සෙබළාට දිවි අහිමි කළ ගිනි අවි කොල්ලය | Page 2 | සිළුමිණ

සෙබළාට දිවි අහිමි කළ ගිනි අවි කොල්ලය

අපරාධකරුවකු කොතරම් සැලසුම් සහගතව අපරාධයක් සිදු කළද කොතැනක හෝ ඔහුට අතපසුවීමක් සිදු වීම අනිවාර්යය.

අපට මේ කතාවට නිමිත්ත සපයන්නේ පසුගිය 21 වැනිදා අ‍ඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී සෙබළකු ඝාතනය කිරීමේ සිද්ධියයි. බැලූ බැල්මටම මෙය භයානක සිදුවීමක් වන්නේ හමුදා කඳවුරක රාජකාරියේ යෙදී සිටි සෙබළකු ඝාතනය කර, ඔහු සතු ගිනි අවියද පැහැර ගැනීම තුළ මතු වන සිවිල් ජනයාගේ ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිත හැඟීමද හේතුවෙනි. සිද්ධිය වූ දා උදෑසන සිටම යුද හමුදා බුද්ධි අංශ මෙන්ම පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයන්ද අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයට පැමිණ වහා පරීක්ෂණ ආරම්භ කළේද එබැවිනි. එහිදී කොළඹ උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන්, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් හා අත්තනගල්ල පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ සහායෙන් මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදි.

රටේ ඕනෑම ස්ථානයක ඝාතනයක් සිදු කිරීමට හැකියාව තිබෙන්නට පුළුවන. එහෙත් මෙහිදී මතු වූ ගැටලුව වූයේ යුද හමුදා කඳවුරකදී ඝාතනයක් සිදු කිරීමෙන් පසු, ගිනි අවියක් ගෙන ගියේ කෙසේද යන්නය. මක් නිසාද යත්: හමුදා කඳවුරක සේවයට වාර්තා කළ පසු නිසි අවසරයකින් තොරව කඳවුරෙන් එළියට යෑමට පවා නොහැකි වීමයි.

හමුදා කඳවුරකින් ගිනි අවියක් සොරාගැනීම ලෙහෙසි-පහසු කරුණක් නොවේ. නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා කණ්ඩායම් කිහිපයක්ම යොදවා එහි පරීක්ෂණ කටයුතු මෙහෙයවන්නට වූයේ සියලු සාක්ෂි විමර්ශනය කර බලමිනි.

පිටින් ඇවිත් නැහැ

‘‘බැලූ බැල්මටම අපිට පෙනී ගියා කඳවුරට පිටින් පැමිණි කෙනකුට මේ වගේ අපරාධයක් කරන්න හැකියාවක් නැති බව. ඒ වගේම කඳවුරේදී ඝාතනය වූ මේ සෙබළා සතුව තිබූ ගිනි අවියේ පතුරම් තිබී නැහැ. ඔහු සේවය කර තිබෙන්නේ විශේෂ ආරක්ෂක පෙනී සිටීමේ සෙබළකු ලෙසයි.

මේ ගැන පරීක්ෂණ කණ්ඩායම් යොදා සිදු කළ පරීක්ෂණවලදී කරුණු එකින් එක ඈ‍ඳෙන්න වුණා. අප කඳවුරෙන් පිටතට ගිය යතුරුපැදිය සම්බන්ධ විස්තර සොයාගත්තා. ඒ අනුව අදාළ පුද්ගලයා හඳුනාගන්න අපට හැකියාව ලැබුණා. ඔහු කඳවුරේම සේවය කරන සොල්දාදුවෙක්.

මේ ලෙස ගිනි අවියක් ගන්නට මාස කිහිපයක සිට සැලසුම් කර ඇති බව මේ වන විට අපට පෙනී ගොස් තිබෙනවා. ඔවුන් මේ ගිනි අවිය සොරකම් කර, ඒ මඟින් නාරම්මල කටුපොත බැංකු කොල්ලයකට සැලසුම් සකස් කර තිබෙනවා. අප දැන් සියල්ලේම තොරතුරු සොයාගෙන අවසානයි. දැන් සැකකරුවන්ට විරුද්ධව නීති ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නේ.’’

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතා මේ පරීක්ෂණ කාර්යයට විශාල දායකත්වයක් සැලසීය. ‍පෑලියගොඩින් පැමිණි සියලු කණ්ඩායම්වලට අවශ්‍ය කටයුතු සලසමින් පරීක්ෂණ කටයුතු සඳහා ඔහු සහාය ලබා දුන්නේය.

‘‘දරුණුම ත්‍රස්තවාදීන් පවා පරදවන්නට සමත් වෙච්ච හමුදාව සිටින කඳවුරකට පිටස්තරයකුට ඇතුළු වී මෙවන් අපරාධයක් කරන්න බැරි බව අපට පෙනී ගියා. අපට මේ සම්බන්ධ පරීක්ෂණ කර දින දෙක-තුනක් තුළ සැකකරුවන් පවා අත්අඩංගුවට ගන්න හැකි වුණා. මෙහිදී අත්තනගල්ල පොලිස් අධිකාරිවරයා ඇතුළු අනෙකුත් සියලු පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබුණා. සැකකරුවන් පමණක් නොවෙයි, පැහැරගත් ගිනි අවියත්, සෙබළා ඝාතනයට යොදාගත් තියුණු ආයුධයකුත් අප සොයාගෙන තිබෙනවා. ඉදිරි සියලු කටයුතු නියෝජ්‍ය පොලිස්පතිතුමා යටතේ පෑලියගොඩින් සිදු කෙරෙනවා,’’ මුදිත ‍පුස්සැල්ල මහතා කීය.

පොලීසිය විසින් කරුණු එකින් එක දිගහැරගත්තේ අත්අඩංගුවට ගත් යතුරු පැදිය පැදගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. අපට මේ වන විට වාර්තා වන කරුණු අනුව ඒ අමිහිරි කතාන්දරය ගොඩනැඟෙන්නේ මෙසේය:

පොහොසත් වන ක්‍රමය

නාරම්මල පදිංචි විමල් අඹේපුස්ස කඳවුරේ සේවය කරන්න පැමිණ වසරකට ආසන්නය. විමල්ගේ හොඳම මිතුරා වූයේ සජින්ය. මේ දෙදෙන යුද හමුදාවේ කලක පටන් හොඳ මිතුරෝය. එසේ වුවත් අනෙක් අයට වඩා වෙනස් ස්වරූපයක් මේ දෙදෙනාගෙන්ම දිස් විය. ඒ යටිකූට්ටු වැඩට ඔවුන් පෑ අතිදක්ෂකම හේතුවෙනි. මේ දෙදෙනා ඉක්මනින් පොහොසත් වීමේ ක්‍රමයක් සොයන්නට වූයේ වසර කිහිපයක සිටය. ඒ සඳහා හොඳම ක්‍රමය බැංකුවක් දෙකක් කොල්ලකෑම බව ඔවුහු තීන්දු කළහ.

ඒ සඳහා අවශ්‍ය ගිනි අවිය යුද හමුදාවෙන්ම සොරාගැන්මට ඔවුහු කතිකා කරගත්හ. එහෙත් හමුදාවේ අවි ගබඩාවෙන් ගිනි අවියක් සොරාගැනීම පහසු කාර්යයක් නොවන බවද ඔවුහු හොඳින්ම දැන සිටියහ. එසේම මුරකාවල සිටින සෙබළුන් සතු ගිනි අවි පතොරම් සහිත හෙයින් ඒ ගිනි අවියක් සොරාගන්නට උත්සාහ දැරීමද ලෙහෙසි-පහසු නොවන බව ඔවුහු දැන සිටියහ.

ඔවුන්ගේ ඇසට යොමු වූ තවත් ස්ථානයක් විය. ඒ කඳවුර තුළ ‘යෂ්ටිය’ ආරක්ෂක සේවක සෙබළාය. ඔහු සිදු කරන්නේ යෂ්ටිය ආරක්ෂා කරන බව නිරූපණය කිරීමයි. ඒ තුවක්කුවේ පතරොම් නැත. එහෙත් දිවා කල එය සොරකම් කිරීමද පහසු නැත. ඒ සඳහා හොඳම කාලය රාත්‍රිය බව ඔවුහු කතිකා කරගත්හ.

සෙබළාට අතින්-පයින් පහර දී ඔහු මෙල්ල කරගැනීම පහසු නොවන බව තේරුම් ගත් විමල් සජින්ට යෝජනා කෙළේ ඔහුට තියුණු උල් ආයුධයකින් ඇන තුවාල සිදු කර හෝ ඝාතනය කර හෝ ගිනි අවිය පැහැරගත යුතු බවයි.

ඒ අනුව සවස විමල්, සජින් හා තම සැලසුම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ පසුගිය 20 වැනිදාය. විමල් එදින සවස නිවෙසට යන බව කඳවුරට පවසා යතුරුපැදියකින් පිටව ගොස් ඇත. කඳවුර තුළදී හමු වන අයට යතුරුපැදිය නවතා පවසා ඇත්තේ තමා නිවෙසට බන බවයි.

එසේ පවසා ගියද ඔහු කඳවුරෙන් පිටව ගොස් නැත. යතුරුපැදිය කඳවුරේ පිට්ටනියක් අසල නවතා තැබූ ඔහු අනෙක් අයගේ ඇසට නොගැටෙන සේ කඳවුර තුළ සැඟව සිටියේය. සජින් ඒ සඳහා ඔහුට අවශ්‍ය සහාය දුන්නේය. මාරයාගේ හෝරාව එළඹිණි. අලුයම 3ට පමණ විමල්, සජින් සමඟ තම ඉලක්කය සපුරාගැන්ම පිණිස යෂ්ටි ආවරණය අසලට ගියේය. ඒ සරඹ කරද්දී සැරසෙන ඇඳුමකින් සැරසීගෙන නිලධාරියකු සේය.

‘‘ළමයා මෙහේ එනවා!’’ ඔහු යෂ්ටි සෙබළාට කතා කළේය. ආලෝකය මඳ හෙයින් විමල් අඳුනාගන්නට ඔහුට නොහැකි වන්නට ඇත.

එකෙණෙහිම සෙබළාගේ කට වසා ගිනි අවිය පැහැරගත් විමල් සහ සජින් ඔවුන් අත වූ තියුණු ආයුධයෙන් මුර සෙබළාගේ ගෙලට හා පසු පසට ඇනගෙන ගියෝය.

ඔහු ඇදවැටුණු පසු සජින් තම නේවාසිකාගාරයට ගිය අතර, පිට්ටනිය අසල සඟවා තිබූ යතුරුපැදිය ගත් විමල් ගිනි අවිය තම උඩු කය පිටුපස සඟවාගෙන යතුරුපැදිය වේගයෙන් පදවාගෙන කඳවුරේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටව ගියේය.

නොනවත්වා ගිය යතුරුපැදිය

විමල්ගේ හා සජින්ගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ සෙබළා සුළු වේලාවකින් මිය ගියේය. යක්ෂයාගේ හෝරාව එයින් නිමා වූයේ රණවිරුවකුගේ ප්‍රාණය නිරුද්ධ කරමිනි.

අලුයම 3.50ට පමණ හමුදා සෙබළකු කඳවුරෙන් පිටව යන්නට ගියේ වෛද්‍ය පරීක්ෂණයකට යෑම පිණිසය. මුණින් අතට වැටී සිටි යෂ්ටි මුරට සිටි හමුදා සෙබළා දුටු ඔහු වහා ඒ ගැන සොයා බැලුවේය. ඒ බව වහාම ඉහළ නිලධාරීන්ට දන්වනු ලැබිණි. නිලධාරීන් සිද්ධිය පොලීසියට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ විය.

පරීක්ෂණ ආරම්භ වූයේ අවට සියලු සීසීටීවී කැමරා පද්ධති පරීක්ෂා කිරීමෙනි. කඳවුරේ ප්‍රධාන ගේට්ටුවෙන් වේගයෙන් නොනවත්වා ගිය යතුරුපැදිය ගැන පළමුව විමර්ශනය කරමින් ප්‍රධාන සැකකරු අනාවරණය කරගනු ලැබිණි. ඒ මඟින් ඔහුගේ ප්‍රධාන ඉලක්ක සොයාගන්නට පොලීසියට හැකි විය. එහෙත් ඔවුන්ගේ ඉලක්කය වැරදී ගියේය. සජින් කඳවුර තුළදීත් විමල් නාරම්මල පිහිටි ඔහුගේ නිවෙසේදීත් පොලිස් අත්අඩංගුවට පත් විය.

පොලීසියේ දස්කමක්

පොලීසියේ දක්ෂතාව නිසාම දින දෙකක් තුළදී සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත් අතර, සොරාගැනුණු ගිනි අවියද කනත්තක වළ දමා තිබියදී පොලීසිය විසින් සොයාගන්නා ලදි. ඝාතනයට යොදාගත් ආයුධයද ළිඳක තිබී සොයාගන්නට පොලිස් කණ්ඩායම්වලට හැකි විය.

දැන් විමල් හා සජින් දෙදෙනාම බන්ධනාගාරයේය. ඔවුන්ට දැන් රැකියාවද අහිමි වනු ඇත. ඉක්මනින්ම දියුණු වන්නට අධර්මයෙන් මං සොයන විමල් වැන්නවුන්ට සිදු වන්නේ මෙවන් ඉරණමකට මුහුණ දෙන්නටය.

මෙහිදී අප අවධානයට යොමු කළ යුතු තවත් කරුණක් ඇත. ඒ ප්‍රධාන ගේට්ටුවෙන් යතුරු පැදිය පිටව ගියේ කෙසේද යන්න ගැනයි. සියලු පුද්ගලයන් පරීක්ෂා කරන තත්ත්වයක් තුළ ඔවුන් පිටත්ව ගිය ආකාරයද අපි සොයාගතිමු.

අඹේපුස්සේ ඇත්තේ ස්වයංක්‍රීය විද්යුත් ගේට්ටුවකි. එය මේ දිනවල අක්‍රියව ඇත. එහෙයින් මුරකුටියේ සෙබළුන් සේවයේ යෙදී සිටියද, තිබී ඇත්තේ විද්යුත් ගේට්ටුව තරමක් විවෘතවය. එයද විමල්ගේ තියුණු ඇසට යොමු වූ බව අපට මෙයින් ඉතා පැහැදිලිය. මෙය යුද හමුදා කඳවුරක ආරක්ෂාව සම්බන්ධ බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ සිදු වූ පළමුවන ගිනි අවි සොරකම මෙය නොවේ. මීට වසර 10කට පමණ පෙරදීද කඳවුරෙන් ගිනි අවියක් සොරකම් කරන ලද අතර, පසුව එය සොයාගැනිණි. මීට වසරකට පමණ ඉහතදීද එවැනිම අයුරින් ගිනි අවියක් සොරාගන්නා ලද අතර, මේ වන තෙක් ඒ ගැන හෝඩුවාවක්වත් නැත.

රටේ ආරක්ෂාව පිළිබඳ ඉතා වැදගත් මර්මස්ථානයක් වන යුද හමුදා කඳවුරක් සම්බන්ධයෙන් මීට වඩා අවදියෙන් සිටිය යුතුමය. මෙවන් අපරාධ වළක්වාගැනීමට පැහැදිලි නියාමනයක් තිබිය යුතුමය.

(සැකකරුවන්ගේ නම් මනංකල්පිතයි)

Comments