මහපාර බිහිසුණු බව අගමැතිටත් කියා දුන් නොහික්මුණු තරුණයා | Page 2 | සිළුමිණ

මහපාර බිහිසුණු බව අගමැතිටත් කියා දුන් නොහික්මුණු තරුණයා

දිනය පසුගිය 26 වැනිදාය. රාත්‍රිය එළඹී තිබුණේය. අගමැතිතුමා රාත්‍රියේ පිටත් වී තිබුනේ අංක 143, රාජගිරිය පාර රාජගිරියේ ස්වකීය සමීපතමයෙකුගේ අවමංගල්‍යයකයට සහභාගී වීම සඳහාය. මේ ගමන නිශ්ඡිත පෙර දැනුම් දීමකින් කළ ගමනක් නොවේ. එවැනි අවස්ථාවලදි ප්‍රභූ ආරක්ෂාව සලසන ක්‍රමවේදයක් තිබේ. සියල්ල සැලසුම් වී තිබුණේ ඒ ආකාරයටය. එමෙන්ම රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ජනතාවට අවම අවහිරයක් වන ආකාරයට ප්‍රභූ ආරක්ෂාව සැපයීමය. අගමැතිවරයා සම්බන්ධව හෝ ජනාධිපතිවරයා සම්බන්ධවත් ඒ ප්‍රතිපත්තිය පොදුය.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ පැමිණීමත් සමග වැලිකඩ පොලිසියෙන් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණි. මරණගෙදර තිබුණේ රාජගිරිය මොරගස්මුල්ල පාරේය. එහි යන වාහන නිරීක්ෂණය කිරීම සඳහා වැලිකඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කීපදෙනෙක් යොදවා තිබිණි. මරණගෙදර පැය භාගයකට ආසන්න කාලයක් ගත කළ අගමැතිවරයා රාත්‍රී 9.45 පමණ වනවිට පිටත් වන්නට නැගී සිටියේය. ආරක්ෂක රථ පෙළ සූදානම්ව තිබිණි. අගමැතිවරයා මෝටර් රථයට නැග්ගේය.

පොලිස් නිලධාරීන් එක්වරම දුටුවේ රාජගිරියේ සිට මොරගස්මුල්ල දෙසට අධික වේගයෙන් එන යතුරුපැදියකි. මේ අනපේක්ෂිත දැකුමත් සමග වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් මාර්ගයට පිවිස යතුරුපැදිය නතර කරන ලෙස සන් කළේය. යතුරුපැදිකරු කලබල වූ සෙයක් පෙනුණි. ඔහු වේගය තවත් වැඩිකරමින් වෙට්ටුවක් දමා ඉදිරියට ගියේය.

ඊලඟ තත්පරයේදී යතුරුපැදිය අගමැතිවරයාගේ වාහනය අසල සිටි ආරක්ෂකයන් දෙදෙනෙක් හප්පාගෙන ගොස් පෙරළුනේය. එක් නිලධාරියෙක් අගමැති ආරක්ෂ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකි. අනෙක් තැනැත්තා අගමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඒ සැනකින් ආරක්ෂක නිලධාරීහු යතුරුපැදිය සමග පෙරළී සිටි යතුරුපැදිකරු අත්අඩංගුවට ගත්හ. ආරක්ෂක අංශ අගමැතිවරයාව විශේෂ ආරක්ෂාව මැද වහාම ස්ථානයෙන් පිටත් කළේය. අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයට පත්විය. අනතුරට ලක්වූ නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කෙරිනි.

සැකකරු පිළිබඳව පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. වැලකීගොස් තිබුණේ බරපතල අනතුරකි. එහෙත් එය ඉතාම අනපේක්ෂිත අනතුරක් බවත් මේ නොහික්මුණු යතුරුපැදිකරු පදිංචි වී සිටියේ රාජගිරිය යූ.ඊ පෙරේරා මාවතේ බවත් ඔහු තවමත් 20 හැවිරිදි තරුණයෙක් බවත් පොලිසියට හෙළිවිය.

“ අනේ සර්. එතන අගමැති තුමා ඉන්නවා කියලා මං දන්නේ නෑ. මට ලයිෂන් නෑ. පොලිසියෙන් නැවැත්තුවොත් ලොකු ප්‍රශ්නයක්. ඒත් පාරෙ ට්‍රැෆික් එකෙන් හිටියා. මං හැදුවෙ පොලිසිය මගහැරලා එන්න. එතකොට තමයි ඉස්සරහ තියන වාහන ගොඩ දැක්කෙ. මට බයික් එක කන්ට්‍රෝල් නැතිව ගියා. ”

ඔහු පොලිසියට පවසා තිබිණි. වලංගු රියදුරු බලපත්‍රයක් නැති මේ තරුණයා පොලිස් අණ නොතකා ධාවනය කර රටේ අගමැතිවරයාගේ ආරක්ෂාවත් කොනහා තිබේ. කෙසේ වෙතත් මේ අසංවර තරුණයා අගමැතිවරයාට මේ රටේ මහපාරේ යථාර්ථය පෙන්වා දී තිබුණේය.

පසිඳු චන්දික ද සිල්වා ලෙස හඳුනාගෙන ඇති මොහුගේ එක් ඇසක පෙනීමේ අඩුවක් ඇති අයුරු ද හෙළි විය. “ මේ ළමයා ඔහොම තමයි... ඔය විදිහට යන්න එපා කියලා අපි කොච්චරවත් කියනවා. අන්තිමට හිරේ විලංගුවෙ වැටෙන වැඩක් කරගත්තෙ. ඔයින් ගියා ඇති.” තරුණයාගේ දෙමව්පියෝ පවසති.

සැකකාර යතුරුපැදිකරු පසුගිය 27 දා අලුත්කඩේ අංක 07, මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරියේය. රාජකාරියේ යෙදී සිටියදී තමන් විසින් අනතුරට පත්කළ තුවාලකරුවන් හට වන්දි මුදල් ලබා දීමටද එහිදී යතුරුපැදිකරු එකඟ වුණේය.

එහෙත් මේ සිද්ධිය විමසිය යුතු කාරණා කීපයක් සම්බන්ධව හෙළි කරයි. එකක් මේ රටේ මහපාරේ ඇති බිහිසුණු බවය. අගමැතිවරයාගේ ප්‍රභූ රථ පෙළ නොවන්නට මේ නොහික්මුණ තරුණයා බිලිගනු ඇත්තේ අහිංසක පදිකයෙකුගේ ජීවිතය ය.

මේ රට සෑම පැය දෙකකට වරක්ම මිනිසෙක් මහ මග මරා දමන රටකි. ඒ අවිනීත රටේ අශික්ෂිත මනුෂ්‍යයන්ගේ සාම්පලයක් මේ තරුණයා පිළිබිඹු කරයි. ඔහුගේ ඇසක් පෙනෙන්නේ නැත. ඔහුට යතුරුපැදියට වලංගු බලපත්‍රයක් නැත. පොලිසියේ අණට කීකරු වීමට තරම් සංයමක් ඔහුට නැත. මේ පුද්ගලයන් ජීවත් වන්නේ රටේ නීතිටය ඔබ්බෙනි. අගමැතිවරයා සජීවීව අත්වින්දේ ඒ යථාර්ථය ය. පාරට බහින උන් ගෙදර එන්නේ පෙර පිනකට බව අගමැතිවරයාටත් මේ තරුණයා වටහා දුන්නේය.

අනෙක් කරුණ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ පොලිසියේ හැසිරීමය. රටේ අගමැතිවරයා නුදුරෙහිය. වේගයෙන් එන යතුරුපැදියක් ඔවුන් ඉදිරිපිටය. පාර අයිනේ සිට නලාව පිඹ නොනවත්වා යනවිට ක්ෂණික තීරණයක් ගෙන ක්‍රියාත්මක නොවී “ඕහ්... අපි අණ කළා. අණ නොතකා ගියා..” වැනි ගොං කතා කියන පොලිසියක් වඩාත් සුදුසු කුඹුරු පැහෙන විට කුරුල්ලන් පළවා හරින්නට වෙල් මැද්දේ හිටවා තබන්නටය.

 

Comments