
දන්සල් දරුවෝ
ඒ පොසොන් පෝ දා විය.
සුපුරුදු පරිදි උදෑසන ම හාන්සි පුටුවේ ඇල වී මොහොතක් සිට එහි පතු දෙක මත ලෑල්ලක් තබා ගෙන ලියන්නට වීමි.
ඒ මා ලියන ආකාරය යි.
ලියැවිල්ල අතර මග නැවතිණ. හිතට සිතුවිල්ලක් ආයේ ය. ඒ පොසොන් ගැන ය. පොසොන් අසිරිය විඳ ගැනීමට නම් මිහින්තලේ යා යුතු ම බව මට සිතිණ. අනුරාධපුරයේ වැවකින් නාගෙන මිහින්තලය වැඳ ගෙන ආපසු රුවන්වැලියට විත් වැඳ පසෙක හිඳ සිත නිවා ගැනීමට ඇත්නම් අපූරු ය. එහෙත් මේ වයසක මට, ඒ තබා හරියකට ඇවිද ගැනීමට බැරි ආබාධිතයකුව සිටින මට එබඳු වන්දනා ගමන් යා නොහැකි ය.
‘සර් අද පොසොන් පෝය නේද?’ වසන්තා ඇසුවා ය. මට උවැටන් කරගෙන මා බලා ගන්නේ ඇය ය.
‘ඔව්’ මම කීමි.
‘පන්සල් ගියෙත් නෑ. දන්සල් යන්නෙත් නෑ. එහෙනං ගෙදරට වෙලාම ඉම්මු!’
‘හොඳයි එහෙනං අපි හවස් වෙලා දන්සලකට යං’
හැන්දෑවේ ගමනට සූදානම් වූ මම අත්වාරුව ගෙන ත්‍රිරෝද රිය කරා ගියෙමි. එය පදවන්නේ මා ය. රියෙහි හිඳ ගත් විට එය පැද යෑම කෙරෙන්නේ පුරුද්දට මෙනි.
වසන්තා ද පැමිණ හිඳ ගත්තා ය.
අපි නගරයට ගියෙමු.
නගරයේ දන්සල් ළඟ දිගු පෝලිම් තිබිණ.
‘ඕවයෙ පෝලිංවල මං කොහොමද හිටගෙන ඉන්නෙ වසන්තො?’ මම ඇසීමි.
‘තව යංකො සර් ඉස්සරහට’ ඇය උනන්දු කළා ය.
අපි නගරය පසු කොට ඉදිරියට ගියෙමු.
අයිස්ක්‍රීම් දන්සලක් හමු විය. මම ත්‍රිරෝද රිය පසෙකට කර නැවැත්වීමි.
වසන්තා බැස ගියා ය. මොහොතකින් ඇය ආපසු ආවේ සිනා මුහුණිනි. ඇගේ අත් දෙකේ අයිස් කෝන් දෙකක් විය.
මට සීනි ලෙඩේ තිබේ. එහෙත් අයිස් කෝන් දුටු හැටියේ ඇති වූයේ ලොකු පෙරේතකමකි.
‘ආ සර් ඔන්නොහෙ එකක් කාල දාමු’ ඇය මට එකක් පෑවා ය.
මම මහත් ආසාවෙන් එය රස වින්දෙමි.
ඉන් පසු අපි සැහැල්ලුවෙන් තවත් ඉදිරියට ගියෙමු.
තවත් දිගු පෝලිමක් විය.
‘සර් බත් දන්සලක්!’
මම පෝලිම පසු කර අහර පිළියෙල කරන තැන ළඟට ම ත්‍රිරෝද රිය ධාවනය කර වූයෙමි. අනතුරුව එය නවත්වා අත්වාරුව ද ගෙන ඉන් බිමට බැස ගතිමි.
අත්වාරුවට බර දී දන්සල දෙස බලාගෙන සිටින මා දෙස දරුවෙක් බලාගෙන සිටියේ ය. මම ඔහුට ළඟට කතා කළෙමි. ඔහු ආවේ ය.
‘පුතා, මට පෝලිමේ ඉන්ඩ බෑ. බත් ටිකක් ගන්නෙ කොහොමද?’
තවත් පුතෙක් එහි ආවේ ය. දෙදෙනා මගේ ප්රශ්නය තමන් ගේ ප්‍රශ්නයක් බවට පත් කර ගත්හ.
‘සීය එන්ඩ එපා! ඔහොම ඉන්ඩ! මං පාර්සලයක් හදාගෙන එන්නං’ දරුවෙක් කීවේ ය.
‘අනේ පුතේ, ඔයාලට බණීනේ’ මම බිය පළ කළෙමි.
‘නෑ. නෑ. දන්සැල අපේ!’ ඔවුහු ‘සීය ඔහොම ඉන්ඩ! අපි අරං එන්නං’ කියා පෝලිම ද පසු කර දන්සැල ඇතුළට ගිය හ.
මොහොතකින් දෙදෙනා බත් පාර්සලයක් ද රැගෙන මා ළඟට ආවේ රටක් රාජ්‍යයක් ලබා ගත් සතුටිනි.
‘මේං සීයෙ’ ඔවුහු ඒ මට දුන්හ.
මම සතුටින් එය අතට ගතිමි. ඒත් පොඩි උන් ලවා වැඩ ගැනීමේ දුකින් හිත තැවුණේ ය. ලැබුණේ එක බත් පාර්සලයක්. එය අප දෙදෙනාට නොසෑහේ. එහෙයින් තවෙකක් ලබා ගත යුතු ය. ඒ ගැන මේ දරුවන්ට ආයෙත් කරදර නොකළ යුතු යැයි සිතූ මම තවත් පාර්සලයක් ඉල්ලා ගෙන එමියි ඉටාගෙන අත්වාරුවට බර දී දන්සල පැත්තට යන්නට හැරුණෙමි.
‘එපා සර්! අපි දෙන්නට ම මේ බත් පාර්සලේ ඇති’ වසන්තා කීවා ය.
පොඩ්ඩන්ගේ මොළේ ක්ෂණිකව වැඩ කළේය. ඔවුහු අපේ තත්වය තේරුම් ගත් හ.
‘නෑ සීයෙ ඔයා ඉන්ඩ. අපි තව එකක් ගේන්නං!’ කියූ ඔවුහු යළිත් දන්සල පැත්තට දිවූ හ. ඒ ටිකකින් දෙවන පාර්සලය ද අතැතිව ආහ.
‘ආ සීයෙ’ ඔවුහු සිනාසීගෙන එය මට දුන් හ. මම ඔවුන් ගේ හිස පිරිමැද්දෙමි. ඔවුහු අහිංසක ලෙස සිනාසුණ හ. මම මොහොතක් ඒ පින්බර මුහුණ දෙස බලා සිටියෙමි. දැන් මට දුක සතුට වැඩි වෙලා දරා ගත නොහැකි ය. එහෙයින් සට සට ගා කඳුළු වැටෙන්නට වූයේ ය.
‘අපි යන්නං පුතේ’ මම ඔවුන් ගෙන් සමුගතිමි. ඒ වන විට ත්‍රිරෝද රිය ඉදිරියේත් පසුපසත් සෙනග සිටිය හ. රිය පණ ගන්වා ගත්ත ද යා නොහැකි බව තේරුම් ගත් ඒ පුංචි දරුවෝ සෙනඟ එහා මෙහා කරමින් අපට යන්නට පාර හදා දුන් හ.
‘බොහොම ස්තුතියි. පිං සිද්ධවෙනව පුතේ’ මම ඔවුන්ගෙන් සමුගෙන රිය මහපාරට ගතිමි.
ගෙදර ගිය හැටියේ අපි බත් පාර්සල් ලිහා කෑමට සූදානම් වීමු.
බල මාළු, කොස් මැල්ලුම්, අල බැදුම්, පපඩම් සමඟ මුසු වූ ඒ බත අපේ රස නහර පිනවී ය.
වැලිපැන්න ගහමුල දන්සලේ අප නම නොදන්නා ඒ පුංචි දරු දෙදෙනා සමරමින් අපි එදා රෑ වේලේ සතුට බෙදා ගතිමු.
මාරවිල, වීරහේනේ විශ්‍රාම ලත් විදුහල්පති ඩබ්ලිව්.එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
පිරිත් පොත
මගේ හිතවතෙක් මට පිරිත් පොතක් තිළිණ කළේ ය. එය ඔහු ගේ මුද්‍රණාලයේ ඔප කඩදාසියේ මුද්‍රිත වටිනා එකකි. පිරිත් දේශනාවන්හි අර්ථය සිංහලෙන් පැහැදිලි කොට තිබීම ද විශේෂ ය.
ඒ වන විටත් එබඳු ම පිරිත් පොතක් මා සන්තකයේ ද විය. එහෙයින් අලුත් පිරිත් පොත සුදුසු කෙනෙකුට දිය යුතු යැයි මම සිතුවෙමි.
සුදුස්සා එක්වර ම තෝරා ගැනීම ලෙහෙසි නොවී ය. එහෙයින් සුදුස්සා හමුවන තුරු බලා සිටියෙමි.
හමු විය. ඒ මගේ සොහොයුරියකි. මම ඇයට පිරිත් පොත පරිත්‍යාග කළෙමි.
මේ සිද්ධිය කාලයෙන් වැසී ගියේ ය. මට ද එය අමතක විය.
දිනක් පින්කම් පොළක දී හදිසියේ ඇය මට මුණ ගැසිණි. මා දුටු හැටියේ ම යමක් පැවසීමට ඇතැයි කී ඇය මා පසෙකට කැඳවාගෙන ගියා ය.
‘.... අර පිරිත් පොත තෑගි කරන්ඩ සුදුසු ම කෙනෙක් මට හම්බ වුණා. එයාට පිරිත් පොතක අවශ්‍යතාව තදින් දැනිලයි තිබුණෙ. ඉතින් ඒ පිරිත් පොත ලබන්ඩ නිය ම සුදුස්ස මම නෙමෙයි එයයි. ඒ හින්ද මං ඒක එයාට දුන්න. මං ඒක එයාට දුන්නෙ සතුටින්....’ ඇය කීවා ය.
‘අනේ හොඳයි’ මම කීමි.
අපි සමුගතිමු.
පිරිත් පොත ඒ තැනැත්තාට පිරිනැමීමෙන් ඇය සතුටක් විඳින බව මට පසක් විය. එය මට ද සතුටකි.
පසුව මේ කතාව මට ඒ පිරිත් පොත පරිත්‍යාග කළ හිතවතාට ද කීමි. වඩාත් ම සුදුසු තැනැත්තාට අදාළ පරිත්‍යාගය ලැබීම ගැන ඔහු ද සතුටට පත් වූ බ ව පෙනිණ.
බටපොළ, උඩුවෙල, පේදුරුහේවා අනුර හර්මන් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුෙරනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.