මුළු ලොවම පරදවා කොළඹ නැව් තොට අංක එකට ආ හැටි | සිළුමිණ

මුළු ලොවම පරදවා කොළඹ නැව් තොට අංක එකට ආ හැටි

අපි සේවකයන්ගේ පඩි වැඩි කළා. සුබසාධන වැඩපිළිවෙළ ශක්තිමත් කළා. වෘත්තීය සමිති හා කළමනාකාරිත්වය අතර

සහයෝගයත් වැඩි දියුණු කළා කාර්යක්ෂමතාව වැඩි වුණා...

වරාය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක

  • කොළඹ වරායට පළමු කන්ටේනරය ආවේ 1973දී                             
  • වරාය අධිකාරිය 2017දී රුපියල්බි ලියන 13 ක් ලාභ ලබයි.
  • 2018 මාස 6ට කන්ටේනර් ලක්ෂ 35.2ක මෙහෙයුමක්

මෙන්න ජයග්‍රහණ

  • හලුම් මෙහෙයවීම 2018 දී සියයට 15කින් වැඩි වෙයි.‍
  • 2018 දී ප්‍රතිනැව්ගත කිරීම් සියයට 20කින් වැඩිවෙයි.
  • 2015 දී මෙහෙයවූ බහලුම් ගණන මිලියන 5.1 යි.
  • 2016 දී මෙහෙයවූ බහලුම් ගණන මිලියන 5.7 යි.
  • 2017 දී මෙහෙයවූ බහලුම් ගණන මිලියන 6.2 යි.
  • 2017 මුල් මාස හයේදී මෙහෙයවූ බහලුම් ගණන ලක්ෂ 29.2 යි.
  • 2018 මුල් මාස හයේදී මෙහෙයවූ බහලුම් ගණන ලක්ෂ 35.2 යි.

වසර ගණනාවක ඉතිහාසයක් ඇති කොළඹ වරාය මේ වසර ගණනාවකදී ලබාගත් සුවිශේෂ‍ී විජයග්‍රහණය වන්නේ ‘ඇල්ෆාලයිනර්’ (Alphaliner) වාර්තාවලට අනුව කොළඹ වරාය 2018 පළමු මාස හය ඇතුළත ලෝකයේ ප්‍රධාන බහලු මෙහෙයුම් (කන්ටේනර් පෙට්ටි මෙහෙයුම) වරායයන් අතර පළමු ස්ථානයට පත්වීමයි.‍

‘ඇල්ෆාලයිනර්’ යනු ලොව වරාය හා සමුද්‍රිය සේවා හා සම්බන්ධව වරාය, අධිකාරිත්වය, පර්යන්ත මෙහෙයුම්කරුවන්, සේවා සැපයුම් ආයතන හා මූල්‍ය සේවා ආදී දත්ත මත පදනම් කරගනිමින් වරායවල ප්‍රගතිය හෙළි කරන වාර්තා සකස් කරන ආයතනයකි.

අතීතයේ ‘පෙරදිග මුතුඇටය’ නම් විරුදාවලියෙන් නම් ලැබූ අපේ රට ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන ස්ථානය අනුව නිරිතදිග හා ඊසාන දිග මෝසම් සුළං ප්‍රවාහය නිසා ශ්‍රී ලංකාවේ වරායවලට වසරේ සෑම කාලයකදීම නැව් ගමන් කිරීමට හැකි බව කියන පූර්ව යුගවලදී සිට හඳුනාගෙන තිබිණ.

අතීතයේ සිටම පෙරදිග සේද මාවතේ යාත්‍රා කළ ග්‍රීක, පර්සියන්, ඊජිප්තු, චීන හා ජාවා ජාතිකයෝ සිය නැව නැංගුරම් ලෑමට වෙළෙඳ කටයුතුවල මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමටත් ශ්‍රී ලංකාව උපයෝගි කර ගත්හ. මේ අනුව ඉන්දියානු සාගරයේ ඉතා වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇත. මේ අනුව අතීතයේ මහාතිත්ත (මන්නාරම) ගෝකණ්න (ත්‍රිකුණාමලය) දඹකොළ පටුන (යාපනය) ඌරාතොට (කයිට්ස් දූපත) හෝ ගොඩවාය (හම්බන්තොට) දෙවුන්දර, ගාල්ල, කොළඹ ආදී දිවයින වටා තිබූ වරායවල් එන්න එන්නම ජනප්‍රිය වෙමින් පැවතිණි.

එකල දියුණු වරායක් අපට නොතිබුණු නමුත් 1875 එංගලන්තයේ දෙවැනි එඩ්වඩ් රජු කොළඹ වරායේ නිරිතදිග දියකඩනයට මුල් ගල් තබා පසුව එය 1912 දී ඉදිකර අවසන් කර අපේ රටට ප්‍රථම විද්‍යානුකූල වරාය දායාද කර ඇත.

1973 දෙසැම්බර් මස ඒ.පී.එල්. සමාගමේ අයත් බහලුම් (කන්ටේනර් පෙට්ටි) සහිත නැවක් කොළඹ වරායට පැමිණ ඇත. එය මෙරටට පැමිණි ප්‍රථම බහලුම් නැවයි. පසුව 1979 අගෝස්තු 1 වැනි දින ශ්‍රී ලංක‍ාවේ කොළඹ වරාය ඇතුළු සියලුම වරායවල් මෙහෙයවීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවා තිබේ. පසුව ‍ක්‍රමයෙන් කොළඹ වරායේ බහලුම් මෙහෙයවීම වැඩි වී ඇත.

ලොව බහලු මෙහෙයුම්වලින් ප්‍රථම ස්ථානය අපේ රටට ලැබී ඇත්තේ 2018 පළමු මාස හය ඇතුළත අපේ කොළඹ වරායේ සිදුකළ බහලු මෙහෙයුම්වල සියයට 15.6 ක වර්ධනයක් පෙන්නුම් කිරීම නිසාය. එය පසුගිය වසරට සා‍පේක්ෂව ඉහළම වර්ධන තත්ත්වයක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

මෙහි සුවිශේෂ ජයග්‍රහණය වන්නේ මෙතෙක් මෙම ඇල් ‍ෆාලයිනර් වාර්තාවලට අනුව ප්‍රථම ස්ථානය ලබාගත් සිංගප්පූරු වරාය අපේ කොළඹ වරායට පරාජය වීමයි.

පසුගිය මාස හය ඇතුළත සිංගප්පූරු වරායේ බහලුම් මෙහෙයුම් ප්‍රමාණය වැඩිවී ඇත්තේ සියයට 11.6 ක් පමණි. ඊට අමතරව ලොව තවත් සුවිශේෂී වරායක් වන ගොන්ෂු වරාය සියයට 8.6 ක් පෙන්නුම් කරමින් තෙවැනි තැනට පත්වී ඇත.

වත්මන් රජයේ වරාය ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ විශිෂ්ට නායකත්වය යටතේ හා සේවක සහයෝගිතාව හා කාර්යක්ෂමතාව මත මේ ජයග්‍රහණය අපේ රටට හිමිවූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි. මේ කටයුතුවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ලබාදෙන උපදෙස් හා අදහස් ද සභාපතිවරයා ඉතා අගය කරයි.

කොළඹ වරායේ ප්‍රධාන පර්යන්ත තුනක් තිබේ. රජයට අයත් ජය බහලුම් පර්යන්තය (JCT) දකුණු ආසියානු පර්යන්තය (SADT) හා කොළඹ ජාත්‍යන්තර බහලුම් මෙහෙයුම් පර්යන්තය (CICT) ඒ අතර වේ.

මෙහි ජය බහලුම් පර්යන්තය, අනෙක් පෞද්ගලික පර්යන්ත දෙකත් සමඟ බහලුම් මෙහෙයුම් ප්‍රවර්ධනය කරන අවබෝධතා ගිවිසුමක් අස්සන් කර ඇත. ඒ අනුව 2018 දී කොළඹ වරායේ ඉහළම කාර්යක්ෂමතා හා ඵලදායිතාවයක් පෙන්නුම් කර ඇත. අලුත් ගිවිසුම් අනුව කිසිම නැවකට වරායෙන් පිටත වැඩි වෙලාවක් නැංගුරම් දමා ගැනීමට අවස්ථාව ඇති නොවේ. අදාළ බහලු අංගණ තුනෙන් කුමන හෝ අංගනයකට ඒ නැව ඇතුළත් කරනු ලැබේ. ඒ කටයුතු අනුව නැව්වලට අපේ මුහුදේ රස්තියාදුවක් නොමැත. ඒ නිසාම අපේ කොළඹ වරාය මේ සුවිශේෂ ජයග්‍රහණ ලබා ගනිමින් සිටින බව වරාය පිළිබඳ පර්යේෂණ කරන විද්වත්හු පවසති.

මේ අනුව කොළඹ වරායේ සියලුම සේවකයන් එකා මෙන් ම වැඩ කිරීම නිසා හා විශේෂයෙන් බහලුම් මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනාගේ ඇප කැපවීම මෙම ජයග්‍රහණය පිටුපස ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක පවසයි.

වරාය අධිකාරිය 2017 දී ලබා ගත් ලාභය රුපියල් බිලියන 13 කි. පසුගිය වසර තුන ඇතුළතම වරායේ බහලුම් මෙහෙයුම්වල ලොකු ප්‍රගතියක් පෙන්නුම් කරයි. සේවක සුබසාධනයට හා විශාල මුදලකින් වැටුප් වැඩිකිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

කොළඹ වරායේ 2015 දී සිදුවී ඇති බහලුම් මෙහෙයුම් ගණන මිලියන 5.1 කි.

ඒ ප්‍රමාණය 2016 දී බහලුම් මිලියන 5.7 දක්වා ද 2017 දී බහලුම් මිලියන 8.2 දක්වා ද වැඩි වී තිබේ. 2017 මුල් මාස හය ඇතුළත මෙහෙයවා ඇති බහලුම් ගණන ලක්ෂ 29.5 කි. නමුත් මේ වසරේ මුල් මාස හය ඇතුළත ඒ ප්‍රමාණය ලක්ෂ 34.2 ක් දක්වා වැඩිවී තිබේ. වැඩිවීම් සියයට 15.6 කි.

2017 මුල් මාස 6 ත් 2018 මුල් මාස හයත් පිළිබඳව සසඳන විට ප්‍රතිනැව්ගත කිරීම් කළ බහලුම් ප්‍රමාණය සියයට 20 කින් වැඩි වී තිබේ. 2017 මුල් මාස හය ඇතුළත විශාල බහලුම් නැව් 2126 ක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඒ ප්‍රමාණය මේ වසරේ මුල් මාස හයේදී 2199 දක්වා සියයට 3.4 කින් වැඩිවී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්තාවලට අනුව 2017 වසරේදී ලංකාවේ වරායවලට නැව් 4879 ක් පැමිණ තිබේ. එම නැව් මගින් 2017 දී භාණ්ඩ මෙට්‍රික් ටොන් ලක්ෂ 988 පමණ මෙහෙයුම් කරන ලද අතර 2016 දී මෙහෙයවා ඇත්තේ භාණ්ඩ මෙට්‍රික් ටොන් ලක්ෂ 865 ක් පමණි. මේ අනුව එම වසර දෙක අතර භාණ්ඩ මෙහෙයුමේ 8.5 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජයබහලුම් පර්යන්තය 2017 ජනවාරි මාසයට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේදී සියයට 43.7 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. 2017 ජනවාරි මාසයේදී කොළඹ වරාය සතු ප්‍රධාන පර්යන්ත තුන මඟින් ප්‍රතිනැව්ගත බහලුම් මෙහෙයුම් 362421 ක් සිදු කළ අතර 2018 ජනවාරි මාසයේ එය 436303 ක් දක්වා ඉහළ අගයෙන් පෙන්නුම් කර ඇත.‍ එය සියයට 20.4 ක ප්‍රවර්ධනයක් බව වරාය අධිකාරියේ මාධ්‍ය කළමනාකාර නලීන් අපොන්සු මහතා පවසයි.

කොළඹ ජාත්‍යන්තර බහලු මෙහෙයුම් පර්යන්තයේ (CICT) දකුණු ආසියානු පර්යන්තයේ (SADT) වාණිජ මෙහෙයුම් ඉහළ යාම නිසා 2017 හි අවසානයේදී වරාය මෙහෙයුම් කටයුතුවල විශාල වර්ධනයක් වී තිබේ.

2016 වස‍රේදී අඩි 20 බහලුම් ඒකක ලක්ෂ 57.3 ක් කොළඹ වරාය මගින් මෙහෙයවා ඇත. 2017 දී ඒ ප්‍රමාණය බහලු ලක්ෂ 62 ක් දක්වා සියයට 8.2 කින් වර්ධනය වී තිබේ.

2017 දී ලොව ගෝලීය වෙළෙඳ කටයුතුවල වර්ධනය ද වරායේ ප්‍රගතියට බලපා තිබේ. ඒ අනුව කොළඹ වරාය ඇතුළත ප්‍රතිනැව්ගත කිරීම් ප්‍රමාණය 2016 – 2017 අතර කාලයේදී සියයට 8‍.8 කින් වැඩිවී තිබේ. ඒ අනුව 2016 දී ප්‍රතිනැව්ගත කිරීම් සිදුවූ ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 443 ක් ව‍ූ අතර එය 2017 දී මෙට්‍රික් ටොන් ලක්ෂ 482 දක්වා ඉහළ නැඟ තිබේ. ප්‍රතිනැව්ගත කිරීම් මෙහෙයුම්වලට මෙන් ම බහලුම් මෙහෙයුම්වලට ද අපේ කොළඹ වරාය පසුගිය වසරේදී දස්කම් හා ප්‍රගතියක් පෙන්නුම් කරයි.

ඒ අනුව 2017 ජනවාරි මාසයේදී බහලුම් මෙහෙයුම් 156010 කර ඇති අතර 2018 ක‍ර ඇති මෙහෙයුම් ප්‍රමාණය 194688 ක් පමණ වේ. ඒ අනුව ඒ මාස දෙක සසඳන විට ප්‍රගතිය සියයට 24.8 කි. මීට අමතරව 2017 ජනවාරි මාසය හා 2018 ජනවාරි මාසය සසඳන විට කොළඹ වරායට පැමිණි නැව් සං‍ඛ්‍යාවල සියයට 8 කින් පමණ වර්ධනය වී තිබේ.

මේ ජයග්‍රහණ පිළිබඳව කරුණු දක්වන වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසන්නේ මේ කොළඹ වරායේ ජයග්‍රහණ නිසා රටට විශාල ආර්ථික වාසියක් සමඟ ඇති ජගත් මට්ටමේ ඇගැයීමක් ලැබී ඇති බවයි.

සේවක සහයෝගිතාව මනා කාර්යක්ෂම කළමනාකරණ ප්‍රතිපත්ති සහ ඵලදායිතාව ඉහළ මට්ටමක පැවැතීම නිසා මෙන් ම නවීන තාක්ෂණය අනුව වැඩ කටයුතු සැලසුම් කිරීම මේ ජයග්‍රහණය බව ද ඇමැතිවරයා කියයි.

ඉදිරියේදී අපි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා. මීට අමතරව රජය සතුව ඇති ජයබහලුම් පර්යන්තයේ පස්වැනි අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගෙන ඒ සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ජය බහලුම් පර්යන්තයේ කටයුතු නවීකරණය වීම සමඟම එකවර විශාල නැව් දෙකක් එහිදී එකවිට මෙහෙයුම් කිරීමට පුළුවන්කම ලැබෙනවා. මේ සියලු කටයුතු පරිසර හිතකාමී හා හරිත සංකල්ප මත සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ ඇමැතිවරයා තවදුරටත් පවසයි.

වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්පූර්ණ ලෙස සංවර්ධනය වූ විට ඒ පර්යන්තයට කන්ටේනර් 2500 ක් සහිත මීටර් 40 ක් දිග හා මීටර් 18 ක් ගැඹුරක තැබිය හැකි විශාල නැව් ඇතුළත් කළ හැකි බවයි. මේ නව පර්යන්තයේ පිහිටුවන නැංගුරම් පොළවල 3 ක් මගින් එවැනි නැව් තුනක බහලුම් මෙහෙයුම් එකවර සිදුකිරීමට ද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

මේ අනුව පෞද්ගලික බහලු මෙහෙයුම් පර්යන්ත හා සමවන පරිදි ම බහලුම් මෙහෙයුම් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවස්ථාව ලැබේ. මේ සඳහා දායකත්වය ලබා සිටීම කොළඹ වරායේ සේවකයන් සූදානම්ව සිටින බව ද පාලනාධිකාරිය පවසයි.

මේ සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳව වරාය පාලනාධිකාරිය පවසන්නේ වෘත්තිය සමිතිවලත් සේවක සමූහයෙන් සහාය හා පාලනාධිකාරියත් වෘත්තීය සමිතිත් අතර සහසම්බන්ධය මත වරායේ දියුණුව තවත් සුරක්ෂිත වෙමින් ඇති බවයි.

වරාය පිළිබඳ පර්යේෂණ කරන ඇල්ෆාලයිනර් වැනි ආයතන පවසන පරිදි අද කොළඹ වරායේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ බහලුම් මෙහෙයවීමයි. ඒ අංශයෙන් ඉහළ ප්‍රවර්ධනයක් ඇති කිරීමට නම් වරාය පරිපාලනය මෙන් ම සංවර්ධනය උපරිම මට්ටමට සිදුවිය යුතුය. එමෙන් ම වරාය සේවක පිරිසගේ කාර්යක්ෂමතාව ද පූර්ණ සහයෝගය හා කැපවීම ද මෙහිදී වැදගත් ස්ථානයක් ගනී.

මේ සියලු සුදුසුකම්, හැකියාව, දස්කම් සහිත මානව සම්පත් සතු කොළඹ වරායට බහලුම් මෙහෙයුම් අතින් ලොව මුල්ම තැන ලැබුණේ වත්මන් රජය කොළඹ වරායේ සංවර්ධනයට හා එහි නිසි මනා කළමනාකරණයට දැක්වූ දක්ෂතාව හා උනන්දුව නිසා බව වරාය පිළිබඳ ලොව පරසිදු විද්වතුන්ගේ ද මතය වී ඇත.

වරායේ ඉදිරි ගමනට අපත් සුබ පතමු; චිරං ජයතු!

(වරාය අධිකාරියේ මාධ්‍ය ප්‍රධානි නලින් අපොන්සු හා චිත්‍රාල් ජයවර්න යන මහත්වරුන්ට ස්තුතිය.)

 

 

Comments