ප්‍රඥාව දියුණු කරගැනීමට බුදුදහමේ ඉගැන්වෙන ගුණධර්ම හත | සිළුමිණ

ප්‍රඥාව දියුණු කරගැනීමට බුදුදහමේ ඉගැන්වෙන ගුණධර්ම හත

  • නුවණින් කල්පනා කිරීම
  • පිරිසිදු කම
  • නිති පතා පංච සිලය
  • දහම් පතපොත කියවීම

අද අපි කතාකරන්නට උත්සහ කරන්නේ ප්‍රඥාව පිළිබඳයි. ප්‍රඥාව කියන වචනයේ තේරුම දැන ගැනීම කියන අර්ථයයි. මෙයට පාලියෙ‍න් කියන්නේ 'පජානාතිථි පඤ්ඤා' කියලයි. පජානාථිති පඤ්ඤා කියලා කියන්නේ 'දැන ගැනීම' කියන අර්ථයයි. එදිනෙදා ජීවත් වීමටත් මේ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. එයින් අදහස් වෙන්නේ කෙනෙකුට එදිනෙදා ජීවත් වන විට මුදල් කළමනාකරණය කරගන්නේ කොහොමද? ගෙවල් දොරවල් වැඩිදියුණු කරගන්නේ කොහොමද? තමන්ගේ පුද්ගලික ජීවිතය සාර්ථක කර ගන්නේ කොහොමද ? කියලා අපි නුවණින් යුතුව කල්පනා කර බැලිය යුතුයි.

මේ වගේ ‍එදිනෙදා ජීවිතේදී ජිවත් වෙන්නට අවශ්‍ය ප්‍රඥාව සියලු දෙනාම දන්නවා.

උගත් නූගත් ඕනෑ ‍ම කෙනෙකුට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. මවුපින්ගෙන් වැඩිහිටියන්ගෙන් ‍ජීවිතාවබෝධයෙන් වුණත් මේ පිළිබදව දැන ගන්නට පුළුවන්.

ඒ නිසා මෙහිදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය ප්‍රඥාව පිළිබඳ කතා කරන්නේ නැහැ. මම කතා කරන්න අදහස් කරන්නේ සම්බුද්ධ ශාසනයේ දී අපිට ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය ප්‍රඥාව එසේත් නැති නම් ඒසේත් නැති නම් දැනුම පුළුල් කිරිමට අවශ්‍ය ආකාරය පිළිබඳයි කතා කරන්නට උත්සහා කරන්නේ.

එනම් සම්බුද්ධ ශාසනයේ ඉගැන්වෙන ප්‍රඥාව ඇති කරගැනීමට නම් ‍මේ කාරණා කිහිපයක් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. පළමු වැනි කාරණාව නම් කුසල ධර්ම සහ අකුසල ධර්මයි. කුසල් සහ අකුසල් පිළිබඳ නුවණින් විමසා බැලීමේන් අපේ නුවණ වැඩෙනවා.

දෙවැනි කාරණාවට කියන්නේ 'සාවජ්ජ අනවජ්ජ' යි. එහි තේරුම විමසා බලමු . සාවජ්ජ කියලා කියන්නේ; වැරදි ‍දේ මොනවාද? අනවජ්ජ කියලා කියන්නේ නිවැරැදි දේ මොනවා ද කියා නුවණින් විමසා බැලීමයි. අනෙත් කාරණාව වන්නේ කළ යුතු දේ මොනවාද නොකළ යුතු‍‍ දේ මොනවාද යන කාරණාවයි‍. තමන් කළ යුතු යහපත් ‍දේ මොනවාද තමන් නොකළ යුතු අයහපත් දේ මොනවාද ? ඒ ගැන නුවණින් කල්පනා කළ යුතුයි. කුමක් කළොත් කුසල් රැස් වෙනවා ද ‍කුමක් කළහොත් අකුසල් රැස් වෙනවා ද කියන කාරණාව ගැන කල්පනා කළ යුතුයි. එසේ කල්පනා කළහොත් තමා තුළ ඇති ප්‍රඥාව බොහෝ විපුල බවටත් මහත් බවට පත් වෙනවා.

ප්‍රඥාව ඇති කරගත යුතු අයට ප්‍රඥාව දියුණු කරගැනීමට ඉතා වටිනා‍ ගුණ ධර්ම හතක් ති‍ෙයනවා. ඒ ගුණ ධර්ම අනුපිළිවෙළින් මතක තබා ගත යුතුයි. පළමු වැනි ගුණධර්මය තමයි පරිපුච්ච කතා. පරිපුච්ච කතා කියලා කියන්නේ විමසීම පුරුදු කරගැනීමයි. තමන්ට වඩා දැනුවත් අයගෙන් කුසල අකුසල දැනගන්න ඕන, කළ යුතු නොකළ යුතු, දේ අහගන්න ඕනෑ තවත් ගැඹුරින් දැනගැනීමට මා ඔබට එය විස්තරයක් කරන්නම්.

එහි පළමුවැනි කරුණ වන්නේ ශාසනයේ ගැඹුරු ප්‍රඥාව ඇති කරගැනීම. පළමුව අසා දැන ගත යුතු දේ තමයි ස්කන්ධ කියන්නේ. එනම් රූප, වේදනා, සඤ්ඤා සංකාර විඥාන යන පංච උපාදනස්කන්ධය පිළිබඳ අසා දැනගන්නට ඕන. ඊළඟට ධාතු පිළිබඳවයි. එනම් පඨවි ආපෝ තේජො පිළිබඳ අසා දැනගන්නට ඕන. ඊළඟට ආයතන පිළිබඳ අසා දැන ගන්නට ඕනෑ. එනම් ඇස කන නාසය දිව ශරීරය මනස පිළිබඳ අසා දැනගැනීමයි.

ඒ ආයතන හය වගේම රූප ගන්ධ රස ස්පර්ෂ සිතුවිලි හය පිළිබඳත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත්වෙන්නේ කොහොමද ? කියලා ඉගනගෙන තියෙන්නට ඕනෑ. ඉන් පසුව වීර්යය එනම් සද්ධා සති වීර්යය සමාධි ප්‍රඥා යන ගුණ ධර්ම පිළිබඳ අසා දැනගන්නට ඕන. ඊළඟට බල ධර්ම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. බලධර්ම තමන් තුළ බලයක් බවට පත් කර ගන්නට ඕනෑ. සද්ධා විර්යය සති සමාධි ප්‍රඥා යන බල ධර්මයි‍. මේවා බලයක් බවට පත් කරගත යුතුයි. මේ පංච බල ධර්ම පිළිබඳ අසා දැනගන්නට ඕනෑ. ඊළගට බොජ්ජ පිළිබඳ අසා දැන ගත යුතුයි. එනම් සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සති සමාධි උපේක්ඛා පිළිබඳ අසා දැන ගත යුතුයි.

ඉන් අනතුරුව දැනගත යුත්තේ මග්ගන්ග ඒ කියන්නේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි. සමථ භාවනාව පිළිබඳ අසා දැන ගත යුතුයි‍. ඉන් පසුව විපස්සනා භාවනාව පිළිබඳ අසා දැනගත යුතුයි. යහපත පිණිස පවතින දේ අසා ඉගන ගත යුතුයි. අයහපත පිළිබඳ ඇති‍ දේ අසා දැන ගත යුතුයි. මෙයයි ප්‍රඥාව ඇති‍ වීමට පළමුවෙනි කාරණාය එනම් පරිපුච්ච කතා විමසීමයි.

දෙවැනි කාරණය නම් 'වස්තු විසද කිරියථා' ඒ කියන්නේ පිරිසිදු කම තිබිය යුතුයි. දිග නිය දරන්න හොඳ නැහැ. දිග නිය කපන්නට ඕනෑ. පිළිවෙළකට කපලා තියාගන්නට අවශ්‍යයි‍. එය ප්‍රඥාවට බාධාවක්. ඒ වගේම දිගලෝම කූප දරන්නට හොඳ නැහැ. කය පිරිසුදුවට තබාගන්නට ඕන. ජලස්නානය කළ යුතුයි ඇදුම් පැලදුම් පිඟාන කෝප්පයත් වැසිකිළිය පවා පිරිසිදුව තබාගත යුතුයි. ඒ අකාරයට පිරිසුදුකමත් ප්‍රඥාව ඇතිවෙන්න හේතු කාරණාවක් වෙනවා.

'ඉන්ද්‍රිය සමත්ථ පටිපාදනතා 'කියන්නේ ශාසනයේ ප්‍රඥාව දියුණු කරන්න නම් ඉන්ද්‍රිය ධර්ම පහක් තිබිය යුතු කියනවා. එම ඉන්ද්‍රිය ධර්ම සමව පවත්වා ගත යුතුයි. මේ සද්ධා සති වීර්යය සමාධි ප්‍රඥාව සමානව තිබිය යුතුයි. අපි හිතමු සද්ධා වැඩි වුණා. ප්‍රඥාව අඩු වුණා එයා කරන දේවල් මෝඩ කමත් සමඟ කරන්න පුළුවන්. සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව වැඩි වුණා නම් මොකද වෙන්නේ කියන්න මට එක්තරා උදාහරණයක් සපයන්න පුළුවන්. එක්තරා උපාසක මහතෙක් දිනපතා උණු ජලය මිශ්‍ර කර බුද්ධ ප්‍රතිමාව දෝවනය කළා. කාලයක් ගත වෙන කොට මොකද ‍වුණේ තීන්ත ගාපු මේ බුදු පිළිමේ පාට ටික දියවෙලා අවලස්සන වෙන්න පටන් ගත්තා. ශ්‍රද්ධාව වැඩි වුණාම වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. හැම‍ වෙලාවෙම මේ ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් තියෙන්න ඕනෑ.

ප්‍රඥාව වැඩි වෙලා ශ්‍රද්ධාව වැඩිවෙන්නත් හොඳ නැහැ. අනන්තවත් පවු සිදු විය හැකිය. ඒවගේම වීර්යයත් සමාධියත් එක සමානව තිබිය යුතුයි. ඒ කියන්නේ භාවනාවට ගන්න විර්යය ගන්න ඕන සමාධිය ඇතිව. වීර්යය වැඩි වුණාම සිත උද්දච්චයට පත්වෙනවා. එනම් සිතේ විසිරීමයි විර්යය වැඩි වෙලා සමාධිය වැඩි වුණොත් තමන්ගේ සිත අලස බවට පත්වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ දෙකක් එක මට්ටමක තිබිය යුතුයි. කොයි තරම් දියුණු වෙලා කොයි තරම් ප්‍රබද වෙලා සතිය වැඩුවත් කමක් නැහැ. සතිය සැම තැනකදිම තිබිය යුතුයි.

ඊළඟ හේතුව 'දුප්පඥ පුග්ගල පරිවජ්ජලතා' . ඒ කියන්නේ ප්‍රඥාව නැති පුද්ගලයන් දුරු කිරිමයි. රඥාව නැති පුද්ගලයන් යනු කව්ද? පින්පවු දන්නේ නැති නම් සතුන් මරනවා නම් හොරකම් කරනවා නම් ‍කාමයේ වරදවා හැසිරෙන්නා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නා ප්‍රඥාව නැති කෙනෙක්. උගත් වුණාට වැඩක් නැහැ. කෙනකු පවු කරන්නේ නම් ඒ ප්‍රඥාවේ අඩුකමයි. ප්‍රඥාව නැති පුද්ගලයා දුරු කරන්නට වෙනවා. එහෙම අය අපි ඇසුරු කළත් ඒ අයගේ විදිහට අපි හැඩ ගැහෙන්නට හොඳ නැහැ. අසුචි වලටත් වඩා පිළිකුල්. ඉහත සදහන් කරන ලද නරක පුරුදු අපි ඒ නරක අය ඇසුරින් ගත යුතු නැහැ. අකුසල් ගොඩින් ඉවත් කර ඒ අයව ධර්මයේ පිහිටුවන්න පුළුවන් නම් ඒ අය ඇසුරු කළාට කමක් නැහැ.

'ප්‍රඥාවන්ත පුග්ගල සේවනතා ' ප්‍රඥාවන්තයන් ඇසුරු කිරිමට පුරුදු විය යුතුයි. කවුද මේ ප්‍රඥාවන්ත‍යන් කුසල් අකුසල් දන්නා අය අපි ඇසුරු කළ යුතුයි නිසි ලෙස දන්පින් දෙන බණ භාවනා කරන, නිති පතා පංච සිලය රකින, බුද්ධ වන්දනා කරන්නෙ, පිරිත් දේශනා කරන්නේ, ප්‍රඥාවන්ත අය විදර්ශනා වඩන්නේ ප්‍රඥාවන්ත අයයි. මව්පියන්ට ඇප උපස්ථාන කරන්නේ අසරණයන්ට රෝගීන්ට ඇප උපස්ථාන කරන්නේ ප්‍රඥාවන්ත අයයි. එයත් ප්‍රඥාවට හේතු වන ගුණ ධර්මයක්.

'ගම්භිර ඥාන චරියේන පච්ච වෙක්ඛනතා' යනුවෙන් දේශනා කර ඇත්තේ. ගැඹුරු දේ නුවණින් දේශනා කරන්නට ඕන යන කාරණාව පිළිබඳවයි. අද වන විට ඒ‍ ගැඹුරු ධර්ම කරුණුවලට ‍නොවෙයි අපි හුරුවෙලා ඉන්නේ. අද කාලේ ගැඹුරු ධර්ම කරුණක් අහන්න කැමති නැහැ.විහිළු දේවල් අහන්න හිනාවෙන්න තමයි අද බණ අහන්නත් පුරුදු වෙලා ඉන්නේ‍. බුදුරජාණන්වහන්සේගේ ධර්මය ඒවැනි‍ හාස්‍ය උපදවන දේවල් නැහැ.

අද මම දේශනා කරන්නේ චතුරාර්යය සත්‍ය කියලා කිව්ව ගමන් හැමෝම බිත්තිය අයිනට ගිහින් නිදා ගන්න ලැස්ති වෙනවා. නැති නම් කියනවා ‍අපෝ දැන් කියන්න හදන්නේ කාටවත් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා බණ කියන්න කලින් තිරණය කරලා ඉවරයි. එහෙම නැතුව ඉතා ගැඹුරු දේවල් අහන්න හිතන්න පුරුදු වෙන්න ඕනෑ. සරල දේට අවධානය යොමු කරන තැනැත්තාට ඇති වෙන්නේ සරල ප්‍රාඥාවක්. ගැඹුරු දෙවල්වලට අවධානය යොමු කරන අයට ඇති වෙන්නේ ගැඹුරු ප්‍රාඥාවක්.

'තධධී මුත්තතා යනු ප්‍රඥාවට නැඹුරු විය යුතු බවයි. ඒ වගේ ම ප්‍රඥාව දියුණු වෙන්න හේතු ධර්ම අතර ලොව්තුරා බුදුරජාණන්වහන්සේට පහන් දැල්වීමට ප්‍රඥාව දියුණුවෙන්න කුසල ධර්මයක් වෙනවා. බුදුන්වහන්සේට පහන් දල්වා ප්‍රාර්ථනා කරන්නට ඕනෑ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුජා කරමි පුජා කරමි පුජාවෙවා! කියලා ප්‍රාර්ථනා කළ යුතුයි.

බුදුන්වහන්සේට ආලෝක දල්වා උන්වහන්සේගේ මහ ප්‍රඥා ගුණය සිහි කරලා මහ ප්‍රඥාවෙන් යුතු සර්වඥයන් වහන්සේට පුජා කරමි පුජා කරමි පුජාවේවා කියලා ප්‍රාර්ථනා කරමින් පහනින් අඳුර දුරලනවා වගේ මගේ හිත තුළත් ඇති අඳුරු දුරුවේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. තවත් ධර්ම දේශනා කිරිම ධර්මය සේවනය කිරිම ප්‍රඥාව දියුණු විමට හේතුවක් වෙනවා. ධර්ම සාකච්ජා කිරීමත් දහම් පතපොත නිතර කියවීම සමථ භාවනාව වැඩිම ප්‍රඥාවට හේතුවක් වෙනවා. විදර්ශනවා භාවනාව, වැඩීමත් සිල් ආරක්ෂා කිරිමත් මහත් කුසල කර්මයක් ලෙසයි සදහන් කර තියෙන්නේ.

විහාරස්ථානයට ගියාම විහාරයේ චෛත්‍ය මළුව අමදින්න පොදු වැසිකිළි කැසිකිළිසොදන්න. ඒවත් ප්‍රඥාව දියුණු විම‍ට හේතුවක් ව‍නවා.

එක දිනක් ස්වාමින් වහන්සේ නමක් මිදුල අතු ගාලා කුණු එක තැනකට එකතු කළා. මේ කුණු ටික ඉවත් කරන්නට කියලා සාමනේර හිමිනමකට කිව්වා. ඒ හිමි නම නෑසු කන්ව සිටියා. කුණු ටික අයින් කරන්න කියලා තුන්වතාවක් කිව්වා. පසුව ස්වාමීන්වහන්සේ අර සාමනේරයන්ට ඉදල් මි‍ටෙන් පහරක් ගහලා කිව්වා මේ කුණු ටික අරන් දාන්න කියලා. ඒවෙලාවේ මේ සාමනේරයන් අඬ අඬා කුණු ටික අරන් විසි කරලා ගඟ ළඟට ගියා අත් පා සෝදාගන්න.

එහිදී ගඟේ ‍රැලි මතු වෙන ආකාරය ‍දැක්කා. මේ සාමනේරයන් වහන්සේ කල්පනා කළා කුණු ඉවත් දැමු පිනෙන් මේ ගගේ රළ මතුව මතුව නැඟෙන්නා සේ මට මහා ප්‍රඥාව ලැබේවා කියලා. මිදුල අමදින ස්වාමීන්වහන්සේත් ගඟ ළඟට ආවා ස්නානය පිණිස. උන්වහන්සේ අහගෙන හිටියා කුණු ඉවත් කළ පිනෙන් ප්‍රඥා‍ව ලැබේවායි ප්‍රාර්ථනා කරන ආකාරය. ඉන් පසු ව මේ ස්වාමීන්වහන්සේ කල්පනා කළා මා අතු ගාලා බලෙන් කුණුටික අයින් කරන්න කියලා කිව්වේ. එසේ නම් කුණු විසි කරලා ප්‍රඥාව ලැබේ නම් මට ඊට වඩා ප්‍රඥාවක් ලැබිය යුතුයි කියලා ප්‍රාර්ථනා කළා. රළ කොයි තරම් ආවත් වෙරළෙ හැපිලා බිදිලා යනවා අන්න ඒ වගේ මේ ස්වාමින්වහන්සේත් ප්‍රාර්ථනා කළා රළ පෙළ ඉවුරට වැදි බිඳී යන්නා සේ තමාට ඕනෑම ප්‍රශ්නයක් විසඳීමට නුවණ පහළ වෙන්න යැයි ප්‍රාර්ථනා කළා.

ඉතින් මේ දෙදෙනා දෙව්ලොව ඉපදී අවසාන ආත්ම භවයේදී කුණු ඉවත් කරන ලද ස්වාමීන්වහසේ මිලිදු කියලා රජකෙනෙක් වෙලා ඉපදුණා. මිදුල ඇමැදුව ස්වාමීන්වහසේ නාගසේන කියලා ඉපදිලා පැවිදි වී මහ රහත් බවට පත් වුණා. මිලින්ද ප්‍රශ්නය සඳහන් වුණේ මේ කතාවයි. නාගසේන තෙරුන්ගෙන් මිලිදු කියන රජ ඇසු ප්‍රශ්නයි . ඒ කතා පුවතින් පේනවා විහාරස්ථානයේ මිදුල ඇමදිම මහ කුසල් බවට පත් වෙනවා කියලා..

 

 

Comments