තවත් කුඩු ලොක්කෙක් තායිලන්තයේදී කොටුවෙයි | Page 2 | සිළුමිණ

තවත් කුඩු ලොක්කෙක් තායිලන්තයේදී කොටුවෙයි

පසුගිය අට වැනි දා අන්තර්ජාතික මාධ්‍ය හරහා වාර්තා වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මෙරට පොලිසියට අත්‍යවශ්‍ය වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ සාලිය පෙරේරා නමැත්තා පසුගිය හය වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවයි.

බැංකොක් නුවර චොන්ග්නොන්සි ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ සුඛෝපභෝගී හෝටලයක් වන නරාතිවස් රෙසිඩන්ස් හෝටල් සංකීර්ණයේ ලැගුම්ගෙන සිටියදී 58 හැවිරිදි විල්වල ආරච්චිගේ සාලිය පෙරේරා අත්අඩංගුවට ගෙන තිබිණි. එරට ආගමන විගමන විගමන නිලධාරීන්, සංචාරක පොලිස් ඒකකය සහ ජංගම පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය ඇතුළු ආරක්ෂක අංශවලට ලැබුණු ඔත්තුවක් අනුව කළ මෙහෙයුමකින් සාලිය අත්අඩංගුවට පත්විය.

එසේ අත්අඩංගුවට පත් සාලියගේ N5054856 දරන ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එය 2016 වසරෙන් පසුව අලුත් කර නැති බව අනාවරණය වී තිබේ. එම ගුවන් ගමන් බලපත්‍රයේ තොරතුරු අනුව වැඩිදුරටත් තායිලන්ත ආරක්ෂක නිලධාරීන් සිදු කළ සෝදිසියේදී හෙළි වී තිබුණේ සාලිය පෙරේරාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) මඟින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි. ඒ ඔහු විසින් කර තිබෙන මත්ද්‍රව්‍ය වැරැදි නිසා මෙරට පොලිසිය විසින් 2016 වසරේදී මීගමුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව ජාත්‍යන්තර පොලිසියෙන් කර තිබූ ඉල්ලීමක් අනුවයි.

2013 වර්ෂයේ සිටම තායිලන්තයේ විසූ බවට වාර්තා වන සාලිය පෙරේරා සංචාරක වීසා මත එරටට ගොස් තිබේ. විටෙන් විට එම සංචාරක වීසා කාලය දීර්ඝ කරගෙන ඇත. එහෙත් 2016 වසරේදී ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කිරීමත් සමඟින්, තමාගේ අනන්‍යතාව තායිලන්ත ආරක්ෂක අංශවලට තහවුරු වේයැයි බියට සංචාරක වීසා දීර්ඝ කරගැනීමට ඉදිරිපත් නොවී හොර රහසේම තායිලන්තය තුළ වසර දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බවට හෙළි වේ.

හික්කඩුවේ පදිංචිකරුවකු වන සාලිය ගැන මුලින්ම ආරක්ෂක අංශවල උකුසු ඇස ‍යොමු වූයේ 2013 වර්ෂයේදීයි. ඒ ලයිබීරියන් ජාතික හර්බට් කූපර් නමැත්තා හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟයි. 2013 ඔක්තෝබර් මාසයේ දිනෙක හර්බට් කූපර් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කොට මෙරට සිට උගන්ඩාව බලා යෑමට කටුනායක ගුවන් තොටුපළට පැමිණියේ ගමන්මලු දෙකක්ද රැගෙනයි. ඒ මොහොතෙහි ගමන්මලු දෙකක් රැගෙන පැමිණි කූපර් ගැන ආගමන විගමන නිලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වී තිබිණි.

පසුව ඔහු ගැන කළ විමර්ශනයේදී අනාවරණය වූයේ කූපර් විසින් ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් මාර්ගයෙන් මෙරට සිට උගන්ඩාව බලා යෑමට පැමිණ ඇති බවයි. නිලධාරීන් වැඩිදුරටත් කූපර් ගැන කළ සෝදිසියේදී ඔහු රැගෙන ආ එක් ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 30ක ප්‍රමාණයක් හමුවීමත් සමඟ හර්බට් කූපර් එම මත්ද්‍රව්‍ය ගැන සියලු තතු වමාරන්නට වූයේය. කූපර්ගේ පාපෝච්චාරණයෙන් ආරක්ෂක අංශවලට වැලි ගසා කූට ආකාරයෙන් මෙරට සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් සිදු කළ රැසකගේම පැටිකිරිය හෙළි විණි.

එදා කූපර්ගේ පාපෝච්චාරණයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් ලියනගේ වසන්ත කුමාර මෙන්ඩිස් හෙවත් සේල් වසන්ත නමැත්තා එම ව්‍යාපාරවලට සැඟවී සිදු කළ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වල සියලු තොරතුරු හෙළි විණි. ඒ අතරෙහි කූපර්ගෙන් වසන්ත ගැන මෙන්ම තවත් කිහිප දෙනෙකුගේ නම්ගම්ද අනාවරණය විණි. එම නම් අතර සාලිය පෙරේරාගේ නමද හෙළි විණි. 2013 වසරේ කූපර් හසුවී දින කීපයකට පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් හික්කඩුවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට පත් ඔස්ටින් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද සාලිය පෙරේරාගේ මත්කුඩු ජාවාරම් ගැන බොහෝ තොරතුරු හෙළි වී තිබිණි.

එහෙත් සාලිය පෙරේරා නාමය එම හෙළිදරව්වන්ට පෙර කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ජාවාරම්වලට ගෑවී නොතිබිණි. සාලිය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී තිබුණේ තම අතිජාත මිත්‍රයා වූ වසන්ත මෙන්ඩිස් හරහා බවට හෙළි වේ.

කෝටිපති ව්‍යාපාරිකයකු වූ වසන්ත මෙන්ඩිස් යනු සාලියගේ සම වයසේම අයෙකි. සාලියගේ දියණියගේ ස්වාමියා වූයේද වසන්තයි. එසේ වසන්ත විවාහ කරගත්තේ සාලියගේ දියණිය වූ මධුෂි ප්‍රියදර්ශනී පෙරේරා නමැත්තියයි. ඇය වසන්තට වඩා අවුරුදු 20කින් පමණ ළාබාල තැනැත්තියකි. වසන්තට තිබූ ධනස්කන්ධය නිසාම ඇය වසන්ත හා විවාහ වී තිබූ අතර ඊට ඇගේ පියා වූ සාලියගේද පූර්ණ ආශිර්වාදය ලැබී ඇත.

පාකිස්ථානය, ඉන්දියාව, තායිලන්තය ආදි රටවලින් මත්කුඩු මෙරටට රැගෙනවිත් මහා පරිමාණයෙන් බෙදාහැරීම් සිදු කළ වසන්ත කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටියේ හොර රහසේ සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලද පිහිටෙනි. ඔහු විසින් ලංකාවට ගෙන්වන ලද මත්කුඩුවලට යම් යම් දේ එක්කොට නැවත වෙනත් රටවලට බෙදාහැරීම් කළ ව්‍යාපාරයක්ද කරගෙන ගොස් තිබේ. එදා හර්බට් කූපර් විසින් උගන්ඩාවට රැගෙන යෑමට තැත් කොට තිබුණේ එවැනි මත්ද්‍රව්‍ය තොගයකි.

මොරටුවේ පදිංචිකරුවෙකු වන වසන්ත මුලින් රෙදිපිළි මෙරටට ගෙන්වන වෙළෙඳාම සඳහා පාකිස්ථානයට ගියත් පසුව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමට යොමු වී තිබේ. කිහිප විටෙකදීම පාකිස්ථාන ආරක්ෂක අංශවලට කොටු වූ ඔහු ව්‍යාජ නම් කීපයක්ම භාවිත කරමින් පාකිස්ථානයට රිංගමින් දිගින් දිගටම මත්කුඩු ජාවාරම ගජරාමෙටම කරගෙන ගොස් තිබිණි. ඒ සියලු දේට ඔහුට තිබූ දේශපාලන හස්තයන්ද මහත් සරණක් වූ බව සැල වේ.

එදා කූපර්ගේ පාපෝච්චාරණයෙන් වසන්ත ඇතුළු පිරිසගේ මත්කුඩු ජාවාරම් ගැන සියලු තොරතුරු හෙළිවීමත් සමඟ 2013 වසරේ දෙසැම්බර් මාසයේ දිනෙක වසන්ත, සිය බිරිය සහ සාලිය ඇතුළු පවුලේ සියලු දෙනා සමඟින් මෙරටින් පලා ගොස් තිබුණේ තායිලන්තයටයි. ඒ සංචාරක වීසා මාර්ගයෙනි. 2013 වර්ෂයේ සිට 2016 වසර දක්වාම එලෙස ඔවුන් සංචාරක වීසා අලුත් කරගනිමින් තායිලන්තයේ සැඟවී සිටි බවට වාර්තා වේ. එහෙත් මෙරට පොලිසියේ ඉල්ලීම අනුව 2016 වර්ෂයේදී ජාත්‍යන්තර පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ තායිලන්තයේ සංචාරක වීසා මඟින් සැඟවී සිටීමට බාධා පැමිණ ඇත.

ඒ හේතුවෙන් 2016 වසරේ මාර්තු 22 වැනිදා වසන්ත මෙන්ඩිස් සංචාරක වීසා අලුත් කරගැනීමට යෑමේදී එරට ආරක්ෂක නිලධාරීන්ට කොටු විය. පසුව වසන්ත එරට ආරක්ෂක අංශ විසින් දින හතරකට පසුව එනම් මාර්තු 26 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට එවන ලදී.

වසන්තව කොටුවීමත් සමඟ සංචාරක වීසා අලුත් කිරීමට ඉදිරිපත් නොවූ සාලිය සහ වසන්තගේ බිරිය ඇතුළු පිරිස පසුගිය දින දක්වාම තායිලන්තයේ රැඳී සිටියේ හොර ර‍හසේය.

පසුගිය හය වැනිදා සාලිය කොටුවීමත් සමඟ එරට තුළ රැඳී සිටි සාලියගේ බිරිය සහ වසන්තගේ බිරිය යන දෙදෙනා මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටේදී මෙරට ආරක්ෂක අංශවලට කොටු වූහ. එ‍හිදී සාලියගේ බිරිය මුදාහැරියත් වසන්තගේ බිරිය අත්අඩංගුවට ගත් බව සැල විය.

දැනට තායිලන්තයේ ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන සාලිය නුදුරේදීම මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරීයෙක් අපට කීවේය.

Comments