
මැදපෙරදිග ගිනියම දරාගැනීමට අමාරු ය. අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ක්‍රීඩා ලෝලීන් රැස්කමින් සිටියේ ඒ ගිනියම දරා ගනිමිනි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ඉක්මවා ඇති දවල් කාලයේ පෝලිම්වල ළඟිමින් ලබා ගත් ප්‍රවේශපත්‍ර සහිතව මේ ඔවුන් ක්‍රීඩාගාරවල ඉන්නේ මහා බලාපොරොත්තුවක් සහිත ව ය. මැදපෙරදිග රැකියාව පහසු එකක් නොවේ. ඒ රැකියාවාර අතර නිවාඩුවක් ලබා ගැනීම බොහොම දුෂ්කර ව්‍යායාමකි. ලබාගත් නිවාඩුවත්, අසීරුවෙන් උපයා ගත් මුදලත් වැය කර මේ මිනිස්සු පැමිණ ඇත්තේ උපන්බිමේ අභිමානය දකින්නට ය. මේ පොළොවේ මේ මිනිස්සුන්ට අභිමානයක් නැත. මේ ප්‍රාර්ථනා කරමින් සිටින්නේ ඒ නැතිවුණ අභිමානය ය.
ඉර බැසගොස් තරගය ආරම්භ වනවිටත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 කි. ක්‍රීඩාගාරයේ හතරෙන් තුනක් ම ආවරණයකින් යුතුව තිබුණත් එක් කොටසක් ආවරණ රහිත ය. අඩු මුදලට අලෙවිවන ප්‍රවේශපත්‍ර සඳහා වෙන් වී ඇත්තේ ඒ භූමිය ය. ඒ ප්‍රවේශපත්‍රයකුත් රුපියල් දෙදහස් පන්සියයකි. ගිනි අවුවේ එතැන රැඳෙමින් සිටිනා ශ්‍රී ලාංකික හා ඇෆ්ගනිස්ථාන ප්‍රේක්ෂකයන් දකිමින් හිඳිමි.
බංගලාදේශයෙන් ලද අමිහිර පරාජය සමහන් කරගැනීමට මේ තරගය ජය ගත යුතුය. ඇත්තට ම මේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ දෙගිඩියාවක් මේ බෙහෝ ප්‍රේක්ෂකයන්ට තිබුණේ නැත. ඇෆ්ගනිස්ථානය යනු ඉකුත් 2017 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය ලබමින් මේ වසරේ දී පළමු ටෙස්ට් තරගයට ඉන්දියාව සමඟ සහභාගි වු කණ්ඩායමකි. මේ මිනිස්සු ජීවත්වෙන්නේ මරණයත් එක්ක ය. අල්ඛයිඩාවෙන් අයි.එස්. ම්ලේච්ඡයන්ගෙන් ලැබෙන මරණ තර්ජනත් සමඟ ය. ඔවුන්ට ශ්‍රී ලංකාවේ තරම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ නැත. මෙරට ක්‍රීඩකයන්ට මෙන් දහසින් බැඳි පියලි ලැබෙන්නේ නැත.
එහෙත් ඇෆ්ගනිස්ථානය ලෝකයට හොරෙන් විශිෂ්ට කණ්ඩායමක් සේ ගොඩ නැඟෙමින් තිබුණේ ය. ඔවුන් මීට පෙර ටෙස්ට් රාජ්‍යයන් වන බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දිය කොදෙව්වන් එක්දින තරගවල දී පරාජය කර තිබුණි. විස්සයි විස්ස ශ්‍රේණියේදි ශ්‍රී ලංකාව පසුකර ඉදිරියට ගොස් තිබිණි. මේ පසුබිම තුළ තරගයේ ජයග්‍රහණය පහසු එකක් නොවන බව පැහැදිලි විය. එහෙත් මේ තරගය තීරණාත්මක වනවිට ඊට අවශ්‍ය ජවයෙන් අපේ කණ්ඩායම ක්‍රීඩා කරනු ඇතැයි යන විශ්වාසය අප කා තුළත් තිබිණි.
තරගය ආරම්භ වන්නේ බලා ඉන්නා අප එසේ සිතමින් සිටි වටපිටාවක ය. කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානය දිනා ගැනීමත් සමඟ යම් චකිතයක් ඉපදුණ බව සැබෑ ය. එහෙත් අප මේ ක්‍රීඩා කරන්නේ ඉන්දියාව හෝ ඔස්ට්‍රේලියාව සමඟ නොව ඇෆ්ගනිස්ථානය සමඟ ය. ක්‍රීඩාගාරයේ සිටි බොහෝ දෙනා ඉන්නේ සැහැල්ලුවෙනි.
එහෙත් යම් අමුත්තක් පෙනෙන්නට තිබිණි. කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසි මොහොතේ සිට ඔවුන් පළ කරමින් සිටි වෘත්තීය නොවන ක්‍රීඩා විලාශය ප්‍රේක්ෂකාගාරය නොසන්සුන් කරමින් සිටියේ ය. ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් ප්‍රකට කළ විශ්වාසනීය බව අධිෂ්ඨානය අපේ කණ්ඩායම තිගස්වා තිබුණ අයුරු පෙනුණි.
මොනවද බං මේ වෙන්නෙ. “මැතිව්ස්ට කැප්ටන් කරන්න තේරෙන්නෙ නැහැ. එක ලකුණ නවත්වන්න ෆීල්ඩ් එක සෙට් කරන්න බැහැනෙ.” තැනකින් කියනු ඇසිනි. හිස අත ගසා ගැනෙන්නේ පන්දු රකින ආකාරය දකින විට ය. ගමේ කොල්ලන් සෙට් එකක් එල්ලෙ ගහනකොටවත් මේ අකාරටය උඩපන්දු අත්හැරෙන්නේ නැත.
“යකෝ මුං ගංජා ගහල ද?. මුං ක්‍රිකට් ගහන එක නවත්තලා දෙපැත්තට බෙදිලා අවුරුද්දක් කැච් ප්‍රැක්ටිස් කළා නම් හොඳයි..” එක් තරුණයෙක් කියන විට වේදනාව යටගොස් සිනාවක් මතුවූයේ ය. අවසානයේ මාලිංග ෆේල් ය. බංගලිදේශ කණ්ඩායම මුල දී අඹරවා දැමූ මාංලිග ඇෆ්ගන් පිතිකරුවන් ඉදිරියේ ඇඹරී ගියේය. අත් දිග ටී ෂර්ට් එකකින් සැරසී පැමණ ගුටි කෑ තිසර අත්කොට ටී ෂර්ට් එකට මාරු වී පන්දු යැවීමට පටන් ගෙන කඩුළු පහක් දවා ගත්තේ ය. ඇෆ්ගනිස්ථානය ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය ලකුණු 250 කි.
පන්දු රැකීමට පැමිණි ඇෆ්ගන් ක්‍රීඩකයන් තුළ තිබුණු ජවය හා ආත්ම විශ්වාසය බලා සිටින අපවත් තිගස්වන සුළු විය. එහෙත් අපට සිටින්නේ ලෝකයේ හොඳ ම ක්‍රිකට් ගසා පළපුරුද්ද සහිත ක්‍රීඩකයන් පිරිසකි. ඔවුන්ගේ පරිනතිය ඇෆ්ගන් තරුණයන්ගේ ආත්ම විශ්වාසයට අභියෝග කරන තෙක් ප්‍රේක්ෂකාගාර තුළට වී බලාගෙන සිටියෙමු.
එහෙත් පිටිය මැද සිදුවෙමින් පැවැති නින්දා සහගත සිදුවීම්වලින් උපන් වේදනාව තරම් වේදනාවකින් මැදපෙරදි ගිනි අව්ව ශ්‍රී ලාංකිකයන් ව දවා තිබුණේ නැත. ඒ වේදනාවේ තරම තේරුම් ගන්නට එය බලා සිටිය යුතුය.
“මැච් එක විකුණල ද?. මුන් හරහා පහරවල් ගහල අවුට්වෙන හැටි. අපිට රස්සාවට ගිහිල්ල කණක් ඇහෙන්නත් නැහැ.’ ක්‍රිකට් ගහන එවුන්ට වඩා ක්‍රිකට් බලන උන් ක්‍රිකට් ගැන දන්නා සේ ය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කකුල් ගැහි ගැහි ගහන්නන් වාලේ ගසමින් ඇෆ්ගනිස්ථානයට ඇඹරී යද් දී කම්පාවෙන මිනිසුන් අතර වේදනාවෙන් සිටියෙමි.
ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පළමු තැනට පත්ව සිටින්නේ ඇෆ්ගනිස්ථානයේ 20 හැවිරිදි ක්‍රීඩක රෂීඞ් ඛාන් ය. ඔවුන් සියල්ලෝම රෂීඩ් සම්බන්ධ ව බලාපොරොත්තු සහිතව අතිශය විධිමත් සැලසුමකට ක්‍රීඩා කරමින් සිටියහ. එහෙත් අපි ක්‍රීඩා කරමින් සිටියේ කිසිම සැලසුමක් නැතිව ය.
මේ සැලසුම් රහිත ස්වරූපය ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙමින් සිටියහ. ශ්‍රී ලංකා නායකයාට වඩා අත්දැකිම් අඩු ඇෆ්ගනිස්තාන් නායකයා සිය කණ්ඩායම මෙහෙයවන පූර්ණත්වය ක්‍රීඩකයන් ස්ථාන ගත කරද්දි දෙරටේ නායකත්වය ද සංසන්දනය කරමින් ඔවුහු පෙන්වා දුන්හ. ඒ සජීවී විචාරයටත් සවන් දෙමින් සිදුවෙන දේ බලාගෙන සිටියෙමි.
ලංකා පැරදුණේ ය කට උත්තර නැතිව පැරදුණේය. මුහුණු පොතේ මිතුරෙක් වචන තුනකින් පණිවුඩයක් එවා තිබිණි. “ රෙදි නෑ පින්වතුනි”. තවත් එකෙක් සිංහයෙකුගේ රුවක් සහිතව මේ වදන් පෙළ සටහන් කර තිබිණි. “ තොපේ කොඩියට මගෙ රූපෙ දාලා... පාරට බහින්න බෑ විලි ලැජ්ජයි. නරිත් හූ කියනවා...”. “ලංකාවෙ හිටියනම් කණ පැලෙන්න ගහලා නිදිය ගන්න තිබුණා... ලොකුම අවුල හෙට වැඩට යන එක.” අසල සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් දුක් මුසු සිනාවකින් යුතුව මා පසුකර ගියේය.
පරාජයෙන් විවේචනයට බඳුන්වන ප්‍රධාතම ක්‍රීඩකයා තරගයෙන් පසුව හිතවතුන් සමඟ මෙසේ පවසා තිබිණි. ‘රෂීඞ් ඛාන් මිඩ්විකට් දාන්නෙත් නැතිව බෝල් කරනවා. බැට් උස්සගන්න බැහැ. අපි ඔක්කොම ගඟේ ගියා උගෙ බෝල්වලට.’
ක්‍රිකට් ගසා නාකි වුණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුට, දඟ පන්දු යවන්නකු ඉදිරියේ බැට් එක උස්සගන්න බැරි නම් ඒ පින්වතා මෙතෙක් කල් ගැසුවේ ජිල් බෝල දැයි සිතින් අසා ගතිමි.
රෂීඩ් ඛාන් එක්දින තරග 48 ක දී කඩුලූ 110 ක් බිද දමා ඇති බව සැබෑ ය. ඔහු දක්‍ෂ පන්දු යවන්නෙකි. ඒත් ලෝකයේ සිටි හොඳ ම පන්දු යවන්නා රෂීඩ් නොවේ. ෂේන් වෝන්ලා ඊටත් වඩා ලොව සිටි දක්‍ෂ දඟ පන්දු යවන්නෝ වෙති. නමුත් වෝන්ලා එදා අරවින්දලාගෙන්, අර්ජුනලාගෙන් ගුටි කෑ ආකාරය අපට තවමත් මතක ය. රෂීඩ් ඇෆ්ගනිස්ථානයේ හොඳ ම දඟයා වුවද ඔහුව පන්දු යැවීමට ගෙනාවේ 20 වැනි ඕවරයේ දී ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ කඩුලූ තුනක් ගැලවී අවසන් ය. රෂීඩ් බිද දැමුවේ කඩුලූ දෙකක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු දුවද් දී දැවී ගියේ පාසල් ක්‍රිකට් සිහි ගන්වමිනි. කඩුලූ වැටී තිබිය දී උපුල් තරංග ඉදිරියට පැන මිඩ් ඕෆ් ක්‍රීඩකයාට උඩපන්දුවක් දී දැවී ගියේ ජ්‍යෙෂ්ඨත්වය මොනවට පැහැදිලි කරමිනි. අනතුරුව තරගය නිම වන තුරු තනියම මළුව කහ කහා තරංග අසුන්ගෙන සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් රෂීඩ්ගේ පීඩනයෙන් බේරීමට අනෙක් පන්දු යවන්නාට ඉදිරියට පැන තරංග කළ දෙයම කරමින් ක්‍රීඩාගාරයට ගියේය.
මේ තරගය සජීවි ව නැරඹීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙපළක් වන සනත් ජයසුරිය සහ කුමාර් සංගක්කාර ද ක්‍රීඩාංගණයේ සිටියේ ය. විස්තර විචාරකයකු ලෙස අබුඩාබි ක්‍රීඩාංගණයේ සිටි රසල් ආනල්ඩ් ද පැවසුවේ අද ශ්‍රී ලංකාවට මරාගෙන හරි තරගය ජය ගන්න වෙනවාමයි යනුවෙනි. සංගක්කාර තරගයට පෙරම පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවිර සමඟ කතාබහක යෙදුණි. ඒ කතා බහ දිස්වුයේ සංගක්කාර උපදෙස් මාලාවක් ඔවුන්ට දෙන ආකාරයයි. හතුරුසිංහ සහ සමරවීර එයට කන් දුන්නා මිස කිසිවක් කියන අයුරක් දිස් වුයේ නැත.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිටිය මැද ‘කෙළින පිස්සුව’ දුටු සංගක්කාර ලොවට ම ඇසෙන්නට මෙසේ පැවසීය. ‘‘ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් කිසිම පිතිකරුවකුට නැහැ. කුසල් මෙන්ඩිස් හොඳ පිතිකරුවෙක්. නමුත් ඔහු දිගින් දිගටම අසාර්ථක වෙන විට ආරම්භක පිතිකරු ලෙස යෙදවීම සුදුසු නැහැ. පන්දු රකින්නන් ස්ථානගත කිරීම් ද හරියට වුණේ නැහැ.’ යැයි සංගක්කාර පවසද්දි අනෙක් විස්තර විචාරකයන්ගේ පොදු මතය වුයේ ශ්‍රී ලංකාව කිසිදු සැලැස්මක් නැතිව ක්‍රීඩා කිරීම පුදුමයක් බවයි.
චන්දික හතුරුසිංහ මහා ලොකු ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මිලියන පහකට වැඩි වැටුප් සහ දීමනා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයට පත්වුව ද ඔහු ගන්නා වැටුපට හෝ සාධාරණයක් මෙතෙක් ඉටුවී තිබේද යන්න ගැටලුවකි. නමුත් ඔහුගේ සැලැස්මවල්වල කිසිදු ප්‍රගතියක් මෙතෙක් දක්නට නැත. අවසන් මාස විස්සේදි ශ්‍රී ලංකාව සහභාගි වු එක්දින තරග 41 කින් තරග 30 ක් පරාජය වී තිබේ. හතුරුසිංහ පැමිණීමෙන් පසුව බංග්ලාදේශයටම තෙවරක් සහ ඇෆ්ගනිස්ථානයට ද ශ්‍රී ලංකා පිල පරාජය විය. චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලක යන ඉදිරි පෙළ පිතිකරුවන් නොමැති කණ්ඩායමකට හතුරුසිංහ ආදේශ කළේ අමිල අපොන්සු සහ ඩිල්රුවන් පෙරේරාය. මොවුන් දෙපළ පිටිය මැද තරගයට උඩ පන්දු අතහරින සහ කකුල් දෙක අස්සෙන් හතරේ සීමාවට පන්දු යවන්නට සමත් දෙපළකි.
හතුරුසිංහගේ තේරීම්වලට උදව් කරන්නට තේරීම් කමිටු සාමාජිකයකු වන එරික් උපශාන්තද අබුඩාබි නුවර සැරිසරමින් සිටියේය. එරික් උපශාන්ත වසර ගණනාවක් ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකි. කවුරු සභාපති වුවත් උපශාන්ත එතැන ය. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළාට වඩා වැඩි කාලයක් දැන් තේරීම් කමිටුවේ වැඩ දමමින් සිටියි. එබැවින් පරාජයේ බර ද වැඩිවී තිබේ. තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය දකින්නේ පුවත්පතකින් හෝ සංරක්ෂිත දර්ශන ඔස්සේ පමණි. ඔහු තේරීම් කමිටු සභාපතිකම අලවාගෙන තරග තීරක රැකියාව කරගෙන යයි. අද කාලයේ ජීවත් වීමට රැකියා දෙක තුනක් අවශ්‍ය නිසා ඔහු එසේ කරනවා ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන කාන්තා එක්දින තරගාවලියේ තීරකවරයා වන ලැබ්බ්‍රෝයිට මේ ක්‍රීඩකයන් අතහරින උඩපන්දු සහ කඩුලු විසි කරන ආකාරය පෙනෙන්නේ නැත. එබැවින් ඔහු එක්දින තරග 21 කින් අර්ධ ශතකයක් නොලබා සිටින සහ ඒ අතරවායේ ලකුණු නොලබා හය වරක් ම දැවී ගිය කුසල් මෙන්ඩිස්ට දිගින් දිගට ම ස්ථානය වෙන්කර තිබේ. දැන් මෙන්ඩිස් ඉවරය. ක්‍රිකට් ද ඉවර ය. තේරීම් කමිටු සභාපතිගේ ජොබ් එකනම් තවමත් වෙනස් ව නැත. ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා නිදහසට කරුණු ඇසීමට තීරණය කර තිබෙන්නේ මෙවැනි පිරිසකගෙනි.
හිතට දැනෙන්නේ මරණය ගෙදරකට පැමිණියාක් බඳු වේදනාවකි. උන් තැනින් නැඟී සිටියෙමි. මේ වනවිට ඇෆ්ගන් කණ්ඩායම බංගලාදේශය බිහිසුණු ලෙස පරාජය කර තිබේ. මේ සටහන තබන සිකුරාදා රාත්‍රිය ඔවුන් පකිස්ථානයේ ඉරණම විසඳන්නේ කෙසේදැයි උපන් සැකයෙනි. අබුඩාබියේ දුක් විඳින ඇෆ්ගන් මනුෂ්‍යන්ගේ පිරී ඉතිරෙන සතුට හිතට සිහින් සැනසීමක් ගෙනෙයි. අප අපේක්ෂා අත් හරින විට ඔවුහු ජීවිතයේ නව බලාපොරොත්තු උපදවා ගනිමින් සිටිති.