දේශගුණ වෙනස්වීම් හමුවේ රතු එළි දැල්වෙන දිස්ත්‍රික්ක දහයක් | Page 2 | සිළුමිණ

දේශගුණ වෙනස්වීම් හමුවේ රතු එළි දැල්වෙන දිස්ත්‍රික්ක දහයක්

“වහින්න ගත්තොත් මාස ගාණක් වහිනවා, පායන්න ගත්තම මාස ගාණක් පායනවා”‍ අපේ රටේ කාලගුණයේ දැන් දැන් සිදුවී ඇති වෙනසක සේයා වචන වලට හැරවෙන්නේ ඒ හැටියට ය.”‍ දවල්ට මදිවට රෑටත් ඉන්න බැරි තරම් රස්නෙ, ඇගටත් අමාරුයි, හරියට නින්ද යන්නෙත් නැහැ.“රටේ කොතැනටත් අඩු නැතිව දැනෙනා උණුසුම අද කාගෙ කාගෙත් කතාවට කොහෙන් හෝ ඈදෙන මාතෘකාව ය. මේ කතා කියන්නේ අපේ රටේ අපට උරුම ව තිබුණු සුවදායක කාලගුණය ඇඟට පතට දැනෙනා තරමට වෙනස් වී ඇති බවක් නොවේ ද!ඇඟට දැනෙනා මේ වෙනස ලෝකයේ අලු‍ත් ම කාලගුණ දත්ත විශ්ලේෂණ ද සනාථ කර ඇත්තේ අනතුරක සේයාවක් පෙන්වමිනි. ලෝකය පුරා ම සිදුවී ඇති කාලගුණික වෙනස්කම් සලකා බැලූ කල කාලගුණ විපර්යාස නිසා වැඩි ම අනතුරුදායක බලපෑම් වලට ලක්වී ඇති කලාපය දකුණු ආසියාතික කලාපය බව ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ දේශගුණික විපර්යාස පිළිබඳව සිදුකළ South Asia’s Hot Pots, impact of temperature and Precipitation Changes නම් වාර්තාව හෙළි කරයි.

කලාපය පුරා ම උෂ්ණත්වය වැඩිවීම වේගවත් ව සිදුවන බවත් වර්ෂාව ඇති වීම නිසි රටාවකට අනුව නොව ඉතා අක්‍රමවත් ව සිදුවන බවත් කැපී පෙනෙන බව මේ වන විටත් හඳුනාගෙන හමාර ය. කාලගුණික වෙනස්වීම් වල බලපෑමට ඉතා ඉක්මනින් සහ දැඩි ලෙස ලක්වන ‘කාලගුණික විපර්යාස උණුසුම් කලාප‘ ඉතා විශාල ගණනක් දකුණු ආසියාතික කලාපය පුරා හඳුනාගෙන ඇති අතර, අවාසනාවට දකුණු ආසියාතික කලාපයේ ජනතාවගෙන් මිලියන 800ක පමණ දෙනා ජීවත්වන්නේ එකී අධි සංවේදී කලාප තුළයි. අවාසනාවන්ත කතාව එතැනින් නතර වන්නේ නැත. මුහුද මැද තනිවූ සේම ඉන්දියාව වන් විශාල ගොඩබිමකට ඉතා ආසන්නයෙන් සිටිනා අප, ඒ සිදුවෙමින් තිබෙනා කාලගුණ විපර්යාසයට ගොදුරු වන අධි සංවේදී කලාපයක් බවට පත්වී සිටීම ඒ ආරංචියේ අවාසනාවන්තම අන්තයයි.!

අව්ව, වැස්ස හා ජීවත්වුණු අව්ව වැස්ස දෙස බලා ජීවිතය හැඩගස්වාගත් අපේ මිනිසුන්ට අව්වේ වැස්සේ රටාව වෙනස් වීම නිකන් ම අමතක කර දැමිය හැක්කක් නොවේ. රටට ම බත සැපයූ රජරට ගොවියෝ අද කන්න පහ හයක් වගා කරගන්න බැරිව ලතැවෙන ළතැවිල්ල මේ කියන්න අව්වේ වැස්සේ වෙනස්කම අපට කෙසේ දැනේ දැයි කියන්නට ඕනෑවටත් වඩා වැඩිය. වියළී ගිය කෙත්වතු ,වැව් අමුණු අපට කියනා මේ කතාව, කාලගුණ වෙනස්කම් මිනිසුන්ගේ ජීවන තත්ත්වයට සිදුකරන බලපෑම් ගැන ලෝක බැංකුව අකුරු ඉලක්කම් වලින් වාර්තාවකට ගොනු කර ගෙන සිටිති. ලෝක බැංකුව කියනා ලෙසට කාලගුණය හා සම්බන්ධ බොහෝ දත්ත අතින් අපේ රට තිබෙන්නේ අවධානමකයි. රටේ සාමාන්‍ය උෂ්ණත්ව පරාස ඉතා ඉක්මනින් වෙනස් වීම, වර්ෂාපතන රටාව කැපී පෙනෙන ලෙස වෙනස් වීම මේ වන විටත් නොහොඳ බලපෑම ඇති කර තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. අව්වේ සහ වැස්සේ වෙනස සේම මෑතක සිට දැනෙන රට තුළ සහ රට වටා ඇති සුළං වල වෙනස ද අපව තව තවත් අන්තුරුදායක තත්ත්වයට පත් කර තිබේ. මෑතදී රටේ නොයෙක් තැන් වලින් අසන්නට දකින්නට ලැබුණු මේ සුළං තත්ත්ව හඳුනාගෙන ඇත්තේ නිවර්තන කලාපීය සුළං ප්‍රවාහ ප්‍රචණ්ඩ වීමක් ලෙස ය. මේ සියල්ල අතරේ දූපතක ජීවත් වන නිසාම මුහුදු මට්ටම ඉහළ යෑමෙන් ඇති වන බලපෑමටත් අපට නුදුරුරු අනාගතයේදීම යටත් වීමට සිදුවනු ඇත.

දකුණු ආසියානු කලාපය ම සැලකූ විට අපේ රට කාලගුණික වෙනස්වීමවට අධික ලෙස ගොදුරු වන බව හඳුනාගෙන ඇත්තා සේම අපේ රටේ ද ඉන් වැඩිම බලපෑම් ඇතිවන ප්‍රදේශ ද වෙන් වෙන් ලෙස හදුනාගෙන ඇත. කතාබහට ලක් කළ යුතු තරමේ වන නමුත් කතාබහට ලක් නොවන මේ කාලගුණ වෙනස සහ ඉන් ඇතිවන බලපෑම මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ දැමීමට ඉතා ඉහළ බලපෑමක් ඇති කරවන්නේ ම ය.

දැනට තිබෙන කාලගුණ දත්ත ඇසුරු කර සිදු කර ඇති ගණනයට අනුව 2050 අවුරුද්ද වන විට අපේ රටේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක එකත් දශම පහත් අතර ප්‍රමාණයකින් ද, කාබන් ආචරණයේ බලපෑම නිසා උෂ්ණත්වයට සිදුවන බලපෑම නිසා සෙල්සියස් අංශක එකත් දෙකත් අතර ප්‍රමාණයකින් ද වැඩි වීමේ ඉඩක් පවතින බව පෙනෙන්නට තිබේ. මින් අපේ රටට වැඩි බලපෑමක් ඇතිවන්නේ කාබන් ආචරණය නිසා ය. කාබන් ආචරණය හෙවත් වායුගෝලයට කාබන් මුදා හැරෙන ප්‍රමාණය ඉහළ යෑම, කාලගුණ රටාව වෙනස් කිරීමට දක්වන්නේ ඉහළ බලපෑමකි. කෙසේවෙතත් මේ වෙනස් වන කාලගුණය රටේ ජනතාවගේ ජීවන තත්ත්වයට කෙසේ බලපෑම කරන්නේදැයි නිශ්චිතව හඳුනාගන්නට දිස්ත්‍රික්ක අනුව ගෘහස්ත ක්‍රියාකරකම් සහ කාලගුණ විපර්යාසය අතර ඇති සම්බන්ධතාව අධ්‍යයනය කර තිබේ. මේ අධ්‍යයනයේදී අධිසංවේදී කාලගුණ වෙනස්වීම් කලාප ලෙස හඳුනාගෙන ඇත්තේ සාමාන්‍ය උෂ්ණත්ව පරාස කැපීපෙනෙන ලෙස වෙනස්වී ඇති ප්‍රදේශය ය. ලංකාවේ කාලගුණ අධිසංවේදී කලාප ආකාර තුනකට වර්ග කර ඇත. ඒ වර්ග කිරීම සැලකීමේදී මධ්‍යම බලපෑම් සහිත ප්‍රදේශ වල ජීවත්වන මිලියන තුනක් වන ජනතාවගේ ජීවන තත්ත්වය සියයට - 4ක් දක්වා ද, සාමාන්‍ය බලපෑම් සහිත ප්‍රදේශවල ජීවත්වන මිලියන පහළවක් වන ජනතාවගේ ජීවන තත්ත්වය සියයට -7ක් දක්වා ද, වැඩිම බලපෑමක් ඇති ප්‍රදේශවල ජීවත්වන මිලියන හතරක් වන ජනතාවගේ ජීවන තත්ත්වය සියයට -10.5ක් දක්වා ද වෙනස්විය හැකි බව මේ අධ්‍යයනය පෙන්වා දී ඇත. එසේම මේ සංවේදී කලාප සැලකීමේදී 2050 වසර වන විට උෂ්ණත්ව වෙනස්වීමේ බලපෑම නිසා සියයට - 4.9කින් සහ කාබන් ආචරණයෙන් ඇතිවන බලපෑම නිසා සියයට -7කින් ද ජනතාවගේ ජිවන තත්ත්වය වෙනස්වීම් වලට ලක්විය හැකිය.

කාලගුණයේ වෙනස්වීම නිසා වැඩි ම බලපෑමට ලක්වනු ඇතැයි අනුමාන කෙරෙන්නේ අපේ උතුරු සහ වයඹ පළාත් ය. යුද්ධය නිමාවීමෙන් පසුව අදත් ඉතා අඩු ආදායම් ලබන සහ අවතැන් වූ ජනතාවක් මේ පළාත් දෙක තුළ ම තවමත් ජීවත් වන අතර වැඩිපුරම කෘෂි ප්‍රජාවක් ඇති මේ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වයට කාලගුණයේ වෙනස්වීම තවදුරටත් දැඩි බලපෑම් එල්ල කරනු ඇත. මේ වන විටත් නිසි කලට වැසි නොලැබීම නිසා සිය වගා කටයුතු සිදුකර ගත නොහැකිව මේ ප්‍රදේශවල ජනතාව ඉතා දැඩි බලපෑම් වලට ලක්වී ඇත. විශේෂයෙන් ම අහස් දියෙන් එක් කන්නයකුත්, වැව් දියෙන් තවත් කන්නයකුත් වගා කරන්නට හුරු වී සිටින වයඹ ජනතාවට නිසි කලට වැස්ස නොලැබීමට මේ සිදුවී ඇති කාලගුණ වෙනස හේතු වී ඇත. එසේම එ් ප්‍රදේශවල උෂ්ණත්වය ද සැලකිය යුතු තරම් ඉහළ ගොස් ඇති නිසා එදිනෙදා කටයුතු වලට ජලය සොයා ගැනීම පවා ඇතැම් ප්‍රදේශවල ජනතාවට මහත් දුෂ්කර කටයුත්තක් බවට පත් වී ඇත. වියළි කලාපීය වනාන්තර වලට සිදුවී ඇති හානිය සහ සමස්තයක් ලෙස රටේ වන ගහනය අඩුවීම නිසා ජලචක්‍රයට සිදුවී ඇති වෙනස වීම් වැස්ස අඩුවීමට හේතුවක් වී ඇත.

උතුරු සහ වයඹ ප්‍රදේශවලට අමතරව බස්නාහිර පළාත ද මේ කාලගුණ විපර්යාසයේ දැඩි බලපෑමට ගොදුරු වී ඇත. බස්නාහිර පළාත දැඩි බලපෑමට ලක් වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඉතා වේගයෙන් සිදුවන නාගරීකරණයයි. රටේ ආර්ථික ක්‍රියාවලියෙන් සියයට 40ක පමණ දායකත්වයක් දක්වන බස්නාහිර පළාතේ ජීවන තත්ත්වයට සියයට -7.5ක බලපෑමක් මේ කාලගුණ වෙනස ඇති කරනු ඇතැයි අනුමාන කෙරේ. මෙයින් බලපෑම ඇති වන්නේ රටේ ආර්ථිකයට බව අමුතුවෙන් කිව යුතු නැත. තවමත් කෘෂිකාර්මික රටක් වන අපේ රට කාලගුණ විපර්යාසයන්ට ගොදුරුවී ආර්ථික වශයෙන් දුර්වල වීම රටේ සමස්ත ආර්ථිකය කඩා වැටීමකට ලක් වීමට හේතුවක් වනු ඇත.

කාලගුණ විපර්යාසයේ බලපෑම කෙතරම් තීව්‍ර ව ජීවන තත්ත්වයට බලපෑම් ඇති කරන්නේදැයි මේ කාලගුණ විපර්යාසයේ බලපෑමට දැඩි ලෙස ගොදුරු වී ඇති දිස්ත්‍රික්ක සලකා බැලූ විට පහසුවෙන් හඳුනාගත හැකිය. කාලගුණයේ වෙනස්වීම වැඩිම බලපෑම සිදුකරන්නේ යාපනය දිස්ත්‍රික්කයටයි. වයඹ පළාතේ පුත්තලම දෙවැනි වන්නේ යාපනයට විතර ය. එසේම මන්නාරම සහ කිලිනොච්චිය ද ඇතුළු ව අනතුරුදායකම බලපෑම් වලට ලක්වී ඇති දිස්ත්‍රික්ක ලැයිස්තුවේ ඉහළින් ම තිබෙන්නේ උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක පහයි. වඩා සැලකිලිමත් විය යුත්තේ ඉදිරියේදී උතුරු පළාත තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති ගැනයි. සංවර්ධනය සිදුකිරීමේදී තව දුරටත් පළාතේ ආවේණික පරිසර පද්ධතීන්ට හානි සිදුවීමෙන් මෙම අනතුරුදායක තත්ත්වය තව තවත් ඉහළ යා හැකිය.අනතුරුදායකම දිස්ත්‍රික්ක ලැයිස්තුවේ දස වැන්න්න අතරේ ගම්පහ දිස්ත්‍රික්කයද තිබේ. ලංකාවේ ජනගහනය වැඩිම දිස්ත්‍රික්ක අතරේ දෙවැනි තැන තිබෙන ගම්පහ දිස්ත්‍රික්කය මෑත කාලීනව ඇති වූ නියං තත්ත්වයන්ට සැලකිය යුතු තරමින් ගොදුරු වී තිබීම ගම්පහ දිස්ත්‍රික්කය හමුවේ ඇති අනතුරුදායක බව පෙන්වන්නකි. කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක ද කාලගුණයේ වෙනස විසින් සිය දැඩි ග්‍රහණයට ගෙන තිබේ. ඉතා ඉක්මනින් නියං තත්ත්වයන්ට ලක්වන බව හෙළිවී ඇති මේ දිස්ත්‍රික්ක වල ඇති ජල උල්පත් ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබීම නිසා නිතර නිතර නියං තත්ත්වයන්ට ලක්වන බව ද හඳුනාගෙන තිබේ. රට ම ආවරණය වන ලෙස සිදුවී ඇති මේ අධ්‍යයනයට අනුව කාලගුණ විපර්යාසයේ බලපෑම අඩුම පලාත මධ්‍යම පලාතයි. ඌව,සබරගමුව සහ දකුණු පළාත ඊට පහළින් තිබෙන අතරේ උතුරු මැද පළාත ද පහළට දමා වයඹ පලාත බලපෑමට ලක්වී තිබීම සැලකිල්ලට ගත යුතු ම ය.

වනගහනය අඩුකරමින් සංවර්ධනය ගැන සිතීමේ ඵල විපාක ලෙස මේ කාලගුණ විපර්යාසයන් දැක්වීමේ වරදක් නැත. අද ලෝකය සොයා යන්නේ තිරසාර සංවර්ධනයයි.තැනෙන මං මාවත් දෙපස වන වගාකරන ලෝකයේ අනෙකුත් දියුණු රටවල් අතරේ අපි වනය කපා මං මාවත් තනමින් සිටින්නෙමු. වැස්ස රැක ගන්නට හරිත සංකල්පයෙන් ගොඩනැගිලි තැනෙන ලෝකයේ අපි ගස් කපා කොන්ක්‍රීට් වනානතර තනමින් සිටින්නෙමු. දිය ඇලි තනා ගන්නට තැන් සොයන ලෝකයේ අපි දිය ඇලි ,දිය කදුරු සිඳවා සංවර්ධනය සොයා හැල්මේ දුවන්නෙමු. අපි පරිසරයේ , සොබාදහමේ අයිතිකාරයන් නොව අපි ද එහි කොටසක් පමණක් ම බව වටහා ගන්නා තුරු අපිඅපේ ගමන එසේම යනු ඇත.ඒ ගමන කෙළවර වන්නේ කොතැනින්දැයි මේ ඇගට දැනෙනා වෙනස අපිට නැවත නැවතත් සිහිපත් කර දෙනු ඇත.තවමත් ප්‍රමාද නැති නිසා සොබා දහමේ පණිවුඩයට කන් දීම අපේ යුතුකමය.!

Comments