‘සිළුමිණ’ හෙළිදරව්ව නොතැකීමෙන් සිදු වූ සමුද්‍ර විනාශයට වගකියන්නේ කවුරුද? | සිළුමිණ

‘සිළුමිණ’ හෙළිදරව්ව නොතැකීමෙන් සිදු වූ සමුද්‍ර විනාශයට වගකියන්නේ කවුරුද?

පසුගිය ජූනි මස 10 වැනිදා සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් අප වාර්තා කෙළේ ‘තෙල් නළ අක්‍රිය වීමෙන් තෙල් සංස්ථාවට කෝටි ගණනාවක අලාභයක්’ වී ඇති බවකි. එසේම එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් අප සඳහන් කළේ කුමන මොහොතක හෝ නළ පද්ධති‍යේ බිඳවැටීමක් සිදු වන බවත්, එය මහා ව්‍යසනයක් විය හැකි බවත්ය. අපගේ ඒ ප්‍රවෘත්තියට එදා අවධානය යොමු වී නැති බව අපට පෙනී ගියේ පසුගියදා මුතුරාජවෙලට සමීපව මුහුදේදී සිදු වූ තෙල් කාන්දුවක් සමඟය.

ඔරුගොඩවත්තේ ඛනිජ තෙල් නිමාවට අතිරේකව මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයක් තෙල් ගබඩා කර තැබීම සඳහා අරඹා තිබුණත්, ඒ සඳහාද ස්ථාපිත කර තිබූ මුහුද මැද සිට නෞකාවන්ගේ තෙල් ගෙන යන නළ පද්ධතිය දුර්වල මට්ටමක තිබුණු අතර, පසුගිය 8 වැනිදා එහි බෝයාවේ නළයක සිදු වූ ඉන්ධන කාන්දුවක් නිසා සමස්ත මුතුරාජවෙල කලාපයේම මුහුද සම්පූර්ණයෙන්ම කළුපැහැ ගැන්වී තිබිණි.

ගොඩබිමේ සිට නාවික සැතපුම් 6ක් පමණ දුරින් පිහිටි එම බෝයාවෙන් මුහුදේ සිට මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කරන නළයක මේ කාන්දුව හටගෙන තිබිණි. එම නෞකාවෙන් දැවි තෙල් පොම්ප කරමින් තිබියදී ඉන්ධන කාන්දුව සිදු වී ඇති අතර, ඒ බව දැනගෙන ඉන්ධන පොම්ප කිරීම නතර කරනු ලබන විටත් ඉන්ධන මෙට්‍රික් ටොන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් මුහුදු ජලය හා මිශ්‍ර වී ඇති බව මේ වන විට අනාවරණය කර‍ගෙන ඇත.‍

සිද්ධිය වාර්තා වීමත් සමඟම තෙල් සංස්ථා බලධාරීන් ඉන්ධන කාන්දු වූ බෝයාව අසලට ගොස් නිරීක්‍ෂණය කොට එය කඩිනමින් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර, ඒ සඳහා විශේෂඥ කණ්ඩායම් දෙකක්ද යොදවන ලදි.

නාවික කිමිදුම්කරුවන් යොදවා ඉන්ධන කාන්දු වූ නළය නිරීක්‍ෂණය කොට, ඊට අලුත් නළයක් දැමීම සඳහා උපදෙස් දී තිබුණද ඒ වන විට පෙරහර ගොස් අවසානය. මුතුරාජවෙල සිට දික්ඕවිට වරාය දක්වාද දකුණු මුහුදු තීරයේ ලුණාව දක්වාද ඒ වන විටත් මුහුද මෙන්ම මුහුදු වෙරළද සම්පූර්ණයෙන්ම කළුපැහැ ගැන්වී තිබිණි.

ඉන්ධන කාන්දුව පිළිබඳ වාර්තා වූ සැණින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නාවික හමුදාවට දැන්වීමෙන් පසුව, නාවික හමුදා මූලස්ථානයේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ පිරිසක් ඒ සඳහා යොදවන ලදහ. එසේම ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවද මේ දැවි තෙල් ඉවත් කිරීමේ කටයුතු සඳහා එක් වූයේය.

යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් පරිදි යුද හමුදා නිලධාරීහු තිදෙනෙක් සහ සෙබළුන් 58 දෙනෙක්ද මේ සඳහා යොදවන ලදහ. 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, 8 වන ශ්‍රී ලංකා පාබළ හමුදාව සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය නියෝජනය කරමින් එම පිරිස පැමිණියහ.

ජපන් රජය විසින් සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කළ නෞකාවන් වන ‘සමාරක්‍ෂා’ සහ ‘සමුද්‍රරක්‍ෂා’ නෞකාවන් මේ කාර්යය සඳහා යෙදවීමට කටයුතු කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් දික්ඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කළ අතර, මේ කාර්යය සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීමටද කටයුතු කර ඇත. මෙම මෙහෙයුම සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක නිලධාරීන් 300කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර, මහත් පරිශ්‍රමයක් දරමින් කඩිනමින් තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලදී.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ නාවික හමුදාව ‘තෙල් විසිරුම් මැඬලීමේ අභ්‍යාසයන්’ නිරන්තරයෙන් සිදු කරන බවයි. එමඟින් තෙල් කාන්දුවීමකදී ඇති විය හැකි පරිසර හානිය අවම කරගැනීමට හැකි වන බවද ඒ මහතා කීය.

තෙල් කාන්දුව හේතුවෙන් වත්තල, උස්වැටකෙයියාව, තල්දියවත්ත පමණක් නොව කොළඹට දකුණින් පිහිටි මුහුදු තීරයේද දැඩි පරිසර දූෂණයක් සිදු වූ බවත්; නාවික හමුදාව විසින් ඒ දූෂණය උපරිම වශයෙන් මැඬ ලන්නට පියවර ගත් බවත් බණ්ඩාර මහතා කීය.

‘ප්‍රථමයෙන්ම සිදු කෙළේ ගුවන් හමුදා සහායෙන් වෙරළ හා මුහුදේ සිදුව තිබූ තෙල් වපසරිය ගැන අධ්‍යයනයක් සිදු කිරීමයි. ඒ සඳහා අපට ගුවන් හමුදාවට අයත් Y 12 ගුවන් යානය විශාල උපකාරයක් වුණා. එමෙන්ම නාවික හමුදා ඩ්‍රෝන කැමරා ඇතුළු අනෙකුත් උපාංග මෙන්ම වෙරළාක්ෂික නෞකාද යොදාගත්තා. එයින් අපට තෙල් විසිරී ඇති ප්‍රමාණය පිළිබඳව දැන ගැන්මට හැකි වුණා.’

උස්වැටකෙයියාව වෙරළ තීරය ආශ්‍රිතව පැවැති මේ ඉන්ධන ස්තරය ඉවත් කිරීමේදී නාවික හමුදාව පළමුව සිදු කෙළේ මුහුදු ජලය මතුපිට විසිරී තිබූ තෙල් තට්ටුව බවුසර වෙත පොම්ප කිරීමට කටයුතු කිරීමයි. එම තෙල් මිශ්‍ර වැලි සහ මුහුදු ජලය පරිසරයට හානි නොවන ලෙස ඉවත් කිරීම සඳහා මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත යැවීමටද නාවික හමුදාව විසින් කටයුතු කරන ලදි. එමෙන්ම මුහුද ආශ්‍රිතව පිරිසුදු කිරීමෙන් පසු ඉතිරිව ‍තිබූ තෙල් ඉවත් කිරීම සඳහා තෙල් උරාගන්නා විශේෂිත රෙදි හා රෙදි කඹ භාවිත කරනු ලැබිණි.

එමෙන්ම, වෙරළ සංරක්‍ෂණ ක්‍රියාවලිය සඳහා යොදා ඇති ගල්වැටිවල රැඳි තිබු තෙල් ඉවත් කිරීමටද මෙහිදී කටයුතු කළ අතර, ඒ සඳහා අධිපීඩන ජලය යොදාගනු ලැබිණි. ඒ අනුව, ආරක්‍ෂිත ක්‍රම උපයෝගි කරගනිමින් මුහුදු ජලය මතුපිට සහ වෙරළ ආශ්‍රිතව තිබූ තෙල් සම්පුර්ණයෙන් ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව ඇතුළු අනෙකුත් ඒකකයන් විසින් කටයුතු කරන ලදි. මේ කාර්යය සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥයන්ගේ සහායද ලබාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුරුව වෙරළ ආශ්‍රිතව තිබූ තෙල් මිශ්‍ර වැලි ඉවත් කර, ඒවා පොලීතින් උරවල බහාලීමටද කටයුතු කරන ලදි. ඒ සඳහා යුද හමුදා සහායද ලැබිණි. එමඟින් මුතුරාජවෙල පරිසර පද්ධතියට වන්නට තිබූ විශාල වශයෙන් වළක්වාගන්නට හැකි විය.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය එක්ව සමුද්‍රීය සම්පත් මෙන්ම වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතීන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරනු ලදි.

විදුලිබලාගාර සඳහා අවශ්‍ය වන දැවිතෙල් ගොඩබාමින් සිටියදී මෙය සිදුවුවද දැවිතෙල් හිඟයක් ඇති නොවන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පෙන්වා දෙයි.

ඒ ඉන්ධන පිළිබඳ කතාවයි. දැවිතෙල් හිඟයක් සිදු නොවූවද මුතුරාජවෙල හා අවට පද්ධතියට සිදු වූ පරිසර හානියට වග කියන්නේ කවුරුන්දැයි අපට මතුවන ප්‍රශ්නයයි.

මුතුරාජවෙල පමණක් නොව, අවට කලාපයම සංචාරකයන්ට මේ වන විට ‘විසාලාවක්’ බවට පත්ව ඇත. බැලූ බැලු හැම අතින්ම පෙනෙන්නේ කළු මුහුදයි. රැල්ල නැඟෙන්නේද කළු පැහැයෙනි.

එමෙන්ම ධීවර ජනතාවට විශේෂයෙන්ම කළපු ධීවරයන්ට විශාල ගැටලුවලට මුහුණ පාන්නට සිදු වනු ඇත. මේ සම්බන්ධව ඉදිරියේදී ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධව අපි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් විමසීමු.

‘සිදුව ඇති හානිය සුළු-පටු නැහැ. මේ වන විට නාවික හමුදාව හා එක්ව තෙල් ස්තරය ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මුහුදට මිශ්‍ර වී ඇත්තේ සුළු-පටු තෙල් ප්‍රමාණයක් නෙමෙයි. විශේෂයෙන්ම වැල්ල හා මිශ්‍ර වීම නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වෙලා තියෙන්නේ. මේ තෙල් මිශ්‍ර වීම නිසා ජල ප්ලවාංග ඇතුළු පරිසර පද්ධතිවලට හානි වෙලා තිබෙනවා. තෙල් සංස්ථාවේ දුර්වලතා නිසයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නෙ.

මීට පෙරත් මෙවන් තත්ත්වයක් ඇති වෙලා අපි නඩු පවරලා තිබෙනවා. මේ තෙල් කාන්දුවට විරුද්ධවත් මිලියන 114ක අලාභ ඉල්ලා නඩු පවරන්න අප කටයුතු කරනවා. මේ මුහුදු තීරය ප්‍රකෘති තත්ත්වයට පත් වන්නට තවත් වසර 10ක් පමණ ගත වන්නට පුළුවන්.’

ඒ සාමාන්‍යාධිකාරියරයාගේ මතයයි. ඒ හානියට වග කියන්නේ කවුද? යන්නද අපට ගැටලුවකි.

නැවට අතිරේක නැව් ගාස්තුවක් නවතාගෙන සිටීම වෙනුවෙන් ගෙවිය යුතුය.

ඒ පාඩුවද ජනතාවටය.

සංස්ථාවේ තෙල් නළ ඉතා දුර්වල බව අප අනාවරණය කළත් ඒ දෙස ඇස් ඇර බලන්නට කටයුතු නොකිරීම නිසා මේ ඇබැද්දිය වූ බව අපි පැහැදිලිවම කියමු.

ඊට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව පියවර නොගන්නේ නම් ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අමාරුව’ යන්න පමණක් අපට ඉතිරිව ඇත.

සේයාරූ - නාවික හමුදාවේ හා යුද හමුදාවේ මාධ්‍ය ඒකකවලිනි

Comments