
මෙම වසරේ මැයි මාසයේ දිනෙක ඇෆ්ඝනිස්ථානයේ නන්ගර්හාර් ප්‍රාන්තයේ අගනුවර ජලාලාබාද් හි ප්‍රාදේශීය රාත්‍රී ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ බෝම්බ පිපිරීමකින් ක්‍රීඩකයන් ද ඇතුළුව අට දෙනෙක් මියගොස් තවත් 45 දෙනෙක් තුවාල ලද හ.
හතළිස් වසරක් තිස්සේ පවතින, එමෙන්ම නුදුරු අනාගතයේදී අවසානයක් නොපෙනෙන යුද්ධ මාලාවකින් බැට කන රටක් වුවද, ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් තරගයකට මෙවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ අතිශයින්ම කලාතුරකිනි. මෙම ප්‍රහාරයෙන් පසුව ද එරට ප්‍රධානම ත්‍රස්ත සංවිධානය වන තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයට තමන් කිසිදු ආකාරයකින් සම්බන්ධ නැති බව පැවසී ය.
වසර ගණනක් තිස්සේ යුද බිය පවත්නා රටක ක්‍රිකට් ක්‍රීඩාව මේ ආකාරයෙන් පවත්වාගෙන යෑමට හැකි වීම එක් අතකින් වාසනාවකි. ඇෆ්ඝන් ක්‍රිකට් යනු ඇෆ්ඝනිස්ථානය එක්සත් කළ හැකි ක්‍රීඩාවකි; අන්තවාදයට අභියෝගයකි; තරුණයන්ට බලාපොරොත්තුවකි; ධෛර්යය සම්පන්න කතාවකි.
ඇෆ්ඝන් ක්‍රිකට් කෙතරම් අලුත් ද යත්, එරට පවතින යුද්ධය ද ඊට වඩා පැරණි ය. සත්‍ය වශයෙන්ම ඇෆ්ගන් ක්‍රිකට් ඇරඹෙන්නේ යුද්ධය හේතුවෙනි.
ක්‍රිකට් උන්මාදය
ඇෆ්ගනිස්ථාන - පාකිස්තාන දේශසීමාව දෙපස ජීවත් වන ප්‍රධාන ගෝත්‍රය පඨාන්වරු ය. පඨාන්වරුන් සහ ක්‍රීඩාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී කිව යුතුම කරුණ නම් ඔවුන් අතිශයින්ම දරුණු ක්‍රිකට් උන්මාදයකින් පෙලෙන්නන් බව ය. මෙය මැදපෙරදිග වසන ශ්‍රී ලාංකිකයන් වුව අත්දැකීමෙන් දැක ඇතිවාට සැකයක් නැත. දකුණු ආසියාතික බොහෝ ජනයා ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙති. ඒ බොහෝ ජනයාට ද වඩා පඨාන් ක්‍රිකට් උන්මාදය දරුණු ය.
1978 දී පැවති ඇෆ්ගන් පාලනය පෙරළා දමා ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට්වාදී පක්ෂය වූ ඇෆ්ගනිස්ථාන මහජන ප්‍රජාතාන්ත්‍රික පක්ෂය බලය අල්ලා ගත්තේ ය. මෙම නව රජය ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අතර ආගම වෙත වූ අනුග්‍රහ අහෝසි කළේ ය. මෙම පියවරයන්ට එරෙහිව රටේ කැරලි ඇති විය.
1979 දෙසැම්බරයේදී එවකට ඇෆ්ගන් ජනාධිපතිවරයා ඝාතනය කළ සෝවියට් පාලනය තමන්ට හිතවත් අයකු ජනාධිපති ලෙස පත් කරවී ය. මේ අතර ඇමරිකාව කැරැලිකරුවනට ආධාර කරන්නට විය. යුද්ධ බිය හේතුවෙන් බොහෝ සරණාගතයෝ පාකිස්තානයට පළා ගිය හ. එහිදී සැලකිය යුතු පිරිසක් සටන්කාමීන් හා එක්වූ හ. මේ අතර එම සරණාගත ජනයා තවත් දෙයක් උගත් හ. ඒ ක්‍රිකට් ය.
ඇෆ්ගන් ක්‍රිකට් සමාජයක් බිහි වූයේ 1995දී ය. ඒ ක්‍රිකට් ක්‍රීඩාව එරට තුළ දියුණු කරන අදහසිනි. නමුත් 1996 වන තුරු ක්‍රිකට් ක්‍රීඩාව රට තුළ ප්‍රචලිත වූයේ නැත. 1996 දී ඉස්ලාමීය අන්තවාදී තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් හ. ඉන්පසු ක්‍රිකට් ක්‍රීඩාව කෙමෙන් ඇෆ්ඝනිස්ථානය තුළට ගලා ආයේ ය.
තලේබාන්වරු සාමාන්‍යයෙන් ක්‍රීඩා පිළිබඳ එතරම්ම සහයෝගී අදහස් දරන්නෝ නොවූ හ. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ තලේබාන්වරු ගැටුම් ඇති නොකරගත් හ. අදටද එම තත්ත්වය එසේ ය.
ප්‍රචලිත වීම
ක්‍රිකට් ක්‍රීඩාව ඇෆ්ඝනිස්ථානය තුළ වේගයෙන් ප්‍රචලිත වීමට වූයේ 2001 දී තලේබාන් පාලනය බිඳ වැටුණ පසු ය. වසර කිහිපයකදී දේශීය තරගාවලි ද සංවිධානය කෙරුණ අතර 2003 දී පළමු වරට ජාතික කණ්ඩායමක් සඳහා තෝරාගැනීම් සිදු කරන ලදී. මුල් කාලයේ ජාතික කණ්ඩායමෙහි යුද්ධයෙන් තුවාල ලත් අය ද සිටියහ.
ඇෆ්ඝනිස්ථානය 2008 දී ලෝක ක්‍රිකට් ලීගයේ පහළම ඩිවිෂනය, එනම් 5 වන ඩිවිෂනය සඳහා තරග වැදී ඉන් ජය ගත්තේ ය. එම වසරේ ම 4 වන ඩිවිෂනය ද ජයගත් ඔව්හු 2009 දී 3 වන ඩිවිෂනය ද ජයගෙන 2011 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලද හ. ලෝක කුසලානයට ඔවුනට සුදුසුකම් ලැබීමට නොහැකි වූ නමුත් ඔවුනට ජාත්‍යන්තර එක්දින තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි විණි.
2015 දී ඇෆ්ඝනිස්ථානය ලෝක කුසලානයට සුදුසුකම් ලැබ සිය දස්කම් යළි ප්‍රදර්ශනය කළ හ. ඉතා වේගයෙන් ඔව්හු ක්‍රිකට් ලෝකය ජය ගනිමින් සිටිය හ. 2017 දී ටෙස්ට් වරම් හිමි වීම ද එහි වැදගත් සන්ධිස්ථානයකි.
බලාපොරොත්තු
යුද්ධයෙන් බැට කමින් සිටින ඇෆ්ඝන් ජනතාවට සිය ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකත්වය ආශ්චර්යයකි. කිසිවක් සාර්ථක නොවන රටක අති සාර්ථක වූ යමක් පිළිබඳ ජීවමාන සාක්ෂියකි. එමෙන්ම අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වන්නකි.
වර්තමානය වන විට ද ක්‍රිකට් ප්‍රචලිතව ඇත්තේ පඨාන් ජාතිකයන් අතර ය. ඇෆ්ඝනිස්ථානයේ අනෙකුත් ජාතීන් වන උස්බෙක්, තජික්, හසාරා ආදීන් අතර මෙය ප්‍රචලිත ක්‍රීඩාවක් නොවේ. එහෙත් එය ප්‍රචලිත කිරීමේ හැකියාව පවතී. ඊට එරෙහිව මතුව ඇති ප්‍රධානම අභියෝගය දේශපාලන අස්ථාවරත්වය නොව මුදල් ය.
ක්‍රිකට් ක්‍රීඩාව තරුණයන් වෙත නව බලාපොරොත්තු ජනිත කරන්නකි. එහෙයින්ම අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් එම ක්‍රීඩාවේ දියුණුව නොරිස්සති. පඨාන් ජාතිකයන් අතර ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් ජනප්‍රියදැයි දැනුවත් හෙයින් හෝ අන් කරුණක් නිසා හෝ තලේබාන්වරු ක්‍රිකට්වලට බාධා නොකරති. එපමණක් නොව 2012 දී ඇෆ්ඝනිස්ථානය පළමු වරට ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් සමග ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වන අවස්ථාවේදී තලේබාන්වරු ද ඊට සුබ පැතූහ. මෙම තත්ත්වය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවට එරෙහි ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු නොවී ය. එහෙත් තලේබාන් සංවිධානයට ද වඩා අන්තවාදී ISIS වැනි සංවිධාන ඇෆ්ඝනිස්ථානයට රිංගාගැනීමත් සමග නව තර්ජනයන්ට ක්‍රිකට් ක්‍රීඩාව භාජනය වී තිබේ.
කෙසේ නමුත් වර්තමානයේදී ද ඔවුනට ප්‍රධානම ප්‍රශ්නය වී තිබෙන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය ය. මේ සඳහා ඇෆ්ඝන් ක්‍රිකට් බලධාරීන්ට උපකාර කිරීම සඳහා විවිධ රටවල් ඉදිරිපත්ව සිටිති.
ක්‍රීඩාවට ඇති දැඩි ආදරය මූලික කරගෙන අන් බාධක සියල්ලක්ම පාහේ පරාජය කරමින් ඉදිරියට ඇදෙන ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩාව ත්‍රස්තවාදී උන්මත්තකයන් කිහිප දෙනකුගේ ගොදුරක් බවට පත් නොවන බවට බලාපොරොත්තු තැබිය හැකිය. යුද බිය සහ මුදල් හිඟය පරදා ඇෆ්ඝන් පිල පැමිණ ඇති දුර ඊට වටිනා සාක්ෂියකි.