ණය ඉල්ලූ තරහට පළිගන්න ආ භූතයා | සිළුමිණ

ණය ඉල්ලූ තරහට පළිගන්න ආ භූතයා

මිනිස් සිත භවංගයේ දී ප්‍රකෘතියේ දී ඉතා පිරිසිදු ය. ප්‍රභාස්වරය. මේ සිත කිළිටි වන ක්‍රම දෙකකි. එකක් ඇස කන නාසය දිව, කය යන ආයතනවලින් අහක යන කුණු (අරමුණු) උරා ගැනීමෙනි. ස්පර්ශ වූ අරමුණු සූධයි, මිහිරියි, සාරයි කියා භාර ගැනීමෙනි. අනික් හේතුව මේ ‍ෙමාහොතට පෙර මොහොතේ සිට ඈත අතීතය දක්වා ඉහත කී ආයතනවලින් ගත් අරමුණු මනසේ තැන්පත් කොට ගෙන, උපාදාන කරගෙන සිට නැවත මෙනෙහි කරමින් රස විඳීම නිසාය. හරකා වමාරා කන්නා සේ පරණ අරමුණු නැවත රෝද ගසයි. රෝදයක් සේ පෙරළමින් සිටී. කැමැත්තෙන් ගත් අරමුණු කාම රාග ලෙස ද අකැමැත්තෙන් අමනාපයෙන් ගත් අරමුණු ද්වේෂය, තරහ මරහා වශයෙන් ද සැල‍ෙක්. මේ පින් පව් දෙක ම, ඊට හේතු වූ මෝහය නිසා හෙවත් ලෝභ ද්වේෂ මෝහ නිසා සසර ගමන දික් ගැහේ.

මිථ්‍යා දෘෂ්ටිය, අධික ලෝභය හා අසීමිත තණ්හාව විසින් අලුත් වුවමනාවන් ඇති කරමින් අතෘප්තිකර හඹා යෑමකට මිනිසා පොළඹවයි. අල්ලපු ගෙදර ඇත්තේ අඟල් දහ අටක රූපවාහිනියක් නම් අපේ ගෙදරට අඟල් විසිහතරක එකක්වත් අවශ්‍යය. අල්ලපු ගෙදර මනාලියට දෙවැනි මනාලියන් (යෙහෙළියන්) දෙදෙනෙක් සිටියොත් අපේ ගෙදර මනාලියට හය දෙනෙක්වත් අවශ්‍යය. පිළිගැනීමට උඩරට නැටුම් කණ්ඩායමක් අවශ්‍යය. මනාලියට අන්දන්නට කැමරා වීඩියෝ කරණයට මත්පැනට හෝටලයට රුපියල් ලක්ෂ පහළොවක්වත් වැය කළ යුතුය. ධනපතියන් කරන දේවල් නටන නැටුම්, ගහන පද නටන්නට ගොස් ඇතැම්හු ධනය විනාශ කර ගනිති.

මේ හඹා යෑමේ ක්‍රියාවලියට අසු වන මිනිහා රටට ණය වෙයි. ණය ගන්නට යන විට ණය හිමියා දෙවියෙකි. ණය වාරික ගෙවන විට දෙවැනි වාරිකයේ සිට ණයහිමියා පෙනෙන්නේ හතුරෙකු ලෙසය. ඔහු ගෙදරට පැමිණ බලෙන් ණය දුන්නා ද නොවේ. අන්තිමට උකසට තැබූ ගේ දොර ද සින්න වෙයි. ඇඟිල්ලේ තරමට ඉදිමුණා නම් ඇඟිල්ල පුපුරන්නේ නැත.

ලද දෙයින් සතුටු වීම, ලැබෙන හැටියට වියදම් කිරීම සැලසුම් සහගත කළමනාකරණය පිළිබඳ කරණීය, අකරණීය ධර්ම බුදු දහමෙන් පැහැදිලිව උගන්වයි. ණය ගත්තොත් එය කවදා හෝ ගෙවන්නට සිදු වෙයි.

කුරුණෑගල සිරිමල් පනස් පස් හැවිරිදි ය. කෑම අප්‍රියාව නිසා ඔහුගේ ශරීරය කෙට්ටු වී ඇත. ඔහුගේ බඩවැලේ පිළිකාවක් යැයි වෛද්‍යවරු අනුමාන කරති. එහෙත් පිළිකාවක් බවට පරීක්ෂණවලින් තහවුරු නොවන බැවින් සැත්කමකට භාජනය නොකැරිණි. විවිධාකාර ප්‍රතිකාර කළත් සුවයක් නොවීය. සාත්තර අහන්නට ගිය තැන්වලින් ඔවුන්ට හූනියමක් කැර ඇතැයි කියැවුණු බැවින් වත් පිළිවෙත් කළත් එයින් ද සහනයක් නොවීය. රාත්‍රි නින්දෙන් බියට පත්වීම නිසා ඒ මතය අත්හරින්නට නොහැකිව ඇත. අවසානයේ සිරිමල් තම බිරිය සුමනා සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේය.

එහි දී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ස්වකීය අසනීප තත්ත්වයක් පැහැදිලි කළේය. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට සිරිමල් ගැහෙන්නට විය. ගවේෂකවරයා ඔහුට භූත ‍දෝෂයක් ඇතැයි නිගමනය කොට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

බෝධි පූජා පවත්වා ගෙන යන විට ඔහු රාත්‍රි හීනෙන් බියට පත්වීම නරත වූ බවත් හොඳින් නින්ද ගොස් සහනයක් වූ බවත් නැවත පැමිණි දිනයේ පැවසීය.

එදින රෝග පරීක්ෂාවේදී සිරිමල්ගේ ශරීරයට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී රෞද්‍ර විලාසයකින් විනාඩි පහක් පමණ කෑ ගසා ඊළඟට අඬන්නට විය. එදින ද මේ අමනුෂ්‍යයාගේ අදහසක් පිට නොවූ බැවින් ගවේෂකවරයා ඔහුගේ චක්‍ර පද්ධතිය පවිත්‍ර කර තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය.

යළිත් පැමිණි දිනයේ සිරිමල්ට ආවිෂ්ට වූ භූතාත්මය කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

ප්‍රශ්න කිරීම් ආරම්භ කරන විට ම ඉතා රෞද්‍ර විලාසයෙන් සිරිමල් ගේ බිරියගේ ඇඟට කඩා පැන “උඹේ මිනිහා මගේ මළගම වෙලාවෙත් මගේ ගෙදරට ඇවිත් මගේ ගෑනිගෙන් සල්ලි ඉල්ලුවා. ණය වාරික ඉල්ලුවා” යි ඇගේ බෙල්ල මිරිකන්නට තැත් කළේය.

වේවැල් පහර දෙකකින් භූතයා පාලනය කළ ගවේෂකවරයා “තමුන් කවුද කියලයි මම ඇහැව්වේ?” යි ඇසීය.

“මම බණ්ඩාර” යැයි භූතයා උත්තර දුන්නේය.

“කවුද බණ්ඩාර කියන්නේ?”

“මම ගොවියෙක්.”

“මොනවා වෙලාද මැරුණේ? ඒ කොයි කාලෙද?”

“ණය ගෙවා ගන්න බැරුව වස කාලා මැරුණා. මීට අවුරුදු දහයකට කලින්.”

“ඇයි මේ සිරිමල්ට කරදර කරන්නේ?”

“මූ තමයි ණය වාරික එකතු කරන්න ආවේ. මාසයකට වරක් ණය වාරික එකතු කරන්න ආපු සිරිමල් මට ණය ගෙවා ගන්න බැරි වුණා ම සතිපතා ඇවිත් ණය අල්ලන්න දොස් කියන්න හිටියා. ණය ගෙවා ගන්න බැරි ම තැන මම වස කාලා මැරුණා. මූ නිසයි මට මැරෙන්න සිද්ධ වුණේ. මගේ මිනිය ගෙයි මැද සාලයේ තියෙද්දිත් ගෙදරට ඇවිත් මගේ නෝනාගෙන් මූ සල්ලි ඉල්ලලා කරදර කළා” යි භූතයා කීවේ ය.

මේ ණය ගනුදෙනු කතාව කුමක්දැ? යි ගවේෂකවරයා සිරිමල්ට පියවි සිහිය ලබා දී ඔහුගෙන් ප්‍රශ්න කළේය.

“මම කොළඹ මූල්‍ය ආයතනයක ප්‍රාදේශීය මුදල් වාරික එකතු කරන්නා විදිහට රස්සාව කළා. ගම්වල අයට ඒ ආයතනයෙන් මුදල් ණයට දෙනවා. ගමට ම ඇවිත් ණය දෙනවා. ඇප කාරයන් දෙදෙනෙකු‍ෙග් අත්සන් යටතේ ණය දෙනවා. හැම දෙනෙක් ම වගේ ණය ගත්තේ කෘෂිකාර්මික ණය කියලා. මාස්පතා වාරික වශයෙන් ණය ආපහු ගෙවන පොරොන්දු පත්‍ර අත්සන් කරලයි ගෙවන්නේ. සමහරුන් කුඹුරු පාළු වුණාය කියලා ගත් ණය ආපහු ගෙවන්න බැරි වෙනවා. මෙයින් වැඩි දෙනෙක් ගත්ත ණය නියම විදිහට ගොවිතැන්වලට යොදන්නේ නැතුව වෙන වෙන දේටත් වියදම් කරනවා. හරියට නියමිත විදිහට පොහොර යොදන්නේ නෑ. ඉතින් කුඹුරු පාළු වෙලා ණය ගෙවා ගන්න බැරි වෙනවා. අපට ආයතනයෙන් දීමනාවක් ගෙවනවා. ඒ එකතු කරන ණය වාරික මුදලේ හැටියට ප්‍රතිශතයක්. මේ වගේ හිඟ ණය තිබුණ ම අපේ දීමනාව අත් හිටුවනවා. ඉතින් අපි සතිපතා ගිහිල්ලා ණය එකතු කර ගන්න උත්සාහ කරනවා. ණය ගන්න කොට මිනිස්සු අපට සලකන්නේ දෙය්යන්ට වගෙයි. වාරික එකතු කරන්න ගියාම මූණු ඇඹුල් වෙනවා. තරහ කාරයෙක් කරදර කාරයෙක් වගේ දකින්නේ.

“බණ්ඩාර කියලා කෙනෙක් ණය ගෙවාගන්න බැරුව වස කාලා මැරුණාද? මළගම වෙලාවත් ණය ඉල්ලන්න ගියාද?”

“ඔව් එහෙම යන්න සිද්ධ වෙනවා. අපි යන කොට සමහර ණය කාරයෝ අසනීප වෙලා. ලෙඩ ඇ‍ඳේ. ඒත් කොම්පැනියෙන් බලකරන විදිහට අපි කොහොම හරි වාරික එකතු කර ගෙන යන්න ඕනැ. අපිත් කරදර කරනවා. ඇප කාරයෙත් කරදර කරනවා. ඒක ඇත්ත. ඒත් ‍ෙම් අය ජීවත් වෙන විදිහ දැක්කම ණය ගෙවා ගන්න බැහැ කියලා හිතාගන්නත් බැහැ. අඳින පළඳින හැටි, විලාසිතා. ගෙදර හැමෝගෙම අතේ මොබයිල් පෝන්. ගෙදර හතර පස් දෙනෙක් ඉන්නවා නම් පෝන්වලට විතරක් මාසෙකට දහ පහළොස් දාහක් වියදම් කරනවා. අපේ වාරිකය ගෙවන්න සල්ලි නෑ කියනවා” යි සිරිමල් කීවේය.

නැවතත් ඔහුට භූතාත්මය ආවිෂ්ට කර ප්‍රශ්න කරන්නට විය.

“බණ්ඩාර මැරුණෙ මොකද?”

“සිරිමල් නිසා. ණය වාරික ඉල්ලලා කරදර කරන නිසා. ලැජ්ජාවට. ඇපකාරයොත් කරදර කරනවා.”

“ණය ගත්තේ කවුද?”

“මම”

“තමුන්ගෙ ආදායම මොකක්ද?”

“කඩයක වැඩ කරනවා. එතනින් දෙන්නේ මාසයකට රු. 15,000 යි. තව ගොවිතැන් ටිකක් තියෙනවා.”

“පවුලේ කී දෙනෙක් ද?”

“හය දෙනයි. අපි දෙන්නයි දරුවො හතර දෙනයි. එයින් දෙන්නෙක් තවම ඉස්කෝලෙ යනවා.”

“ගෙදර කී දෙනෙක් ජංගම දුරකතන පාවිච්චි කරනවාද?”

“හය දෙනාට ම තියෙනවා. ලෑන්ඩ් පෝන් එක කපලා. බිල් නොගෙව්ව නිසා.”

“තමුන්ගෙ හෑන්ඩ් පෝන් එකට මාසයකට කීයක් විතර වියදම් වෙනවාද?”

“දෙදාහක් විතර.”

“අනිත් පස් දෙනාට?”

“දන්නෙ නෑ.”

“කෘෂිකාර්මික ණය වාරිකය කීය ද?”

“මාසයකට දෙදාහයි.”

“කෑමට බීමට, මඟුල් තුලාවලට, ඇඳුම් පැළඳුම්, පාසල් වෑන් රථ ගාස්තු, ගමන් බිමන් තවත් වියදම් ඇති නේද?”

“.....................................” භූතයා නිරුත්තරය.

“ණය ගන්න කොට සිරිමල් මානුෂිකයි. දෙවියෙක් වගෙයි දැක්කේ. තමුන්ට ඒ මුදල් ගෙනැත් දුන්නේ තවත් තැන්වලට යක්ෂයෙක් ව‍ෙග් රඟපාලා. දැන් වාරික එකතු කරන කොට තමුන්ටත් යක්ෂයෙක් වගේ පෙනුණා නේද?” යි ගවේෂකවරයා ඇසීය.

“ම්.... ම්.... ම්.... ඔවු මහත්මයා.”

“තමුන් මැරුණේ සිරිමල් නිසා නොවෙයි. ගත්ත ණය නොගෙව්ව නිසා. සිරිමල් කළේ රස්සාවක්. නමුත් ණය නොගෙව් නිසා සිය දිවි හානි කරගත් බැවින් දැන් ප්‍රේතයෙක් වෙලා දුක් විඳිනවා. තමුන් නිසා සිරිමල් ලෙඩ වෙලා. එයාගෙ රස්සාවත් නැති වෙලා. ඒ පවත් ඔබටමයි. අවුරුදු දහස් ගණනක් ඔය ප්‍රේත ආත්මයෙ දුක් විඳින්න වෙනවා” යි ගවේෂකවරයා කියන විට ප්‍රේතයා අඬන්නට විය.

“කරුණකර මේ ශරීරයෙන් ඉවත් වෙන්න. තමන්ගෙ වරද පිළිගන්න සිද්ධස්ථානයකට වෙලා පිනට දහමට හිත යොමු කරන්න. අපි දානයක් දී පින් අනුමෝදන් කරන්නම්” යැයි කී ගවේෂකවරයා ගමේ පන්සලට හීල් දානයක් පිරිනමා, වයස්ගත උපාසිකාවකට සිල් ඇඳුම් කට්ටලයක් පරිත්‍යාග කර බණ්ඩාරගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කර නැවත එන්නැයි සිරිමල්ටත් සුමනාටත් නියම කළේය.

එසේ පින් අනුමෝදන් කර පැමිණි දින ප්‍රේතයා පළතුරු වට්ටියකට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.

ආදායමට සරිලන ලෙස වියදම සැලසුම් ‍නොකරන, අනවශ්‍ය වියදම් කපා නොහරින මිනිසා ලගී ගයා මර ගී.

Comments