
මල් මිදුල
කොහේ ගියත් මල් පැළයක් රැගෙන ඒමේ අපූරු සිරිතක් කළු නගා සතු විය. මල් පැළය සිටුවා ඊට සාත්තු කිරීමේ වුවමනාව ද ඈ සතු විය. ඇය තමා සිට වූ මල් පැළවලට ජලය ද පොහොර ද යොදමින් සාත්තු කළා ය. ඇතැම් මල් ගස් වැඩෙන විට කප්පාදු කරමින් අපූරු හැඩතල ද මැව්වා ය.
අපේ අම්මා ගේ බාල නැගණියට අප කීවේ කුඩම්මා කියා ය. ඇය ජීවත් වූයේ අප මෙන් නගරයට කිට්ටුව නොව දුෂ්කර පෙදෙසක ය.
තම දියණිය නගරයේ පාසලට යැවීමට කුඩම්මාට වුවමනා විය. එහෙයින් ඇය දියණිය අපේ නිවෙසෙහි නතර කළා ය. ඉන් පසු ඇය අපේ නිවෙසෙහි සිට නගරයේ පාසලට ගියා ය.
මේ දියණියට අපේ අම්මා හුරතලයට කීවේ කළුනෝනා කියා ය. දියණිය ඒ ආමන්ත්රණයට රුචි නොවූවත් තම ලොකු අම්මා ගේ හෙවත් අපේ අම්මා ගේ වචනවලට ඉහළින් යෑම නුසුදුසු නිසා ඉවසා සිටියා ය.
අපේ අම්මා ගේ කළුනෝනා අපට කළු නංගි වූවා ය. ගෙදර දී ඇයට කළු නංගි කීව ද ගෙයින් පිටතදී නම් ඇගේ සැබෑ නමින් පමණක් ආමන්ත්‍රණය කිරිමට අපි පරිස්සම් වීමු.
කොහේ ගියත් මල් පැළයක් රැගෙන ඒමේ අපූරු සිරිතක් කළු නගා සතු විය. මල් පැළය සිටුවා ඊට සාත්තු කිරීමේ වුවමනාව ද ඈ සතු විය. ඇය තමා සිට වූ මල් පැළවලට ජලය ද පොහොර ද යොදමින් සාත්තු කළා ය. ඇතැම් මල් ගස් වැඩෙන විට කප්පාදු කරමින් අපූරු හැඩතල ද මැව්වා ය. ඇය කෙතරම් උනන්දුවෙන් ඒ මල් වගාවට සාත්තු කළා ද යත් ඇය අප නිවෙසෙහි නැවතීමට පැමිණි මුල් අවුරුද්ද අවසන් වන විට අපේ ගේ මල් වත්තකින් වට විය.
ඒ සා ලස්සන මල් වත්තක් අපේ පැත්තේ කිසිදු නිවෙසකට නොතිබිණ. ඒ ගැන අපට දැනුණේ ආඩම්බරයකි.
ඉතින් අප කළු නඟා ගේ මල් වත්තේ සෞන්දර්යයෙන් මත් වීමු.
ෙම් මල් වත්ත හත් අවුරුද්දක් ම පැවැත්තේ ය. හත් අවුරුද්ද අවසානයේ පැවති ආණ්ඩුවේ විභාගයට මුහුණ දීමෙන් පසු කළු නගා අප හැමගෙන් සමුගෙන අපේ නෙතු කඳුළින් තෙමා අපෙන් සමුගෙන සිය නිවෙසෙහි පදිංචියට ගියා ය.
කාලය ගෙවී ගියේ ය.
අපේ ගෙදරට ආ නව සාමාජිකාවෝ ද මල්වලට ආසා කළ අය වූහ. ඒ මගේ මල්ලිලා ගේ ප්‍රියම්බිකාවෝ ය. මල් වගාවට ආසා කළත් ඔවුනට නගරයේ රැකියා සඳහා යෑමට සිදු වූ බැවින් මල්වලට සාත්තු සප්පායම් කිරීමේ ඉඩක් ඔවුනට නොවී ය.
සිය නිවෙසට ගිය කළු නගා ද කලකට පසු දීගෙක ගියා ය.
කාලය තව තවත් ගෙවී ගියේ ය.
එදා අපේ නිවෙසින් පිටව ගොස් යළි දිනක් අපේ ගෙදර ආ කළු නඟා ගෙදරට පය ගැසූ හැටියේ ම ඇය කළේ පිටතට විත් විට පිට බැලීම ය.
ඇයට දැකගත හැකි වූයේ කේඬෑරි වී ගිය මල් ගස් ටිකකි.
ඇය දිගු සුසුමක් හෙළනු මට ඇසිණ. ඇගේ කඳුළු නොදකින්නට මම ගෙතුළට වැදුණෙමි.
‘මෙහෙම විත්තියක් දැනං හිටිය නං මං එන්නෙත් නෑ’ ඇයට කියැවිණ. එය කාට නෑසුණත් මට ඇසුණ බ ව ඇය අද ද නොදන්නවා ඇත.
කිරිළිපනේ පියදාස මුණසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
සුදු - කළු පිරික්සුම
එක් අයකු හැරුණු විට සෙසු හැමෝ ම ලියා තිබුණේ කළු ලපය ගැන ය. කළු ලපයේ ප්‍රමාණය, එය ස්ථානගත කර ඇති තැන, කොන් හතරේ සිට ඊට ඇති දුර ආදි කරුණු ඒවායේ ලියැවී තිබිණ. කළු ලපය ගැන කිසිදු සඳහනක් නොකළ සිසුවා ලියා තිබුණේ කොළයේ සුදු පැහැය ගැන පමණි.
එක්තරා මනෝ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකුට සිය ගෝලයන් පරීක්ෂා කර බැලීමට සිත් විය.
ඔහු ඒ සඳහා උපක්‍රමයක් යෙදී ය.
සිසුන් පිරික්සුම සඳහා ඔහු ඔවුනට ලබා දුන්නේ හතරට නවන ලද සුදු කඩදාසියකි. ඉන් එක බැගින් ඔහු ඔවුනට බෙදුවේ ය.
‘මේක හිස් කොළයක්නෙ සර්. ප්‍රශ්න මොකුත් නෑනෙ’ සිසුහු විස්මය පළ කළ හ.
‘ඒකම තමයි ප්‍රශ්නෙ. ඔයගොල්ලො ඔය කොළවල දෙපැත්‍ත ම හොඳින් පරීක්ෂා කර බලන්ඩ!’
හොඳින් පරීක්ෂා කරගෙන යද්දී ඔවුනට යමක් දැකිය හැකි විය.
‘කොළේ එක තැනක කළු ලපයක් තියනව සර්’
‘එහෙනං ඒක ප්‍රශ්නය කර ගන්ඩ!’
සිසුහු පිළිතුරු ලියන්නට පටන් ගත් හ. ලියන ලද සියල්ල මහාචාර්යවරයා අතට ද ගියේ ය.
ඔහු ඒ සියල්ල කියවා බැලුවේ ය.
එක් අයකු හැරුණු විට සෙසු හැමෝ ම ලියා තිබුණේ කළු ලපය ගැන ය. කළු ලපයේ ප්‍රමාණය, එය ස්ථානගත කර ඇති තැන, කොන් හතරේ සිට ඊට ඇති දුර ආදි කරුණු ඒවායේ ලියැවී තිබිණ.
කළු ලපය ගැන කිසිදු සඳහනක් නොකළ සිසුවා ලියා තිබුණේ කොළයේ සුදු පැහැය ගැන පමණි. ඔහු සුදු පැහැය අපූර්වත්වයෙන් වර්ණනා කර තිබිණ.
වත්තල හැඳල අ.ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.