ඇඹුල ඇඹිලිය සම්බෝලය උදරයට දෙන අපූරු ගුණ | Page 3 | සිළුමිණ

ඇඹුල ඇඹිලිය සම්බෝලය උදරයට දෙන අපූරු ගුණ

  • ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් අගුණයි
  • ඇගේ ලේ වඩවයි

ගෙදර මිදුලේ ඉබේ වැවී දසත පැතිරි යන “ඇඹුල් ඇඹිලිය” වැල් බොහෝ දෙනා සලකන්නේ වල් පැළෑටියක් ලෙසය. මේ නිසාම වර්තමානයේ නාගරික ප්‍රදේශ වල ස්වභාවිකව පළසක් සේ වැවුණු “ඇඹුල් ඇඹිලිය” වැල් දැකගැනීම අසිරුය. මහා ඇඹුල් ඇඹිලිය, හීන් ඇඹුල් ඇඹිලිය ලෙසින් “ඇඹුල් ඇඹිලිය” ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය. මහ ඇඹුල් ඇඹිලිය කොළ හීන් ඇඹුල් ඇඹිලිය කොළවලට වඩා තරමක් ලොකුය. මෙයින් ඖෂධ සඳහා භාවිතයට ගන්නේ හීන් ඇඹුල් ඇඹිලියයි.

Oxalis corniculata විද්‍යාත්මක නාමයෙන් හදුන්වන “ඇඹුල් ඇඹිලිය” දේශීයව රට ඇඹල සහ ඇඹුල් පලා ලෙසද හඳුන්වයි. ගොටුකොළ සේම “ඇඹුල් ඇඹිලිය”ද, කැඳට, මැල්ලුමට, සම්බෝලයට, තෙල් දැමීමට සහ ව්‍යාංජනයක් ලෙසද භාවිතා කළ හැකිය. කුසගිනි වඩන, ආහාර අරුචිය දුරලන, වේදනාවන් සහ ඉදිමුම් නසන ඇඹුල් ඇඹිලිය අපේ කෑම වේලට නිතිපතා එක්කර ගත යුතු හොඳ හෙළ ඔසුවකි. ආහාරයක් සමබර වීමට එහි මධුර, අම්ල, ලවණ, කටුක තික්ක, කෂාය යන සියලු ගුණයන් පැවැතිය යුතු බව ආයුර්වේදයේ සඳහන් වේ.

“ඇඹුල් ඇඹිලිය” ලංකාවේ බොහෝ ප්‍රදේශවල පොළොව මතුපිට හෝ පස් යට දුවන අඩියක් පමණ දිග හීන් කඳක් ඇති බහු වාර්ෂික ශාකයකි. කඳේ ඇති සන්ධිවලින් මුල් ඇදේ. ඉහළට නඟින දිග හීන් අතු කඳෙන් විහිදේ. කොළ ඒකාන්තරය. ත්‍රිපත්‍රිය. පත්‍රිකාවක් අඟල් 3/4 පමණ දිගය. සෘජු කක්ෂීය මංජරි වෘන්තවල තිබෙන කුඩා ඡත්‍රයන්හි කුඩා මල් පිපේ. මල් කහ පාටය. ආයුර්වේද ගුණයන් සැලකූ කළ රසයෙන් අම්ල සහ කෂායද, ගුණයෙන් ලඝු හා රූක්‍ෂද වේ. වීර්යයෙන් ඌෂ්ණය. අම්ල විපාකයෙන් යුතුය.

දේශීය වෙදකමේද ආහාරයක විවිධාංගිකරණය ගැන නිතර සඳහන් වේ. එහෙත් වර්තමාන සමාජයේ ආහාර වේලක මේ සියලු ගුණ අන්තර්ගත නොවේ. අප ගන්නා ආහාර වල බහුලව අඩංගු වන්නේ මාංශමය කොටස් සහ තෙල්ය. මෙවැනි අවස්ථා වල ආහාර ජිර්ණ ක්‍රියාවලිය සඳහා වැඩි වේලාවක් ගතවේ. ශාකමය කොටස් අඩු මෙවැනි ආහාර දිඟින් දිගටම ගැනීම මගින් ආහාර ජිර්ණ පද්ධතිය වෙහෙසට පත්වේ. එවිට ග්‍රහණි රෝග තත්වයන් මතුවේ.

ග්‍රහණි රෝගයේදී ආහාර පැසවීම අඩු වේ. වරෙක දියාරු ලෙසද, වරෙක ගන ලෙසද මලපහ පිට වේ. උදරයේ වේදනාව සහ අසහනකාරීත්වය ඇති වේ. අරුචිය ඇති වේ. මෙය සුව වීමට කල් ගත වන රෝගයකි. එහෙත් සියලු අංගයන්ගෙන් සමන්විත සමබල ආහාර වේලකදී ජිර්ණය පහසු කරන අම්ල රසය අන්තර්ගත බැවින් ආහාර ජීර්ණ පද්ධතිය වෙහෙසට පත් නොවේ. ආහාර ජිර්ණයට ආහාරයෙන්ම උත්තේජනය සැපයෙන බැවින් එය සිරුරට පහසුවකි. ග්‍රහණි රෝගවලින් මිදීමට මඟකි.

“ඇඹුල් ඇඹිලිය” ඖෂධයක් ලෙස රෝග ප්‍රතිකාරය සඳහා සෘජුව යොදාගැනීමකට වඩා වැදගත් වන්නේ එය ආහාරයක් ලෙස යොදාගැනීමය. රෝග ප්‍රතිකාරයට වඩා රෝග වළක්වා ගැනීමට දිරි දෙන දේශීය වෙදකමේදී “ඇඹුල් ඇඹිලිය” වඩා වැදගත් වේ. සතියකට වරක් දෙවරක් ආහාර වේලට කිසියම් ආකාරයකින් “ඇඹුල් ඇඹිලිය” යොදාගන්නේ නම් රෝග රැසකින් වැළකිය හැකිය. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන්නන්ට පමණක් “ඇඹුල් ඇඹිලිය” හිතකර නොවේ. අනෙක් ඕනෑම අයෙකුට බාල මහලු බේදයකින් තොරව මෙම ඖෂධ පැළෑටිය ආහාරයක් ලෙස භාවිත කළ හැකිය.

ගැමි ජනතාව අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ “ඇඹුල් ඇඹිලිය” සම්බෝලයයි. ඒ සඳහා “ඇඹුල් ඇඹිලිය” කොළ අවශ්‍ය තරම් ගෙන ගා ගත් පොල්, කපා ගත් රතු ලූනු, සුදු ලූනු, අමුමිරිස් හෝ ගම්මිරිස්, කරපිංචා දලු, උම්බලකඩ අවශ්‍ය පරිදි රැස් කර ගත යුතුය. ඉන්පසු ඒවා ගලේ ඇඹරීමෙන්, වංගෙඩියේ කෙටීමෙන් හෝ යාන්ත්‍රිකව මිශ්‍ර කර ගත යුතුය. ඉන්පසු අවශ්‍ය පරිදි දෙහි සහ ලුණු මිශ්‍ර කර ආහාරයට ගත හැකිය.

ග්‍රහණි රෝග සඳහා “ඇඹුල් ඇඹිලිය” වල භාවිතය ගැන බොහෝ දෙනා දන්නා කරුණක් වුවද, අක්මාවේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගෙන යෑම සඳහාද “ඇඹුල් ඇඹිලිය” භාවිත කළ හැකි බව බොහෝ දෙනා දන්නේ නැත. අපේ ආහාරයේ ඇති විෂ කොටස් බිඳ හෙළන්නේ අක්මාව මඟිනි. රසායනික ද්‍රව්‍ය යෙදූ කෘතිම ආහාර නිරන්තරව භාවිතා කරන විට අක්මාවට සිදු වන බලපැම වැඩි වේ. මෙවැනි අවස්ථා වල “ඇඹුල් ඇඹිලිය” කැඳ, ව්‍යාංජන, මැල්ලුම්, සම්බෝලය ආදී ඕනෑම ආකාරයකට භාවිතයෙන් යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකිය.

එසේම රක්තහීනතාවෙන් පෙළෙන පිරිස් සඳහාද “ඇඹුල් ඇඹිලිය” හිතකරය. නිරන්තර භාවිතය මඟින් මිනිස් ශරීරයේ ලේ ධාතුව වර්ධනයට අවශ්‍ය උත්තේජනය සපයන අතර ශරීර ශක්තියද වර්ධනය කරයි. ශරීරයේ වාතය සහ පිතද සමනය කිරිමට “ඇඹුල් ඇඹිලිය”ට පුළුවන. ආහාරයේ සහ ශරීරයේ මේද කොටස් ජීර්ණය කිරීමේ හැකියාව ඉහළ නිසා කෙලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි සහිත රෝගීන් සඳහාද “ඇඹුල් ඇඹිලිය” ගුණ දේ.

මේ සියලු රෝග සඳහා “ඇඹුල් ඇඹිලිය” භාවිත කළ හැකි අතර අජීර්ණය, බඩපිපුම, ආහාර අරුචිය ඇති පිරිස් සඳහා සූදුරු සමඟ “ඇඹුල් ඇඹිලිය” භාවිත කළ හැකිය. ඒ මෙලෙසය. හොඳින් පිරිසුදු කර වියළා ගත් “ඇඹුල් ඇඹිලිය” පංචාංගයට බරින් සම ප්‍රමාණව සූදුරු ගෙන හොඳින් පිටි වන සේ කුඩු කර ගත යුතුය. ඉන්පසු එයින් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන කෝපි මෙන් වත්කර රෝගියාට දිමෙන් ඉහත සඳහන් ග්‍රහණි රෝග සඳහා ඉක්මන් සහනය ලබාගත හැකිය. අම්ලපිත්ත රෝගයේ රෝගමූලය වන ආහාර දිරවීම ප්‍රමාද වීම සඳහාද මෙය හොඳ ප්‍රතිකර්මයකි. නමුත් අම්ලපිත්ත තත්ත්වය පවතින අවස්ථාවක “ඇඹුල් ඇඹිලිය” භාවිතය සුදුසු නොවේ.

බෙලිමල් සමඟ “ඇඹුල් ඇඹිලිය” තම්බා බීමත්, තුඹ දලු, මිංචි කොළ “ඇඹුල් ඇඹිලිය” සිනිදුව අඹරාගෙන සුදුරු, ඉරිවේරිය තැම්බූ වතුර සමඟ බීමත් ග්‍රහණි රෝග වලදී සමහර දේශිය වෛද්‍යවරුන් නියම කරන ප්‍රතිකාර ක්‍රමයයි.

මඟුල් ගෙවල්වලදී සාදවලදී ආහාර ගැනීමෙන් පසු බොහෝ දෙනෙකුට වැළදෙන ඉස්මුරුත්තාව, බඩ පුරවා දැමීම, අජීර්ණ අවස්ථා සමනයටද ඇඹුල් ඇඹිලිය යොදාගත හැකිය. එවන් අවස්ථා වල අමුවෙන් ලබාගත් “ඇඹුල් ඇඹිලිය” කොටා ඉස්ම මේස හැන්දක් පමණ ගෙන එයට සම ප්‍රමාණව මිපැණි කලවම් කර බීමෙන් ඉතාම ඉක්මනින් සහනය ළඟාවේ.

ආහාර ගැනීමට කැමැත්තක් නොදක්වන ළමයින් සඳහා “ඇඹුල් ඇඹිලිය” කොටා ඉස්ම මේස හැන්දක් පමණ බොන්නට දිය හැකි නම් ඔවුනගේ කෑම රුචිය ඉහළ යනු ඒකාන්තය. “ඇඹුල් ඇඹිලිය” ඉස්ම සමඟ දෙහි හෝ දොඩම් පානයක් සැකසීමෙන් මෙය පොඩි දරුවන්ට රුචි ලෙස සකස් කර ගත හැකිය. කිරිපණු රෝගීන්ටද “ඇඹුල් ඇඹිලිය” කොටා ඉස්ම මේස හැන්දක් පමණ බොන්නට දිය හැකිය. අර්ශස් රෝගින්ගේ ගෙඩි සඳහා “ඇඹුල් ඇඹිලිය” තළා සකසා ගන්නා පල්පය ආලේප කිරීමෙන් ඒවා ඉක්මනින් පැසවා පුපුරවා යැවීම කළ හැකිය. එසේම ශරීරයේ ඇතිවන වෙනත් ගෙඩි, විසප්පු, වණ වලදීද මෙම ප්‍රතිකර්මය භාවිත කිරිමෙන් ඒවා පැසවා පුපුරවා, සැරව ඉවත්කර යවා ඉක්මන් සහනය ලබාගත හැකිය.

එසේම අර්ශස් , ගුදභ්‍රංශ සහ මලබද්ධ රෝගීන් ගේ වැසිකිළි යෑම පහසු කිරීම පිණිස කිරි මෝරු සමඟ, ඇඹුල් ඇඹිලිය යුෂ සහ එළඟි තෙල් එක් කර පානයට ලබාදිය හැකිය. අත්තන විෂට සහ වඳ භාවයට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද වෛද්‍යවරු “ඇඹුල් ඇඹිලිය” යොදාගනිති.

කාන්තාවන්ට ඇති වන ඔසප් දෝෂවලටද, ඩිම්බ මේරීම අක්‍රමවත් වීමටද ප්‍රතිකර්මයක් ලෙස ඇඹුල් ඇඹිලිය භාවිත කළ හැකිය. මෙවැනි අවස්ථා මතු වීමට ප්‍රථම ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනයක් සේ සකසා, ආහාරයට ගන්නේ නම් රෝග අවස්ථා මතුවීමට පෙරම නීරෝගී සුවය ලබාගත හැකිය.

“ඇඹුල් ඇඹිලිය” ව්‍යාංජනය සකසා ගන්නා ආකාර බොහොමයකි. මේ ඒ අතරින් ප්‍රකටම ආකාරයයි. පළමුව සෝදා කපා ගත් රතු ලූනු ද කරපිංචාද, අමු මිරිස්, රම්පා උළුහාල් උම්බලකඩ දමා එයට කහ කුඩු, අමු මිරිස් කුඩු, තුනපහ කුඩු ද අවශ්‍ය ප්‍රමාණයට ගෙන භාජනයට දමා එයට මිටිකිරි ද ලුණු ද ස්වල්පයක් එකතු කර හැඳි ගා ලිප තබන්න. කිරි හොඳින් නටා ගෙන එන විට (තැම්බෙන විට) හැන්දෙන් හොඳින් හැඳිගා එයට නෙළා සෝදාගත් “ඇඹුල් ඇඹිලිය”කොළ එකතු කර ගන්න ඉන් පසු විනාඩි 02-03ක් මද ගින්නේ තබා ලිපෙන් බා ගන්න.

ආයුර්වේදයේදී වාංගේරීසෘතය නම් වට්ටෝරු ඖෂධය සැකසීම සඳහා “ඇඹුල් ඇඹිලිය” යොදාගනී. ඊට අමතරව වෙනත් බොහෝ කායන් සඳහාද මෙම පැළැටිය භාවිතා කරයි. එහෙත් බොහෝ දෙනා නොදැනුවත්කම නිසා සිය ගෙවත්තේ වැවෙන වල් පැළෑටියක් සේ සලකා මෙම අනඟි ඖෂධ පැළ විනාශ කොට දමයි. එහෙත් මේ ශාකයම ඇතිරිල්ලක් සේ ගෙවත්තේ වවා ගන්නේ නම් සහ වරින් වර ආහාරයක් ලෙස යොදා ගන්නේ නම්, බොහෝ රෝගවලින් වැළකිමේ අවස්ථාව ඔබට හිමි වනු ඇත.

 

 

 

Comments