ප්‍රේමය කඳුළක සඟවා තියා අවසන් ගමන් ගිය අලි පෙම්වතා | සිළුමිණ

ප්‍රේමය කඳුළක සඟවා තියා අවසන් ගමන් ගිය අලි පෙම්වතා

ගතවෙමින් ඇත්තේ අලින්ට අපල කාලයක් දැයි සිතේ. පොලොන්නරුව සෝමාවතිය ජල ගැලුම් රක්ෂිතයේ වගුරක වැටි අලි නව දෙනෙකු මිය ගොස් මසක්වත් ගියේ නැත. පසුගිය 18 දා කෝච්චියක ගැටීමෙන් අලි හතර දෙනෙක් මිය ගියහ. ඒ මිය ගිය අලි අතර ගැබිනි කෙනෙරක ද සිටියාය. මේ දෙකම අනපේක්ෂිත අලි අනතුරුය.

ඉකුත්දා කලාවැව අසල අලියකු සහ ඇතෙකු අතර ඇති වූ ද්වන්ද සටනකදි අලියෙක් මිය ගියේය. අලියාගේ මිය යෑමත් සමඟ ගම් වාසීන් පමණක් නොව ඒ සිද්ධිය ගැන ඇසූදුටුවෝ කවුර කවුරුත් කම්පා වන්නට වූහ. අද වන විට අලියා මිය ගොස් දින හතකි. නමුත් ඒ අලි ගැටුම ගැන තවමත් ඇත්තේ කම්පාවකි.

මෙය සිදු වුයේ කෙසේද තොරතුරු සොයාගිය ගමනේදි අලි චර්යාවන් හා බැඳුණු අපූරු කතා කිහිපයක්ම දැන ගන්නට ලැබිණ.

අලි රංචුවක හිත ගිය අලි කෙල්ලක තමන් සතු කර ගන්නට සටනට පැටලුණු ‘දීගදන්තු’ ඇතා කලාවැව පැත්තේ ප්‍රසිද්ධ ඇතෙකි. දීග දන්තු ලෙස නම් කළ ද මේ ‘දීගදන්තු’ හැරුණ විට තවත් ‘දීගදන්තුවෙක්’ සිටී. ඒ දීගදන්තු එකය’ ය. මාරාන්තික පෙම් සටනේ පැටලුණේ ‘ දීගදන්තු දෙක’ය.

‘‘ මේ දෙන්නම දරුණු ඇත්තු නෙමෙයි. දීගදන්තු එක කලාවැව ඉන්නේ මාස හයක විතර කාලයක්. අනෙක් කාලයට ඌ ඉන්නේ ගල්ගමුවේ . ගම්මාන ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. දීගදන්තු එකට ගිය අවුරුද්දේ ඉස්සරහා කකුලකට වෙඩි වැදිලා තිබුණා. ඉන් පස්සේ වනජීවි මහත්තුරු බෙහෙත් කරලා තිබුණා. කොහොම වුණත් මේ සිදුවීම වෙද්දී දීගදන්තු මෙහෙ හිටියේ නැහැ.

“දීගදන්තු දෙක නපුරු සතෙක් නෙමෙයි. මිනිස්සුන්ට නම් හිරිහැර කරලම නැහැ. මේ අලි මද කිපෙන කාලේ. අලි ඇත්තු අතර තම සහකාරිය තෝරා ගන්න ගියාම මේ වගේ ගැටුම් ඇති වෙනවා. දවසක් දෙකක් නෙමෙයි දවස් ගණන් උන් අතර ගැටුම තියෙනවා.”

අලි ඇත්තු පිළිබඳ වසර ගණනක අත්දැකීම් ඇති එම ප්‍රදේශයේ ජීවත්වන්නෙක් අප සමඟ පැවැසුවේය.

මහ කැලේ සතුන් අතර හරි අපූරු දේ වෙයි. ආදර බැඳීම් ලිංගිකත්වය සතා සිවුපාවාට ද පොදු ධර්මතා ය. වෙනසකට ඇත්තේ මහ කැලේ මැද්දේ සිදු වන මේ සියල්ල දකින්නේ ගස්වැල් පමණක් වීමය. අලි ඇත්තුන්ගේ චර්යා රටාවන් වුව එසේය. මහකැලෑවේ සිදු වන අලි ඇත්තුන්ගේ හැසීරිම් රටාවන් පසුගියදා ගම්වැසියෝ දුටුවෝය. එය අහඹුවකි. මින් පෙර මෙවැනි දසුනක් සජීවීව දැක නොතිබුණ කවුරුත් එදෙස බලා සිටියේ විමතියෙනි.

ත්‍රාසජනක ෆිල්ම් එකක් වගේ

මිනිසුන් අතර ගැටුමක් වූයේ නම් එය පොලිසියෙන් හෝ මැදිහත් වී සමථයකට පත් කරන්නට හැකිය. නමුත් සද්ධන්ත අලි ඇතුන් අතර ඇති වන ගැටුම් බලා සිටිනවා ඇරෙන්නට වෙන කුමක් කරන්නද?

‘‘සිද්ධ වෙච්ච දේ හරිම පුදුමයි. හරියට ත්‍රාසජනක ෆිල්ම් එකක් බැලුවා වගේ. දිගදන්තු අර අනෙක් අලියව පන්නගෙන යනවා. ඒ අලියත් මඟහැරියේ නැහැ. ඒ අලියා සද්ධන්තයි. එක පාරක් වනජීවි එකෙන් අලි වෙඩි දාලා දෙන්නා දෙපැත්තට කෙරුවා. අලියා මැරුණට පස්සෙත් කිහිපවතාවක් දීගදන්ත එතැනට ආවා. ඒ වගේම තමයි අලි රංචුව මැරුණ අලියා ගැන දුක් වුණා කියලා මට හිතෙනවා. බලාගෙන ඉන්න දුකයි. අලි රංචුවේ උන් හැසිරුණ විදිහ. පුංචිම පැටියත් මැරුණ අලියා ගාවට ඇවිල්ලා හොඬයෙන් ඉවකරනවා. ඒ දසුන් හිතට මහා දුකක් ගේනවා.”

ගැමියකු පවසන්නේ දෑසේ නැඟි කඳුළක් පිස දමමිනි. විටෙක ගම්වදින, වගාවන් හානි කරන වන අලි ගැන තරහක් නැති ගැමියෝ ගැන හිතේ මතුවන්නේ පුදුමයකි.

පෙම්වතියක් වෙනුවෙන් අලි මාරාන්තික සටනක යෙදෙන්නේ ඇයි ?. අලි චර්යා රටාවන් ගැන විමර්ශනය කරන ඒ පිළිබඳ හදාරා ඇති වනජීවි දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

‘‘මේක අරුම පුදුම සිද්ධියක් නෙමෙයි. අලි ඇත්තු අතර සාමාන්‍ය දෙයක්. මේ සිදුවීමේ වෙනස තියෙන්නේ මහජනතාව ගැවසෙන ප්‍රදේශයකදී සිදුවීමයි. මදකිපුණ තනි ඇතෙක් හෝ අලියෙක් තම තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඇවිල්ලා ඌට අරියාදු වුණාම මෙහෙම පහරදීම් වෙනවා. මේ ස්ථානයේ දෛනිකව දකින්න අලි රංචු නැහැ. නමුත් සංක්‍රමණික අලි තමයි ඉන්නේ. මේක පිරිමි සතුන් දෙදෙනෙකු අතර ඇති වුණ ගැටුමක්. දීගදන්තු දිගු දළ තියෙන ඇතෙක්. අනෙක් අලියත් පසුබැහැලා නැහැ.

සාමාන්‍ය අලියෙක් මියගියාම රැලේ ඉන්න අනිත් සාමාජිකයෝ ඌට අවසන් ගෞරව දක්වනවා. අලින්ට හොඳ මතකයක් වගේම ගුණයහපත්කමත් තියෙනවා. ඒ නිසා තමයි ඌ අර මිය ගිය අලියා ළඟට නැවත නැවත එන්නේ. ඒක හරියට සමාවෙයන් කියනවා වගේ වැඩක්. මට මතකයි දළදා මාලිගාවේ පෙරහරේ ගිය අලියෙක් තමන්ගේ ඇත් ගොව්වව මරා දැම්මා. ඉන් පස්සේ ඌ ඒ මළසිරුර ගන්න දුන්නේ නැහැ. අවසානයේ අපි අලියා නිර්වින්දනය කරලා තමයි මළසිරුර ගත්තේ.

මොළකන්නා

මොළකන්නා කියලා එකෙක් හිටියා. ඌ මිනිස්සු දහයකට වැඩිය මරලා ඇති. එක මනුස්සයෙක් මරද්දි ඒ මිනිහගෙ ඔළුව ගැලවිලා අලියගේ බඩට ගිහිල්ලා. මේ නිසා තමයි ඌට මොළකන්නා කිව්වේ. මේ මොළකන්නා මිනිහෙක් මැරුවට පස්සේ කොළ අතු ගෙනැල්ලා මිනිය වහනවා. එහෙම නැත්නම් කුඹ­ුරකදි නම් මළසිරුර මඩේ හංගනවා. උන් තමන් කරපු දේ ගැන දුක් වෙනවා.

අලි ලිංගික කාර්යෙ කරන්නේ බොහෝම රහසිගතව. ඒවා සිදුවෙන්නේ මහ කැලේ. මේ සියල්ලටම හේතුව ඔක්කෝටම වෙනස. අද පරිසරය වෙනස්වෙලා. සතාට ඉන්න තිබුණ පරිසරයේ මිනිස්සු පදිංචි වෙලා. කොහොම වුණත් මේ පෙම් පලහිලව්ව ස්වාභාවික සිද්ධියක්. කමන් කැමැති අලියව රැලෙන් පන්න ගන්න කරපු තැතකදි තමයි වෙනත් කෙනෙක් මැදිහත් වෙලා තියෙන්නේ. අලි මදකිපෙන කාලයට උන්ගෙන් පෙරමෝන කියලා ශ්‍රාවයක් නිකුත් වෙනවා. ඒ ආඝ්‍රාණයෙන් තමයි පිරිමි සත්තු ගැහැනු සත්තු හොයා ගන්නේ.”

අලි ලෝකයේ මාරාන්තික සටන පිළිබඳ එක් එක් අය එක් එක් දේ කියන්නේය. මීට කලකට පෙරද මෙවැනිම අලි ගැටුමක් පිළිබඳ අසන්නට ලැබිණි. කලාවැව ප්‍රදේශය වන අලි බොහෝ ප්‍රිය කරන ප්‍රදේශයකි. රජරටට බලපාන මෙවන් නියං කාල වලදී කලාවැව බලලුවැව යන වැව් වල පිරිසිදු ජලය මෙන්ම අලින් ප්‍රිය කරන තෘණ වර්ග තිබේ. කලාවැව බලලු වැව භූමිය හෙක්ටයාර් 4700 පමණ වේ. මෙම වැව් වල වැසි සමයට අක්කර අඩි ලක්ෂයක පමණ ජලය පිරේ. නියං සමයට පිරිසුදු ජලය රැඳී තිබෙන කලාවැව, බලලුවැව ප්‍රදේශවලට අනෙකුත් ප්‍රදේශවල සිට අලි ඇත්තු රංචු පිටින් සංක්‍රමණය වෙති. මේ සංක්‍රණික අලි ඇත්තු නිසා මේ දිනවල කලාවැව ජාතික උද්‍යානයේ අලි පිරිස දෙසිය ඉක්මවා සිටිති.

ජාතික උද්‍යානයේ දීගදන්තුගේ පෙම් පලහිලව්ව ගැන තොරතුරු සොයා යෑමේදි කලාවැවේ සිටින තවත් අලි ඇතුන් ගැන ද අපට දැන ගැනීමට ලැබිණි. දීගදන්තුගේ දරුණු ප්‍රහාරයෙන් මිය ගියේ ‘නැට්ට කොටා’ ය. කොට නැට්ටක් ඇති බැවින් කවුරුත් ඌ හඳුන්වන්නේ නැට්ටකොටා යන නමිනි.

මේ වන විට කලාවැවේ ඇත්තු දාහත් දෙනෙක් සිටිති. උන් එදා මෙදා තුර සිටින්නේ කලා වැවේය. ඇසළ, රේවත, නීල , බරණ මේ අතර සමහරෙකි. නියං කාලයට රැස්වෙහෙර ,කහල්ල, පල්ලේකැලේ, කැකිරාව, තිරප්පනේ යන ප්‍රදේශවල සිට අලි රංචු පිටින් කලාවැවට පැමිණෙති. කොහොම වුවත් එසේ පැමිණි අලි රංචුවක සිටි පෙම්වතිය දිනා ගැනීමටය දිගදන්තු හා නැට්ට කොටා අතර මාරාන්තික සටන ඇති වුයේ.

කලා-බලලු වැව් භූමිය

‘‘අලි මද කිපෙන කාලය මේ. ඒ වගේම තමයි රස්සනය අධිකයි. ඒ රස්නයත් එක්ක සත්තුන්ට කේන්ති යනවා. මේ අලි අතර මද කිපුණ අලි කිහිප දෙනෙක්ම ඉන්නවා. මේ සිද්ධිය පටන් ගත්තේ ඉකුත් දහවැනිදා . කොහොම හරි දීගදන්තුගේ ප්‍රහාරයෙන් නැට්ටකොටා මැරුණේ දාසය වැනිදා. ධීවරයෙක් තමයි අපට දැනුම් දුන්නේ අලියෙක් මැරිලා ඉන්නවා කියලා. මේ දීගදන්තු කලාවැවෙන් පිට යන්නේ නැති එකෙක්. මීට කලිනුත් මද කිපුණ තව ඇතෙක් එක්කත් ගැටුමක් ඇති වුණා. කොහොම නමුත් දීගදන්තුගේ ප්‍රහාරයෙන් නැට්ට කොටාගේ ශරීරයේ තුවාල විසිහයක් පමණ තිබුණා. මියගිය අලියට අවුරුදු හතළිහක් විතර ඇති.

අලි මැරෙන තුරු සටන් කරනවා. සටන අතරමග දාලා යන්නේ නැහැ. මියගිය අලියාගේ සිරුර වැළලුවාට පස්සේ දීගදන්තු ඒ අවට ඉඳලා තියෙනවා. දැන් ඌ උගේ පාඩුවේ ඉන්නවා. කලබලයක් නැහැ. අපේ නිලධාරින් කැලේදී ඌව දැකලා තියෙනවා.”

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ඩී. රාසිංහ මහතා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරුය.

දැන් කලාවැව නිහඬය. අලි ඇත්තු රංචු පිටින් එහි ගැවසෙති. කැලයේ සිටින අනෙක් සත්තු ද ඒ පරිසරය තුළ උන්ගේ පාඩුවේ සිටිති. සද්ධන්තයකු මියගිය වගක් දැන් උන්ට නැත. ඒ සතුන්ගේ ජීවන රටාවයි. උන්ගේ පැවැත්මේ අරුමය ය.

 

Comments