ඔබ දියවැඩියා රෝගියෙක් ද? | සිළුමිණ

ඔබ දියවැඩියා රෝගියෙක් ද?

සති 04 ඇතුළත

වැඩ කරන දවස් හිදී උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කාලයේ අක්ෂි රෝහලේ අංක 30 දරන කාමරයට

පැමිණීමෙන් දියවැඩියා රෝගීන්ට නොමිලේ ම ඇස් පරීක්ෂා කරවා ගත හැකි ය. මෙය ලංකාවේ දියවැඩියා රෝගීන්ට සුබ

ආරංචියක් වනු නොඅනුමානය.

අග්නිදිග ආසියානු කලාපය වෙළාගත් බෝ නොවන රෝග අතරින් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නේ දියවැඩියාව රෝගය ය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එසේම ය. දියවැඩියාව රෝගයට ගොදුරු වීමත් සමඟ එය මිනිස් සිරුරේ අනෙකුත් අවයව කෙරෙහි ද බලපානු ලැබේ. ඇස ඉන් ප්‍රධාන තැනක් ගනී. ඇස තුළ රුධිර වහනය වීම, ග්‍ලූකෝමා තත්ත්වය, අන්ධභාවය වැනි සංකූලතා ඇති වන්නේ දියවැඩියාව රෝගය නිසා ය. දියවැඩියා රෝගීන් නිරන්තරයෙන් අක්ෂි පරීක්ෂා කළ යුතු වන්නේ එබැවිනි.

දෙවැනි වර්ගයේ දියවැඩියාව වැලඳුණු රෝගීන් හඳුනා ගැනීමෙන් අනතුරුව අක්ෂි පරීක්ෂාව සඳහා උපදෙස් ලබා දුන්නත් එය නිසියාකාරව සිදු නොවීමෙන් ග්‍ලූකෝමා වැනි අක්ෂි ආබාධ සහිත පිරිස දිනෙන් දින ඉහළ අගයක් ගනී‍. එය රටකට හිතකර තත්ත්වයක් නොවේ. එහෙත් දියවැඩියාව හේතුවෙන් ඇති විය හැකි සංකූලතා පූර්ව අවස්ථාවේදී හඳුනාගැනීමට හැකි නම් ජාතික වශයෙන් එය ඉතා වැදගත් විය හැකිය.

මේ වන විට ඇස් ‍පරීක්ෂා කිරීම සඳහා අධි තාක්ෂණයෙන් යුතු උපකරණයක් කොළඹ ජාතික අක්ෂි රෝහලට ලැබී තිබේ. Ultra High Definition Wide Angle Non Mydriatic Retinal Camera යනුවෙන් හැඳින්වෙන මෙම කැමරා උපකරණය අක්ෂි ‍රෝහලේ අංක 30 දරන කාමරයේ තබා ඇත.

“සාමාන්‍යයෙන් අක්ෂි පරීක්ෂාව සිද්ධ වෙන්නේ ඇහේ බබා විශාල වීමට බෙහෙත් වර්ගයක් දමා ටික වේලාවක් ඉන්න හැරලා ඇහේ බබා හරහායි. මෙම සාම්ප්‍රදායික ක්‍රමයට මහා පරිමාණයෙන් පරීක්ෂා කරන්න ගියාම ගැටලු ඇති වෙනවා. ඇහැට බෙහෙත් දාලා රෝගියාව ටික වේලාවක් තබා ගැනීම නිසා එක් රෝගියකු වෙනුවෙන් වැඩිපුර කාලයක් ගත වෙනවා. ඒ නිසා රෝගීන්ගේ තදබදයක් ඇති වෙනවා. අනික මේ අධිතාක්ෂණික උපකරණය නිසා ඇහේ බබා විශාල කිරීමට වුවමනා වෙන්නේ නැහැ. ඇස අභ්‍යන්තරයේ විශාල ප්‍රදේශයක් ආවරණය කරගන්න පුළුවන්. ඇහැ තිබ්බ ගමන් ඩිජිටල් ෆොටෝ එකක් ගන්න පුළුවන්. මෙහිදී පරිගණකය ඔස්සේ එහි වර්ණ පිටපතක් රෝගියාට ලබා දෙනවා. මෙවැනි උසස් තාක්ෂණයෙන් යුක්ත කැමරා උපකරණයක් තවමත් ලංකාවේ පෞද්ගලික රෝහලකවත් නැහැ. අනෙක මෙම උපකරණයෙන් ඇස් පරීක්ෂා කරන්න ගත වෙන්නේ විනාඩියක් වගේ සුළු කාලයක්” යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක ය.

අනෙක මෙම කැමරා උපකරණය ක්‍රියා කරවීම සඳහා වෛද්‍යවරුන් අවශ්‍ය නැත. මෙහි කටයුතු සිදු කරනු ලබන්නේ හෙදියන් විසිනි. ඔවුන් විසින් ලබාදෙන වර්ණ පිටපත රැගෙන රෝගියා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වූ විට ‍රෝගියාට ඇසේ ඇති සංකූලතා ගැන දැනගත හැකි ය.

අතිනවීන තාක්ෂණයෙන් යුක්ත එම දෘෂ්ටි විතාන කැමරා උපකරණය කොළඹ ජාතික අක්ෂි රෝහලට ලැබුණේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කේ‍. ඩී. දයාවංශගේ මැදිහත් වීමෙනි. ප්‍රදර්ශක භාණ්ඩයක් ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙය මාසයකින් පමණ ආපසු රැගෙන යෑමට නියමිතය. මෙම කැමරා උපකරණයට කොළඹ ජාතික අක්ෂි රෝහලේ අංක 30 දරන කාමරයේ නවාතැන සති 04 කට සීමා වන්නේ එම නිසා ය.

එහෙත් මෙම සති 04 ඇතුළත වැඩ කරන දවස් හිදී උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කාලයේ අක්ෂි රෝහලේ අංක 30 දරන කාමරයට පැමිණීමෙන් දියවැඩියා රෝගීන්ට නොමිලේ ම ඇස් පරීක්ෂා කරවා ගත හැකි ය. මෙය ලංකාවේ දියවැඩියා රෝගීන්ට සුබ ආරංචියක් වනු නොඅනුමානය.

 

Comments