අපි සූදානම්ද? | සිළුමිණ

අපි සූදානම්ද?

ශ්‍රී ලාංකික සමාජය නියෝජනය කරන ඇතැමකු අවුවටත් බනින්නේ ආණ්ඩුවටය; දින කිහිපයක් තදින් වැස්සොත් එයටත් බනින්නේ ආණ්ඩුවටය. මේ බැනුම් ගෙරැවුම් අඩු වැඩි වන්නේ අදාළ දේශගුණික තත්ත්ව අඩු වැඩි වන විටය. එය එදා මෙදා තුර කවර කලෙකත් දැකිය හැක්කක් විය. කොහොම වුණත් මේ රැවුම් ගෙරැවුම්වලට පදනමක් තකුහුරු බවක් නැති බව බොහෝ මැදිහත් මත දරන්නෝ විශ්වාස කළහ.

එහෙත් පසුගිය දශක දෙක තුන තුළ මේ චෝදනාවට යම් යම් හේතු එකතු කළෝ විද්‍යාඥයෝය. හදිසියේ අකලට එන මහ වැසි කුණාටු, පරිසර උණුසුම වෙනස් වීම්, ඍතු මාරු වීම් වැනි දේශගුණයේ විපර්යාසවලට ලොකු ලොකු රටවල ආණ්ඩු විසින් ගන්නා ලද යම් යම් තීන්දු තීරණ හේතු වූ බවට හේතු සාධක සහිතව මේ විද්‍යාඥයෝ කරුණු ඉදිරිපත් කළහ. 80 දශකයේ මැද භාගයේ සිට මේ තොරතුරු ටිකෙන් ටික පර්යේෂණයන්ගෙන් හෙළි වන්නට වූ අතර මේ විද්‍යාඥයන් එකල අපට අවබෝධ කර දුන් කරුණ වූයේ දේශගුණයේ අනපේක්ෂිත හදිසි වෙනස්කම්වලින් ලෝකයම දැඩි සේ කැලඹෙනු ඇත කියාය; එය ඇත්තකි. අද අප අත්දකින්නේ එවැනි අසාමාන්‍ය දේශගුණික සහ කාලගුණික හැසිරීමකි. කාලයක් අප ගංවතුර දුටුවේ ලංකාව ඉන්දියාව, බංග්ලාදේශය පිලිපීනය වැනි රටවල පමණි. අද ඇමෙරිකාව, ඕස්ට්‍රෙලියාව, ජපානය වැනි රටවල්ද දැවැන්ත විනාශ වන තරමේ හදිසි සුළිකුණාටු ගංවතුරවලට මුහුණ දෙන්නේ ඔවුන් සතු සුපිරි බලය සොබාදහම හමුවේ අවලංගු වද්දීය. මේවා විද්‍යාත්මක ලෝකය හඳුන්වන්නේ ආන්තික දේශගුනික තත්ත්ව (Extreme weather events) ලෙසිනි. දැඩි වැස්ස මෙන්ම නියඟය ද එහි ප්‍රතිඵලයකි.

මේ කාරණාවට සම්බන්ධ වන්නේ කවර ආණ්ඩුද? එයට ඉඳුරාම වගකිව යුත්තේ සොබාදහමේ තුලනය නැති වන අයුරින් අහිතකර වායු විමෝචනය කළ කාර්මිකකරණය මතින් පොහොසත් වූ රටවල්ය. මේ රටවල් අතර බලවතා ඇමෙරිකාවය. ඇමෙරිකාව මෙන්ම එදා මෙදා සංවර්ධනයට වේගයෙන් ගිය රටවල් විසින් පිට කළ දුමාරය ලෝකයේ පැවැත්ම වෙනස් කරවන බව සනාථ වී ඇත. මේ බරපතළ පාරිසරික විපර්යාස සංසිද්ධියේ නවතම තොරතුරක් පසුගිය සතියේ අනාවරණය කළේ ලෝක බැංකු‍වේ මෙහෙයවීමෙන් පර්යේෂණයක් සිදු කළ පර්යේෂක කණ්ඩායමකි. ඔවුන්ට අනුව ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ දැඩිම අවදානමකට යොමු වී ඇත්තේ දකුණු ආසියා කලාපයයි. මේ පිළිබඳ අද සිළුමිණෙහි ද වෙනම විශේෂාංගයක් පළ වෙයි. මේ පර්යේෂණ කණ්ඩායම සකස් කළ අංග සම්පූර්ණ පර්යේෂණ වාර්තා‍වේ එක් එක් රටවල් පිළිබඳව ද විශේෂ සඳහනක් ඇත. එයින් අපේ අවධානයට යොමු වන්නේ අපේ මේ පුංචි දිවයින මේ දේශගුණික විපර්යාස හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳවය.

ඔවුන් හෙළි කරන ආකාරයට අපේ දිස්ත්‍රික්ක දහයක් ඉදිරි වසර කිහිපය තුළ දේශගුණික විපර්යාසවල පීඩාවලට දරුණු ලෙස ගොදුරු වීමේ අවදානමක් පවතී. එක අතකින් රටේ සමස්ත දේශගුණික විපර්යාසද ඒ සමඟ එන විවිධ රෝග පීඩා වසංගත ආදියද අනාගතය පිළිබඳ මවන්නේ හොඳ සිතුවමක් නොවේ. අනෙක් අතට දැනටමත් ශ්‍රී ලංකාව සිටිනුයේ ආපදා අවදානම සහිත රටවල් අතර ප්‍රමුඛ තලයකය. මේ එකකට වත් අපේ දැන් සිටින හෝ කලින් සිටින ආණ්ඩු ඍජුවම වගකිව යුතු වන්නේ නැත. එහෙත් අප රටක් ලෙස මේ ආපදා අවදානම් තත්ත්වය හමුවේ කටයුතු කිරීමේ ශක්තියක් නිර්මාණය කර ගත යුතුය.

ලෝකයේ බොහෝ රටවල් මේ වන විට සිටිනුයේ මේ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සඳහා වන විවිධ සංකීර්ණ සැලසුම් සමඟය. එවැනි සැලසුම් සහගත සූදානමක් සෑම රටකටම තිබිය යුතු වන්නේ එසේ නොවුව හොත් මේ දේශගුණික විපර්යාස හමුවේ අප වෙත එන ආපදා සෑම ජාතියකම සමාජ ආර්ථික පිරිහීමකට දක්කන නිසාය.

මේ පිළිබඳ සැලකීමේදී රටේ ආපදා හමුවේ ක්‍රියාත්මක වන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විට සැලකිය යුත සූදානමකින් සිටින බව පෙනෙයි. ඔවුන් පසුගිය කාලයේ ඇති වූ ගංවතුර විපත් තත්ත්වයේදී ජීවිත දේපළ හානි අවම කරගැනීමට සමත් වූ අතර, මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයක් පෙළන නියං තත්ත්වය හමුවේ කඩිනමින් සහනාධාර සැලසීමට පියවර ගෙන තිබීම ප්‍රශංසනීයය. ඔවුන් තව දුරටත් උත්සාහ කරන්නේ මෙවැනි ආපාදා හමුවේ ප්‍රතිචාර දැක්විය හැකි ලක්ෂයක ස්වේච්ඡා කණ්ඩායමක් පුහුණු කිරීමටය. ඒ සඳහා ඔවුහු පසුගියදා මහනුවරින් එම වැඩසටහන ඇරඹුවේ බාලදක්ෂයන්ද සහභාගී කරගනිමිනි. අප මෙහිදී අවධාරණය කරන්නේ දේශගුණික විපර්යාස හමුවේ අප වෙත එන අවදානම ආණ්ඩුවකට පමණක් මට්ටු කළ නොහැකි බවයි. ඒය ලෝක බලවතා වන ඇමෙරිකාවටත් අද නොහැකිව තිබේ. මේ අවදානමින් මිදීමට නම් අප ඊට අදාළ නිර්මාණශීලි සැලසුම් ක්‍රමෝපාය සකස් කළ යුතුය. එය ජාතික මට්ටමින් දියත් විය යුතු දැවැන්ත සංකීර්ණ ක්‍රියාවලියකි. මෙයට පාසල් සිසුවාගේ සිට වියපත් වැඩිහිටියා දක්වා හොඳ දැනුමක් අවබෝධයක් ඇති අය බවට පත් කිරීමත් මේ විපත් හමුවේ අභියෝගාත්මකව කටයුතු කළ හැකි ජාතියක් බවට පරිවර්තනය වීමත් අවශ්‍ය වී ඇත.

Comments