේ කටයුත්තට අපේ කලාපය තුළ නායකත්වයක් ලබා දීමයි.
අපිට මේ සමුළුව ඔස්සේ සංචාරක ව්‍යාපාරය පිළිබඳවද දැනුවත් වීමක් කරන්න අවස්ථාව උදා වෙනවා. හෙට 17 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වෙනවා. එදිනම සවස් වරුවේ දී අරලිය ගහ මන්දිරයේ දී අගමැතිතුමාගේ නායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ සමාජ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු දින දෙකක් වැඩමුළු පැවැත්වෙනවා. අවසාන රැස්වීම පාර්ලිමේන්තුවේදී කතානායකතුමාගේ නායකත්වයෙන් පැවැත්වෙනවා.
• මෙම ඇගයීම් ක්‍රියාවලියක් හුදු වචනයකට පමණක්
සිමාවෙයිද?
එහෙම වෙන එකක් නැහැ. මන්ත්‍රීවරුන්ගේ උනන්දුවෙන් තමයි ඉදිරියට ගෙන යා යුත්තේ. අගමැතිතුමාගේ ආශිර්වාදයත් මෙයට ලැබෙනවා.
• අපිට ඇගැයීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නැතිද?
අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අපි දැන් මූලික වශයෙන් සකස් කරගෙන යන්නේ අපේ රටට ගැළපෙන ජාතික ප්‍රතිපත්තියක්. දකුණු අප්‍රිකාව වැනි රටවල් මේ සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටිනවා.
• මෙම ඇගැයීම් කටයුත්තට මන්ත්‍රීවරුන්ගේ හඬ පමණක්
අවධි කරවන්නේ ඇයි? රජයේ නිලධාරීන් මෙන්ම මහජන-
තාව සම්බන්ධ කරගැනිමට අපේක්ෂා නොකරන්නේ ඇයි?
මන්ත්‍රීවරුන් උනන්දු වෙලා ඉදිරියට ගෙන ගියොත් තමයි නිලධාරීන් පවා උනන්දු වෙන්නේ. අද අපිට උදවු කරන මන්ත්‍රීවරුන් බොහෝමයක් තරුණ වයසේ අය. මේ අය උනන්දු වුණොත් මේ කටයුත්ත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමට ගෙනියන්න පුළුවන්. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම ඉන්නවා, මෙයට උනන්දුවක් දක්වන තරුණ පිරිස්.
මේ කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි විය යුත්තේ පක්ෂ විපක්ෂ භේදයෙන් තොරවයි. මේ කටයුත්තේ දී විපක්ෂයට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්. ඒ නිසා ඒ අයගේ සහභාගිත්වය අවශ්‍යමයි. අපි ඒ පක්ෂවලට කතාකර කිව්වා ඒ ඒ පක්ෂවලින් තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුවත් මෙයට සම්බන්ධ කරන්න කියලා. මන්ද මේ කටයුත්ත නිර්පාක්ෂික දෙයක් නිසා.
සේයාරුව - තුෂාර පුනාන්දු