පොත් කියවන මුහුණු පොත | Page 2 | සිළුමිණ

පොත් කියවන මුහුණු පොත

  • මුහුණු පොතට බණිනු වෙනුවට අලුත් මඟක්...
  • හැම කණ්ඩායමකම සාමාජිකයෝ දහස ඉක්මවති

සැප්තැම්බරය එළැඹී ඇත. තම මනස ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන සාහිත්‍යය කෙරෙහි ජනී ජනයාගේ ඇල්ම බැල්ම වැටෙන්නේ සැප්තැම්බර් මාසයට ය. ඒ පුරුද්දට ය, දෙසැම්බරයට සහ අප්‍රේල් මාසයට සල්පිල් වන්දනාවද, වෙසක් මසට දන්සල් වන්දනාව ද යන්නා සේම බොහෝ දෙනා සැප්තැම්බර් මාසයට පොත් වන්දනාවේ යන්නේ ද පුරුද්දටය; නැත්නම් අනෙකා කරන නිසා ය.

සාහිත්‍යය යනු පොත් පමණක් නොවේ. නව නළු රසය මවන නාට්‍ය, සිනමාව, සංගීතය, කවිය, සිතුවම්, මුර්ති ඇතුළු සියලු කලාංග සාහිත්‍යයට අයත් වුව ද සාහිත්‍ය මාසය ලෙස නම් කළ සැප්තැම්බර් මාසය තුළ සමාජ උනන්දුව ඇත්තේ පොත් වලට ය.

එහෙත් මෑතක සිට ජනප්‍රිය වූ ස්මාර්ට් ෆෝන් සංස්කෘතියත් සමඟ පොත් ගැන වූ ඇල්ම සහ බැල්ම තරුණ සමාජයෙන් වියැකී ගොස් ඇතැයි යන්න පූර්ව පරම්පරාවේ සාහිත්‍යකාමීන්ගේ විවේචනයයි. ඔවුන් කියවන සහ රසවිඳින එක ම පොත “මුහුණූ පොත” බවත්, එහි සංසරණය වන්නේ කමකට නැති වල්පල්බවත්, එනිසාම තරුණ මනස ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නට අවකාශ නොමැති බවත් පෙර පරපුරේ අදහසයි.

මේ අදහස් වල සත්‍යා සත්‍ය විමසීමේ අරමුණෙන් මුහුණු පොත හෙවත් Facebook අවකාශයෙහි පොත් සඳහා වන ඉඩකඩ කෙබඳුදැයි විමසීම වැදගත් ය. ඒ අනුව සමස්ත ෆේස්බුක් අවකාශයෙහි සියලු භාෂා වල පොත් සඳහා ඇති ඉඩකඩ සොයනු වෙනුවට ලංකාවේ සිංහල පොත් වෙනුවෙන් ෆේස්බුක් අවකාශයෙහි වෙන්ව ඇති ඉඩකඩ පමණක් මෙහිදී සලකා බැලුවෙමි.

Facebook හි කිසියම් විෂයයක් කෙරෙහි කැමැත්තක් ඇති පිරිස ගොනු වන ස්ථානය සමූහයක් හෙවත් Group එකක් ලෙස හැඳින්වේ. Facebook ගිණුමක් හිමි ඕනෑම අයකුට Group එකක් නිර්මාණය කර පවත්වාගෙන යෑමේ හැකියාව ඇත. ඒ අනුව සිංහලෙන් “පොත්” හෝ පොත” යනුවෙන් සඳහන් ව ඇති සමූහයන්:Groups සොයා යාමේදී පෙනී ගියේ මුහුණුපොත තුළ පොත පතට හිමිව ඇත්තේ ඉහළම තැනක් බව ය.

පොත පතට ඇලුම් කරන, පොත්පත් කියවන, පොත පත ගැන විචාර සහ අදහස් හුවමාරු වන, පැරණි පොත පත හුවමාරු කරන සහ විකිණිමට ඉඩ ලබාදෙන සමාජ ජාල සමූහ සියයකට ආසන්න සංඛ්‍යාවක් මුහුණු පොත තුළ පවතී. මේ සමූහ අතර බහුතරයකම සාමාජිකයන් දහස ඉක්මවා ගොනුවී සිටින අතර දවසකට අවම වශයෙන් පළ කිරීම් දෙකකට වැඩි සංඛ්‍යාවක් පළ වේ.

වැඩි ම සාමාජික පිරිසක් සිටින පොත පත සම්බන්ධ ෆේස්බුක් සමූහය ලෙස හඳුනාගත හැක්කේ “පොත් කියවන අයට.. poth kiyawana ayata” නමින් පවත්වාගෙන යන සමූහයයි. 2015 අගෝස්තු මාසයේ ආරම්භ කර ඇති මේ සමූහයේ සාමාජිකයන් ගණන 66000ක් ඉක්මවයි. දැනට ව්‍යාපාරයක යෙදෙන කළණ සංකල්ප විසින් ආරම්භ කර පවත්වාගෙන යන මේ සමුහයේ සහායක පරිපාලකවරුන් ලෙස දසුන් රුක්ෂාන් සහ මලීෂා ෂෙහානි කටයුතු කරයි. දසුන් පුද්ගලික ආයතනයක සේවය කරන අතර ෂෙහානි කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකි.

පොත් කියවන්නට රුචි නිසාම සමාජ ජාල අවකාශයේදී හමුවූ මිතුරන් වන දසුන් සහ කළණ විසින් මේ සමුහය ආරම්භ කරන්නට හේතු වී ඇත්තේ “පොත පතට” අදාළ පැරණි ජනප්‍රිය සමාජ ජාල සමූහ වල පැවැති අඩුපාඩු වලට පිළියමක් ලෙසිනි. තෙවසරක ඇවැමෙන් ඒ උත්සාහය සාර්ථක වි ඇත්තේ වැඩිම සාමජික පිරිසක් සහිත දවසකට පළකිරිම් 30කට අධික ප්‍රමාණයක් පළ කෙරෙන, පොත පත හා සම්බන්ධ ප්‍රමුඛතම සමූහය බවට පත්විමෙනි.

“අපි පොත පතට සම්බන්ධ ඕනෑම පළ කිරීමකට වාරණයකින් තොරව ඉඩ දෙනවා. ඒ විවෘත භාවය නිසාම තමයි අපිට සාමාජිකයන් එකතු වෙන්නේ. තාක්ෂණික ගැටලුවක් නිසා සංවෘත සමුහයක් විදියට මුහුණූපොතේ පවත්වාගෙන ගියත් අපේ වත්මන් සාමාජිකයෝ හරහා නිරන්තරව අපිට අලුත් සාමාජිකයෝ එකතු වෙනවා.” ඒ දසුන්ගේ අදහසයි.

මුහුණුපොතේ අදහස් දැක්වීම්, සංවාද වලට අමතරව වාර්ෂික ව සාමාජිකයන්ගේ දයකත්වයෙන්, දුෂ්කර පාසැල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීම සමුහයේ මැදිහත්වීමෙන් සිදුකරන බව ද දසුන් රුක්ෂාන් වැඩිදුරටත් පැවසීය.

මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල්ගේට්ස් සිය පුස්තකාලයේ පොත් කියවන ඡායාරූපයක් කවරයේ දක්වා ඇති “පොත් කියවන අය - poth kiyawana aya” සමූහයද දෙස් විදෙස් පොත් පත් ගැන අදහස් සහ දැනුම සිංහලෙන් හුවමාරු කරගන්නා තවත් ජනප්‍රිය සමූහයකි. නුවන් රසාංග විසින් 2015 සැප්තැම්බරයේ මේ සමුහය නිර්මාණය කර ඇත. එහි සාමාජික සංඛ්‍යාව 7500කට මඳක් අඩු ය. දැනට එහි පරිපාලක ලෙස කටයුතු කරන්නේ මාධ්‍ය ලේඛකයකු සහ දේශකවරයකු වන ටෙරන්ස් වීරවර්ධන ය. සාමාන්‍යයෙන් පළ වන ලිපි සඳහා හොඳ ප්‍රතිචාර සහ හැඟීම් සාමාජිකයන් අතරින් මතුවන බවට හඳුනාගත හැකි මේ සමූහයේ දිනකට නව පළකිරිම් දහයක් පමණ සිදු වේ.

“ සිංහල පොත් කියවන අය“ නමින් අති ෆේස්බුක් සමූහය ද සිය විස්තර කිරීමේ දක්වා ඇත්තේ පොත් පත් පිළිබඳ ව වන පළ කිරිම් සඳහා ඉඩකඩ ලබාදෙන බවයි. එහි සාමාජිකයන් ගණන 9700 ඉක්මවන අතර පසුගිය දින තිහක කාලය තුළ පළකිරිම් 19ක් සිදුව ඇත. එහි සත් දෙනෙකුගෙන් යුත් පරිපාලක මණ්ඩලයක් සිටියද, සාමාජික උදයෝගයෙහි අඩුවක් පෙනෙන්නේ පළකිරිම් සඳහා අනෙකුත් සාමාජිකයන්ගේ ප්‍රතිචාර සහ හැඟීම් ප්‍රකාශ කිරීම අඩු මට්ටමක පවතින බැවිනි. ජංගම දුරකථන විකිණීම, ධර්ම දේශනා ආදී විෂය බාහිර පළ කිරීම් ද එහි පළවී ඇති බැවින් අනුමාන කළ හැක්කේ, සමූහය සම්බන්ධයෙන් වන පරිපාලක මණ්ඩලයේ අවධානය අවම මට්ටමක පවතින බවකි. පෙර සඳහන් කළ සමූහ වල පළ නොවුණු සමහර සාහිත්‍ය ඉසව් පිළිබඳ දැන්වීම් මේ සමූහයේ දක්නට ලැබීම එහි ඇති සුවිශේෂතාවයකි.

අපේ පොත් - Our books, පොත් මිතුරෝ - Poth Mithuro, අපි පොත් කියවමු -Api Poth kiyawamu", පොත් කියවන්නො- poth kiyawanno, අපි කැමති පොත් -Api kamathi poth", -poth kawo පොත් කාවෝ වැනි ෆේස්බුක් සමූහ පොත් පිළිබඳ හඳුන්වාදීම්", කතිකා සහ අදහස් දැක්වීම් සහිත සමූහ ලෙස හඳුන්වා දිය හැකි අතර මේ සමූහයන් ගැන ඉවසිමෙන් යුතුව සොයා බැලීමකින් පසු වඩාත් ගැළපෙන සමුහයන් සමග සම්බන්ධ වීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

පොත් පත් පිළිබද සාකච්ඡා කෙරෙන සමුහවලට අමතරව පොත පත හා සම්බන්ධ වෙනත් අවස්ථා ලැබෙන සමූහයන් ද මුහුණු පොතේ හදුනාගත හැකිය. “පොත් හුවමාරු” නමින් මුහුණු පොතේ ඇති සමුහය එවැනි එකකි. නමේ අරුතෙන්ම එහි මූලිකත්වය දෙන්නේ සමාජිකයන් සතුව ඇති පොත් අනෙකුත් සාමාජිකයන් අතර හුවමාරු කොට කියවීමට අවස්ථාව දීමයි.

මේ සමුහයට ඇතුළත් වීමට අනුගමනය කළ යුතු නීති පද්ධතියක් එහි හඳුන්වාදීමෙහි දක්වා ඇත. සැබෑ නම සහිත අනන්‍යතාව හඳුනාගත හැකි ෆේස්බුක් ගිණුමකින් මිසෙක ව්‍යාජ ගිණුමකින් මේ සමූහයට සම්බන්ධ වීමේ හැකියාව නොමැති වීම ප්‍රධානම කරුණ වේ. එසේම සම්බන්ධ වන ඕනෑම අයකු තමන් සතු පොත් එකතුව ඡායාරූප ඇල්බමයක් ලෙස සමූහයට එක් කිරීම ද අවශ්‍ය වේ. ඉන්පසු එහි සාමාජිකයන් විසින් තමන්ට අවශ්‍ය පොත හෝ පොත් ඉල්ලුම් කරන අතර නව සාමාජිකයාට ද පැරණි සාමාජිකයන්ගේ පොත් ඉල්ලුම කළ හැකිය.

වරින්වර පැවැත්වෙන සාමාජික හමුවීම් ද මේ සමුහයෙන් සංවිධානය කරන අතර එහිදී හෝ පුද්ගලිකව හමුවී පොත් හුවමාරු කිරිමේ හැකියාව සාමාජිකයන්ට ඇත. මේ සමූහයේ ආසන්නතම හමුව පැවැත්වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 02වන ඉරිදා බොරලැස්ගමුවේදීය.

සාමාජිකයන් 3600කට වැඩි ප්‍රමාණයක් සිටින මේ සමුහය දෑඟිලි අග රැඳුණු අතත්‍ය ලෝකයෙන් බැහැරව සැබෑ මහපොළොවේදී සාමාජිකයන් හමුවීමට අවස්ථාව ලබාදෙන ප්‍රායෝගික සමූහයක් ලෙස හඳුනාගත හැකිය.

පොත පතට අදාළ පළ කිරීම් සඳහා කිසිදු වාරණයක් නොමැති බවට හඳුන්වාදෙමින් මුහුණුපොතේ ක්‍රියාත්මක “පොත් සල්පිල - poth salpila” සමූහයේ අරමුණ වන්නේ සාමාජිකයන් අතර පොත් විකිණීමට අවස්ථාව දීමයි. “Second Hand පොත්” යනු භාවිතා කළ පොත පත නැවැත විකිණිමේ අරමුණෙන් පවත්වාගෙන යන Facebook Group එකකි'. සාමාජිකයන් 4800ක් පමණ සිටින එහි වැඩි අවධානයක් යොමුව ඇත්තේ ඉංග්‍රීසි පොත් සඳහාය; බාහිර උපාධි නිබන්ධන, කෙටි සටහන් ආදිය නැවැත විකිණිමට අදාළ පළකිරීම් ද මේ සමූහයේ හඳුනාගත හැකිය.

සාමාජිකයන් 2600ක් පමණ සිටින පොත් සමඟ සම්බන්ධ තවත් අපූරු මුහුණුපොතේ සමූහයක් වේ. පැරණි පොත් පත් සඳහා ඇළුම් කරන්නන් වෙනුවෙන් වෙන්වු ඒ සමූහය නමින් “පරණ පොත් පත් කියවන අය - Those Who Read Old Books ” ය'. පැරණි පොත් වලට අමතරවල අතීත කාමය සහිත පුවත්පත් ලිපි ආදියද එහි පළකෙරී ඇත. පැරණි පොත්වලින් උපුටා ගත් කොටස්ද", පැරණි පොත් වල ඡායාරූප ද පළ කෙරෙන එහි සොයා ගැනීමට අපහසු පැරණි පොත් වල විස්තර ද සටහන් කර ඇත.

තවත් වැදගත්කමින් යුතු බොහෝ පොත් ආශ්‍රිත ෆේස්බුක් සමූහ ගණනාවක් අන්තර්ජාලයෙහි හඳුනාගත හැකිය. ළමා පොත් සමූහ, ආගමික පොත් සමූහ, ප්‍රසිද්ධ ලේඛකයන්ගේ අනුගාමිකයන්ගේ සමූහ ඒ අතර ප්‍රධානය. මේ පොත් සම්බන්ධ සමූහයන් ගණනාවකම පළකර තිබූ බ්ලොග් අඩවියක සබඳියක් කෙරේ ද අවධානය යොමු කළෙමි. ජාතික පුවත්පත්, විද්‍යුත් නාළිකා සියල්ලම පාහේ කර අරින්නට උත්සහ දරන “ග්‍රන්ථ විචාරයටම” වෙන්වී ඇති මේ බ්ලොග් අඩවිය BOOK READABILITY'. තරුණ බ්ලොග්කරුවකු වන දිමන්ත පොල්වත්ත විසින් සංස්කරණය කරන මේ බ්ලොග් අඩවියේ පොත් හැටකට අධික සංඛ්‍යාවක විචාර දක්නට ලැබේ. ඔහු අවසාන වරට විචාරය කොට තිබුණේ නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක එක්ව සංස්කරණය කළ“ මහාවංශය ගැන උගෙනිමු” කෘතියත්, ශ්‍රිනාත් චතුරංගගේ “බුදුන්ගේ රස්තියාදුව” කෘතියත් ය.

ඒ අනුව පෙනී යන්නේ මුහුණු පොත තුළ පොත් සඳහා හොඳ ඉඩකඩක් ඇති බවය. කිරි සොයන්නන්ට කිරිද, ගොම සොයන්නන්ට ගොමද හමුවන ෆේස්බුක් අවකාශයේ සැරිසරන්නන්ට දැනුවත් භාවයේ අස්වැන්න උකහා ගන්නට අවස්ථාව ලැබෙනුයේ තම දක්ෂතාවත්, උනන්දුවත් මතය. නව පරපුරේ පොත් පත් කෙරෙහි වන ප්‍රවේශය සීමා සහිත යැයි ද, මුහුණු පොතට ඇබ්බැහි වීම මත ඔවුන් පොතින් බැහැර වේ යැයි ද කියමින් “ෆේස්බුක්” සමාජ ජාලයට දොස් පවරනු වෙනුවට, නව පරපුරට ෆේස්බුක් අවකාශයේ ඇති යහපත් දේ පෙන්වා දෙන්නට පෙර පරපුරේ පිරිස් වලට හැකියාවක් ඇත්නම් ආනන්දයෙන් ප්‍රඥාවට පාර සොයන තරුණ පරපුරක් බිහිවනු නොඅනුමානය.

Comments