
ගම්පහ - ජාඇල පාරේ කවුඩංගහ හන්දියෙන් හෝ උඩුගම්පළ - කොටුගොඩ පාරේ කෙහෙල්බද්දර හන්දියෙන් හැරී යන විට හමුවන මාදෙල්ගමුව නම් සුන්දර ගම් පියසේ පිහිටි මාදෙල්ගමුව ප්‍රාථමික විද්‍යාලය බලා අප සේන්දු වූයේ පසුගිය 2 වැනි දා පෙරවරුවේ ය. ඒ සිළුමිණ පුවත්පතේ හිටපු කර්තෘ සහ රැස පුවත්පතේ ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා හදිසියේ අප අතරින් වියෝ වී තෙමසක් සපිරීම සහ 02 වැනි දාට යෙදුණු ඔහුගේ 40 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මාදෙල්ගමුව ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ට පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීමේ පුණ්‍ය කටයුත්ත උදෙසා ය. මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ඇතුළු නිලධාරිහු පිරිසක් සහ “සිළුමිණ”, “රැස” පුවත්පත්වල කර්තෘ මාණ්ඩලිකයෝ රැසක් සහභාගි වූහ.
මේ උතුම් කටයුත්ත සඳහා මාදෙල්ගමුව ප්‍රාථමික විද්‍යාලය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබිණි. එකී සුවිශේෂි හේතුව වූයේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සම්පත් පාසලේ තිබුණ ද ගුරු මහත්ම මහත්මීන් දරුවන්ගේ නුවණැස පෑදීම උදෙසා කැප වී සිටිය ද පාසලේ ඉගෙනුම ලබන දරුවන් 33 කට සීමා වී තිබීම ය. ගමේ අහල පහළ දුවා දරුවන් නගරයේ පාසල්වලට ඇදී යන විට ඉතිරි වූ දරුදැරියන් 33 දෙනකුගෙන් “ළඟ ම පාසල හොඳ ම පාසල” බවට පත් කරන්නේ කෙසේද යන ගැටලුව කොයි කාගේත් සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. මේ කිසිවක් නොදත් අවිහිංසක කිරි සප්පයන් අප සියලු දෙනා පිළිගත්තේ ගිම්හානයේ ගිලන් වී සිටින්නෙකුට වසන්තය කැටුව පැමිණියා තරම් උතුරා හැලෙන සොම්නසිනි.
“මාදෙල්ගමුව ප්‍රාථමික විද්‍යාලය අවුරුදු 121 ක් පැරණි පාසලක්. ඉස්සර ළමයින් 1500 ක් විතර ඉගෙනගෙන තිබෙනවා. නමුත් පසුකාලීනව මේ කිට්ටුවම තවත් පාසල් බිහි වුණා. ඒ එක්කම කනිෂ්ඨ විද්‍යාලයක් හැටියට තිබුණු මේ විද්‍යාලය ප්‍රාථමික විදුහලක් බවට පත් කළා. ඒ නිසා පාසලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව අඩු වුණා. මේ පාසලේ ගුරු හිඟයකුත් තිබුණා. ඒ නිසා දෙමවුපියන් දරුවන්ව අස් කරගෙන වෙනත් පාසල්වලට ඇතුළත් කළා. මෙවැනි හේතුන් නිසා පාසල අඩපණ වුණා.මම මේ පාසලට පත්වීම ලබලා පැමිණියේ 2016 ඔක්තෝබර් මාසයේ. මම අධ්‍යාපන කලාප කාර්යාලය සමඟ කතා කරලා ගුරු හිඟය පියවා ගත්තා.
කලාප කාර්යාලයෙන් අපේ පාසලට පහසුකම් ලබා දීලා ගොඩක් උදව් කරනවා. ඒ නිසා තිබුණු තත්ත්වයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා. ඒත් ළමයින් 33 දෙනයි ඉන්නේ”. යනුවෙන් පැවසුවේ මාදෙල්ගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය එල්.ජී.ටී.ඩී. සමරවීර මහත්මිය යි. මෙහි ගුරුවරු හයදෙනෙක් සහ අනධ්‍යයන සේවකයෙක් සිටිති. ඔවුන්ගේ එකම වෑයම පාසල සංවර්ධනය කරමින් දරු දැරියන්ගේ නුවණැස පෑදීම ය.
සැබැවින්ම මේ පුංචි දූ පුතුන් සැඟවුණු කුසලතාවලින් පිරිපුන් දරුවන් පිරිසක් බව අපට පසක් වූයේ ඔවුන් වෙනුවෙන් රැස පුවත්පතේ විශේෂාංග කර්තෘ තිඹිරියාගම බණ්ඩාර සහ සිළුමිණ පුවත්පතේ විශේෂාංග කතුවර සුමුදු චතුරාණි ජයවර්ධන පැවැත්වූ නිර්මාණ වැඩමුළුවේදී ය. ඉතා කෙටි වේලාවක් තුළ චිත්‍ර ඇඳීම, කවි රචනා ලිවීම වැනි නිර්මාණ කිරීමෙන් ඔවුන් සතු සහජ හැකියාවන් ප්‍රදර්ශනය විය. ඒවා දකින විට කැලයේ පිපී කැලයේම පරවී යන මල් සැමගේ මතකයට නැඟුණේ නිරායාසයෙනි. ලේක්හවුස් ආයතනයේ සහභාගී වූ පිරිස පාසලේ බිත්ති පුවත්පතට අඩිතාලම දැමුවේ ඔවුන්ගේ නිසඟ හැකියාවන් දිරිමත් කිරීමේ අරමුණෙනි. එපමණක් නොවේ. පාසලේ ඉගෙනුම ලබන පුංචි පැටවුන්ගේ කියවීම සහ ලිවීමට අත්වැලක් වන පොත්පත් කට්ටලයක් විදුහල්පතිනියට ප්රදානය කරනු ලැබුවේ ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ය.
ඊට අමතරව පාසලේ ඉගෙනුම ලබන දරුදැරියන් 33 දෙනාට ම පොත්පත් සහ අධ්‍යාපනික උපකරණ සහිත තෑගි කට්ටල 33 ක් ද ප්රදානය කෙරිණි. පළමුවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුදැරියන්ට එම ත්‍යාගය බර වැඩිය. ඔසවා ගැනීමට අපහසු ය. එහෙත් ඔවුන්ගේ වත කමල විකසිත ය. ප්‍රීතිය දෝරෙ ගලායන ආකාරය සිනාහවෙන් සුපැහැදිලි ය.
බොහෝ විට මෙම පාසලට පිය නඟන්නේ නගරයේ පාසලකට ඇතුළත් වීමට නොහැකි වූ දූදරුවන් ය. අග හිඟකම් මධ්‍යයේ දිවි ගෙවන දූ දරුවන් ය. එවැනි දූ පුතුන්ට සිප්කිරි පෙවීම උදෙසා ගුරු භවතුන් කැපවීම මහඟු පුණ්‍ය කර්මයකි. එවැනි දූ පුතුන් වෙනුවෙන් තෑගි පිරිනෑමීමට ලේක්හවුස් ආයතනයට අවස්ථාවක් හිමි වීම ලේක්හවුස් ආයතනය ලැබූ භාග්‍යයකි.
“මම දැන් මේ ඉස්කෝලෙට ඇවිත් අවුරුදු 5 ක් වෙනවා. මම මාරුවීමක් ගන්නේ නැහැ. මේ ඉස්කෝලය වැඩි දියුණු කරලා ගමේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න මම මෙහි දිගටම ඉන්නවා. වහින්නට හැකි නම් ගිගුම් දී වියළි ගම්බිම්වලට ඉහළින් කියලා ගීතයකුත් තියෙනවා. මමත් ඒ වගේ තමයි. අපි ඉන්න ඕනෑ වියළි ගම්බිම්වලට ඉහළින් මිස වහින තැන්වල නෙමෙයි” යනුවෙන් ඉතා අරුත් බරව සහ හැඟීම්බරව අප සමඟ පිළිසඳරක යෙදුණේ කේ.ආර්.ජී. ජයන්ත ගුරුතුමා ය.
මේ ගුරුවරුන්ගේත් විදුහල්පතිතුමියගේත් නොමසුරු දායකත්වය මල්ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවේ. අප එසේ පවසන්නේ 2019 වර්ෂය සඳහා 1 වැනි ශ්‍රේණියට ඇතුළත් වීමට ලැබී ඇති ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව මෙවර ඉහළ අගයක් ගෙන ඇති බව විදුහල්පතිතුමිය පැවසු නිසාය. එයින් පැහැදිලි වන්නේ ගමේ පාසල කෙරෙහි ගම්වැසියන් විශ්වාසය තැබූ බව නොවේ ද?
අප මාදෙල්ගමුව ප්‍රාථමික විදුහලෙන් පිටත් වී ආපසු පැමිණෙන විට ගේට්ටුව අස්සෙන් සහ වැටේ දැල් අතරින් එබීගෙන වාහන නොපෙනී යන තුරු අත් වැනූ පුංචි පැටවුන්ගේ නිර්ව්‍යාජ දසුන් අපට කිසි දින අමතක නොවේ. අද වැට මායිමේ සිට දැල් අතරින් ලෝකය දෙස බලා හිනැහෙන දූ පුතුනි, ඔබට දිනා ගන්නට ලෝකයක් වැටෙන් එහා ඇත. ඔබ ඊට යායුතුව ඇත්තේ කටු කොහොලින් පිරුණු මාවතක මිස මල් පාවාඩ ඇතිරූ මාවතක් නම් නොවේ. ඔබට ශක්තියක් වීම අපේ අපේක්ෂාවයි.
ඡායාරූප-මාලන් කරුණාරත්න