ඉතාලියට ගෑනු පැටවූ හොර තානාපති | සිළුමිණ

ඉතාලියට ගෑනු පැටවූ හොර තානාපති

  • ගිය ආණ්ඩුවෙන් කොන්සියුලර් පදවියක්
  • මට මතක නෑ හිටපු ඇමැති ඩිලාන් කියයි
  • උදව් කළේ දේශපාලකයෝ

හිටපු ඇමතිවරයකුගේ සහ ඔහුගේ බිරියකගේ ගුවන් ගමන් බලපත්‍ර ගැන උණුසුම් කතාබහක් පසුගිය කාලයේ නිතරම අසන්නට ලැබිණි. කාලයත් සමඟ ඒ කතාව සීතල මාතෘකාවක් බවට පත්වී ගියේ ය. එහෙත් පසුගියදා යළිත් වරක් ගුවන් ගමන් බලපත්‍ර ගැන උණුසුම් පුවතක් පැතිර ගියේ ය. ඒ, ශ්‍රී ලාංකිකයන් සිවුදෙනකු නීති විරෝධී ලෙස ඉතාලියට ඇතුළු කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි.

ඉතාලි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ශ්‍රී ලාංකික එ් නිලධාරියා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස පෙනී සිටිමින් තමා සමඟ සිටි සෙසු පිරිසගේ ගුවන් ගමන් බලපත්‍ර ද අදාළ බලධාරීන්ට ඉදිරිපත් කළ බවයි.

එ් නිලධාරියා එහිදී යුරෝපීය රටවල් 26කට යා හැකි 'ෂෙන්ගන්' වීසා සහිත සිය ගමන් බලපත්‍රය සහ තම බිරියගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කරමින් ඔහු සමඟ සිටි තරුණයන් දෙදෙනාගේ සහ තරුණියන් දෙදෙනාගේ 'ෂෙන්ගන්' වීසා සහිත ගමන් බලපත්‍ර ද නීත්‍යනුකූල බව පෙන්වීමට උත්සාහ කර තිබේ. එහෙත් තරුණ පිරිසගේ ගමන් බලපත්‍ර සිංගප්පුරු වීසා බලපත්‍ර සහිත ඒවා වීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන්ගේ සැකය ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයා වෙත යොමුව තිබේ.

ආගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී තමා සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රංසයට ගිය බවත් තරුණ තරුණියන් තම දරුවන් බවත් ශ්‍රී ලාංකික නිලධාරියා පවසා ඇති අතර, ඊට සාක්ෂි ලෙස සැප්තැම්බර් 11 වැනිදා පැරිසියේ ගුවන්තොටුපොළෙන් පිටත් වූ ගුවන් ටිකට්පත් ද පෙන්වා තිබිණ. එහෙත් ආගමන විගමන නිලධාරීන් සැකය ඔස්සේ දිගින් දිගටම කරන ලද පරීක්ෂණවලදී තරුණ තරුණියන් සිවුදෙනා සතුව තිබූ ගමන් බලපත්‍ර හතර ම සාමාන්‍ය ගමන් බලපත්‍ර බවත්, ඒවායේ ජීව දත්ත පිටු ඉතා සියුම් ලෙස වෙනස් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ලෙස විකෘති කර පෙන්වීමට උත්සාහ දරා ඇති බව ද ඉතාලි මාධ්‍ය වාර්තා කළේ ය.

එපමණක් නොව අවසානයේදී රාජ්‍ය තාන්ත්‍රිකයා සතුව තිබූ ශ්‍රී ලංකාවෙන් පිටත් ව ඒම සඳහා කොළඹ ගුවන් තොටුපළේදී භාවිත කළ තරුණ තරුණියන් සිවුදෙනාගේ සැබෑ ගමන් බලපත්‍ර ද සොයා ගැනීමට බලධාරීහු සමත් විය. ශ්‍රී ලාංකික නිලධාරියා සහ තරුණ පිරිස අතර කිසිදු ඥාති සබඳතාවක් නොමැති බව ද වැඩිදුර විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම මත එක් අයකු වෙනුවෙන් යුරෝ 4,000ක මුදලක් ලබාදී ඇති බවයි.

ඉතාලි මාධ්‍ය එලෙස වාර්තා කර තිබූ එ් පුවත සත්‍යයක් බව ඉතාලියේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශයට පසුගිය 17 වැනි දින දින එවන ලද ෆැක්ස් පණිවුඩයක් මඟින් තහවුරු කෙරිණ. එ් ෆැක්ස් පණිවුඩය මඟින් ශ්‍රි ලාංකිකයකු එරට ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව දැනුම් දී ඇති අතර, ඔහුගේ ගමන් බලපත්‍රය හා රියදුරු බලපත්‍රයේ පිටපත් ද ඒ සමඟ එවා තිබිණ. ඒ බව විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඊට පසුදින ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ද දැනුම් දී තිබේ.

ඉතාලි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් එ් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා කවුරුන්ද යන්න ඉන්පසුව මතුවූ ප්‍රශ්නයයි. වැඩිදුර තොරතුරු විමර්ශනයේදී එ් නිලධාරියා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියකු බවට අනාවරණය විය. පනස් හැවිරිදි ජමීල් ලෙබ්බේ හාජි නැමති ඔහු ජොර්දාන් සහ ලෙබනන් රාජ්‍යයන්හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලවල 2012 අගෝස්තු මස සිට 2015 පෙබරවාරි මස දක්වා රාජ්‍ය තාන්ත්‍රික තනතුරක රාජකාරි කටයුතු කළ අයෙකි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඔහුට, බිරියට හා දරුවන් තිදෙනාට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර ඔහුට නිකුත් කොට තිබේ. එහෙත් එ් නිලධාරියා 2015 වසරේ පෙබරවාරි මස දිවයිනට පැමිණීමෙන් පසු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් එ් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර අවලංගු කර තිබේ. 2015 ජූලි මාසයේදී ඔහු නැවත රාජකාරි ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා සඳහා 2016 වසරේ අගෝස්තු මාසයේදී සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව ද මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහෙත් ඔහු පසුගිය සැප්තැම්බර් 7 වැනිදා යළි විදේශගත වී ඇත්තේ එසේ විදේශ ගතවීමට අවශ්‍ය පූර්ව අනුමැතිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් හෝ අදාළ අමාත්‍යාංශයෙන් ලබාගැනීමකින් තොරව ය.

නීති විරෝධී සංක්‍රමණ සඳහා පහසුකම් සැපයීමේ චෝදනාව මත ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු එරට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ බිරිය සහ තරුණ පිරිස නැවත මෙරටට හරවා එවීමට එරට පොලිසිය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් එ් ශ්‍රී ලාංකික නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට සහ අවශ්‍ය විනයානුකූල පියවර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බව එහි සාමාන්‍යාධිකාරි ඩබ්.එම්.වී වන්සේකර මහතා පැවසීය. ඉතාලි පොලිස් අත්අඩංගුවට පත් එ් නිලධාරියා මේ වන විට ඉතාලියේ බර්ස්ටෝ නැමැති බන්ධනාගාරයේ රඳවා ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු විමසීම සඳහා මිලාන්හි පිහිටි කොන්සල් ජනරල් කාර්යාලයේ නිලධාරියකු එහි ගොස් ඇති බවද වාර්තා වේ.

ජමීල් ලෙබ්බේ හාජි නැමති එ් පුද්ගලයා කල්මුණ ප්‍රදේශයේ උපත ලැබූවකු බවත් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටියකු බවත් පැවසේ. ඔහු විවාහක බිරියන් දෙදෙනකුට දාව උපන් දූ දරුවන් හය දෙනෙකුගේ පියකු බවත්, 1995 වසරේ සිටම විදේශ සේවා රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ නිරතව සිටි බව ද ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වේ.

නීති විරෝධී මිනිස් ජාවාරමට තැත් කිරීමේ වරදට මේ වන විට ඉතාලියේ බන්ධානාගාරගත ව සිටින මේ පුද්ගලයා විදේශ රැකියා අමාත්‍යාංශයේ සේවයට බඳවාගෙන ඇත්තේ පසුගිය රජය සමයේදී ය.

පසුගිය රජය සමයේ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ධුරය දැරූ ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළෙමු. ‘‘ මං ඔය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ.

අමාත්‍යාංශයේ කී දෙනෙක් වැඩ කළා ද? ඒ හැමෝම ගැන මට මතක නැහැ. ඔය කියන විදිහේ කෙනෙක් ගැන මම දන්නෙ නැහැ." හිටපු අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ එයයි. අමාත්‍යාංශයක විශාල පිරිසක් සේවය කරන බව සැබෑ ය.

එහෙත් අමාත්‍යංශය සතු එක් ආයතනයකින් රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා පත් කරන්නේ සීමිත නිලධාරින් සංඛ්‍යාවකි. එවැනි නිලධාරියකු පිළිබඳ හිටපු ඇමතිවරයාට කිසිදු මතකයක් නැතිවීම අරුමයක් නොවන්නේ ද? පසුගිය රජය සමයේ අක්‍රමවත් ලෙස ඇමතිවරුන් ඇතුළු බලධාරීන් විසින් හිතූමනාපයට රාජ්‍ය තාන්ත්‍රික සේවය සඳහා බඳවාගත් නිලධාරින් නිසා මෙලෙස හානි වන්නේ රටේ කීර්ති නාමය නොවේද? රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර මේ ආකාරයෙන් අනිසි ලෙස භාවිතයේ යොදවන තවත් නිලධාරීන් ඇත්දැයි සොයාබලා වහාම නීතිමය පියවර ගැනීමට වගකිව යුත්තන්ට තිබෙන වගකීම කර ඇරිය යුතු නොවන බවද සිහි කළ යුතුය.

Comments