කැලෑවේ අතරමං වුණ යාල්දේවියට පණ දුන් අපූරු කොල්ලා | සිළුමිණ

කැලෑවේ අතරමං වුණ යාල්දේවියට පණ දුන් අපූරු කොල්ලා

දිනය සැප්තැම්බර් 19වැනිදාය. වේලාව පස්වරු 4.40 සටහන් වත්ම ICC 477 අංකය දරන දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ඇරඹුවේය. දුම්රියේ වේගයට බොඳ වූ රූප පරිද්දෙන් ගම් නගර පසු වන්නට විය. මහගල්කඩවර කැළය මැදින් දුම්රිය තම ගමනේ නිරත වන විට හාත්පස වැටෙමින් තිබූ ළා අඳුර දෙපස වැඩී තිබූ රූස්ස ගස් හේතුවෙන් තවත් බෝ වන්නට විය. මඟ දෙපස වූ පාළු, අඳුරු පරිසරය හේතුවෙන්ම දුම්රිය කැළෑ මණ්ඩිය අවසන් කරන තෙක් ඇතැම් දෙනෙක් මහත් උනන්දුවෙන් බලා සිටින්නට ඇත. එහෙත් දුම්රියට එවන් හැඟීමක් නොවීය. මහගල්කඩවර කැළෑව මැද එය තම ගමන නවතා දැමුවේ කිසිවකුටත් නොකියාමය.

දුම්රියේ කාර්මික දෝෂයකි. දෝෂය හඳුනාගත් එහි සිටි කාර්මික ශිල්පී මහතුන් එය නිවැරදි කිරීමට උපරිම වෙර දරන්නට වූහ. එහෙත් හිතුවක්කාර වූ දුම්රිය එන්ජිම යළි ගමන දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටියේය. ඒ වන විට දුම්රිය මහගල්කඩවල කැළය මැද නැවතී පැයකට ආසන්න කාලයක් ගතවී තිබිණ. නොසන්සුන් වූ මගීන් එකා දෙන්නා බැගින් එන්ජිම වෙත පැමිණියේ ගමන ප්‍රමාදයට හේතුව විමසා බැලීමටය. ඒ අතර වයසින් ඉතා ළාබාල, පෙනුමින් කෙසඟ තරුණයෙක්ද විය. ඔහු මහත් උනන්දුවෙන් කාර්මික ශිල්පීන්ගේ උත්සාහය දෙස බලා සිටිනු දක්නට ලැබුණේය. උත්සාහය අසාර්ථක වන අන්දමද ඔහු බලා සිටියේය. අවසන ඔහු තම හඬ අවදි කළේය.

"මම උත්සාහ කරලා බලන්නද"

"මල්ලිට පුළුවන්නං බලන්න. හැබැයි ඔයා කරන දේකින් අමතර දෝෂයක් ආවොත් ඒ චෝදනාවත් ඔයාට එන්න පුළුවන්"

"කමක් නෑ. මම උත්සාහ කරන්නම්"

දුම්රිය එන්ජිමේ දෝෂය සහිත ‍කොටස හරියටම රියැදුරු අසුනට යටින් පිහිටි කොටසේ විය. එබැවින් සෙසු කාර්මික මහතුන් සමඟ රේල් පාරේ සිල්පර කොට මත වැතිර උඩු අතට හැරී දෝෂයට පිළියම් සෙවීමට තරුණයා සූදානම් වූයේය.

දෝෂය වූයේ PSI 200කට අධික ප්‍රමාණයකින් වායුව පීඩනයට ලක් වන නළයකය. පීඩනය හේතුවෙන් එය ගැළවී ගොසිනි. දුම්රියේ සිටි පළපුරුදු කාර්මික ශිල්පීන් ද තම උත්සාහය අත් නොහැරි මුත් නළය හිතුවක්කාර ලෙස යළි යළිත් ගැළවී යාමට විය. පීඩනය අඩු කර එය සවි කිරීමට නොහැකිය. එසේ කළ හොත් දුම්රිය තිරිංග අඛණ්ඩව තදවී පවතින බැවින් දුම්රියට ගමන් කිරීමට නොහැකිය. එසේ නම් පවතින තත්ත්වයෙන්ම නළය සවි කළ යුතුය. තරුණයා තම නිරීක්ෂණය ක්‍රියාවේ යෙදවීමට වූයේය. නළය සවි වන ස්ථානයේ වෑල්ව් තුනක් විය. මේ වෑල්ව් තුන නිසි පිළිවෙළට සවි විය යුතු යැයි ඔහු තීරණය කළේය. එසේ නොවුනහොත් පීඩනය විසින් නළය යළි යළිත් ගළවා දමන්නේය. ඔහු දුම්රිය යට දිගාවී හිඳිමින් නළය අවට හොඳින් පිරිසිදු කරන්නට විය. වැලි කැටයක් හෝ ඉතිරිව තිබුණේ නම් තම උත්සාහය පලක් නොවනු ඇත.

නළය අවට හොඳින් පිරිසිදු කළ තරුණයා වෑල්ව් පිළිවෙළින් පිරීක්සමින් එය නිවැරදිව සවි කළේය. එවර දුම්රිය එන්ජිම කීකරු වූයේය. තරුණයාගේ දක්ෂතාව හිස නමා පිළිගත් මේ මහා යකඩ ගොඩ යළිත් තම ගමන ආරම්භ කළේය. අප රටේ සිටින දැනුම සුදුසු පරිදි ප්‍රායෝගිකව යොදා ගැනීමේ ශක්‍යතාව, දක්ෂතාව ඇති තවත් එක් වටිනා පුරවැසියකු ඒ සමඟින් දීර්ඝ ගමනක තම පළමු පියවර තැබුවේය.

මේ වෑයම අහඹු ලෙස තම දුරකථනයේ සටහන් කර ගත් මගියකු එය සමාජ මාධ්‍යවලට එක් කළේය. ඒ ඔස්සේ මේ අගනා පුරවැසියා ගැන ජනතාව දැනුම්වත් වන්නට විය. තවතවත් තොරතුරු සොයන්නට විය. ඔහු සමාජ මාධ්‍යවලට එක් කර තිබූ සරල තොරතුරු ඔස්සේ ඔහු කවුරුන්දැයි වැඩි දුර විස්තර සොයා යන්නට විය.

මේ තරුණයා, මේ අගනා පුරවැසියා ජනිත් දිමන්ත විතානාරච්චිය. තවමත් 23 හැවිරිදි වියේ පසුවන්නේය. ගාල්ල මාපලගම උපන් ඔහු දැනුම සොයා ලංකාව පුරා ගමන් ගත්තෙකි. ඔහුගේ පාසල් අධ්‍යාපනය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. උසස් පෙළට‍ කාර්මික විෂයන් හඳුන්වා දුන් පසු අධ්‍යාපනය ලැබූ පළමු කණ්ඩායමේ ඔහුද විය. කාර්මික වැඩවලට කවදත් ඔහු දැක් වූ කැමැත්තට ඔටෝමොබයිල් ඉංජිනේරුවකු වන ඔහුගේ පියා විශාල හේතු සාධකයක් විය. දුම්රිය ගමන ප්‍රමාද වන බව දැනී ගොස් සොයා බලා කළ හැකි යමක් කරන ලෙස තම පුතා දිරිමත් කිරීමට තරම් ඔහුගේ දැනුම ගැන විශ්වාසයක් වූ ඔහුගේ මව විශ්‍රාමලත් ගුරුතුමියකි.

පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු මොරටුව ජර්මානු කර්මික අභ්‍යාස ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවේය. මේ වන විට ඔහු ICBT නුවර ශාඛාවේ අධ්‍යාපනය ලබමින් සිටින්නේය.

"ඒත් මම දුම්රිය එන්ජින් ගැන මෙලෝ දෙයක් ඉගෙනගෙන නෑ. අනික මම නිතර දුම්රියේ ගමන් කරන මගියෙකුත් නෙමෙයි. මම දැනට ඉගෙන ගන්නේ රොබෝ තාක්ෂණය. ඒ වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන පවා ලබාගෙන තියෙනවා" ඔහු පවසන්නේය.

"අම්මා කියපු නිසා මම ගියේ මොකද වෙලා තියෙන්නේ බලන්න. මාත් එක්ක වික්‍රමසිංහ කියලා මතුගම අයියා කෙනෙකුත් ගියා. ඒ අයියත් ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ දුම්රියේ කාර්මික ශිල්පීන් ගැන. ඒ අය හොඳ මහත්වරු. මගේ ජීවිතේ මට මුණගැසුණු ගොඩක් දෙනා, ඇතැම්විට මගේ ගුරුවරු පවා ගොඩක් වෙලාවට අපට වැඩක් කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට උදව්වක් වුණත් නොකර ඉන්න සිදු වෙලා තියෙනවා. ඒත් මේ දුම්රියේ හිටපු ප්‍රවීණ කාර්මික ශිල්පී මහත්වරු මට උදව් කරන්න ඉඩ දෙන්න තරම් නිහතමානී වුණා. ඔවුන් කිව්වා මල්ලි පුළුවන්නම් කරලා බලන්න කියලා. හැබැයි වැඩේ වැරදුනොත් ප්‍රශ්න එන්නත් පුළුවන් කිව්වා. ඒත් ඔවුන් මට ඉඩ දුන්නා. ඔවුන්ගේ ඒ ගුණාංගය මම අගය කරනවා." ජනිත් එසේ පවසන්නේය.

"එන්ජිම හරි ගියාට පස්සේ දුම්රිය රියැදුරුවරු ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලය මට ගොඩක් ස්තූති කළා. මගීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. ඒත් දවස් දෙකක් ඒ වෙනකොට නිදි මරලා හිටපු මට ඕනේ වුණේ ඉක්මනට ගෙදර යන්න."

ඔහුගේ වචන ඉතා සරලය. එහෙත් ඒ සරලබව ඇතුළත මහා කතාවක් කියවෙන්නේය. දැනුම, ප්‍රායෝගික දැනුම සමඟ ඉදිරිපත්වීම අද සමාජයෙන් තුරන්ව යන අවදියක ඔහු උඩුගම් බලා පිහිනන්නේය.

"ජනිත් මොකක්ද ඔයාගේ අනාගත බලාපොරොත්තුව" මම එසේ ඇසිමි.

"මුලින්ම උපාධිය සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ රට යනවද නැද්ද කියලා තවම හිතනවා" ඔහු ගේ පිළිතුර එසේ විය. ජනිත් තමා කවුරුන්දැයි රටට හඳුන්වා දුන්නේය. එවැනි ජනිත්ලා රටේම නවත්වා ගැනීම රට සතු වගකීමක් බවද මෙසේ සටහන් කර තබන්නෙමි.

Comments