දියකාවාගෙන් රැකෙන ජාතික ආරක්ෂාව | සිළුමිණ

දියකාවාගෙන් රැකෙන ජාතික ආරක්ෂාව

වේලාව පස්වරු 4.00 පමණ වන්නට ඇත. ත්‍රිකුණාමලයෙන් උතුරු මුහුදු වෙරළට සමීපව කුච්චවේලි ප්‍රදේශයේ ත්‍රස්ත කඳවුරකි. ඒ අසල මුහුදේ රැකවලෙහි පිණිස සංචාරය කරමින් තිබූ මෝටර් බෝට්ටු 3කි. බෝට්ටු 3ම කඳවුරු ප්‍රදේශයෙන් මඳ දුරක් ගියා පමණි. පහතින් ගමන්ගත් හෙලිකොප්ටරයකින් දිය මතට නාවික භටයෝ 20 දෙනෙක් පමණ එළියට පැනගත්හ. ඒ අතර ත්‍රස්ත කඳවුරේ අනෙක් පසින් ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයකින් කොමාන්ඩෝ භටයන් 24 දෙනකු එළියට පැන ගත්තෝය. ඒ පැරෂුට් ආධාරයෙන්, ආයුධත් සමඟය. ත්‍රස්තවාදී කඳවුරේ සිවු දෙසින්ම මුරකපොළුවල සිටි අවි ගත් කණ්ඩායම් නිරතුරුවම විමසිල්ලෙන් සිටියේ කොයි මොහොතක හෝ තමන්ට ප්‍රහාරයක් එල්ල වේයැයි සිතමිනි. එසේම පණිවිඩ සංඥා හුවමාරු මධ්‍යස්ථානයක් වූ මේ කඳවුර ත්‍රස්තවාදීන්ට ඉතා වැදගත් ස්ථානයක්ද විය.

ගුවන්යානයෙන් එළියට පැනගත් පැරෂුට් භටයෝ කඳවුරට ඈතින් වනාන්තරයට මුවා වී නිරුපද්‍රැතව අවතීර්ණ වූහ. මේ සිදුවීම් කඳවුරේ සිට නිරීක්ෂණය කළ ත්‍රස්තවාදීහු වහා කලබල වී සතුරු ප්‍රහාරයකට සූදානම් වූහ.

එක්වරම මුහුදින් පැමිණි නාවික හමුදා ප්‍රහාරක යාත්‍රා 7කින් බැසගත් අවි ගත් රණවිරුවෝ කඳවුර සමීපයට පැමිණ බිම දිගාවෙමින් සතුරු කඳවුර දෙසට ඇදෙන්නට පටන් ගත්හ. ඒ සමඟම අධිවේගී කෆීර් ප්‍රහාරක යානා දෙකක් ගොඩබිම සිට මුහුද දෙසට යමින් සතුරු කඳවුරට ප්‍රහාර එල්ල කරමින් තත්පර කිහිපයකින් නොපෙනී ගියේය. කඳවුරේ බොහෝ තැන් ගිනි ගන්නට පටන් ගත්තේ ඒ සමඟය.

මුහුදින් පැමිණි හමුදාවෝ කඳවුර වට කර වෙඩි තබන්නට පටන් ගත්හ. ඒ සමඟම සැඟව සිටි රණවිරුවෝ සහ පැරෂුට්වලින් බැසගත් රණවිරුවෝද සටනට එක් වූහ. ත්‍රස්තවාදීහුද ප්‍රතිප්‍රහාර එල්ල කළහ.

වසර 30ක් පමණ අපේ රටේ සිදු වූ රිවිරැස, වාලම්පූරී වැනි මෙහෙයුම්වලදී මෙවන් සිදුවීම් අප දැක ඇතත්, මේ කියන්නේ එවන් යුද මෙහෙයුමක් ගැන නොවේ. පසුගිය බදාදා පස්වරුවේ යුද හමුදාව විසින් මෙහෙයවන ලද; යුද, නාවික, ගුවන් හමුදා ඒකාබද්ධව සිදු කරන ලද ‘දියකාවා’ මෙහෙයුමේදී අප දුටු දසුන් ගැනය.

2009 වසරේ සිට මේ අයුරින් පවත්වන ලද දියකාවා අභ්‍යාසයේ 9 වැනි අභ්‍යාසය එසේ සිදු විය. ත්‍රස්තවාදී කඳවුර සහමුලින්ම වනසාදැමුණේ වෙරළ තීරය දිගේ ඇදී ආ යුද ටැංකි සතුරු කඳවුරට කඩා වැදීමෙන් පසුවය. එයින් පසු තුවාල ලත් සෙබළුන් රැගෙන යෑමට හෙලිකොප්ටර් යානයක් වෙරළ තීරයට ගොඩ බස්වන ලදි. ක්ෂණයකින් තුවාල ලත් පිරිස් රැගෙන හෙලිකොප්ටර් යානය අහසට නැඟී යන්නට විය.

මේ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 27 හෙලිකොප්ටර් බෙල් 212 හෙලිකාප්ටරයක්, ඇන්ටනොව් 32 ගුවන් යානයක් මෙන්ම කෆීර් ප්‍රහාරක යානාද එක් වූ අතර දැම්මා නාවික හමුදාවේ වික්‍රම 2, එඩිතර 2 හා ජගතා යාත්‍රාද ඩෝරා ප්‍රහාරක යාත්‍රා මෙන්ම අධිවේගී ප්‍රහාරක යාත්‍රාද මේ සටනට එක් වී තිබුණි. තවත් ප්‍රහාරක යාත්‍රා 9ක් පමණ මේ සටනට එක්ව සිටියහ. මුහුදේ මුරකරමින් තිබූ සතුරු යාත්‍රාවලට පහර දුන්නේ නාවික හමුදාවේ එම ප්‍රහාරක යාත්‍රා මඟිනි.

දියකාවාට ගොඩබිම, දිය මෙන්ම ගුවනද හොඳට හුරුය. ඒ අනුවම දිය, ගොඩ මෙන්ම ගුවනද සමගින් සිදු කරනු ලබන මේ යුද්ධය ‘දියකාවා’ නමින් හැඳින්වේ.

මේ අවස්ථාවට සහභ‍ාගි වූ ප්‍රධාන ආරාධිතයා වූයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු ආරාධිතයෝ රැසක්ම මේ අභ්‍යාසය නැරැඹීමට සහභාගි වූහ.

පසුගිය 6 වැනිදා මින්නේරියේදී ආරම්භ වූ දියකාවා යුද අභ්‍යාසසයේ අවසන් දිනය පසුගිය 26 වැනිදාට යෙදී තිබිණි. මින්නේරියෙන් ආරම්භ වූ මේ යුද අභ්‍යාසය සති 3ක් පමණ ඉතා හොඳින් මුහුද, ගොඩබිම හා ගුවන ඇසුරු කරගනිමින් සිදු කළ අතර, එහි පියවරක් පසුගිය 9 වැනිදා වැලිකන්දේදීද සිදු කෙරිණි.

දුම්රිය මැදිරියක් තුළ කලහකාරි ලෙස හැසිරුණු කැරලිකරුවන් දෙදෙනකු සැඟව පැමිණි ඇති බවට හමුදා බුද්ධි අංශ වෙත ලැබු තොරතුරක් අනුව භට පිරිස් ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව එහිදී ආදර්ශ පෙරහුරුවක් පවත්වන ලදි.

මේ මෙහෙයුම සඳහා විශේෂ බළකා යතුරුපැදි ප්‍රහාරක බළඇණි දෙකක්ද සහභාගි වූ අතර, ඔවුන්ගේ සහාය සඳහා විදේශීය හමුදා සාමාජිකයන්ද ඇතුළත් නාගරික සටන් ප්‍රහාරක බළඇණියද එක් වීය. මෙහිදී උපායශීලීව අවම බලය භාවිතා කරමින් අදාළ කැරලිකරුවෝ දෙදෙන අත්අඩංගුවට ගනු ලැබූහ.

එසේම කොළඹ මර්මස්ථාන ආක්‍රමණය කරන්නට පැමිණි ත්‍රස්තවාදි කණ්ඩායමක් පසුගිය 19 වැනිදා විහාරමහාදේවි උද්‍යානයේදී එහි සිටි ජනයාටද වෙඩි ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර හමුවේ පලා යන්නේ අසල පිහිටි නෙළුම් පොකුණ වෙතය. ආරක්ෂක අංශ පැමිණෙන බව දැනගත් ත්‍රස්ත කණ්ඩායම එහි සිටි 35 දෙනකු‍ගෙන් සමන්විත කාර්යමණ්ඩලය අත් අඩංගුවට ගනී. මේ පිරිස බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කරන්නේද දියකාවා අභ්‍යාසය යටතේය. එහිදී ගුවන් යානයකින් නෙළුම් පොකුණේ වහලයට කොමාන්ඩෝ භටයින් 8 දෙනකු ගොඩ බසින අතර, උපක්‍රමශීලිව සියලු පිරිස් ආරක්ෂිතව මුදාගැන්මට හමුදාවෝ සමත් වෙති. ස්නයිපර් හමුදාවන්ද අවට පිහිටි ගොඩනැඟිලි මතට නැඟී මහජන ආරක්ෂාව තහවුරු කරති. දියකාවා මෙහෙයුමේ මෙවර ක්‍රියාන්විතය භාරව කටයුතු කළේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාය. මේ සඳහා ත්‍රිවිධ හමුදා සෙබළු 3300ක්ද නිලධාරීහු 450ක් හා විදේශ හමුදා නිලධාරීහු 61ක්ද සහභාගි වූහ.

2009 වසරේ මැයි මාසයේ බෙදුම්වාදී යුද්ධය අවසන් වුවද, ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුවම සූදානමින් ත්‍රිවිධ හමුදාවම සන්නද්ධව සිටිය යුතු නිසා වාර්ෂිකව මේ මෙහෙයුම් අභ්‍යාසය සිදු කිරීමට යුද හමුදාව තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා මෙහිදී පැවසුවේය. යළි යුද්ධයක් ඇති නොවූවත්, ත්‍රිවිධ හමුදාවම නිරතුරුව අවදියෙන් සිටිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සන්දර්ශනාත්මක කටයුත්තක් මෙන් පෙනී ගියද මෙය රටේ ජාතික ආරක්ෂාවට ගත් තවත් වැදගත් ක්‍රියා මාර්ගයකි. සති 3ක කාලයක් තිස්සේ ත්‍රිවිධ හමුදාවේම අවධානය එක් අංශයකට යොමු කරමින් සිදු කරනු ලබන මේ මෙහෙයුම අප නිරතුරුවම සූදානමින් සිටීමට බව පසක් කර ගත යුතු වේ.

සේයාරූ- ගයාන් පුෂ්පික

Comments