දුම්රිය වන අලි ගැටුමට නිට්ටාවටම බෙහෙත් දෙන සැලැස්ම මෙන්න | Page 4 | සිළුමිණ

දුම්රිය වන අලි ගැටුමට නිට්ටාවටම බෙහෙත් දෙන සැලැස්ම මෙන්න

පසුගිය අඟහරුවාදාට හිරු උදා වූයේ මෙරට පරිසර ලෝලීන්ටත්, වන සත්ව ලෝලීන්ටත්, දුම්රිය ලෝලීන්ටත්, සංවේදී පොදු මහජනතාවටත් අසුබ ප්‍රවෘත්තියක් ද සමඟ ය. එදින අලුයම හතරට පමණ කොළඹ සිට ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියකට ගැබ්බර කෙනරක් ඇතුළු අලි සිවුදෙනකු ගැටී එතැනම මිය යාම ද, පසුව එම දුම්රියද අනතුරට ලක්ව පීළි පැන පෙරළී යාම එ් පුවතයි.

එක ම ස්ථානයක අලි ගණනාවක් මිය යෑමත්, එක් කෙනරක් ගැබ්බර ව සිටිමත්, අනතුරෙන් පසුව මළ අලි උපතක් සිදුවීමත් ආදි කාරණා නිසා මේ සිද්ධිය රටේ ම අවධානයට ලක් විය. නමුත් සෑම දුම්රිය අලි ගැටීමකින් පසුව ම දුම්රිය බලධාරින් සහ වනජීවී බලධාරීන් සිදුකරන ඒකාකාරි ප්‍රකාශ හුදු අැපෙන් ගැලවීමේ ප්‍රකාශ වීම හේතු කොටගෙන මහජනයා තුළ ඒ පිළිබද විශ්වාසනීයත්වයක් ඇතිවූයේ නැත.

ඒ සමඟ ම මුහුණු පොතේ සැරිසැරූ පළ කිරීමක සටහන් වූයේ දුම්රිය අලි ගැටීම වැළැක්වීමේ අරමුණෙන් 2015 සිට ක්‍රියාත්මක වූ නියාමන ව්‍යාපෘතියක උපාංග සොරුන් විසින් ගලවාගෛන ගොස් ඇති නිසා එ් ව්‍යාපෘතිය අතරමඟ නැවැතී ඇති බව ය. තරුණ පරිසරවේදියකු ලියූ එ් සටහන මේ ලිපිය ලියන මොහොත වන විට ගතවූ කෙටි කාලයේදී 1600 වාරයක් එකිනෙකා වෙත Share කර තිබෙන අතර ප්‍රතිචාර සියයකට වඩා ප්‍රමාණයක් ලැබී තිබේ. එය ම මේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් වන මහජන අවධානය පිළිබඳ හොඳ සාක්ෂියකි.

මේ නිසාම මේ අලි-දුම්රිය ගැටුම් වළැක්වීමේ ව්‍යාපෘතියට අත්වූ ඉරණම සොයා ‘ඉරිදා සිළුමිණ” වෙනුවෙන් විමසුමක යෙදීමට තීරණය කළෙමු. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වනජීවි භාරයේ ප්‍රතිපාදන දායකත්වය සහිතව ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඉරෝෂ පෙරේරා මහතා සම්බන්ධ කරගැනීමට අපට හැකි විය.

“මේ ව්‍යාපෘතිය Idail - Elephant accident Prevention System හෙවත් IDEAP ව්‍යාපෘතිය විදියට තමයි නම් කෙරිලා තියෙන්නේ. මේකේ පළමු අදියර IDEAP -1 විදියට වනජීවී භාරයත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා ස්ථාපිත කරන්නේ 2017 මාර්තු මාසෙදි. ඒ සෙට්ටිකුලම සහ - මඩු පාර කියන දුම්රිය ස්ථාන අතර තියෙන අලිමංකඩක. අවුරුද්දක නියාමන ව්‍යාපෘතියක් විදියට ආරම්භ කරපු ඒක මාස 14ක් තිස්සේ සාර්ථකව ක්‍රියාත්මක වෙලා 2018 මැයි මාසෙදි අවසන් කළා.”

‘සාර්ථකව ආරම්භ වෙලා අවසන් වුණා කියන්නේ මේක එතැනින් ඉවරද?‘

‘දිගු කාලීන ව්‍යාපෘතියක් වුණහම ඒකට සැලැස්මක් ඕන. භාවිතය සහ නියාමනය පහසු වෙන්න ඕන; අතපසුවීම් සහ වැරදිම් අවම වෙන්න ඕන; ඒනිසා ඒකට යම් කාලයක් ඕන. තරමක් මන්දගාමි වගේ පෙනුණට දුම්රිය දෙපාර්තමේන්තුවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබා දෙනවා. එ්ත් වසරකින් දෙකකින් අවසන් නොවී ඉදිරි වසර විසිපහටත් එහා යන සැලැස්මක් නිර්මාණය කරන නිසා ඒකට අවශ්‍ය කාලය අරන් හරියට හදන්න වෙනවා.”

වසරකට මෙරටදී ඝාතනය වන අලිගණන 200ක් ඉක්මවයි. වනජීවී සංඛ්‍යාලේඛන සැලැකූ කළ වසර 2000 සිට වසර 2012 අතර කාලය ඇතුළත ස්වභාවික නොවන වන අලි මරණ 2269 ක්‌ සිදුව තිබේ. 2010 ජනවාරි සිට 2017 දෙසැම්බර් දක්වා දුම්රියේ හැපීමෙන් අලි 70ක් මියගොස් තිබේ. ඒ අනුව දළ වශයෙන් වසරකට අලි 10ක්වත් දුම්රියේ ගැටීම නිසා මරණයට පත්වේ.

2016 අගෝස්තු අනතුරේදී බීබීසීයට ප්‍රකාශයක් කරන එවකට වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඩබ්ලිව්.එස්.කේ පතිරත්න මහතා විසඳුම ලෙස යෝජනා කරන්නේ දුම්රිය එන්ජින් වලට අධෝරක්ත කැමරා සවිකිරිමයි. 2013 සැප්තැම්බර් 04 වන දින සිදුවූ දුම්රිය වන අලි ගැටුම මොහොතේ එවකට දුම්රිය සාමාන්‍යාධිකාරී බි.ඒ.පී. ආරියරත්න මහතා මාධ්‍යයට පවසන්නේ ද දුම්රිය එන්ජින් වලට අධෝරක්ත කැමරා සවිකිරිම අරමුණ බවයි. එවැනි එක් අධෝරක්ත කැමරාවක් පසුගිය බදාදා අනතුරට මුහුණ දුන් දුම්රිය එන්ජිමේද, පෙර අනතුරට ලක්වූ සමහර එන්ජින්වලද සවිකර තිබූ බැවින් අධෝරක්ත කැමරා අසාර්ථක විසඳුමක් ලෙස අවිවාදාත්මක ය. මාර්ගයේ සිටින වන අලි හඳුනාගැනිම වෙනුවෙන් දුම්රිය එන්ජිම තුළ වනජීවි නිලධාරීන් නිරීක්ෂකයන් ලෙස ගමන් කිරීම ද පොළොන්නරුව ආශ්‍රිතව සිදු කෙරුණද එය සිදුවූයේ අඩුපාඩු සහිතවය සමහර විටෙක අදාළ දුම්රිය පොළොන්නරුවට එනවිට වනජීවී නිලධාරීන් නැත.එබැවින් එම මාර්ග කොටස තුළ ද වසරකට වන අලි තිදෙනකුවත් දුම්රියේ ගැටී ඇති බව නිරීක්ෂණය කළ හැක.

‘යුද්දෙන් පස්සේ 2013 තමයි තලේමන්නාරම පාරේ දුම්රිය ධාවනය ඇරඹුණේ. 2015 තමයි ඉස්සෙල්ලම සෙට්ටිකුලම අලිමංකඩේදි වන අලි දුම්රියට හැපුණේ. මාස දහසයකදි අලි අට දෙනෙක් මැරෙනවා.

2016 අගෝස්තු මාසෙදි එකවර අලි හතර දෙනෙක් දුම්රිය‍ේ ගැටීම ආන්දෝලනාත්මක සිද්ධියක් වෙනවා. ඒ මොහොතේ තමයි මගේ ව්‍යාපෘතිය වනජීවි අමාත්‍යාංශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. එවකට හිටි වනජීවී ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා තමයි පුද්ගලිකව මැදිහත් වෙලා මේ ව්‍යාපෘතිය ඉක්මන් කරන්න යෝජනා කරන්නේ. මගේ සැළැස්ම ක්‍රියාත්මක වුණු මාස 14දි එක අලියෙක්වත් සෙට්ටිකුළමෙදි දුම්රියේ ගැටුණේ නෑ.”

මාස දහසයකදී අලි අට දෙනකු මිය ගිය අලිමංකඩක, මාස 14ක් තුළ වන අලි- දුම්රිය ගැටීම් එකක් වත් වාර්තා නොවන ව්‍යාපෘතියක් ඉදිරිපත් වන්නේ නම් එය වැදගත් ය. එහෙත් සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රටේ ආර්ථිකයට දරාගත හැකි එකක් දැයි යන්න විමසිය යුතුය.

‘මේ පූර්ණ ස්වයංක්‍රියාත්‍මක (Automatic) පද්ධතියේ එක් කිලෝමීටරයක් සඳහා වැය වෙන්නේ රුපියල් ලක්ෂ හත හමාරක්. එක් ඒකකයක අවම ආවරණ දුර කිලෝමිටර් 03ක්. උපරිම දුර කිලෝමීටර් 05ක්. අපි හඳුනාගෙන තියෙන අලිමංකඩ වල දුර කිලෝමීටර් 83ක්. අලිමංකඩවල් විතරක් ආවරණය කරන්න මෙවැනි ඒකක 30ක් තිබුණත් ඇති.”

එහෙත් වන අලි දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන්නේ අලි මංකඩ වලදී පමණක් නොවේ. ඒ නිසා මහවින් එපිට දුම්රිය මාර්ගයේ වන අලි දුම්රිය මාර්ගය හරහා ගමන් කළ හැකි සියලු ස්ථාන ආවරණය වන පරිදි මේ පද්ධතිය ස්ථාපිත කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මහවින් එපිට දුම්රිය මාර්ග පද්ධතියේ සමස්ත දුර කිලෝමීටර් 676කි. ඒ සම්පූර්ණ දුරෙන් වන අලි කිසිදු විටෙක දුම්රිය මාර්ගය හරහා ගමන් නොකරණ ප්‍රදේශ (ජනාවාස, පාලම්, වේලි ආදිය) ඉවත්කර අනෙක් ප්‍රදේශවල මේ පද්ධතිය ස්ථාපිත කිරිම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් කෝටි 60ක් පමණ වනු ඇතැයි අපේක්ෂිතය. එ් ඇස්තමේන්තුවට මේ සියලු පද්ධති ස්ථාපිත කිරීම්, යෙදවුම්, නියාමනය කිරිම, නඩත්තු කිරීම් ඇතුළත් ය.

‘මේක ස්ථාපිත කළාට පස්සේ ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය විදියට දහදෙනකු විතර හිටියහම ඇති. ඒ අයට තමන්ගේ පරිගණකය ඉස්සරහ ඉඳගෙන සමස්ත පද්ධතියෙම තත්වය විනාඩි ගණනකදි නිරීක්ෂණය කරන්න පුළුවන්. (........automatic පද්ධතියක් නිසා සේවක අවශ්‍යතාවය අවමයි'. ඊට අමතරව දුම්රිය මාර්ගයේ අධීක්ෂණ ඉංජිනේරුවරයාගේ අධීක්ෂණයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයට මේකේ බාහිර පිරිසිදු කිරීම් පවරන්න පුළුවන්. උපාංගයේ ඕනෑ ම කොටසක් අඩපණ වුණොත් ළඟ ම දුම්රිය ස්ථානාධිපතිවරයා හරහා ඒ කොටසට කොටසක් සවිකරන්න පුළුවන්. ජංගම දුරකථනයකට චාජරයක් සම්බන්ධ කරගන්න පුළුවන් කෙනකුට මේ උපාංග පද්ධතියේ කොටස් මාරු කරන්න පුළුවන්.”

එහෙත් පළමු අත්හදා බැලීමේ ව්‍යාපෘතියේ නියාමන කාලයෙන් පසු පැමිණි කිසියම් කඩාකප්පල්කරුවකු එ් පද්ධතියේ වැදගත් ම කොටස් ගලවාගෙන ගොස් තිබිණි. ඒ අනුව සෙට්ටිකුලම අලිමංකඩ මේ මොහොත වන විට යළි අනාරක්ෂිත වී තිබේ. ideal Elephant accident Prevention System දෙවැනි අදියරේ දී මෙවන් කඩාකප්පල්කාරී තත්ත්වයක් මතු නොවන්නට ගෙන ඇති පියවර ගැන ද අපි ඉරෝෂ් පෙරේරාගෙන් විමසුවෙමු.

‘උපාංග පද්ධතිය කඩාකප්පල්කාරින්ගෙන් බේරගන්න පුළුවන් හැම ආරක්ෂක පියවරක්ම ගන්නවා. අනවසරයෙන් ළඟාවෙන සතකුව, මිනිසකු ව මාරාන්තික නොවන විද්‍යුත් ධාරාවක් හරහා තාවකාලික අඩපණ කිරීමක් සිදුවන අතරම, ළඟම දුම්රියපොළට ඒ ගැන පණිවිඩයක් ලැබෙන ආරක්ෂිත ක්‍රමවේදයක් දෙවැනි අදියරේ උපාංග වල ක්‍රියාත්මකයි. එතකොට වහාම ඒ ස්ථානයට නිරීක්ෂකයන් යවන්න ස්ථානාධිපතිට පුළුවන්. ”

පළමු අදියරෙන් පසු දෙවැනි අදියරේ පරික්ෂණ කටයුතු සඳහා හතරැස් කොටුවල අනුරාධපුර මහව අතර ප්‍රදේශ, මන්නාරම, ගල්ඔය - වැලිකන්ද අතර පිහිටි අලිමංකඩ ආශ්‍රිතව අදාළ උපාංග පද්ධති සවිකරන මෙන් දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා විසින් ඉල්ලීම් කර තිබේ. ඒ වෙනුවෙන් 2018 අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර දීමට අවස්ථාවක් නොමැති බවට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද, හබරණ අනතුරෙන් පසුව විශේෂ අවස්ථාවක් සේ සළකා ප්‍රතිපාදන ලබාදිමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කොට තිබේ. ඒ අනුව IDEAP-2 ව්‍යාපෘතිය ට අදාළ ඉදිරි පද්ධති සවිකිරීම් නොබෝ දිනකින් සිදුවනු ඇත.

IDEAP-2 ව්‍යාපෘතිය ට යාවත්කාලීන කෙරෙන මේ පද්ධති මඟින් අදාළ ප්‍රදේශයට ළඟාවෙන සෑම දුම්රියක ම රියදුරු වරයාට අලි ගැවසෙන ස්ථාන පිළිබදව දැනුම් දිය හැකි සංඥා පද්ධතියක් සකස් කිරීමට ද ඉරෝෂ් පෙරේරා මහතා බලාපොරොත්තු වේ. පැයට කිලෝමිටර 90ක වේගයෙන් යන දුම්රියක් පවා අදාළ අලි සිටින ස්ථානයට පෙර නවත්වාගත හැකි අයුරෙන් එ් සංඥා පද්ධතිය සකසා ඇත.

රැහැන් රහිත වීම, සූර්ය පැනල වලින් බලශක්තිය ලබාගැනීම නිසා මෙය පරිසර හිතකාමී නිර්මාණයක් ලෙසද වැදගත්ය.

“ඕනෑම ව්‍යාපෘතියක් 100%ක් සාර්ථක වෙන්නේ නෑ. මගේ බලාපොරොත්තුව 80% ඉක්මවා සාර්ථක වෙන ව්‍යාපෘතියක්. දේශිය දැනුමෙන් රටට ගැළපෙන පරිදි කළ නිර්මාණයක් නිසා දකින අඩුපාඩුවක් වුණත් එවෙලෙම හදන්න පුළුවන්. එ්ක තමයි සාර්ථකත්වය ගැන තියෙන ලොකු ම විශ්වාසය.”

වෘත්තියෙන් ගුවන්යනා ඉංජිනේරුවරයෙක් වන ඉරෝෂ පෙරේරා තිස් හය හැවිරිදි තරුණයෙකි. 2014 වසරේ අග භාගයේ නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි ඔහු වන අලි දුම්රියෙන් රැකගන්නට මුලපිරුවේ කන්තලේට ආසන්නයේ දුටු දුම්රිය-වන අලි අනතුරක් නිසාය. ශෂික, රත්වත්තේ, අසංක මායාදුන්න යන පරිසරවේදීන් ගෙන් අලි හැසිරීම් රටා ගැන විමසිලිමත් ව අධ්‍යයනය කරන ඉරෝෂ මේ පද්ධති සැලැස්ම මාස කිහිපයකදී ව්‍යාපෘතියක් ලෙස වනජීවී අමාත්‍යාංශයට භාරදෙන්නේ 2015 දීය.

2016 වනතුරු සාකච්ඡා මට්ටමින් පැවැති එය ප්‍රායෝගික සැලැස්මක් බවට පොළව මත ඉන්දන්නට හේතුවන්නේ සෙට්ටිකුළම අලි ගැටුමයි. එලෙසම පසුගියදා සිදුවූ හබරණ දුම්රිය අනතුර නිසා දෙවැනි අදියරට පැවැති බාධා ඉවත් වී එය ද කඩිනම් කරන්නට අවස්ථාව ලැබෙනු ඇත. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පොරොන්දු වූ පරිදි ප්‍රතිපාදන ලැබේ නම් මේ ව්‍යාපෘතිය පමා කරන්නට තවදුරටත් හේතු හෝ නිදහසට කාරණා අවශ්‍ය වන්නේ නැත. ඊළඟ දුම්රිය- වන අලි ගැටුමට පෙර මේ පද්ධති මහපොලොවේ ස්ථාපිත වනතුරු මහජනයා අවධානයෙන් බලා සිටි.

‘මුදල් නැති නිසා වනජීවී දෙපාර්තමේන්තුවෙන් අතහැරලා දාපු වැඩේට කර ගැහුවේ වනජීවී භාරයේ හිටපු අධ්‍යක්ෂ සී.සී. හිදැල්ලආරච්චි මහත්මයා. එතුමා වනජීවි භාරය හැටියට දෙන්න පුළුවන් උපරිම උදව්ව ලබාදුන්නා. සාර්ථකත්වය දැක්කට පස්සේ දැන් මේ ව්‍යාපෘතියට රජයේ මුදල් හෝ, ලෝක බැංකු මුදල් වුවත් ගන්න පුළුවන්; අවශ්‍ය වෙන්නේ ඉක්මන් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් විතරයි. මගේ සහෝදරයා වන ඩිලාන් චතුරංග පෙරේරා පද්ධතියේ ඉලෙක්ට්‍රොනික සැලසුම් සකසද්දි, සම්පූර්ණ ඉංජිනේරු සංකල්පය මඟේ; දැන් මේකට පේටන්ට් ඉල්ලලා තියෙන්නේ; ඒක ළඟදි ම ලැබේවි.”

2014දී නිවාඩුවට සියරට පැමිණි ඉරෝෂ පෙරේරාට යළි ගුවන් නියමුවකු ලෙස සේවයට යාමට නොහැකි වුණේ වන අලි- දුම්රියට ගැටීමේ තත්වයන් වැළකීමට ඔහු දැක්වූ උනන්දුව නිසාම ය. දැන් ඔහු ව්‍යාපාරිකයකු ලෙස ද සිය ස්ථාවරත්වය ගොඩනඟා ගනිමින් සිටී. එනිසා මේ IdeAp ව්‍යාපාතියෙන් ආර්ථික වාසි ලැබීමේ වුවමනාවක් ඔහුට නැත.

‘මට ඉන්දියාවෙන් කිව්වා මේක එයාලට විකුණන්න කියලා; නමුත් මම ඒකට කැමැති නෑ.. මම මගේ රටට මේ දේ ලබා දෙනවා; හැබැයි එතැනින් පස්සේ මේක තවත් කෙනකුට දියුණු කරන්න පුළුවන් විදියට වාණිජමය නොවන පේටන්ට් අයිතියක් පමණක් මම තියාගන්නවා..ඊට පස්සේ ලෝකේ ඕනෑම කෙනකුට සේවාවක අරමුණෙන් මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්.. අලින්ගේ ජීවිතත් එක්ක බිස්නස් කරන බලාපොරොත්තුවක් මගේ නෑ..”

ඉරෝෂ මේ මොහොතේ සිය සමස්ත හැකියාව යොදවන්නේ IdeAp-2 ව්‍යාපෘතිය ටය. ඒ ව්‍යාපෘතියට නිබඳ සහයෝගය දෙන ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ට ද, තවමත් මේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබලන, පරිසර හිතකාමියකු ද වන හිටපු වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට ද, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාට ද අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිළධාරින්ට ද, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතාට ද, වනජීවී අමාත්‍යාංශයේ හිටපු උපදේශක මහාචාර්ය සරත් කොටගම මහතාට ද, හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පී.පී.ඩී.ජේ පෑබොටුව මහතාට ද, නෙක අයුරෙන් සහය දෙන සැමට ද ස්තූතිවන්ත විය යුතු බව ඉරෝෂ පෙරේරා පවසයි.

වන අලින්ගේ හෙට දවස යහපත් වෙන උතුම් ව්‍යාපෘතියක තොරතුරු සාකච්ඡා කරමින් ඉරෝෂ ප්‍රනාන්දු මහතා සමඟ ගත කළ දෙපැයක කාලවේලාවක් අවසානයේ, යළි මා පිට වූයේ වන අලි- දුම්රියට නොගැටෙන අනාගතයක සිහිනය දකිමිනි. ඒ සිහිනය සිහිනයක් නොවන තුරු අවධානයෙන් පසුවිමට ද ඉටා ගනිමිනි.

Comments