
හොරගොල්ල වලව්වේ හිටපු මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගේ පුතණුවන්ට නම් තබන ලද්දේ සොලමන් වෙස්ට් රිජිවේ ඩයස් බණ්ඩාරනායක යනුවෙනි. 1899 ජනවාරි 8 වැනිදා උපත ලද බණ්ඩාරනායක අති දක්ෂ සිසුවෙක් විය. ඔක්ස්පර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය ලබා අධිනීතිඥවරයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි බණ්ඩාරනායක තරුණයා 1936 දී නිතරගයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.
ඒ අයුරින් දේශපාලනයට පිවිසි එතුමා 1956 මහ මැතිවරණයෙන් ජයගෙන ශ්‍රී ලංකාවේ පස්වැනි අගමැතිවරයා ලෙස පත්විය. ආසියාවේ රිදී සීනුව ලෙස ලොව පතළ වූ මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයාට අගමැති පදවියේ රැඳී සිටීමට හැකි වූයේ වසර තුනක පමණ කෙටි කාලයකි. ඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස 1959 සැප්තැම්බර් 25 වැනිදා රොස්මීඩ් පෙදෙසේ සාහසිකයෙකුගේ වෙඩි පහරකට ගොදුරු විය.
ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් වූ ලොව ප්‍රකට චතුර කථිකයෙකු වූ බණ්ඩාරනායක මහතා තියුණු බුද්ධියක් ඇතිව සිටි දේශපාලනඥයෙකු ලෙස පිළිගැනීමට ලක්ව සිටියේය. දේශපාලන ලෝකයේදී එතුමාගේ ජීවිත අත්දැකීම් අතර අතිශය රසවත් සිදුවීම් ද කොතෙකුත් තිබේ. මෙරට පාලනය කළ දේශපාලනඥයන් අතරින් ඉතා කෙටි කලක් තුළ ජනතා සුබ සිද්ධියට එතුමා මහත් මෙහෙවරක් සිදු කළේය. එහෙත් විරුද්ධවාදීන් ගේ දැඩි විවේචනවලට ලක්වීමට ද එතුමාට සිදුවිය. එවකට පැවති ඇතැම් පුවත්පත් මඟින් ද එතුමාට ප්‍රහාර එල්ල වන්නට විය.
එයට හොඳම උදාහරණයක් වූයේ බණ්ඩාරනායක මහතා අගමැති පදවියට පත්වී පැවති ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී සිදුවීමකි. 1956 පැවති මහා මැතිවරණයෙන් ජයගත් බණ්ඩාරනායක අගමැතිවරයා එම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූයේ රොස්මීඩ් පෙදෙසේ එතුමාගේ නිවසේදීය. එදා පුවත්පත් සාකච්ඡාවට දිනමිණ ඇතුළු පුවත්පත් කීපයක නියෝජිතයෝ පැමිණ සිටියහ.
කැවුම් කිරිබත් සහිතව සිංහල සංස්කෘතියට අදාළව සංග්‍රහයක් ද සූදානම්ව තිබිණි. පුවත්පත් සාකච්ඡාවට පැමිණි බණ්ඩාරනායක මහතා
“අපි කිරිබත් කාලා කතා කරමුද? කතා කරල කිරිබත් කමුද?” යයි පුවත්පත් වාර්තාකරුවන්ගෙන් විමසීය.
“කතා කරල පස්සෙ කිරිබත් කමු” යයි වාර්තාකරුවන්ගේ පිළිතුර විය.
“බඩට ඉස්සෙල්ල තමුසෙලට මොළයට ඕනැ නේද?” යයි සිනහමුසු මුහුණින් පැවසූ බණ්ඩාරනායක මහතා තම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීය. නව ආර්ථික ප්‍රතිපත්ති ඇතුළු නව රජයේ අපේක්ෂිත කරුණු විග්‍රහකරමින් කතා කළ බණ්ඩාරනායක මහතා ඉන් අනතුරුව පුවත්පත් වාර්තාකරුවන් සමඟ කිරිබත් මේසයට පැමිණියේය. පුවත්පත් නියෝජිතයන් සමඟ සිටි බණ්ඩාරනායක මහතා ඔහුගේ පිගානට කිරිබත් කෑලි දෙකක් බෙදාගෙන හැඳි ගෑරුප්පුවලින් එය අනුභව කරන්නට විය.
එහි සිටි දිනමිණ ඡායාරූප ශිල්පියා වහා පුටුවක් මතට නැග බණ්ඩාරනායක මහතා ආහාරගන්නා ඡායාරූපයක් ගත්තේය. එය දුටු බණ්ඩාරනායක මහතා ඡායාරූප ශිල්පියා ඇමතීය.
“මම හැන්දෙන් ගෑරුප්පුවෙන් කිරිබත් කනවා කියල පත්තරේ දාන්නද හදන්නෙ” යයි සිනහ මුහුණින් කීය.
බණ්ඩාරනායක මහතා සිතූ දෙය හරියටම හරිය. පසු දින දිනමිණ පත්‍රයේ බණ්ඩාරනායක මහතා හැඳි ගෑරුප්පුවලින් කිරිබත් කන ඡායාරූපය කොළම් තුනක ඡායාරූපයක් පළ කළේ ය.
සිංහල සංස්කෘතිය ගැන ලොකුවට කතා කරන බණ්ඩාරනායක කිරිබත් කන්නේ හැඳි ගෑරුප්පුවලින් යයි විරුද්ධවාදීහු එතුමා විවේචනය කරන්නට විය.
පුවත්පත්වලින් එල්ලවන ගැරහුම් සහ විවේචන සිනහ මුහුණින් පිළිගැනීම එතුමාගේ උසස් ගුණාංගය විය. පුවත්පතක පළවූ එතුමා සම්බන්ධ ප්‍රවෘත්තියක් පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට වරක් එතුමාට සිදුවිය. එම පුවත පළකර තිබුණේ 1958 නොවැම්බර් 09 වැනිදා ‘සිළුමිණ’ සහ ඔබ්සවර් පුවත්පත් මඟිනි.
ගුවන් විදුලිය සම්බන්ධ එම පුවත පළවන විට තැපැල්, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති ඇමැතිවරයා වූයේ සී.ඒ.එස්. මරික්කාර් මහතා ය. ගුවන් විදුලි සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වඩාත් හොඳින් පවත්වාගෙන යා යුතු අන්දම පිළිබඳව අගමැතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ඇමැතිවරයා සමඟ ප්‍රවෘත්ති නිලධාරි ඇම්.ජේ. පෙරේරා, නියෝජ්‍ය ප්‍රවෘත්ති නිලධාරි ඩබ්ලිව්.ඇල්. ප්‍රනාන්දු, ලංකා ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂ තිලක් ගුණරත්න, සහකාර අධ්‍යක්ෂ ඇස්.බී. සේනානායක, රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධාන ජෝර්ජ් වික්‍රමසිංහ යන මහත්වරු ද සහභාගිවී සිටියහ.
එම සාකච්ඡාව පිළිබඳව ඔබ්සවර් පුවත්පත පළකළ වාර්තාව වූයේ ගුවන් විදුලිය බණ්ඩාරනායක මහතා විසින් පවරා ගත් අයුරිනි.
එම පුවත පළවීමෙන් පසු එයට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා එම පුවත මුළුමනින්ම වැරදි බවට ප්‍රකාශයක් එවනු ලැබීය. 1958 නොවැම්බර් 10 වැනිදා සවස ඔබ්සවර් පත්‍රය RADIO - PM EXPLAIN යනුවෙන් පළ කළේය.
පුවත්පත් සමඟ සුහදව ක්‍රියා කළ බණ්ඩාරනායක මහතා ඔහුට පහර එල්ල කළ පුවත්පත් සමඟ පවා කිසි විටෙකත් ගැටුම් ඇති කර නොගත්තේ ය.
පුවත්පත් සම්බන්ධ බණ්ඩාරනායක මහතා පිළිබඳව තවත් රසවත් සිදුවීමත් එතුමා පළාත් පාලන ඇමැතිවරයාව සිටි අවධියේදී මතුගම ප්‍රදේශයේදී සිදුවිය. එවකට මතුගම ලේක්හවුස් වාර්තාකාර පදවිය දැරුවේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ පී.ඩී. ද අල්විස් මහතා ය. අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසුණු අල්විස් මහතා ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය වාර්තාකරුවෙකු විය.
වරක් මතුගම පැවැති විවෘත කිරීමේ උත්සවයකට පළාත් පාලන ඇමැතිවරයා වූ බණ්ඩාරනායක මහතා ප්‍රධාන ආරාධිතයා වී සිටියේ ය. උත්සවයට සහභාගි වූ බණ්ඩාරනායක මහතා ද යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටියේය. වාර්තාකාර මහතා ද සුදු යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි අතර බණ්ඩාරනායක මහතාගේ කතාව ලියා ගන්නට විය.
බණ්ඩාරනායක මහතා කතාව කරන අතර තුර වාර්තාකරු දෙස කීප විටක්ම බලනු අල්විස් මහතා දුටුවේය. බණ්ඩාරනායක මහතාගේ කතාව වේගවත් ලෙස ලියාගත් අල්විස් මහතා බණ්ඩාරනායක මහතාගේ කතාව අවසන් වීමත් සමඟ අසුනෙන් නැගිට මහා මාර්ගයට පිවිසියේය. බස්රියක් වෙත යෑමට ඔහු ගමන් ගනිමින් සිටියේය. කතාව නිම කළ බණ්ඩාරනායක මහතා ඔහු පැමිණි රථයෙන් පිටත්විය. වාර්තාකාර අල්විස් මහතා මහා මාර්ගයේ ඇවිද යමින් සිටියේය. වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහු අසල නතර කැරිණි.
වාර්තාකරු පසු පස බැලීය. බණ්ඩාරනායක මහතා ගමන් ගත් රථය එය විය. රථයේ පසු පස අසුනේ සිටි බණ්ඩාරනායක මහතා රථයේ දොර විවෘත කළේය. වාර්තාකරු දෙස බැලූ ඔහු “ගෙටින් ගෙටින්” යයි හඬ නගා කීය. වාර්තාකරු රථයට නැගුනි. දැන් බණ්ඩාරනායක මහතාත් වාර්තාකරුත් පසු පස අසුනේය.
රථය ඉදිරියට ඇදීයත්ම බණ්ඩාරනායක මහතා වාර්තාකරු දෙසට හැරුණි.
“වට් ආ යු ගොයින්ටු රයිට්” යයි ඔහු ඉංග්‍රිසියෙන් වාර්තාකරුගෙන් ඇසීය. බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකට මැදිවූ වාර්තාකරු ඔහුගේ සටහන් පොත විවෘත කර එහි ලියාගෙන තිබූ කරුණු කීපයක් බණ්ඩාරනායක මහතාට පැවසීය. එය අසා සිටි බණ්ඩාරනායක මහතා නැවතත් වාර්තාකරු ඇමතීය.“යස් බට් යු බෙටර් ටෙල් දිස් ඕල්සො” යනුවෙන් පැවසූ බණ්ඩාරනායක මහතා තවත් කරුණු රැසක් හෙළිකළේය. එම කරුණු ද වාර්තාකරු විසින් සටහන් කර ගනු ලැබීය. ඒ වන විට ඔවුන් ගමන් කළ රථය කළුතර නගරයට ළඟාවී තිබිණි. රථයෙන් බැසීමට සූදානම් වූ වාර්තාකරු තමා රථයෙන් බැසීමට අවශ්‍ය බැව් බණ්ඩාරනායක මහතාට කීය.
“නැහැ මාත් සමඟ කොළඹ යන්න පුළුවන්” යයි ඔහු වාර්තාකරුට කීවේය. එහෙත් වාර්තාකරුගේ ඉල්ලීම වූයේ කළුතරින් බැසීමට අවශ්‍ය බවය. ඒ වන විට රථය කළුතර නගරය ද පසු කර බෝධිය අසලට පැමිණ තිබිණි. තමා සමඟ යෑමට හැකි බැව් බණ්ඩාරනායක මහතා නැවතත් කීය. එහෙත් වාර්තාකරු එයට එකඟ නොවීය.
බණ්ඩාරනායක මහතාට එය නොරිස්සූ බවක් වාර්තාකරුට දක්නට ලැබිණි. රියදුරුට පවසා රථය නතර කළ බණ්ඩාරනායක මහතා ඔහුම රථයේ දොර විවෘත කර වාර්තාකරු බැස්සවීය. රථය ඇදී යත්ම අල්විස් මහතා වහා දුව ගියේ තැපැල් කාර්යාලයටය. ඔබ්සවර් පත්‍රයට දුරකථන ඇමතුමක් ගත් ඔහු බණ්ඩාරනායක මහතා කළ ප්‍රකාශය පත්‍රයට වාර්තා කළේය.
බණ්ඩාරනායක මහතා කොළඹට එනවිට ඔබ්සවර් පත්‍රයේ මුල පිටුවේ ප්‍රධාන පුවත බවට පත්වී තිබුණේ බණ්ඩාරනායක මහතා වාර්තාකරු සමඟ මෝටර් රථය තුළදී කළ ප්‍රකාශය විය. ප්‍රවෘත්තිය කියවූ බණ්ඩාරනායක මහතා ඔබ්සවර් පත්‍රයේ කතුවරයාට කතා කළේය.
ප්‍රවෘත්තිය ඉතා හොඳ බවත් එයට ස්තූතිය පළකළ අතර ඔහු වාර්තාකරු ගැන නොසතුටක් ඇති බැව් කීය. එනම් ඔහු සමඟ කාරයෙන් නොපැමිණ වෙනත් රථයකින් කොළඹ පැමිණීම ගැනත් ඔහු වාර්තාකරුට දොස් කීය. අවසානයේ සිදුවූ දේ පැහැදිලි කිරීමට කතුවරයාට සිදුවිය.
වාර්තාකරු කළුතර සිට දුරකථනයෙන් එම පුවත නොදුන්නේ නම් එය එදින පත්‍රයේ පළකිරීමට නොහැකිවන බවත් කතුවරයා බණ්ඩාරනායක මහතාට අනාවරණය කළේය. තමා එය නොසිතූ බව බණ්ඩාරනායක මහතා කතුවරයාට පැවසීය.
මින් අනතුරුව කළුතර හෝ මතුගම වැනි ප්‍රදේශයක කිසියම් උත්සවයකට බණ්ඩාරනායක මහතා පැමිණියහොත් අනිවාර්යයෙන් ම අල්විස් මහතා හමුවී පෞද්ගලිකව කතා කිරීමේ පුරුද්දක් තිබූ බැව් අල්විස් මහතා අප සමඟ හෙළි කළේය.