
තරහා ඇති වූ මුල් අවස්ථාවේදි පාලනය කරගත නොහැකි වුවහොත් ක්‍රෝධය මට්ටමේ දී හෝ පාලනය කරගත නොහැකි වුවහොත් එම ව්‍යාපාදය බොහෝ කාලයක් පවතිනවා. එවිට මේ ව්‍යාපදය හඳුන්වන්නේ උපනාහ මට්ටමට පැමිණෙනවා කියලා. උපනාහ කියන වචනයේ තේරුම බද්ධ වෛරය කියන එකයි. බද්ධ වෛරය ජිවිතයෙන් ජිවිතය භවයෙන් භවයට යනවා. ඊට කියන්නේ භවාන්තර ගත වෙනවා කියලා.
බෝසතාණන් වහන්සේ සහ දේවදත්ත තෙරුන් වහන්සේ අතර පැවැතුණාවු සිදුවීම් පිළිබඳ ඔබ අසා ඇති. දේවදත්ත තෙරුන් වෛරය පිරිමසා ගැනීමට නොහැකිව අවසානයේ නතර වුණේ අවීචීමහ නරකාදියේ. මෙලොව අර්ථය වනසා ලන පරලොව අපා දුක ඇති කරන නිවන්මඟ අවහිර කරන ඉතාම දරුණු ක්‍රියාවක් මේ බද්ධ වෛරය.
ව්‍යාපාදය ඇති වීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළමු හේතුව පඨිග නිමිත්ත. වරෙක තරහා ඇති වීමට හේතුව අකමැති රූපයක් දැකීමයි. තවත් වරක තරහා ඇතිවීමට හේතුව ගන්ධයක් ස්පර්ශයක් රසයක් සිතුවිල්ලක් විය හැකිය. මේ පටිඝ නිමිත්ත සම්පුර්ණයෙන්ම බාහිර දෙයක්. පටිඝ නිමිත්තෙන්ම ව්‍යපාදයක් හට ගන්නෙ නැහැ. පටිග නිමිත්තක් ලැබෙන්නත් අවශ්‍ය වගේම ආධ්‍යාත්මික අංගයක් පඨිග නිමිත්තට එකතු විය යුතුයි. අධ්‍යාත්මික කිව්වේ තමා තුළින් ම හට ගන්නා දෙයක් කියන්නයි.
අාධ්‍යාත්මික අංගය තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් තොරව මෙනෙහි කිරීමයි. පඨිග නිමිත්තක් ඇති වු මොහොතකදී තමා තුළ නැති ව්‍යාපාදය නැති වන විදිහට එසේ නැත්නම් තිබෙන්නා වු ව්‍යාපාදය වැඩි වන විදිහට මෙනෙහි කරනවා. අයෝ නිසෝ මනසිකාරය කියන්නේ ඒකයි. උදාහරණයක් විදිහට තරහාකාරයෙක් දැක්කා කියලා හිතන්න ඒ අවස්ථාවේ දි ඔබ සිතනවා ඔහු මට මේ විදිහට බැන්නා ගැහුවා කියලා. එයයි අයෝනිසෝ මනසිකාරය.
ඒසේ නොමැතිව මොහු නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝ ආයුෂ ලැබෙවා කියලා මෛත්‍රි සිතුවිලි සිතනවා නම් ඒ අවස්ථාවේ තරහා උපදින්නේ නැහැ. ඒ කියන්නේ යෝ නිසෝ මනසිකාරයයි. අපිට තරහා නැති කරන්න හේතු දෙකක් තියෙනවා එනම් මෛත්‍රිය වැඩීම සහ මෛත්‍රිය තුළ නුවණින් මෙනෙහි කරනවා ඒසේ නම් එය යෝනිසො මනසිකාරයයි. තථාගතයන් වහන්සේ මීට අමතරව ව්‍යාපාදය නැති කරගන්නට විශේෂිත ගුණ ධර්මයන් හයක් දේශනා කළා. පළමු ගුණ ධර්මය වන්නේ මෙත්තා නිමිත්ත. මෛත්‍රී භාවනාව ඉගෙන ගැනීමෙන්ම තරහා නැති කරගන්න පුළුවන්. දෙවැන්න වන මෙත්තා භාවනානුයෝගෝ කියලා කියන්නේ මෛත්‍රි භාවනාවේ යෙදී භාවනා කිරීමයි. කෙටියෙන් කියන්නේ මෛත්‍රී භාවනාව කිරීම යි.
තුන්වැනි කාරණාව ලෙස කම්මත්ස කතා පච්ච වෙක්ඛනතා කියලා පැහැදිලි කළේ කර්මය තමන්ට අයත් දෙයක් බව සිහි කිරීමයි. කෙනෙකු කෙරෙහි තරහක් ඇති වුවහොත් ඒ තරහා ඇතිවු අවස්ථාවේදි තරහා ඇති වු කෙනාගේ කර්මය සිහි කරන්න.
තරහා ඇති වු කෙනාගේ කර්මය මෙනෙහි කරන්නේ මේ ආකාරයටයි. ඔහු කර්මය නිසාම මෙලොවට ආවේය. මොහු කර්ම නිසා ම පරලොය යන්නේ ය. තරහින් ව්‍යාපාදයෙන් රැස් කරගත්තාවු කර්මය මොහුටම අයත් වන්නේ ය. එම කර්මය මා වෙත නොපැමිණෙන්නේ ය. එම කර්මයේ විපාක ඔහුටම අයත් වන්නේය. මොහු විසින් ආහාර පාන පුද පඬුරු ආදි යමක් ලබාදුන් හෝ මා ඒවා ලබා නොගන්නේ නම් යළි ත් ඔහුටම අයත් වන්නා සේ ව්‍යාපාදයද ව්‍යාපාදයෙන් රැස්වන අකුසල කර්මයද එම අකුසල කර්මයේ විපාකයද ඔහුටම වන්නේය. ඒ ආකාරයට තරහා ඉපදෙන්නට හේතු වු තැනැත්තාගේ කර්මය සිහි කළ යුතුයි.
ඒ තැනැත්තාගේ කර්මය පමණක් සිහි කිරීම ප්‍රමාණවත් නැහැ. තමන්ගේ කර්මයත් මෙනෙහි කළ යුතුයි. තමන්ගේ කර්මය මෙනෙහි කරන්නේ මෙසේයි.
මම කර්මයෙන් මෙලොවට ආවෙමි. කර්මයෙන්ම පරලොව යන්නෙමි. තරහින් ව්‍යපාදයෙන් කර්මක් රැස් කළහොත් එම කර්මය මටම අයත් වන්නේ ය. එම කර්මයේ විපාකයද මට ම අයත්වන්නේය.
මා විසින් කෙනෙකුට ආහාරපාන පුදපඩුරු ආදිය යමක් ලබා දුනහොත් ඔහු එය ලබානොගන ප්‍රතිෂේප කරන්නේ නම් මටම අයත් වන්නේය. එසේ නම් ව්‍යාපාදය ද ව්‍යාපාදයෙන් රැස් වන කර්මයද ඉන් ජනිත වන්නාවු අකුසල වන්නාවු අකුසල විපාකයද මටම අයත් වන්නේය. ඒ ආකාරයට තමාගේ කර්මය නුවණින් මෙනෙහි කළ යුතුයි. අනෙත් තැනැත්තාගෙත් තමාගේත් කර්මය නුවණින් මෙනෙහි කරන තැනැත්තාට ව්‍යාපාදය ප්‍රහානය වන බව සර්වඥයන්වහන්සේ විසින් දේශනා කොට වදාළා.
හතරවැනි කාරණාව පටිසංඛාන බහුලතා. ඒ කියන්නේ කියන්නේ සිහිනුවණින් වාසය කිරීමයි. උදාහරණයක් විදිහට උදෑසන ඔබ අවදි වනවා. උදෑසන සිට හයේ සිට අට දක්වා යාමය වන තෙක් බොහෝ අයට වඩාත් කාර්යය බහුලයි. බොහෝ විට ව්‍යාපාදය හට ගන්නා කාලය වන මෙම කාලය තුළදි නුවණින් මෙනෙහි කරන්නට ඕනෑ.
මම සිහියෙන් නුවණින් කටයුතු කරනවා කියලා අධිෂ්ඨාන කළ යුතුයි. මෙම කාලය තුළ මා කිසිම ආකාරයට තරහා සිතක් උපදවා ගන්නේ නැතුව සිටින්නෙමි කියලා අධිෂ්ඨාන කරගත යුතුයි. මේ ආකාරයට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන සිහියෙන් නුවණින් සිටිය යුතුයි. සිහියෙන් නුවණින් සිටීමට නම් සිතට අරමුණක් ලබාදිය යුතුයි. සිතට එසේ අරමුණක් ලබා දීම මෛත්‍රී භාවනාවෙන්ම කරන්න පුළුවනි. සියලු සත්ත්වයෝ නිදුක්වේවා නිරෝගි වෙත්වා කියලා මෛත්‍රීය වැඩිය යුතුයි.
මෛත්‍රී සිත පතුරුවමින් උදෑසන කාලයේ සියලු වැඩ කටයුතු ආරම්භ කරන්න ඒ අවස්ථාවේදි සිහිය නුවණ ඔබේ සිතේ වැඩෙනවා . මෛත්‍රීයෙන් හෝ බුදු ගුණ වැඩිමෙන් සිහි නුවණින් කටයුතු කරන්න පුළුවන‍්. සියලු කෙලෙසුන් නැසු සේක. සංසාර චක්‍රයෙහි සියලු කෙලෙස් සිඳලු සේක. ආමිස ප්‍රතිපත්ති පුජාවන්ට සුදුසු වන සේක. රහසින්වත් පව් නොකළ සේක. භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. අරහං වන සේක. අරහං වන සේක. එසේ සිහියෙන් නුවණින් මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවේදි තරහා ඇති වෙන්නට හේතුවක් නැහැ.
ඒ මොහොතේ හිතේ වෛරයක් ක්‍රෝධයක් ඇති තැනැත්තාට මෛත්‍රි කරන්නට පුරුදු වන්න. තමන්ගේ ක්‍රෝධයට හේතු වූ තැනැත්තාට ද මෛත්‍රිය වඩන්න. තරහා උපදින ගන්ධයක් ශබ්දයක් ස්පර්ශයක් ඇති වන අවස්ථාවේදිම උත්සහ කරන්න මෛත්‍රි කරන්න. ඒ අාකාරයට සිහියෙන් නුවණින් මෛත්‍රිය වඩන විට ව්‍යාපාදය ප්‍රහින කරන්නට හැකියාව ලැබෙනවා. පස් වන කාරණාව කල්‍යාණ මිත්‍රතාවයි. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමයි. කල්‍යාණ මිත්‍රයෙකු කියන්නේ කවුද? මත්පැන් පානය කරන විට තමන් සමඟ එකට මත්පැන් පානය කරන්නා කල්‍යාණ මිත්‍රයෙක් නොවේ. ඒ වගේම තමා සමඟ දුරාචාර අකුසල කර්මවල යෙදෙන අය කල්‍යාණ මිත්‍රයන් නොවේ.
අට්ඨ කතාවේ පැහැදිලි කරලා තියෙන්නේ අස්වගුප්ත මහ රහතන්වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න කියලා. මේ ස්වාමින්වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ නිමලව කියලා හඳුන්වන ආරණ්‍ය සේනාසනයේ. උන්වහන්සේට හිටිය ප්‍රධාන ශිෂ්‍යයන් වහන්සේ නම ධම්මදින්න ස්වාමින් වහන්සේ මේ ධම්මදින්න මහ රහතන්වහන්සේගේ උපදෙස් ලබාගෙන රහත් ඵලයට පත් වුණ පිරිස දොළොස් දහසක් වුණා. අපේ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ සිතුල්පව්ව ආශ්‍රිතව ඒ මහ රහතන් වහන්සේ වැඩ වාසය කළ බව. ඒ වැඩ සිටලා තියෙන්නේ අනුරාධපුර යුගයේදි.
මේ ධම්ම දින්න මහ රහතන්වහන්සේ ගල් තලාවක් මතට වෙලා භාවනානුයෝගිව වැඩ සිටලා බැලුවා ආචාර්යන් වහන්සේ කෙලෙස් නැති කරලා කොච්චර කාලයක් වෙනවා ද කියලා. ඒ බලන කොට දැක්කා ආචාර්යයන් වහන්සේ කෙලෙස් නැති කරලා නැති බව. ඒ අවස්ථාවේදි ම උන්වහන්සේ ආචාර්යයන් වහන්සේ බැහැ දකින්නට ගියා. ඒ අස්ථාවේ දි ආචාර්යයන් වහන්සේට වන්දනාමාන කරලා ඇහුවා ඔබවහන්සේ කෙලෙස් නැති කරලා කොච්චර කාලයක් වෙනවා ද කියලා.
ඒ අවස්ථාවේ උන්වහන්සේ කියනවා ඇවැත්නි කෙලෙස් නැති කරලා වර්ෂ හැටක් වනවා කියලා. අවුරුදු හැටක් තුළ මගේ හිතේ කෙලෙස් ඉපදිලා නැහැ කියලා. ඉන්පසු ඇහුවා ස්වාමීනි ඍද්ධි ප්‍රාර්තිහාර්ය එහෙමත් පවත්වනවා ද කියලා.
“ඔව් ඇවැත්නි මට ඍද්ධි ප්‍රාතිහාර්යය පවත්වන්න පුළුවන්. යම් දෙයක් සිතු අවස්ථාවක මැවීමේ හැකියාවක් තියෙනවා“ කියලා කිව්වා.
ඒ අවස්ථාවේදි ධම්ම දින්න ස්වාමින්වහන්සේ කියනවා. “එසේ නම් ස්වාමිනි උපෝසත කුලයේ සත්දන්ත හස්තිරාජයකු මවන්න“ උන්වහන්සේ ඒ මොහොතේම සත්දන්ත හස්ති රාජයෙක් මැව්වා. ඒ අවස්ථාවේදි ධම්ම දින්න තෙරුන්වහන්සේ ප්‍රකාශ කළා “මේ ඇතා හොඬ වැල ඔසවාගෙන පොළොවේ අඩි හප්පාගෙන ඔබවහන්සේ පිටුපස එළවා ගෙන එන අයුරු මවන්න“ කියලා.
ඒ ආකාරයටත් මැව්වා. ඒ මවලා ඒ හස්ති රාජයා කුංචනාද කරන කොට අස්සගුත්ත තෙරුන්වහන්සේගේ හිතේ බියක් ඇති වුණා. ධමමදින්න තේරුන්වහන්සේ අස්ස ගුත්ත තෙරුන්වහන්සේගේ සිවුරු කොන අල්ලා ගත්තා. ඒ මොහෙත වන විටත් මවපු ඇතා අතුරුදන් වෙලා. ඒ කෙලෙස් මතු වුණ නිසා.
ඒ අවස්ථාවේ අස්ස ගුත්ත තෙරුන් වහන්සේ තේරුම් ගත්තා තමන් රහත් ඵලයට පත්වෙලා නැහැ. මෛත්‍රීය වැඩිය නිසා කෙලෙස් යටපත් වෙලා විතරයි කියලා. ඉන් පසුව උක්කුටියෙන් වාඩි වුණා. ඉන් පසුව “ඇවැත්නි මට උපකාර කරන්න“ කියලා කිව්වා.
“ස්වාමිනි මෛත්‍රි වඩා ඉන්පසුව විදර්ශනා වඩනන්න“ යැයි සඳහන් කළා. ඉන්පසු ව්‍යපාදය නැති කරගත හැකියි කියල ප්‍රකාශ කළා. ඒ ආකාරයට ප්‍රකාශ කරලා ධම්මදින්න ස්වාමින් වහන්සේ ගල්ලෙනක් තුළට වැඩම කළා. අස්ස ගුත්ත මහරහතන්වහන්සේ සක්මන් මළුවට වැඩම කළා.
සක්මනේ පියවර තුනක් තබන විට මෛත්‍රි වැඩීමත් ධ්‍යාන වැඩීමත් විදර්ශනා වැඩීමත් නිසා රහත් ඵලයට පත් වුණා. ඒ අකාරයේ කල්‍යාණ මිතුරකු ඇසුරු කිරීම ඉතා වැදගත් වෙනවා.
අනෙක් කාරණාව වන සප්පාය කතා කියලා කියන්නේ ව්‍යාපාද ප්‍රහීන කිරීමට වැදගත් වන කතා කිරීමයි. උදෑසන ඉවසීමෙන් කටයුතු කරන්නේ කොහොමද? ඒ වගේම සවස් කාලයේ වැඩ අධික වුණාම කටයුතු කරන්නේ කොහොමද? මේ දේවල් පිළිබඳ කතා කරන්නට අවශ්‍ය යි .
ඔබට සිල්වත්ව කතා කිරීම පස්පව්වලින් වැළකි ජිවත් වෙන්නේ කොහොමද කියලා කතා කිරිම සිල්වත් ජිවිතයකට ඉතා වැදගත්.
සමාධි කතා කියන්නේ සිත එකඟ කර ගන්නේ කොහොමද කියලා කතා කිරීමයි.
තුන්වැනි කරුණ ප්‍රඥා කතා. එනම් ප්‍රඥාව දියුණු කරන්නේ කොහොමද කියලා කතා කිරීමයි. පින ගැන එහි විපාක ගැන කුසල අකුසල ගැන කතා කළ යුතුයි. අප්පිච්ච කතා එනම් අල්පේච්චතාවයි. බොහෝ බහුභාණ්ඩික වෙන්නේ නැතිව අල්පේච්ච ආකාරයට ජිවත් වීම පිළිබඳ කතා කිරිමයි. සන්තුට්ඨිකතා ඊළඟ ගුණයයි.
සන්තුට්ඨි කියන්නේ වචනයේ තේරුම තමන්ට ලැබෙන දෙයින් සතුටු විමයි. ලද දෙයින් සතුටු වීම කියන කාරණාව නිතර කතා කිරීමයි. ඒ බව සිතේ තියාෙගන නිතර නිතර කතා කිරීම නිසා ඔබ තුළ ව්‍යාපාද වැනි අකුසල කර්ම දුරු වෙනවා.
ඒ වගේම මෛත්‍රිය ඉස්මතු වෙන බව කිය යුතුයි. මේ ගුණ ධර්ම පුරුදු පුහුණු කර ව්‍යාපාදය දුරු කර ගැනීමට සියල්ලෝ අධිෂ්ඨාන කළ යුතුයි.