
විරුද්ධ පක්ෂයේ නායකත්වය
විනාඩි ගණනක් ඉකිගසමින්
හිතවතුන්ට ඇමැතිකම්
පක්ෂයට බැඳෙන්නැයි ආරාධනා
අගමැතිනියට කරුණු පහදා දෙයි
කතාවකට ආරාධනා නෑ
සිය කථිකත්වයෙනුත්, දේශපාලන බුද්ධිමත් බවිනුත්, පුද්ගල චර්යාවෙනුත් දෙස් විදෙස්හී සහෘදයන් මනමෝහනය කළ දේශපාලනඥයකු වූ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමෝ අන්තිමේ භීෂණ ලෙස ඝාතනයට ලක්වූහ. කවර තරමේ දුර්වලකම් තිබුණ ද, යුගයේ අතිශයින් ම ජගත් ජනාදරයට ලක්ව සිටියකු වූ හෙයින් ලංකාව පමණක් ද නොව මුළු ලෝකයම හඬවාලන්නට මේ ජනනේතෘවරයාගේ අභාවය සමත් විය.
දිගුම දිගු කතාවක් කෙටිකර දැක්විය යුතු හෙයින් කිව යුත්තේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාගේ ඝාතනය අසා එංගලන්තයේ මහා පඬිවර බර්නාඩ් ෂෝ තුමා කීවාක් මෙන් ම මෙය ද ‘වැඩි හොඳත් නරකට ම’ සිදු වූවාක් ලෙසටය. කොතරම් ම වූ දේශපාලන බුද්ධියක් තිබුණ ද තමන් හා සමීපව ඇසුරු කරන පුද්ගලයන් හරි හැටි හඳුනාගැනීමේ දක්ෂතාව බණ්ඩාරනායක අගමැතිතුමන් වෙත නොතිබූ නිසා ඔවුනගෙන් ම මෙසේ බණ්ඩාරනායක අගමැතිතුමාට මේ විපත සිදුවුණැයිද පසු කලෙක අධිකරණයේදී විවරණය වූ හේතු සාධක අනුව සිතා බලනවිට - විග්‍රහ කර බලනවිට කාට කාටත් සිතා ගත හැකිය.
මෑත යුගයේදී අප ද යම් යම් කටයුතු පිළිබඳව ම සක්‍රීයව ම දායකවූ බණ්ඩාරනායක පාලක යුගය පිළිබඳව යළි ආපසු හැරී බලා මතක ගබඩාවෙන් හා පෞද්ගලික පොත්ගුලෙන් යම් යම් වාර්තා උපුටාගෙන දක්වද්දී පෙනෙන්නේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජීවිතය මුල - මැද - අග දක්වා ප්‍රශ්න - ආරාවුල් - වියවුල් රාශියකට මැදිවූ එකක් බවය.
එතුමාෙග් අභාවයෙන් පසුව ඇතිවූ සමහර තත්ත්වයන් ද නඩු විභාගයේදී හෙළි පෙහෙළි වූ සමහර කරුණු ද අනුව බලනවිට කෙළින් ම තමන් ඉදිරියට එන විරුද්ධ වාදීන් නොව තමන්ගෙන් පෝෂණය වී බලවත්ව සිටි තමන්ගේ හිතවාදීන් තුළින් ම එතුමනට මේ අභාග්‍ය සම්පන්න විපත්තිය සිදු වූ බවය.
එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මුලින් ම මුහුණදුන් වර්ෂ 1952 කේ මහමැතිවරණයේදී පක්ෂය ලද්දේ ආසන නවයකි. එවකට කලින් විරුද්ධ පක්ෂයේ නායකයාව සිටි සමසමාජ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමාගේ පක්ෂයට ද ලැබුණේ ආසන නවයකි. මේ හෙයින් බණ්ඩාරනායක මැතිතුමාට විරුද්ධ පක්ෂයේ නායකත්වය ද නොලැබෙන තත්ත්වයක් ද උදා වූ විට එතුමනට උදව් කළේ මේ වනවිට නඩුවක් නිසා පාර්ලිමේන්තුව වසර හතක් තහනම් කිරීමකට ලක්ව සිටි පිලිප් ගුණවර්ධන මැතිතුමා ය. වර්ෂ 1952 දී අවිස්සාවේල්ල ආසනය දිනාගෙන සිටි කුසුමා ගුණවර්ධන මැතිනියගේ ද චන්දය අනුව එවර බණ්ඩාරනායක මැතිතුමාට විරුද්ධ පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට හැකි විය.
පසුව ඇතිවූ දේශපාලන හේතුයුක්ති අනුව වර්ෂ 1956 යේ මහජන බලවේගයෙන් බණ්ඩාරනායක මැතිතුමන් බලයට පත් වූයේ රටට සුවිසල් සේවාවන් ඉටු කිරීමේ බලාපොරොත්තු ඇතිවය. එහෙත් එතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් දහසකුත් එකක් හිරිහැර බාධකවලට මුහුණපෑමට සිදුවිය.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා විසින් මෙහෙයවන ලද මහා වැඩවර්ජන රැල්ල බණ්ඩාරනායක අගමැතිතුමාගේ පාලනයට විරුද්ධව නැගී ආ ප්‍රධාන බාධකයක් ද විය. ඉන්පසු ‘පිලිප් - විලියම්’ අස්කරනු, යනුවෙන් කැබිනට් වර්ජනයන් ද මතුවිය. බණ්ඩාරනායක මැතිතුමෝ පිලිප් - විලියම් දෙදෙනාට පල නොකියා පළා බෙදීමක් කළ නිසා ඔවුන් ඇමැති තනතුරුවලින් ඉල්ලා අස් වූවාට පසුව එතුමනට විරුද්ධව පැවැති කුමන්ත්‍රණවලට නව පණක් ලැබී ක්‍රියාත්මක කෙරිණ. බණ්ඩාරනායක අගමැතිතුමා නොමරා - එතුමාගේ කටහඬ නැතිකර දැමීමට වස මිශ්‍ර කිරි වීදුරුවක් ද දීමට ද කුමන්ත්‍රණයක යෙදුණු නමුදු එයට හසු වූයේ සී.පී. ද සිල්වා අමාත්‍ය තුමා ය. එතුමාට පසුකලෙක අගමැතිකම අහිමිවූයේ ද ඒ වනවිට එතුමා එංගලන්තයේ ආරෝග්‍යශාලාවක සිටි හෙයිනි.
අන්තිමේ කුමන්ත්‍රණ කරුවන්ගේ ප්‍රයත්නයට අවස්ථාව ලැබී බණ්ඩාරනායක අගමැතිතුමා භීෂණ ලෙස ඝාතනය කෙරිණ. දහනායක මහතාට ලංකාවේ පස්වැනි ඇමැතිකමක් ලැබුණේ ද ඉන්පසුවය.
බණ්ඩාරනායක අගමැතිතුමා මෙසේ භීෂණ ලෙස ඝාතනය කිරීමෙන් පසුව එම කුමන්ත්‍රණය මෙහෙයවූයේ යැයි ද කියන කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත භික්ෂුව බණ්ඩාරනායක අගමැතිතුමාගේ ගුණ වනමින් ඉකිගසමින් විනාඩි ගණනාවක් තිස්සේ ගුවන් විදුලියෙන් හඬා වැළපීමට ද පසුව හෙළි විය.
මෙහිදී විජයානන්ද දහනායක අගමැතිතුමා කටයුතු කළ විලාසය නිසා වැඩි දෙනෙකු එතුමන් ගැන ද සැක පහළ කිරීමට ද පෙළඹුණාහ. අන්තිමේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සෝ සුසුම් මැද හොරගොල්ල වලව්ව අසල පාර අයිනේ වූ භූමියේදී බණ්ඩාරනායක අගමැතිතුමාගේ දේහය පිළිබඳ භූමදාන කටයුතු සිදු කෙරිණ.
දහනායක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වූ අමාත්‍ය මණ්ඩලය අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ශ්‍රීමතාණන්ගේ ප්‍රධානත්වය ඇතිව එම කටයුතු මනාව නිම කළහ. මේ අතර ඉන්පසුව ඝාතන කුමන්ත්‍රණයට සැකපිට කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත; වැල්ලම්පිටියේ එච්.පී. ජයවර්ධන, කොළොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති අමරසිංහ හා පළාත් පාලන ඇමැතිනී විමලා විජයවර්ධන ද අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර පරීක්ෂණ කටයුතුවලට එතරම් සහයෝගයක් නොදීම නිසා විජයානන්ද දහනායක අගමැති පිළිබඳව සැක බව කටකතා ද පැතිර යන්නට විය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු වෙනුවට දහනායක අගමැති තමන්ගේ බලය තහවුරු කරගන්නට කටයුතු කරන බව පෙනිණ. ඉන්පසු දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සියල්ලන්ම දහනායක අගමැති විසින් අස්කර දමා තමන්ට හිතැති කිහිප දෙනෙකු පමණක් ඇමැතිකම්වල රඳවා ගත්හ.
මේ වනවිට බණ්ඩාරනායක අගමැතිතුමා භූමදානය කළ ස්ථානයේ විසිතුරු සොහොන් ගෙයක් සෑදීමට මහජනයා ද විශාල වශයෙන් මුදල් පරිත්‍යාගකර සිටි හෙයින් එවකට රජයේ වැඩ ඇමැති වශයෙන් සිටි හෙන්රි අබේවික්‍රම මහතාට එම කටයුත්ත පැවරිණ. පසුකලෙක ‘බණ්ඩාරනායක සමාධිය’ යනුවෙන් නම් කෙරුණු ස්ථානය නිර්මාණය කිරීමට අබේවික්‍රම මහතා මුල් වූයේ බණ්ඩාරනායක මැතිතුමාව ඇමැති ලෙස කටයුතු කරන කාලයේ සිටම පැවැති සම්බන්ධතාවද මුල් කරගනිමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් අස්කර දමා තමන්ට හිතැති අයට පමණක් ඇමැති තනතුරු දී තබාගෙන සිටි දහනායක අගමැතිතුමා, මේ අතර ‘ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ නමින් නව පක්ෂයක් ද පිහිටුවා ගනු ලැබීය.
මේ සමඟම පාර්ලිමේන්තුව විසුරුවා හැර අග්‍රාණ්ඩුකාරතුමා කළේ දහනායක අගමැතිතුමාට භාරකාර ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයක් පවත්වා අවසාන වනතුරු රට පාලනය කිරීමට උපදෙස් දීමය.
මේ අතර දහනායක අගමැතිතුමාගේ භාරකාර පාලනය යටතේ ඇමැති මණ්ඩලයේ රජයේ වැඩ ඇමැති වශයෙන් සිටිද්දීම බණ්ඩාරනායක සමාධිය වැඩ කටයුතු ඇරැඹීමට හෙන්රි අබේවික්‍රම ඇමැතිතුමා කටයුතු සැලැස්වීය. මහජන ආධාර රුපියල් ලක්ෂ එකහමාරක් පමණ ලැබී තිබුණු බැවින් කටයුතු අරඹනු ලැබීය.
එවකට රජයේ වැඩ අධ්‍යක්ෂව සිටි එච්.ආර්. ප්‍රේමරත්න මහතා ප්‍රධාන නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර මහතා ප්‍රධාන කාරක සභාවකින් වැඩ පටන් ගන්නා ලද්දේ ය.
සමාධියේ සැලැස්මවල් කිහිපයක්ම පරීක්ෂණයට ලක්විය. පිළිගත් සමාගම්වලින් ඉල්ලුම් පත්‍ර කැඳවන ලද්දේ ය. අන්තිමේ පීටර් පීරිස් සමාගමේ ඉල්ලුම්පත්‍රය පිළිගන්නා ලද්දේ ය. මේ පිළිබඳව හෙන්රි අබේවික්‍රම ඇමැතිතුමා මෙම සියලුම කරුණුම වරින්වර බණ්ඩාරනායක මැතිනියට වාර්තාකර සිටියේ කටයුතු කෙරෙන අන්දම ගැන එතුමිය ද දැනගත යුතු බැවිනි. එම සොහොන් ගැබ ඉදිකිරීම උදෙසා ඒ අසල පැවැති ගස් කොළන් උගුල්ලා දැමීමට ද එතුමියගෙන් අවසර ලැබිණි.
දහනායක අගමැතිතුමා තමන්ගේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බැඳෙන්නයි හෙන්රි අබේවික්‍රම ඇමැතිතුමාට ආරාධනය කළ නමුදු එතුමා කියා සිටියේ ‘මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හරින්න බැහැ’ කියා ය.
අබේවික්‍රම ඇමැතිතුමා 1960 ජනවාරි 6 දින ‘බණ්ඩාරනායක සමාධියට’ මුල් ගල තැබීමට ආණ්ඩුකාරතුමාට, මහා සංඝයා වහන්සේට විදේශීය තානාපතිවරුන්ට හා ප්‍රභූන්ට ද විශේෂ ආරාධනා පත්‍ර යවා සියලු කටයුතු සම්පාදනය කර තිබිණ. මුල්ගල තැබීමට දින දෙකකට පෙර දුරකථනයෙන් අබේවික්‍රම ඇමැතිතුමා ඇමැතූ අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ශ්‍රීමතාණන් කියා සිටියේ දහනායක අගමැතිතුමා මට කතාකර හෙන්රි අබේවික්‍රම තමන්ගේ පක්ෂයට එකතු නෙවෙනවා නම් ඇමැතිකමින් අස්කර දමන බවය.
එයට පිළිතුරු දුන් අබේවික්‍රම මහතා කීවේ “මම ඉල්ලා අස්වන්නේ නෑ. අප පක්ෂයේ අනෙක් ඇමැතිවරුන් අස් කළා වගේ මාවත් අස් කරපුවාවෙ” කියා ය.
ඉන්පසු දින හෙන්රි අබේවික්‍රම මහතාට දුරකථනයෙන් කතා කර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අසා සිටියේ “ඔබ මුල්ගල තියන උලෙළට යුද්ධ හමුදාවට කාලතුවක්කු ද රැගෙන එන ලෙස ආරාධනය කර තිබෙනවාද?” කියා ය. එය එසේ කර නොමැති බව අබේවික්‍රම මහතා කී විට එතුමිය කියා ඇත්තේ එසේ වුවහොත් අවදානම් තත්ත්වයක් ඇතිවන්නට ද ඉඩ තිබෙන නිසා එවැන්නකට ඉඩ නොතබන ලෙසය.
එවිට මෙහිදී ඉදිරියට තමන්ගේ ඇමැති පදවිය ද නැති වන්නට ද ඉඩ තිබෙන බව මැතිනියට කරුණු පැහැදිලි කර දුන් හෙන්රි අබේවික්‍රම ඇමැතිතුමා “මට ඕනෑ විදියට උත්සවය කරන්න දැ’යි විමසීය.
“ඔබට වුවමනා අයුරින් උත්සවයේ කටයුතු හොරගොල්ලේදී කරන්නට මම ඔබට බලය දෙනවා” යැයි බණ්ඩාරනායක මැතිනිය මෙහිදී ස්ථිර ස්වරයෙන් කියා සිටියාය. එය අබේවික්‍රම මහතාට බලවත් ධෛර්යයක් ද විය.
එහෙත් සමාධියට මුල්ගල තබන ජනවාරි 6 වැනිදා රටේ සෑම පත්තරේකම මුල් පුවතින් හෙළිවූයේ රජයේ වැඩ ඇමැති හෙන්රි අබේවික්‍රම මහතා එම ඇමැති පදවියෙන් අස්කර දමා ඇති බවය. හෙන්රි අබේවික්‍රම මහතා එදා උදේම හොරගොල්ලට ගියවිට දක්නට ලැබුණේ සමාධිය බිමට ඇතුළුවන භූමිය වටා කටුකම්බි ගසා ඇති බව ය. ඒ සමඟම එහි යුද හමුදාවේ භටයන් දහසක් පමණ පැමිණ ඇති බව ය. නිල ඇඳුමින් සැරසුණු හමුදා භටයන් තුවක්කු රැගෙන ඒ අසල රැකවල් ලා ඇති බවය. මේ ගැන මවිතයට පත් හෙන්රි අබේවික්‍රම මහතා එතැනට ගිය බව දක්නට ලැබුණේ හොරගොල්ල වලව්වේ ගේට්ටුවෙන් ඇතුළුවන්නට ද ඉඩ නොලැබුණු දහස් ගණන් මහජනයා රැස්කකා සිටින බවය.
මේ අතර හොඳට ඇඳ පැළඳගත් කලිසම් කාරයකු අබේවික්‍රම මහතා ඉදිරියට පැමිණ “සමාවන්න, අද මෙහි කටයුතු කෙරෙන්නේ අගමැති දහනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔබ වෙනුවට ආර්.ඊ. ජයතිලක මහතා ඇමැතිකමට පත්කර තිබෙනවා. එනිසා අද සියලු සංවිධාන වැඩ එතුමා කරාවි. ඔබතුමාට අද මෙහි කාර්ය භාරයක් නැහැ” යයි කීවේ ය.
මෙම කියමනෙන් බලවත් ලෙස කෝපයට පත් අබේවික්‍රම මහතා කළේ ඔහු අතේ තිබුණු ලියකියවිලි උදුරාගෙන විසිකර දැමීමය. ඉන්පසුව යුද හමුදා භටයන් එතැනින් පිට කර දැමීමය. ඉන්පසුව කටුකම්බි ගසා තිබුණු තැන් කපා දමා මහජනතාවට එන්නට ඉඩ සැලසීමය. මේ කටයුතු හෙන්රි අබේවික්‍රම මහතා එසේ කරද්දී හමුදාව කරකියා ගත නොහැකිව බලා සිටියා මිස කිසිවක් කරන්නට පෙළඹුණේ නැත. ඔවුන් ඊට විරුද්ධව යම් පියවරක් ගත්තා නම් ඉන්පසු තත්ත්වය භයානක ලෙස දුරදිග යන්නට ද ඉඩ තිබිණ.
ඉන්පසුවදා සිංහල ඉංග්‍රීසි පුවත්පත්වල මුල් ශීර්ෂ ලෙස පළවූයේ ‘හෙන්රි යුද්ධ හමුදාව ඉවත් කරයි. කම්බි කපා මහජනයාට හොරගොල්ලේ ඉඩ දෙයි’ යනුවෙනි.
“යුද්ධ හමුදාවට ප්‍රමුඛ ස්ථානයක් දී සංවිධානය කර තිබූ වැඩපිළිවෙළ එක් පුද්ගලයකු විසින් වෙනස් කරන ලදී. ඔහු නම් ඊයේ උදේ වනතුරු රජයේ වැඩ ඇමැති වශයෙන් සිටි හෙන්රි අබේවික්‍රම මහතා ය.”
‘බණ්ඩාරනායක සමාධිය’ ඉදිකරන්නට නියමිත ස්ථානයේ රැඳී සිටින යුද භටයන් කරුණාකර ඉවත්වන්න... මෙම සභාවේ ලේකම්වරයා වශයෙන් මම යුද හමුදාවට ආරාධනා නොකළෙමි. මට අවශ්‍ය මෙතැනට මගේ ආරාධිතයෝ සහ මහජනයාගේ පැමිණීමය” යි. උත්සව සභාව අමතා කී විට හමුදා භටයන් ඉන් ඉවත්වූහ.
“මේ සමාධිය සෑදීමට මුලින් ම මුදල් ලැබුණේ මහජනයාගෙන්. ඒ නිසා මේ කටයුතු මම ඇමැති වශයෙන් ආරම්භ කළත් දැන් එම ඇමැතිකම මේ බිමේ වැලිකැටයක් තරම්වත් මට අගේ නැත”යි එතුමෝ ඉන් පසුව පැවසූහ.
මුල්ගල් තැබීමට පෙර මහා සංඝයා වහන්සේලා කිහිපනමක්ම ගුණ සමරු කතා පැවැත්වූහ. ඉන්පසුව අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ශ්‍රීමතාණන් කතා කළ අතර මෙහි පැමිණ පැත්තකට වී සිටි අගමැති විජයානන්ද දහනායක මැතිතුමාට කතාවක් කරන්නට ඉඩක් දෙන ආරාධනයක් ද ලැබුණේ නැත.
අබේවික්‍රම මහතාගේ ආරාධනයෙන් අග්‍රාණ්ඩුකාරතුමා, ශ්‍රීමත් ජේම්ස් පී. ඔබේසේකර මහමුදලිතුමා, ඒ.පී. ජයසූරිය, බද්උද්දීන් මහමුද් යන මහත්වරුන් එහි මුල්ගල් තැබූහ.
භාරකාර අගමැති විජයානන්ද දහනායක මහතාට ඕන හැටියට නොව මෙම කාරණය ආරම්භ කළ හෙන්රි අබේවික්‍රම මැතිතුමාට ඕනෑ පරිදි බණ්ඩාරනායක මැතිනියගේ ද සම්පූර්ණ අනුමැතිය ඇතිව ‘බණ්ඩාරනායක සමාධියේ මුල් ගල් තැබීම සිදු කෙරිණ. උත්සවය මෙසේ නිමාවිය. එය එදා එසේ අබේවික්‍රම මහතාගේ අවශ්‍යතාව පරිදි ඉටු නොවන්නට භීෂණ තත්ත්වයක් ඇති කෙරෙන්නට ද ඉඩ තිබිණ.
සිය සදාදරණීය නායකයා වෙනුවෙන් තමන් කළ යුතු කටයුතු නිසි ලෙස නිමා කළ හැටි ද හෙන්රි අබේවික්‍රම මහතා පසුකාලෙකදී සිය ග්‍රන්ථයක සඳහන් කර තිබිණ.
කෙටි කලකින්ම බණ්ඩාරනායක සමාධියේ කටයුතු නිමාවූ පසුව දිනෙක හෙන්රි අබේවික්‍රම මහතාණෝ එහි මීවිටිගම්මාන මුහන්දිරම් රාලහාමිත්, ජේ.පී. වීරසිංහ ගම්සභාපතිතුමාත් සහාය කරගෙන මහා පහන් පූජාවක් තබා දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාට පුණ්‍යානුමෝදනා කළහ. බණ්ඩාරනායක මැතිනියට හා දරුවන් තුන් දෙනාට නිදුක් නිරෝගී සම්පත ප්‍රාර්ථනා කළහ.
අද ද හොරගොල්ල පාරෙන් එහා මෙහා යන ජනතාව මහජන අගමැති බණ්ඩාරනායක මැතිතුමන් සමරා ‘බණ්ඩාරනායක සමාධිය’ දෙස සිය ගෞරවාචාරය පුද කරන්නට අමතක නොකරති.