ඒබරන් මුත්තාගේ පළිගැනීම | Page 2 | සිළුමිණ

ඒබරන් මුත්තාගේ පළිගැනීම

“යක්කු අපට මොනවා කරන්නද? පෙරේතයින්ට මොනවද කරන්න පුළුවන්” ආදී දේවල් සමහරු කියති; ඩෙංගු මදුරුවාගේ කුඩා තුඩු අගින් මිනිසුන් මරන්නටත් පුළුවන. අපට නොපෙනෙන පරිදි ජීවත්වන යක්ෂයන්ට, ප්‍රේතයන්ට, ඔවුන්ගේ හැකියාවන්ට අනුව කළ හැකි දේ බොහෝය. එසේ ම ඔවුන්ට ඇති නැති බැරිකම් ද බොහෝ ය. මේ කාරණා පිළිබඳ ලියැවුණු අතීත වාර්තා ද බොහෝ ය.

අප ජීවත්වන පරිසරය තුළ පෙර කරන ලද අකුසල විපාක විඳින අමනුෂ්‍යයෝ බොහෝ ය. මේ අමනුෂ්‍යයන්ගේ රූප ස්වභාවය ඉතාම අප්‍රසන්න ය. විරූපී ය. එය මිනිසුන්ට පෙනෙනවාට අමනුෂ්‍යයෝ අකැමැති ය. එසේ ම අප වටා ජීවත්වන අප්‍රමාණ අමනුෂ්‍ය ගහනය අපට පෙනෙන්නට ගත්තොත් මිනිසුන්ට ගමනක් බිමනක් යන්නට නොහැකි වනු ඇත. ඒ තරමට විවිධ මට්ටමේ අමනුෂ්‍යයෝ සිටිති. සෑම ආගම ධර්මයකම අමනුෂ්‍යයන්ගේ බල දුබලකම් හැකියාවන් දුර්වලකම් හා ක්‍රියාකාරකම් ලියැවී ඇත.

ද්වේෂය කෙනෙකුගේ චින්ත සන්තානය තුළ හටගන්නා මහා ගින්නයි. ද්වේෂය තුළින් ම පැන නගින වෛරය, ක්‍රෝධය, පළිගැනීම ඒ ගින්නෙන් හට ගන්නා දැවීම යි. ද්වේෂය නමැති හේතුවේ ඵලය යි. ඒ දැවීමෙන් තමන්ගේ චිත්ත සන්තානය නිතර දැවෙන්නට පටන් ගනී. මෝහය, අවිද්‍යාව, ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම නිසා එයින් තමන් ම දැවේ. අනුන්ට දුක් කරදර ඇති කොට අනුන් දවාලන්නට ද කටයුතු කරයි. මහා වනාන්තරයක එක් ගසක අතු දෙකක් ඇතිල්ලී (මෝහය හා ද්වේෂය) හටගන්නා ගින්න වනය දවාලන්නා සේය.

ද්වේෂයෙන් ම හටගන්නා ගිනි දල්ලකි ඊර්ෂ්‍යාව. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන පුද්ගලයා දෙස නුවණින් බැලුවොත් එය මනාව දැක ගත හැකිය. කෙනෙකුගේ මුහුණ කැඩපතකි. මුහුණේ හට ගන්නා ඉරියව්වලින් විශේෂයෙන් ම ඇස් දෙකෙන් ඊර්ෂ්‍යාවේ ගිනි පිටවෙන හැටි දැක ගත හැකිය. “ඇස්වහ” කියන්නේ එයට ය. මෝහයෙන් අන්ධ වූ ඊර්ෂ්‍යාකාරයාගේ වචනවලින් ද (කේළාම් ආදී) අනුන් දවාලි. ක්‍රියාකාරකම්වලින් ද අනුන්ට දුක් විපත් ඇති කොට දුක් ගිනි ඇති කරයි. ඊර්ෂ්‍යාකාරයාගේ බැල්මෙන් ම ඔහු හඳුනාගත හැකිය. එසේ හඳුනා ගන්නා විට ම ඔහු මුහුණ සඟවා ගනී. බැල්ම ඉවතට හරවා ගනී. එය දැන ගත් සැණින් ඔහුට ‍හෝ ඇයට අවංකව ම “සුවපත් වේවා” යි ප්‍රාර්ථනා කරන්න. ඔහුගේ හෝ ඇගේ දුක්ඛ සහගත ඊර්ෂ්‍යා ගිනි නිවි නිවී සුවපත් වේවා යි අධිෂ්ඨාන කරන්න.

රත්නපුරේ සේපාලි තිස් දෙහැවිරිදි ගුරුවරියකි. ඇගේ නැඟනිය මානෙල් තිස් හැවිරිදි සිවිල් ඉංජිනේරුවරියකි. ඔවුන්ගේ පියා ද අඩු වයසින් මිය ගොස් ඇත. ඔවුන්ට පිරිමි සහෝදරයන් ද නැත. සේපාලිගේ ස්වාමි පුරුෂයා මෙයින් දෙවසරකට පෙර හදිසි අසනීපයකින් මිය ගොස් ඇත. මානෙල්ට විවාහ යෝජනා දෙකක් ම සාර්ථකව විවාහයට ඔන්න මෙන්න කියා තිබියදී යෝජිත තරුණයන් දෙදෙනා ම මිය ගොස් ඇත.

ඔවුන් ගේ මහප්පා වයස අවුරුදු හතළිස් ප‍ෙහ්දී මිය ගොස් ඇත. ඔහුගේ පිරිමි දරුවන් දෙදෙනා ම දියේ ගිලී මිය ගොස් ඇත. ගැහැනු දරුවා සිය දිවි හානි කැරගෙන ඇත. බාප්පාට දරුවන් දෙදෙනෙකි. එයින් එක් අයෙක් වාහන අනතුරකින් මරණයට පත්ව ඇත. අනිත් පුතා මත්කුඩු සමඟ අසු වී සිර දුක් විඳී. බාප්පා ද දැනට ජීවතුන් අතර නැත. මේ පවුලෙන් ඉතුරුව සිටින්නේ මානෙලුත් සේපාලිත් පමණයි. ඔවුන් දෙදෙනාට කෝටි 10 - 15 ක පමණ දේපළක් ද ඇත. ඒ දේපළවලින් කිසිදු ආදායමක් ප්‍රයෝජනයක් ද නොලබති. ඔවුන්ගේ නිවෙසේ රාත්‍රියට කෙනෙක් එහා මෙහා ගමන් කරන අඩි සද්ද ඇසෙන්නට විය. ඊට ශාන්ති කර්ම සිදු කළත් සහනයක් නොවීය. ඒ ශාන්ති කර්මවලදී කහ දියර ඉසින විට ගේ වටා ඉසින කහ දියර කහ පැහැයෙන් යුක්ත වුවද නිවෙස තුළ ඉසින ලද කහ දියර තද රතු පැහැගැන්වී ඇත.

කරන ලද වත් පිළිවෙත්වලින් සහනයක් නොවූ බැවින් සේපාලි සහ මානෙල් සිය මෑණියන් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ. එහිදී අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තම පවුලට එළඹ ඇති දුක් කරදර විපත් පැහැදිලි කළහ.

ඔවුන්ගේ රෝග පරීක්ෂාවේ දී තුන් දෙනාම සිහිසුන් වී වැටුණි. ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්හ.

බෝධි පූජා අවසන් ‍කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ප්‍රතිකාර ආරම්භ කරන විට මානෙල්ටත්, සේපාලිටත්, මෑණියන්ටත් භූතාත්ම ආවිෂ්ට වී අඬන්නටත් කෙනෙක් හිනාවෙන්නටත් වූහ. මෙහිදී භූතයන් පස් දෙනෙක් ම ක්‍රියාත්මක වී සිටියහ.

ගවේෂකවරයා මේ භූතාත්ම අතරින් බලවත් ප්‍රධානියා අල්ලා ගෙන සේපාලිගේ ශරීරයට ආවිෂ්ට කර ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරය තුළින් මතු වුණේ?” යි ඇසීය.

“මම ඒබරන්” භූතාත්මය කීවේය.

“කවුද ඒබරන් කියන්නේ?”

“මේ කෙල්ලන්ගේ පරම්පරාවෙ මුත්තා කෙනෙක්.”

“කොයි කාලෙ ද ජීවත් වුණේ?”

“අවුරුදු 200 ට විතර කලින්.”

“මොනවද ඒ කාලෙ කළේ?”

“රේන්ද ව්‍යාපාරය”

“ඇයි ‍ෙම් අයට කරදර කරන්නේ?”

“පළිගන්න... පළිගන්න... පරම්පරාවෙන් ම පළිගන්න. දැන් ඉන්නේ මේ කෙල්ලෝ දෙන්නා විතරයි. දැන් පරම්පරාව ඉවරයි. පිරිමි ඔක්කොම මැරුවා...” යි භූතයා කීවේය.

“මොකක්ද ඔය පළිගන්න හේතුව?”

“මම කියන්නම්. හොඳට අහගන්න” යැයි කී භූතයා හේතුව විස්තර කළේය.

“මහත්මයා මම රේන්ද ව්‍යාපාරයෙන් හොඳට දියුණු වුණා. ගෙවල් ‍දොරවල් හැදුවා. මේ කෙල්ලන්ගෙ තාත්තගෙ තාත්තා (සීයා) පොඩි අප්පු මගේ දේපළවලට ඉරිසියාවේ ඒවා අයිතිකැර ගන්න පොඩි අප්පු මට ගහලා මැරුවා. මගේ ගෑනිවත් මැරුවා. මගේ අම්මා තාත්තා දෙන්නවත් මැරුවා. පොඩි අප්පුගෙ පුතා මගේ දේපළ භූක්ති විඳලා අයිති කැර ගත්තා. පොඩි අප්පුවාට විරුද්ධව සාක්කි කියන්න කෙනෙක් නැති නිසා නඩුවෙන් නිදහස් වුණා. හිරේ ගිහින් ටික කාලෙකින් එළියට ආපු ගමන් ඌව මැරුවා මම. ඒ සුද්දන්ගෙ කාලෙ.

පොඩි අප්පුවා මාව මැරුවෙ මගෙ වයස අවුරුදු හතළිස් පහෙන්. මමත් මැරිලා මගේ ගෙදරමයි උපන්නෙ. මම මේ පරම්පරාවෙ එකෙකුටවත් අවුරුදු හතළිස් පහ පන්නන්න දුන්නෙ නෑ. ඔක්කොම මැරුවා. මේ පවුල්වලට සම්බන්ධ වෙන්න ආපු එවුන්වත් මැරුවා. මාවත් මගේ ගෑනිවත් අම්මා තාත්තාවත් පොඩි අප්පුවා මරපු හැටි මට මතකයි. මම දැන් මගේ ඉඩම්වල කැරකි කැරකි ඉන්න ගමන් පළිගන්නවා.”

“බුදු දහමේ හැටියට වෛරයෙන් වෛරය සංසි‍ඳෙන්නේ නැහැ. පොඩි අප්පු ඒබරන්ව මරපු එක වැරදියි. අසාධාරණයි. ඒ අනුන්ගේ දියුණුව සැපත දැක දරා ගන්න බැරි ඉරිසියාව සමඟ දැඩි ලෝභය මතු වෙලා. මෙතැනදි ලෝභ, ද්වේෂ, මෝහ යන හේතු තුනම ක්‍රියාත්මක වෙලා. මම දැන ගන්න කැමතියි ඒබරන්ගෙ ප්‍රාණකාරයා මේ තරම් පිරිසක් මැරුවෙ කොහොමද කියලා.” ගවේෂකවරයා ඇසීය.

“මහත්තයා මම මුන්ගෙ මනස අවුල් කරනවා. මනසෙන් පහෙන් එකක් මගේ ග්‍රහණයට ගන්නවා. ඊට පස්සෙ මට වුවමනා විදිහට මෙහෙයවනවා” යි භූතාත්මය උත්තර දුන්නේ ය.

“ඒබරන්වත් පවුලේ අයවත් මැරුවේ පොඩි අප්පු. මේ ගැහැනු ළමයි දෙන්නා නොවෙයි. මේ අයට ක‍රදර කරන එක අසාධාරණයි. කරුණාකර මේ අයගෙන් ඉවත් වෙලා යන්න.”

“බැහැ.... බැහැ.... මගේ දේපළ අතහැර යන්න බැහැ. ම‍ගේ දේපළ භුක්ති විඳින තුරු මම යන්නේ නෑ” යි භූතයා තදින් ම කීවේ ය.

මේ භූතාත්මය කීකරු කළ නොහැකි බව වටහා ගත් ගවේෂකවරයා සේපාලිට, මානෙල්ට සහ මවට භූතාත්ම වරින් වර දිෂ්ටි ගන්වා ආධ්‍යාත්මීය ශක්ති කිරණ මඟින් දවාලන්නට විය. සති පතා විසි වතාවක් පමණ ගෙන්වා භූතාත්ම දවා දුර්වල කළේය. ඒබරන් ගේ භූතාත්මය දවන විට “මට කරදර කරන්න එපා මහත්මයා. මම මේ ළමයි දෙන්නාට කරදර කරන්නේ නෑ. මම ම‍ෙග් ඉඩමෙන් පිට ඉන්නම්” යැයි පොරොන්දු වූයේය.

නිවසේ දී සාංඝික දානයක් පිරිනමා මළගිය පරම්පරාගත සියලු ‍ඥාතීන්ට පින් අනුමෝදන් කරන ලෙසත්, මේ දානයට ඒබරන්ගේ දේපළවලින් ලබා ගත් මුදලින් ම දෙන ලෙසත් උපදෙස් දුන්නේ ය. මේ දේපළවලින් සියයට විස්සක් තිහක් පමණ ප්‍රදේශයේ පොදු අවශ්‍යතා වලට පරිත්‍යාග ‍කොට බෝධි පූජා පවත්වා ඒබරන් මුත්තාට පින් අනුමෝදන් කරන ලෙසත් උපදෙස් දී ඔවුන් තුන් දෙනාටත් නිවසටත් ඉඩමටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.

Comments