ලොතරැයි වාසනා කියැවෙන රේඛා | සිළුමිණ

ලොතරැයි වාසනා කියැවෙන රේඛා

සල්ලිත් හරියට මල්වට්ටි වෙන්දේසියක් වගේය.

ඉල්ලුම් කරන ආකාරයට අනුව මල් වට්ටිය අතිත් අතට ගොස් බලාපොරොත්තු නොවූ විධියට අන්තිමේදී කෙනෙකුට තුන් ඈවර වෙයි. සල්ලිත් ඒ වගේමය. ජයපතා ඔබ දිනපතා ලොතරැයි ටිකට් පත් ගත්තත්

බලාපොරොත්තු නොවූ විධියට හිටි ගමන් කෙනෙකු

කෝටිපතියකු වන්නේ නොසිතූ ආකාරයටය.

සල්ලි බලාපොරොත්තුවක් නැති වේලාවක ඔබ අතට පත්වෙයි.

ඔබේ කේන්ද්‍රයේ ‘ධන යෝග’ වගේ ම නිර්ධන යෝග ද තිබේ. ඔබේ අල්ල තුළත් මේ යෝග රේඛාවෙන් වැටේ.

ඔබේ ධනය - යස ඉසුරු - සම්පත් ලබන යෝග රේඛා අල්ලේ රේඛා මත පිහිටන හැටි හස්ත ‍ෙර්ඛා ශාස්ත්‍රයේ විස්තර වෙයි.

ඔබේ අල්ලේ සූර්යාගේ පර්වතයේ පහළට වැටෙන රේඛාවේ එක් අතකින් ඔබේ ධනය ගැන කියවේ. යමෙකුගේ සූර්යාගේ පර්වතයෙහි කතිර සටහනක් තිබේද ඔහු මුදල් ඉතා අගේ කොට සලකයි. එහි ඍජු රේඛාවක් සහ කතිර සලකුණ තිබේ ද ඔහු මහා ධනවතෙකි. (අංක 1) එහි තාරකාවක් සහිත රේඛාවක් තිබේද බලවත් ධනවත් කෙනෙක් වෙයි. (අංක 2) කාන්තාවකගේ සූර්ය පර්වතය තුළ කතිර ලකුණක් ඇතිවූ විට ඈ රූමත් තැනැත්තියක වී මිනිසුන් විනාශ කොට ධනවන්ත කෙනෙක් වේ. ජීවන රේඛාවෙන් පටන්ගත් රේඛාවක් වෙදගිල්ල දෙසට යෑම හදිසියේ ධනවත් වන ලකුණකි. (අංක 3) අඟහරු හෙවත් කුජ සල්ලි හම්බ කරන්නට ධෛර්ය ශක්තිය සපයන ග්‍රහයෙකු ලෙස ජ්‍යෝතිෂ්‍යයේ එයි. සිකුරු මණ්ඩලය හරහා අත් කරට විහිදෙන කුජ රේඛාව ඇති අය විවාහයෙන් පසු ධනවත් වෙති.

ග්‍රහ ලෝකයේ චණ්ඩියාත් දාමරිකයාත් සෙන්පතියාත් කුජ ය. කුජ රේඛාව බලවත් අයට මහපොළොවේ මැණික් ලබා ගැනීමට වාසනාව හිමිය. කුජ, කිවි කාමාධික ග්‍රහයෝය. සාමයට කැමතිය. ප්‍රීතියෙන් විනෝදයෙන් කල් ගෙවයි. විවාහය වාසනාවන්තය. කුජ ග්‍රහයා උච්ච වීමෙන් හෝ ස්වක්ෂේත්‍රව කේන්ද්‍රගත වීමෙන් රුචක යෝගය යෙදේ. සඳු සමඟ කුජ සං‍‍යෝග වීමෙන් චන්ද්‍ර මංගල යෝගය යෙදේ.

ඔබේ අල්ලේ මෙය රේඛාවෙන් වැටේ. එය ධනයෝග දෙකකි. සිකුරු මණ්ඩලය හරහා ප්‍රකෘති කුජ මණ්ඩලයට වැටෙන රේඛාව රුචක යෝගයයි. (අංක 5 බලන්න) මෙම රේඛාව ජීවන රේඛාවට සමාන්තරව වැටේ. එය මනස් භාග්‍යයයි. මෙය ජීවන බල‍ෙර්ඛාව ලෙස සාමුද්‍රිකා සෘර්ෂින් පෙන්වා දී තිබේ.

චන්ද්‍ර මංගල යෝග රේඛාව අල්ලේ සුළගිල්ලට යට කුජ මණ්ඩලයට මාතෘ රේඛාව යටින් වැටේ. එය සිකුරු පර්වතයේ ජීවන ‍ෙර්ඛාව හා බැඳී පවතී. (අංක 6) මෙම රේඛා ලක්ෂණය වැටීම මෙය ඉන්ද්‍රවාපයක (දේදුන්නක හැඩය) ආකාරයටය. මනුෂ්‍ය ජීවිතයක සෞභාග්‍යය උදාකරන ලකුණකි. යාන වාහන සුපිරි නිවාස දර්ශනීය ඉඩ - කඩම් ලබයි. කරුණාව මනුෂ්‍ය වර්ගයාට වපුරන අල්ලකි. ධර්මයට ළැදිය. ගුණ ධර්මයෙන් හෙබිය. එවැනි අත්වල වාසනාව රේඛාව මනාව පිහිටයි. ශිර්ෂ රේඛාව අල්ල මැදින් චන්ද්‍ර මණ්ඩලයට වැටේ.

බුද මණ්ඩලයත් කුජ විකෘති මණ්ඩලයත් අතර වැටෙන රේඛාව කුජ - බුධ රේඛාවයි (අංක 7) එවැනි අය ඉගෙනීමෙන් ධනවත්ය. හදිසියේ ධනවත් වෙති. ඒ අනුන්ගේ ධනයෙනි. එවැනි අයගේ මාපට ඇගිල්ලේ යව ඇට සටහන වැටේ (අංක 8) මාප ඇගිල්ල දිගය. සුළගිල්ල වෙදගිල්ලේ අගපුරුක පසු කර වැටේ. එය ද මහත් ධනයකි.

සුළගිලි මුල බ්‍රෑ මණ්ඩලයේ ‍ෙර්ඛා තුනක් වැටීම මාතෲ රේඛාවට සම්බන්ධවීම වාසනාව ධනවන්ත කාලයක පෙර සටහන් වේ. උර්ධව වාසනා රේඛාවෙන් අතු රේධාවක් සූර්ය පර්වතයට වැටීම (අංක 9) වෙළඳාමෙන් ධනය උපයයි.

දබරගිල්ල මැදගිල්ල වෙදගිල්ල සුළගිල්ල මැද පුරුක්වල යව ඇට රේඛා මනාව වැටීම මහත් ධනයයි. (අංක 10) මාපට ඇගිල්ලේ මුල යටාකාර ලකුණක් වැටීම ද ඉමහත් ධනයයි. (අංක 11)

යමෙකුගේ රවි පර්වතයත් (සූර්ය පර්වතය) ගුරු පර්වතයත් උස් නම් ඔහු මහත් ධනය ලබන වාසනාවන්තයෙකි. බ්‍රහස්පති (ගුරු) ස්ථානය තුළ ඉහළට ගිය රේඛාවක් පැවතීමද සියලු දෙයින් ම වත් පොහොසත් වන ලකුණකි. කතිරයක් පැවතීම විවාහයෙන් දියුණුවන බව කියයි. (අංක 12)

මැදගිල්ලේ මැද ද්වීය සටහන අන්සතු ධනයකට උරුමය ලබයි. (අංක 13) දබරගිල්ලේ අග පුරුකේ වක්‍ර සටහන වැටීම (අංක 14) ධනවන්ත බව ලබන කාලයකි. බොහෝ විට උත්පත්තියෙන් උරුම ධනයක් ලබයි.

ගුරු පර්වතයේ කතිර දෙකක් වැටීම ගෞරවනීය අධිපති භාවය ලබන පිහිටීමකි. මෙය පීතෲ රේඛාවේ මුලට වන්නට ඇත්නම් රාජ - රාජාදි කුමාරවරුන් අතරේ ගෞරවය ලබන පිහිටීමකි.

ඔබේ අල්ලේ සෙනසුරු දශාවේදී ධනය බලය ලැබෙන බව කියවෙන්නේ එම පර්වතය තුළ උඩට ගිය එක් ‍ෙර්ඛාවක් පමණක් වැටීමෙනි. (අංක 15)

මාපට ඇගිල්ලේ අගපුරුකට යටින් කුඩා රේඛා තුනක් හතරක් වැටී තිබේ ද? එය බිරිය හෝ සැමියා විවාහය නිසා ධනවත් වන ලකුණකි. (අංක 16)

මාපට ඇගිල්ලේ මැද පුරුකේ කවාකාර සටහනක් තිබීම (අංක 17) කෙනෙකු දියුණුවෙන් අග තැන්පත් වන කාලය පෙන්වන වාසනාව දැක‍්වෙන ලකුණකි.

දබරගිල්ල මුල පුරුකේ මුද්‍රා රේඛා වැටීම (අංක 18) ධනය බලය බලපරාක්‍රම කාලයක උදාවකි. මැදගිල්ලෙ සටහන වාසනාව ධනයට ‍හේතුවේ. මෙය ශනි මුද්‍රා ‍රේඛාවයි.

යම් කසි අල්ලක වාසනා රේඛා දෙකක් වැටීම අල්ල මැද (ශනි රේඛාව) මැදගිල්ලට දිවෙන රේඛාව මැණික් කටුවේ සිට අත්කරට යෑම දිළිඳු පවුලක උපන්නත් වත් පොහොසත්කම්වලින් අග තැන්පත් වන ලකුණකි. (අංක 19) ඉතා දිළිඳු පවුලක ඉපදී රජ මැදුරකට ජීවිතය ගෙන යෑමට වාසනාව හිමි වන බව වේදය කියයි.

කිසියම් කාන්තා අල්ලක මේ ලක්ෂණය වැටුණ විට ඇය සිය සැමියා රජ මැදුරකට කැඳවාගෙන යන්නට තරම් හේතු සම්පන්න බව ඉර්ෂින් පෙන්වා දී තිබේ.

Comments