ජාතිවාදයට කැසකවන යාපනයේ බුදුපිළිම ප්‍රශ්නය | සිළුමිණ

ජාතිවාදයට කැසකවන යාපනයේ බුදුපිළිම ප්‍රශ්නය

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ බුදුමැදුරක් ස්ථාපිත කිරීමට සිංහල බෞද්ධ සිසුන් පියවර ගනු ලැබුවේ පසුගිය වෙසක් සමයේදීය. ඔවුන් බුදු පිළිමය තැන්පත් කිරීම සඳහා අවශ්‍ය බුදුකුටිය ද නිර්මාණය කළේය. එතෙක් මේ ක්‍රියාවට විරෝධයක් පළ නොවුණත් අතර මැදි සිද්ධියක් නිසා යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ සිසුන් අතර විශාල බෙදීමක් හට ගැණුනි. ඒ බෙදීම සිදුවූයේ සිංහල හා දෙමළ වශයෙන් ඇති වූ ජාතිවාදය කරපින්නා ගත් සිදුවීමක් නිසා ය.

දැනට විශ්වවිද්‍යාලයේ නැතත් ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේදී විශ්වවිද්‍යාල සිසුවකු එදා ඇතිවූ මේ සිද්ධිය විස්තර කළේ මෙසේය.

''යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල දෙමළ සිසුන් අතරේ කිසිම ජාති භේදයක් තිබුණේ නැහැ.එක්වරම පිටතින් ආව බලවේගයක් නිසා විශ්වවිද්‍යාලය ඇතුළෙ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මහවිරු දිනය සමරන්න සූදානම් වුණා. මේ අවස්ථාවෙදි තමයි ඒ ක්‍රියාවට සිංහල සිසුන් විරුද්ධ වුණේ.

මේ විරුද්ධ වීමත් එක්ක විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියත් සිංහල සිසුන්ට විරුද්ධ වුණා. කොහොම හරි සවස් කාලයේ ඇති වුණු මේ ප්‍රශ්නය නිසා රාත්‍රියේ හත විතර වෙනකොට සිංහල සිසුන්ට වවුනියාවේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා.

සිංහල ළමයි විශ්ව විද්‍යාලේ නේවාසිකාගාර වලින් ඉවත් වුණා. පාරට ආවා. ඒත් ඉන්න බැරි වුණා. අවසානේ පයින් ම පාලන සභාව තියන නගරයේ මල්වත්ත පාරේ කාර්යාලයට ආවා. එතැනින් කිසිම සහනයක් ලැබුණේ නෑ. ළමයි කෑ කෝ ගහන කොට පොලීසිය ඇවිත් ආරක්ෂාව දුන්නා. මේ සිද්ධියෙන් ඇති වුණු වෛරය පළිගැනීම තමයි දිගට ම ගියේ. සිසුන් සිසුන් අතරේ තිබුණු මේ වෛරයට වඩා පාලන අධිකාරිය සිංහල සිසුන් එක්ක වෛරයක් තරහක් ඇති කරගත්තා.

ඊළඟ වෙසක් පෝයට විශ්වවිද්‍යාල භූමියේ බුදු මැදුරක් හදන්න හදනකොට ලොකු විරෝධයක් ආවෙත් අර කළින් ඇතිවුණු ප්‍රශ්නය මත ඇති වුණු විරෝධය එක්කයි. මේක විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් මෙහෙයැව්වේ පාලන අධිකාරියේ වුවමනාවටයි.

අවසානෙදි පාලන අධිකාරියේ උදවිය කිව්වේ විශ්වවිද්‍යාල භූමියේ අනවසරයෙන් බුදු පිළිම තියන්න බෑ කියලයි. ඒකට අවසර ගන්න ඕනේ කිව්වා.

මේ තර්කය වෙනුවෙන් සිසුන් අරගල කළා. ඔවුන් ඇහුවේ එහෙනම් එල්.ටී.ටී.ඊ. සමරු උළෙලවල් විශ්වවිද්‍යාලයේ පවත්වන්න කවුද අවසර දුන්නේ කියලයි.

මෙන්න මේ එකකට එකක් නොගැළපෙන අවස්ථා දෙකක කතා දෙකක් තමයි යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය තුළ විශාල විරෝධයක් හදන්න හේතුව වුණේ. ඒක තවම ඉවර වෙලා නැහැ. ඉවර වෙන තත්ත්වයකුත් නැහැ.'' විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විශ්වවිද්‍යාල සිසුන් ගැන සෙවීම් ආරම්භ කළේ මේ දිනයේ සිට ය. අවසානයේදී විවිධ සාක්කි ගොණු කොට විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළේය. ශිෂ්‍යභාවය අහෝසි කිරීමේදී එක් ශිෂ්‍යයකුගේ සම්පූර්ණ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් ඉතිරි හතර දෙනාගේ ශිෂ්‍ය භාවය වසර දෙකේ සිට විවිධ කාලවලටත් අහෝසි කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍යභාවය අහෝසි වූ සිසුහු ඔවුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් විශ්වවිද්‍යාල බලධාරීන්ට කරුණු ඉදිරිපත් කළහ. එහෙත් ඉන් සාධාරණයක් ඉටු නොවූ තැන ඔවුන් තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

ඔවුන් සිය පෙත්සම මඟින් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ශිෂ්‍යභාවය යළි ඔවුන්ට ලබා දෙන ලෙස ය. පෙත්සම ඉදිරිපත් කළ සිසුන් මාධ්‍යයට කිසිවක් කීමට කැමැත්තක් නොදක්වයි. මේ ප්‍රශ්නයේදී ඉතා ම පැහැදිලිව පෙනෙන කාරණයක් තිබේ. එනම් කිසිම අයකු අද මේ සිසුන් වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් නොවීමයි. මේ සිද්ධිය හඳුන්වන්නට සිදුවන්නේ උතුරු පළාතේ පවතින සමාජ හා දේශපාලනික රටාව විශ්වවිද්‍යාලයට පැමිණීමක් වශයෙනි.

මුලතිව් කුරුදුමලේ පුරාවිද්‍යා ස්ථානය යළි ස්ථාපිත කිරීමට ගිය අවස්ථාවේදී මුලතිව් තන්නිමුරුප්පුවේදී විශාල අර්බුදයක් ඇති වූයේ බුදු පිළිමයක් සමඟ ගෙතුණු කතා පුවතක් සමඟිනි.යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේදී පමණක් නොව මේ දිනවල කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ ද බුදු පිළිමයක් නිසා තවත් අර්බුදයක් නිර්මාණය වී තිබේ. එතැනදී පැවසෙන්නේ කිළිනොච්චියේ විශ්වවිද්‍යාලය තුළ ඇති හින්දු කෝවිලට වඩා අලංකාර ලෙස බුදු මැදුරක් තනා ඇති බවයි. අරගලය ගෙන යන්නේ මුළු පළාත ම හින්දු ජනයාගෙන් පිරුණු පළාතක් ව තිබියදී බුදු දහමට විශාල තැනක් දීම අසාධාරණ බවයි.

මේ ගැන අදහස් දක්වන කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ සිසුන් කියා සිටියේ මෙවැනි කතාවකි.

''කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ ඉන්න බෞද්ධ සිසුන් අදාළ සියලු ම ආයතන ස්ථාන හා වගකිවයුතු නිලධාරීන්ගෙන් නිසි අවසරයක් ලබාගෙන විශ්වවිද්‍යාල භූමිය තුළ බුදු මැදුරක් ස්ථාපිත කළා. දිවයිනේ ඕනෑම විශ්වවිද්‍යාලයක භූමියේ ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම සදහා විශ්ව විද්‍යාල සැලැස්මට අනුව ස්ථානයක් වෙන් කොට තිබෙනවා. නිසි අවසරයක් ලබාගෙන ඕනෑම ආගමකට අයත් ආගමික ස්ථානයක් විශ්ව විද්‍යාල භූමි තුළ පිහිටුවනන්ට හැකියාව තිබෙනවා.

අපි කිළිනොච්චියේ විශ්වවිද්‍යාල භුමියේ අලංකාර බුදු මැදුරක් ස්ථාපිත කළේ ඒ අවසරය ලබාගෙනයි. ඔය කියන හින්දු අයට විශ්වවිද්‍යාල භූමියේ කෝවිලක් ඉදි කරන්නට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. බුදුමැදුර හදලා විවෘත කළාම පොඩි ඊර්ෂ්‍යාවක් එක්ක ආගමික වෛරයකුත් ඇති වුණා. දැන් මේ සියලුම දෙනාට වුවමනාවක් වෙලා තියෙන්නේ බුදු මැදුර ඉවත් කරවීමටයි. ඒක නිසා ඔවුන් කළේ පොඩි පොල් අතුමඩුවක් හදලා ඒකේ දේවරූප තැන්පත් කිරීමයි.

ඔවුන් මේක කළේ එක රැයකින්. දැන් කියනවා ඒ ආගමට සලකන්නේ නෑ; බුද්ධාගමට විතරයි සලකන්නේ කියලා; ඒකට අපි විරුද්ධයි; ඒක නිසා බුදු පිළිමය අයින් කරන්න කියලා. මේ සම්බන්ධයෙන් පොලීසියට දැන් පැමිණිලි පවා ගිහින් තියෙන්නේ. බුදු පිළිමය අයින් කරන්න වුණොත් අපි තීරණය කරලා තියෙන්නේ අධිකරණයට යන්නටයි. මොකද මෙතන කිසිම අසාධාරණයක් වෙලා නැහැ. නීති විරෝධී දෙයක් වෙලත් නැහැ. සියල්ලම නීත්‍යානූකූලවයි සිද්ධ වෙලා තියෙන්නේ. එක නිසා අපිට නීතියෙන් සාධාරණය ඉෂ්ඨ වෙයි. ''උතුරේ විශ්වවිද්‍යාල වල බලධාරීන් සියලුම දෙනාත් පාලන අධිකාරියේ සියලුම දෙනාත් දෙමළ ජාතිකයන් බැවින් ඇතැම් විට මේ ගන්නා තීන්දු තීරණ සිංහල සිසුන්ට වැරදි ආකාරයකින් දෘෂ්‍යමාන වනවා යැයි ඇතමකුට සිතෙනට පුළුවන. නමුත් එය එසේම නොවන බව පසක් වන්නේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයත් සමඟිනි.

ඒ නිවේදනයට අනුව කියැවෙන්නේ ඒ සිසුන්ගේ පන්ති තහනම සිදුකොට ඇත්තේ විශ්වවිද්‍යාල පාලන අධිකාරියට කළ තර්ජනය නිසා ය. හොර රහසේම බුදු පිළිමයක් තැන්පත් කිරීමට ගියේ යැයි චෝදනාවක් ද එල්ල කොට තිබේ. මේ පිළිබඳ ව විමර්ශනය කිරීමට ගිය අවස්ථාවේදී පාලන අධිකාරිය ඉදිරියේ කලහකාරී ලෙස හැසිරීම හා පාලන අධිකාරියට තර්ජනය කිරීම මේ පන්ති වර්ජනයට හේතුව බව ද එ් නිවේදනයේ දැක්වේ. විශ්වවිද්‍යාලයේ ඉහළ ම බලධාරීන් විසින් නිකුත් කොට ඇති එ් නිවේදනය යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ සිසුහු එකහෙළාම ප්‍රතික්ෂේප කොට සිටිති.

''අපේ විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මේ නිවේදනය ගැන අපි පුදුම වෙනවා. ඒ වගේම අපි කණගාටු වෙනවා. මේ විශ්වවිද්‍යාලයේ සිදුවුණු දේ හරියට ම දන්නේ එදා වවුනියාවේ සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්තයයි. එතුමා රෑ දවල් දෙකේම මෙතෙන්ට ඇවිත් තමයි තත්ත්වය සමථයකට පත් කළේ. එහෙම සිද්ධි මාලාවක් සිදුවෙලත් විශ්වවිද්‍යාල බලධාරීන් කියනවනම් පාලන අධිකාරියට තර්ජනය කල නිසයි පන්ති තහනමක් කළේ කියලා ඒක විශාල අසාධාරණයක්. අපි අහන්න කැමතියි විශ්වවිද්‍යාලයේ ඉහළ ම බලධාරීන් සිටින්නේ පාලන අධිකාරිය කියන දේ හරියි කියලා කියන්නයි ඔවුන්ව ආරක්ෂා කරන්නයි විතරද? එතකොට විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ඉරණම අනාගතය මොකක්ද?

විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියට කළ තර්ජන නිසා සිසුන්ගේ පන්ති තහනම් කළා කියලා බලධාරීන් කියනවනම් කෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි? නමුත් කොටි සමරු උළෙලවල් පවත්වන්න ගිහින් සිංහල සිසුන්ව මරන්න ගියපු සිද්ධි වල පැමිණිලි වවුනියාව පොලීසියේ පවා තියනවා. කෝ ඒ පැමිණිලි වලට විශ්වවිද්‍යාල බලධාරීන් ගත්ත තීන්දු. මොන දෙමළ සිසුවගෙද පන්ති තහනම් කළේ? අපි විශ්වවිද්‍යාලයේ ඉහළ ම බලධාරියාගේ සිට සියලු ම දෙනා ගත්ත මේ තීරණයට, තීන්දුවට, නිවේදනයට එක හෙළා ම විරෝධය පළ කරනවා.'' යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ සිසුන් කියා සිටින්නේ එසේය. විශ්වවිද්‍යාලයේ සිසුන්ට මෙන්ම අපට ද ඇති එක ම ප්‍රශ්නය ද එය ම ය. හොර රහසේ වුවද ඕනෑම අයකුට ඕනෑම තැනක බුදු පිළිමයක් තැබිය හැකිය. ඒ මේ රට තවමත් සිංහල බෞද්ධ මෙන්ම රාජ්‍යාගම බෞද්ධාගම වූ රටක් නිසා ය.

මේ සිදුවෙමින් පවතින්නේ විශ්වවිද්‍යාලයක සිදු නොවිය යුතු දෙයකි. විශ්වවිද්‍යාල බලධාරීන් විසින් සිදු නොකළ යුතු දෙයකි. සියල්ල ම උඩුගං බලා පීනා යන්නේ කවර අවශ්‍යතාවක් සඳහා ද යන්න ප්‍රශ්නයක් වුවත් එය ජාතියට ම කෙරෙන විශාල අපරාධයකි.

Comments