
සෑම වසරකම පුංචි ඇයදුම්කරුවන් ලක්ෂ තුනහමාරකට අධික ප්‍රමාණයක් මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ විගස ඒ කඩයිම ජයග්‍රාහිව පසු කළ පුංචි හපනුන්ගේ හැකියා විවිධ ජනමාධ්‍ය ඔස්සේ රටටම කියද්දී; තම අපේක්ෂා සියල්ල සුනුවිසුනු වූ තවත් මල්කැකුළු රැසක් සිය පුංචි සිත්සතන් වේදනාවෙන් පුරවාගන්නා බවද නොරහසකි.
සැබැවින්ම ශිෂ්‍යත්වය සමත් වීම මේ පුංචි සිත් සතන්වලට පැවරෙන ලොකුම ලොකු අභියෝගයකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ, පර්යේෂණ නිලධාරිනී අශානි අභයසේකරගේ මේ ප්‍රයත්නයේ අරමුණද වී ඇත්තේද ශිෂ්‍යත්ව විභාගයෙන් අපේක්ෂිත ඒ අභියෝගය ජය ගැනීම සාර්ථක වී ඇත්ද යන්න විමසීමයි. දරුවන් පාසල්ගත වූදා පටන් මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට සිසුන්, දෙමවුපියන් මෙන්ම ගුරුවරුන් කැප කළ කාලය, වෙහෙස මෙන්ම ලැබුණු ප්‍රතිඵල ඇය විග්‍රහ කර ඇත්තේ 2016 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ දත්ත පදනම් කරගනිමිනි.
ශිෂ්‍යත්ව විභාගය 5 වසරට හඳුන්වා දුන්නේ අපේක්ෂා දෙකක් සාක්ෂාත් කරගැනීමටය. ඉන් එකක් වන්නේ: කුසලතා පූර්ණ ශිෂ්‍යයන් ජනප්‍රිය හා වඩාත් ප්‍රකට පාසල්වලට ඇතුළත් කරගැනීමය. දෙවැන්න: දීප්තිමත් එහෙත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමයි. මෙහිදී නිශ්චිත ක්ෂේත්‍ර 14ක නිපුණතාව හා ඉගෙනීමේ විභවය මැනෙන අතර, තේමාත්මකව පළමු භාෂාව, ගණිතය හා පරිසරය ඉලක්ක කොට පරීක්ෂණය කෙරේ. එහෙත් අශානි සිය විග්‍රහයෙන් මතු කර දක්වන්නේ, වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගය එහි මේ නිශ්චිත අරමුණු නිසි ලෙස හඳුනාගෙන නැති බවයි. ජනප්‍රිය පාසල් සිසුන්ද ඊට මුහුණ දෙන අතර මේ හේතුවෙන් වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරි මට්ටම බොහෝ සෙයින් ඉහළ ගොස් අැත. කෙසේ වෙතත් අශානි පවසන පරිදි මෙතරම් උනන්දුවෙන් විභාගයට සූදානම් වුවද විභාග දෙපාර්තමේන්තුව තීරණය කරන ශිෂ්‍යාධාර හා වඩාත් හොඳ පාසල්වලට පිවිසීමට අවශ්‍ය ලකුණු හිමි කරගන්නේ විභාගයට මුහුණ දෙන පිරිසෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් බවයි. මෙහි අදහස ශිෂ්‍යාධාර කඩයිම් මට්ටමට ළඟා වීමට නම් සිසුවකු 80%ක් පමණ ලකුණු ගත යුතු වන අතර, වඩාත් ජනප්‍රිය පාසලකට යෑමට නම් 90%ක් පමණ ලකුණු ගත යුතු බවයි. නිසර්ගයෙන්ම වැරදි සිදුවීමේ ඉඩකඩ වැඩි ළමා මොළයට බැවින් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට විශාල අභියෝගයක් ගෙන දෙන බව අශානිගේ පර්යේෂණයේද හෙළිදරවුවයි. ඇය සිය පර්යේෂණයෙන් සිදු කරන විග්‍රහයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම්ව සියලු ජාතික පාසල්වල 6 ශ්‍රේණියට ඇතුළත් කරගෙන ඇති සිසුන් ප්‍රමාණය 20%කි. ප්‍රාථමික අංශ නැති පාසල් - එනම්: 6 ශ්‍රේණියෙන් ඉහළ, ද්විතීයික පන්ති පැවැත්වෙන පාසල් බැහැර කළ විට මේ ප්‍රතිශතය 12% දක්වා පහත වැටෙයි. ඒ, ජාතික පාසල්වල ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය කුමක් වුවත් නිතරගයෙන්ම තම පාසලේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ වරම් ලබන නිසාය. මෙසේ හෙයින් 6 ශ්‍රේණියේ සිසුන් විශාල ප්‍රමාණයක් - එනම්: සියලු ජාතික පාසල්වලින් සිසුන් 75%ක ප්‍රතිශතයක් මෙන්ම සියලු ප්‍රාථමික අංශ සහිත ජාතික පාසල්වලින් 86%ක ප්‍රමාණයක් ඇත්තේ එම පාසලේම අධ්‍යාපනය ලැබූ සිසුන්ය. මෙයින් ගම්‍යමාන වී ඇත්තේ ප්‍රාථමික අංශ පමණක් ඇති පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් වඩාත් හොඳ පාසලකට ප්‍රවිෂ්ට වීමේ අවස්ථා ඉතා සිමිත බවයි. මෙම පර්යේෂණයට අනුව පහසු පළාත්වල ඇති පාසල්වලද පවත්නේ මේ තත්ත්වයමය. ප්‍රාථමික මට්ටමින් 6 ශ්‍රේණියට ඇතුළු වන 90%ක් සිසුන් හා සසඳද්දි මේ සමත් ප්‍රමාණය 3-4% දක්වා ඇති බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙයි. මේ පර්යේෂණයට අනුව 2015 වසරේදී ඉහළ ලකුණු ලබාගත් ශිෂ්‍යන්ගෙන් මූල්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබා ඇත්තේ 36%ක් පමණි. විභාගයට පෙනී සිටි සමස්ත සිසු සංඛ්‍යාව හා සසඳත්දී මෙය 3.6%කි.
මූල්‍යාධාර ලැබීමට නම් සිසුන් කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතුව ඇත. පළමුවැන්න ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වීමය. අනෙක මව/ පියා/ භාරකරුගේ වසරක ආදායම රුපියල් 50,000කට වඩා අඩු වීමය. මේ පර්යේෂණයෙන් හෙළිව ඇති පරිදි දුප්පත් සිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විභාගයට පෙනී නොසිටීම ශිෂ්‍යාෂධාර ලාභීන්ගේ ප්‍රමාණය අවම වීමට හේතු වී තිබේ.
පර්යේෂණයට අනුව ශිෂ්‍යත්ව විභාග ඇයැදුම්කරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් - එනම්: 9%ක්ම ඉදිරිපත්ව ඇත්තේ ජාතික පාසල්වලිනි. එහෙත් මේ ජාතික පාසල්වලට පිවිසීමට හැකියාව ඇත්තේ රටේ යමක් කරකියාගත හැකි අයටය. එය එසේ වත්දී ග්‍රාමීය මෙන්ම අඩු පහසුකම් සහිත පාසල්වල විභාගයට පෙනී සිටීම සටහන් වන්නේ 79%ක් වශයෙනි. හොඳ මානව සම්පත් හා භෞතික සම්පත් නොතිබීම මෙන්ම නාගරික පාසල් සිසුන්ට ඇති පහසුකම් නොවීම මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති ගම්බද අඩුවෙන් පැවැතීමද මීට හේතු වී ඇති බව ඇය පවසයි.
මේ තත්ත්වයේ උත්ප්‍රාසය වන්නේ විභාගය අරමුණු කරගත් පිරිස් මෙන්ම විභාගය ලිවිය යුතු පිරිස්ද මේ ශිෂ්‍යත්ව විභාගයෙන් අත්හැරීමය!
ශිෂ්‍යත්ව විභාගයේ එක් අපේක්ෂාවක් වන ශිෂ්‍යාධාර ලබාදීමේ අඩුපාඩුද මේ පර්යේෂණයේදී අශානිගේ අවධානයට ලක් විය. මේ වන විට ශිෂ්‍යාධාර වශයෙන් ලැබෙන්නේ මසකට රු. 500ක මුදලකි. එහෙත් පෞද්ගලික පන්තිවල ගුණාත්මකභාවය හා ජනප්‍රියතාව අනුව එක් පන්තියකට පමණක් මීට වඩා මුදලත් වැය විය හැකිය. එසේ හෙයින් නැවතත් මේ මුදල වැඩි කිරීමක් ගැන කල්පනා කළ යුතුව ඇත.
ඇයගේ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු හා අපේක්ෂා මේ වන තෙක් අපේක්ෂිත මට්ටමට ජය ගැනීමට නොහැකි වී ඇත. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රාථමික ශ්‍රේණිවල සපුරාගත යුතු වර්ධන නිපුණතා 7ක් හඳුනාගෙන ඇත. එහෙත් 1 ශ්‍රේණියේ සිට ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් ගත කරන පස් වසර තුළ දරුවන් ඉන් සාක්ෂාත් කරගෙන ඇත්තේ නිපුණතා දෙකක් පමණි. ඒ සාක්ෂරතාව මෙන්ම ජෛව හා භෞතික පාරිසරික දැනුම පමණකි. අනෙකුත් නිපුණතා වන ආචාරධර්ම, ආගම, විවේකය, ක්‍රීඩා, පෞරුෂ වර්ධන හැකියා මෙන්ම සෞන්දර්යාත්මක නිපුණතා නිසි ප්‍රමාණයට මෙමඟින් අත් කරගෙන නැති බවයි. ඒ සියල්ල ශිෂ්‍යත්ව විභාග තරගය හේතුවෙන් අතහැරී ගොස් ඇත. එසේම මේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවන් විඳින මානසික ආතතිය මෙන්ම පීඩනයද සැලකිල්ලට ගනිමින් මේ අපේක්ෂිත අරමුණු දෙස නැවැත වරක් බලන්නට සිදුව තිබේ.
මේ අනුව ඉදිරියේදී ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ද්විතීයික පාසල් වඩාත් දියුණු කළ යුතු බවයි; එසේම අධ්‍යාපන පද්ධතියේ ඇති විෂමතා දුරු කර, පාසල් අතර සමානාත්මතාව ඇති කළ යුතු බවයි. අධ්‍යාපන බලධාරීන්ගේ වඩාත් අවධානයට යොමු විය යුතු කරුණක් ලෙස අශානි සිය පර්යේෂණයෙන් හෙළි කර ඇත්තේ ඉහළ ලකුණු ගැනීමක් නොව, කළ යුත්තේ වඩාත් හොඳ පාසල් දරුවන් අතට පත් කිරීමය. එවිට පාසල් අධ්‍යාපන වාර අවසානයේ පවත්වනු ලබන විභාගයට අමතරව වෙනත් විභාග පැවැත්වීමේ අවශ්‍යතාවද මතු නොවේ. මේ අතර, උසස් ප්‍රමිතියෙන් යුතු ද්විතීයික පාසල් ඉදිකිරීමේ ආණ්ඩුවේ යෝජිත සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නම් සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගැනීමේ දැඩි තරගකාරිත්වයක් ඇති නොවන බවද ඇය පෙන්වා දෙයි.
මේ පර්යේෂණ නිර්දේශවලට අනුව ‘ජාතික පාසල්’ හා ‘පළාත් පාසල්’ ලෙස ඇති වර්ග කිරීම් ඉවත් කළ යුතුයැයි මේ පර්යේෂණයෙන් යෝජනා කරනු ලැබ තිබේ.
එසේම මෙහිදී ඉදිරිපත් වූ තවත් යෝජනාවක් වන්නේ නිශ්චිත ද්විතීයික පාසලකට පිවිසීම සහතික කෙරෙන ප්‍රාථමික පන්ති පමණක් ඇති පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ සංවර්ධන රාමුවෙන් යෝජනා කර ඇති ආකාරයට වැඩි දියුණු කිරීමය. මෙවිට ශිෂ්‍යන්ට, ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගැනීමේ පීඩනයකින් තොරව ආසන්නයේ ඇති දියුණු කළ ද්විතීයික පාසලකට ඇතුළත් වීමට හැකියාව ලැබෙයි. මෙවිට පාසල් සඳහා වන ප්‍රබල ඉල්ලුමත්, විභාගයේ අවශ්‍යතාවත් ඉබේම අඩු වීමක් සිදු විය හැකි බව අශානි පෙන්වා දෙයි.
ඇය සිය පර්යේෂණයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පාසල් ගොඩනැගීම හා දියුණු කිරීම අභියෝගාත්මක මෙන්ම දිගුකාලීන වෑයමක් වන හෙයින්, ඒ වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ ව්‍යූහය හා අන්තර්ගතය වෙනස් විය යුතු බවයි.
මෙහිදී සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවට ආදර්ශයක් ගෙන දෙන්නක් වන අතර, එහි ඇගැයීම වඩාත් පදනම් වන්නේ විභාගවලින් ලබාගන්නා ලකුණුවලට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය, ජීවන කුසලතා ඇතුළත් පුළුල් පරාසයක් මතයි. වඩාත් හොඳ පාසල්වලට ඇතුළත් වීමට හැකි තරගකාරි බව මෙමඟින් අඩු නොවූවද ළමයින්ට තමන් ප්‍රියමනාප හා වඩාත් හොඳින් සංවර්ධනය කළ හැකි හරයන් සංවර්ධනය කිරීමට ඉඩ සලසා දීම මඟින් අඩු පීඩනයකින් හොඳ පාසල්වලට ඇතුළත් වීමේ බාධකය ජය ගැනීමට හැකි වන බව අශානිගේ විග්‍රහයෙන් ඉදිරිපත් වේ.
(ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (Institute of policy studies of Sri Lanka) පර්යේෂණ අංශයේ පර්යේෂණ නිලධාරිනී අශානි අභයසේකර සමඟ පැවැත්වූ සාකච්ඡාවකිනි)