පොලිස්පති පුටුවෙන් වැටෙයිද? | සිළුමිණ

පොලිස්පති පුටුවෙන් වැටෙයිද?

පොලිසියේ 152 වන සැමරුම පැවැත්වුණේ මාසයකට දෙකකට පමණ පෙරය. ඒ සිදුවීමෙන් වැඩි දිනක් යන්නට පෙර සමාජයේ කතාබහට ලක් වන චරිත අතර පොලිස්පතිවරයාට සුවිශේෂ ස්ථානයක් හිමි විය. සමාජයේ නීතිය කෙරෙහි වැඩිම අවධානය යොමු කළ පුද්ගලයකු වන ඔහු ‘නීතිය නමන බව’ පසුගිය කාලයේදී දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළහ.

පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසා සිටියේ පොලිස්පතිවරයා ඉල්ලා අස් විය යුතු බවයි. එසේම මේ වන විට මාධ්‍ය මඟින්ද ප්‍රචාරය වන්නේ පොලිස්පතිවරයාට ඉල්ලා අස් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවකි. ඒ අනුව දෙසතියක් තුළ ඔහුට ඉල්ලා අස් වන්නට ජනාධිපතිවරයා විසින් පවසා ඇති බවට රාවයක් පැතිර පවතී.

මාධ්‍ය මඟින් වාර්තා කරනු ලබන දේ කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කිරීමට මහා සංඝයා වහන්සේ විසින් මාධ්‍ය හමුවක්ද පවත්වන ලදි. ඒ පොලිස්පතිවරයා විසින් ප්‍රසිද්ධ සභාවකදී භික්ෂූන් වහන්සේ දෙනමක් උදෙසා ‘ආතල් බඩු දෙකක්’ යන්න පැවසීම නිසාය. ස්වාමීන් වහන්සේට ගරු කිරීම කෙසේ වෙතත් දෙපාර්තමේන්තු ප්‍රධානියකු මෙරට වැඩිම ජනගහනයක් අදහන ආගමක පූජ්‍ය පක්ෂයට එලෙස ඇමතීම ගැන සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස හෙළා දැක තිබිණි.

පොලිස්පතිවරයාගේ මේ හැසිරීම ගැන මෙසේ කතා වෙද්දී භයානකම සිදුවීමක් වාර්තා වූයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාතාලය සමඟ පැවැති සබඳතා ඔස්සේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයක්ද සම්බන්ධ කතාවක් එළියට පැමිණීමත් සමඟය.

ඒ සම්බන්ධ හඬපටයක්ද මේ වන විට මාධ්‍යයට ඉදිරිපත්ව තිබේ. පොලිස්පතිවරයාට කොරේ පිටට මරේ කියන්නාක් මෙන් එකින් එක කඩා පාත් වන්නට වූයේ ඒ සිදුවීමෙන් රටම කැලඹීම නිසාය.

මාධ්‍යයටද ඒ දිනවල වෙනත් මාතෘකාවක් නැති විය. භික්ෂූන් වහන්සේට නුසුදුසු ආමන්ත්‍රණයත් සමඟ මේ කතාවන්ද ඇදී එළියට ආවේ මේ තත්ත්වය මත රටේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාවේ ප්‍රධාන නියමුවා වන පොලීසිය විසින්ම රටේ ආරක්ෂාව පහත දමා ඇත් දැයි විමතියක් රට තුළ දනවමිනි.

මේ කතාවැල දිගහැරීමට පෙර පොලිස් කොමිසම විසින් දෙන ලද තීන්දු-තීරණ ක්‍රියාත්මක නොකර, පොලිස්පතිවරයා ඒවා පසෙකට දැමීම පිළිබඳවද දැඩි අර්බුදයක් මතු විය.

අවසානයේ ව්‍යවස්ථාදායක සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදීම රැස් වූයේ පොලිස්පතිවරයා මෙන්ම පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 7 දෙනාම එහි කැඳවමිනි.

එහිදී ව්‍යවස්ථාදායක සභාව විසින් පහදා දී ඇත්තේ පොලිස්පතිවරයාට පොලිස් කොමිසමේ නිර්දේශ ඉක්මවා යා නොහැකි බවයි. එම නිසා දින 14ක් ඇතුළත සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇරැඹීම සිදු කළ යුතු බවත්, ගැටලු විසඳාගන්නා ලෙසත් ව්‍යවස්ථාදායක සභාව විසින් දන්වා තිබිණි.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවද එහිදී කොමිසමේ සභාපතිවරයා විසින් මාධ්‍යයට ප්‍රකාශයක්ද නිකුත් කර තිබිණි. එසේ නම් දෙපාර්තමේන්තු ප්‍රධානියකු විසින් ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැඩි පියවර ගත හැකි බව නීති විශාරදයන්ගේ මතය විය.

මාධ්‍ය මඟින් වාර්තා කෙරුණේ සති දෙකක් ඇතුළත පොලිස්පතිවරයාට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත් එවන් ඉල්ලා අස්වීමක් පිළිබඳ දන්වා නැති බව රජය විසින් මේ වන විට ප්‍රකාශ කර තිබේ. මේ කරුණු මෙසේ සිදු වෙද්දී එය පාර්ලිමේන්තුවේ මාතෘකාවක් වන තරමට ඇදී ගියේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ කතාවක් සමඟය.

දූෂණ විරෝධී සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා යැයි පවසනු ලබන නාමල් කුමාර නමැත්තකු විසින් කරන ලද මේ හෙළිදරවුවෙන් රටම කැලඹී ගියේය. අවසානයේ එය පාර්ලිමේන්තුව දක්වා ඇදී ගියේය. රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පැවසුවේ මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට නම් පළමුවෙන් පොලිස්පතිවරයා ඉවත් කර සිටිය යුතු බවයි.

පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ කනක හේරත් මන්ත්‍රීවරයා විමසා සිටියේ ජනාධිපතිවරයා විසින් හෝ අගමැතිවරයා විසින් හෝ පොලිස්පතිවරයාට ඉවත් වන ලෙස බලපෑම් සිදු කර ඇත්ද යන්න බවයි.

එයට පිළිතුරු දෙමින් නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ එවන් දැනුම්දීමක් සිදු කර නැති බවයි.

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාද දැඩි ලෙස විවේචනය කළේය. ඔහුගේ හැසිරීම දෙපාර්තමේන්තු ප්‍රධානියකුට කිසි සේත්ම උචිත නොවන අතර, පසුගිය කාලය පුරා ඔහුගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවද ඔහු පැවසුවේය. ඒ බව දැන්වූවත් ඒ කිසිවකු නොසලකා තමන්ගේ මතය පරිදි කටයුතු කිරීම ඉතා දුර්වල පුද්ගලයකු ලෙස ඔහුගේ හැසිරීමක් බවද අනුර කුමාර මහතා කීය.

මේ අතර එස්. බී. දිසානයක හා ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරුන්ද පසුගිය සතියේ පවසා සිටියේ පොලිස්පතිවරයාගේ නොමනා ක්‍රියා කලාපය සලකා ඔහු ඉවත් කළ යුතු බවයි.

මෙවන් තත්ත්වයක් තුළ රටේ ආරක්ෂාවට මෙන්ම පොලීසියේ නීතිය හා සාමය රැකීම පිළිබඳවද ගැටලුවක් මතුව ඇත. එමෙන්ම පොලීසිය කෙරෙහි තිබෙන විශ්වාසය ඉතා දුර්වල ලෙස බිඳවැටී ඇති බව මේ අනුව පෙනෙන්නට ඇත.

පොලිස්පතිවරයා තම පත්වීම ලබාගෙන සිදු කළ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ තමන් යළි ප්‍රවෘත්ති සාකච්ඡා නොපවත්වන බවයි. එසේ වුවත් තමන්ට යම් හෝ අවැඩක් අගතියක් සිදු වනු බවට පෙනෙන්නට වූ විට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට ඔහු කටයුතු කළ බව බව සමාජ මාධ්‍ය මඟින් වාර්තා කර තිබිණි. පොලිස්පතිවරයාට ප්‍රතිපත්තියක් නැති බවද ඒවායේ දැක්විණි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ වන විට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැමිණිලි රැසක් පැමිණ ඇති අතර, ඒ සියල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. එහෙත් ගැටලුව වන්නේ පොලිස්පතිවරයා ධුරයේ සිටියදී එවන් පරීක්ෂණයක් සිදු කිරීමේදී එය කොතරම් දුරට සාර්ථකව සිදු කළ හැකිය යන්නයි. එවන් පසුබිමක පොලිස් නිලධාරියකුගෙන් අගතියෙන් තොර සාක්ෂියක් ලබාගන්නට හැකි වේද යන්න පවා ඉතාම සැක සහිතය. පොලිස් කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා හෝ අනෙක් නිලධාරීන් සම්බන්ධයෙන් හෝ තමන්ට තීන්දු-තීරණ ගත හැක්කේ පවත්නා නීති ප්‍රතිපාදන මත පමණක් බවත් එයින්ද පොලිස්පතිවරයා සම්බන්ධව ක්‍රියා කිරීමට කොමිසමට බලයක් නැති බවද ඔහු කීවේය.

කෙසේ වෙතත් ලබා දුන් දින 14ක කාලය තුළදී ගැටලු විසඳාගන්නට පොලිස්පතිවරයා ඉතා හොඳින් සහයෝගය දුන් බවද ඔහු කීවේය.

මේ සම්බන්ධව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ පොලිසියේ රාජකාරි නිසි පරිදි සිදු වන බවත්, පොලිස්පතිවරයා ‘පොඩි ඩාන්ස් එකක් පමණක්’ දැමූ බවත්ය. එමෙන්ම පොලිස්පතිවරයා සම්බන්ධව යම් යම් තීන්දු තීරණ ගැනීමට තමන්ට බලයක් නැති බවත් ඒ සම්බන්ධව යම් හෝ කටයුත්තක් වේ නම් ව්‍යවස්ථාදායක සභාව ඊට මැදිහත්ව කටයුතු කරනු ඇති බවත් ඔහු කීවේය.

පොලිස්පතිවරයාගේ යම් යම් අඩුපාඩු ඇත් නම් ඒවා නිවැරැදි විය යුතුමය. පොලීසිය සැම විටම නීතිගරුක විය යුතුමය. එසේ නොවුණ හොත් පොලීසියේ හෙට දිනය ගැන අපට සිතන්නට වන්නේ අපගේ ආරක්ෂකයන් නොව, අපගේ ආරක්ෂාවට හානි කරන්නන් වශයෙනි. ඒ සියලු කාර්යයන්ගේ ප්‍රධාන වගකීම හිමි වන්නේ පොලිස්පතිවරයාට වන අතර, ඔහුගේ ඒ වගකීම නිසි ලෙසින්ම සිදු නොවී නීතිය නැමී ගිය හොත් ජනතාවට කාගේ පිහිටද යන්න අසන්නේ පොලිසියේ කාගෙන්ද?

සේයාරූ - අන්තර්ජාලයෙනි

(නිරූපණයක් පමණි)

Comments