රතිඤ්ඤා කරලකින් ඇවිළුණු ඌරගස් මංසන්ධියේ ඝාතන රැල්ල | Page 2 | සිළුමිණ

රතිඤ්ඤා කරලකින් ඇවිළුණු ඌරගස් මංසන්ධියේ ඝාතන රැල්ල

දකුණේ පාතාලයේ කල්ලි අතර ගැටුමේ තවත් අමානුෂික දිගුවක් පසුගිය දා 30 දා එළිදුටුවේය. එදින රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. ඝාතනය වූයේ 37 හැවිරිදි චමිල දීපාල් රණසිංහ සහ 30 හැවිරිදි තුෂයාහේවගේ සමන් සුරේෂ් නමැති ඥාති සහෝදරයන්ය. ඔවුහු ඌරගස්මංසන්ධිය ඉහළ මාලවල රන්තොටුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සමන් විවාහකයෙකු වුවත් චමිල අවිවාහකයෙකි. දෙදෙනා චමිලගේ නිවෙසේ ඉදිරිපිට කුරුඳු වාඩිය තුළ කතාබස් කරමින් සිටියේ මධුවිතින්ද සප්පායම් වෙමිනි. මොවුහු ඉඩ හසරක් ලද සෑම විටෙකදීම සවස් යාමයේ හමු වෙති.

අධික වර්ෂාවක් පැවැති පසුගිය 30 වැනිදා රාත්‍රී 7.30ට පමණ ඔවුන් දෙපළ සිටි තැනට කඩාවැදුණේ සිවුදෙනෙකුගෙන් පමණ සමන්විත වූවායැයි සැක කෙරෙන ඝාතක කණ්ඩායමකි. ඔවුන් විසින් වෙඩි පිට වෙඩි තබමින් මොවුන් දෙදෙනා ඝාතනය කර තිබිණි. ඇල්පිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරි නිහාල් තල්දූවගේ උපදෙස් මත ඌරගස්මන්සන්ධිය පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට ඇතුළු පිරිස කළ පරීක්ෂණවලදී සමන්ට සහ චමිලට වෙඩි පහරවල් 25ක් පමණ එල්ලකර තිබුණේ ගිනිඅවි දෙකක් පමණ භාවිත කරමින් බව හෙළි විය.

එම ගිනිඅවි දෙක ප්‍රකට මාතර කොල්ලයේදී අත්අඩංගුවට ගැනුණු පොලිස් විශේෂ කාර්ය බළකාය භාවිත කරන ආකාරයේ මිනිඌෂි වර්ගයේ ගිනිඅවි බවටද පොලීසිය සැක කරයි.

අනතුරුව ඝාතකයන් විසින් සමන්ගේ හිස කඳින් වෙන්කොට රැගෙන ගොස් ඊට මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ඉහළ මාලවල රන්තොටුවිල සමූපකාරය අසල දමාගොස් තිබිණි. ඝාතකයන් චමිලගේ හිස කොටසද වෙන් කිරීමට තැත් කර තිබුණත් පසුව එම උත්සාහය අත්හැර පලා ගොසිනි.

දැනට ඝාතකයන් පොලීසිය හඳුනාගෙන ඇති අතර ඒ අනුව නුදුරේදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වේයැයි පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි. මේ ඝාතනයේ ප්‍රධාන සැකය යොමු වී තිබෙනුයේ ඉන්දික මහේෂ් නමැත්තා වෙතය.

ඌරගස්මංසන්ධිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙන්ම දාමරිකයකු ලෙස කටයුතු කරමින් පාතාල ක්‍රියාකාරකම්වලටද සම්බන්ධ වූ බවට වාර්තා වන 38 හැවිරිදි වියේ පසුවූ සරත් කුමාර හෙවත් බොස් සරත් නමැති වැලි ව්‍යාපාරිකයා 2015 දෙසැම්බර් 04 දා ඝාතනය කොට හිස කඳින් වෙන්කර මාලවල ප්‍රදේශයේ මහමඟ දමා ගොස් තිබිණි. එම අපරාධය කරනු ලැබුවේ සමන් විසින් බව හෙළි විණි. මේ ඝාතනය මීට පෙර සිදුවූ සමන්ගේ බාල සොයුරා හා තවත් ඥාති සහෝදරයෙකුගේ ඝාතනයේ පලිය ගැනීමක් විය.කලෙක සිටම පැවැත එන ඌරගහ සමන්ලාගේ සහ ඉන්දික මහේෂ්ලාගේ ගැටුම මත මේ වන විට පුද්ගල ඝාතන පහක්ම සිදුවී තිබේ.

ගැටුමට මුල

ඉන්දික මහේෂ්ලාගේ ගම පිහිටා තිබුණේ සමන්ලාගේ ගමට කිලෝමීටර් පහක පමණ දුරිනි. ඉන්දික හිටියේ කුඩා ඌරගහ ය. වර්ෂ 2015 වනවිටත් ඉන්දික මහේෂ්ලා සමන්ලා අතර ගැටුමක් නොවීය. මිනී මරණ කොන්තරය ආරම්භ වන්නේ 2015 අප්‍රේල් 16 දා ඌරගහස්මන්සන්ධිය නුගුඩුමුල්ලේ පැවැති අවුරුදු උත්සවයේදී සමන් විසින් දල්වන රත්ඤ්ඤා කරලක් ඉන්දික අසල පුපුරා යාමත් සමගය.

එදා ඇතිවූ බහින්බස් වීම දුරදිග ගොස් මුලින් අතින්-පයින් ගහගැනීම් සිදුවිය. මුල්ම මාරක ගැටුම ඇතිවන්නේ වර්ෂ 2015 නොවැම්බර් 03 වැනිදාය. දෙපිරිස අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දික මහේෂ් අතින් සමන්ගේ බාල සොහොයුරා වූ 27 හැවිරිදි සුරංග සුරේෂ් සහ 26 හැවිරිදි උෂාන් රන්දික නමැති චමිලගේ ඥාති සොහොයුරෙකු ඝාතනය විය.ඝාතනයෙන් පසු ඉන්දික මහේෂ් පොලිසියට භාර විය.

එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස සිය සහෝදරයන්ගේ ඝාතනයට මසක් සපිරෙන 2015 දෙසැම්බර් 04 දා සමන් විසින් බොස් සරත්ව ඝාතනය කළේය. ඒ සිය සොයුරන් දෙදෙනා ඝාතනයට ඉන්දිකට ගිනිඅවිය ලබා දුන්නේ බොස් සරත් බවට සැලවූ නිසාය.බොස් සරත් ඝාතනය සම්බන්ධව සමන් අත්අඩංගුවට පත් විය. බන්ධනාගාරගතවන ඔහු ඇප පිට නිදහස් වන්නේ මීට මාස කීපයකට පෙරය.

මේ වනවිට ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඉන්දිකද සිටියේ බන්ධනාගාරයේය. ඔහුද ටික කලෙකට පෙර ඇප මත නිදහස්ව පැමිණෙන්නේ මුලින් බන්ධනාගාරයට ගිය පුද්ගලයාට වඩා හාත්පසින්ම වෙනස් 'කෙරුමෙ'ක් වෙමිනි.

ඒ බන්ධනාගාරයේදී ඇතිකරගත් සබඳතා මත පාතාලයේ මහ කෙරුමාට ඇඳගෙන සිටින මාකඳුරේ මධුෂ්ගේ තවත් හෙන්චයියෙක් ලෙස අභිෂේක ලබමිනි. ඒ අනුව පසුගිය සමයේ ඌරගහ අවට පෙදෙස්වල මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන නියමුවා ඉන්දික මහේෂ් බවටද පොලීසියට සැලවී තිබිණි.

සමන් සහ චමිලටද දකුණේ තවත් පාතාල කෙරුමෙක් වූ කොස්ගොඩ සුජිගේ ළඟම හිතවත්කමකට මඟ පෑදි තිබුණේ සුජිගේ ප්‍රධානම සහ විශ්වාසවන්තම ගෝලයා වන 30 හැවිරිදි ප්‍රදීප් කුමාර හෙවත් මයිකල් හරහාය.

දකුණේ සිදුවූ ඝාතන වැලකටම පොලීසියට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් වන මයික්ලද සුජි මෙන් රටින් පැන සිටින අයෙකි. පසුගියදා ඝාතනය වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොනල්ඩ් රණවීරගේ ඝාතනයට ගිනිඅවිය සපයමින් පිටරට සිට ඝාතකයන් මෙහෙයවූ මයිකල් චමිලගේ සහ සමන්ගේ ළඟම ඥාතියෙකි.

රතිඤ්ඤා කරලක් පුපුරා යෑම නිසා ඇති වූ බහින්බස් වීමකින් හට ගැනුණු ඝාතන වැල මේ වන විට පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත්තේය.

මේ අතර තවත් පාතාල කල්ලි අතර ගැටුමකට මැදිව පසුගිය 30 වැනිදා දහවල් අහිංසක කාන්තාවක් අවාසනාවන්ත ලෙස මිය ගියාය.

අසරණ ගැහැනිය

40 හැවිරිදි රසිකා රොයෙල් නමැති තැනැත්තියකි. ඇය සිය 9 හැවිරිදි දියණිය සමඟ කඳාන සිය මවගේ නිවෙසේ සිට ජාඇළ දෙසට මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදි ඇය ගමන් කළ අළු පැහැති හොන්ඩා ෆිට් වර්ගයේ රථයට සමාන රථයකින්ම පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවාය. අනතුරුව රාගම රෝහලේදී ඇය මරණයට පත්වූවාය.

ඇයට එලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේ මිනුවන්ගොඩ පාතාල කල්ලි සාමාජිකයෙකු වන වැලිවේරි ලියනගේ ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් පත්තඬුවන කළු අජිත් ඉලක්කකොට තැබූ වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙනි.

එදින ඉරිදා දිනයක් වූ හෙයින් කළු අජිත් නමැත්තාට තිබූ අපරාධ චෝදනාවන්ට පොලිස් ස්ථාන කීපයකම පොලිස් පොත්වල තම අත්සන තැබීමට තිබිණි. ඔහු පෑලියගොඩ අපරාධ ‍කොට්ඨාසයේ පොලිස් පොතේ අත්සන් කොට නැවතත් මිනුවන්ගොඩ බලා අළු පැහැති හොන්ඩා ෆිට් වර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියේය. ඔවුන් පසුපස හඹා ආ ඝාතකයන් ජාඇළ වැලිගම්පිටියේදී ඉලක්කය ගැනීමට යාමේදී වැරැදී ගියේය. කළු අජිත් ගිය රථයට සමාන රථයකින් ගමන් කරමින් සිටි රසිකා ඝාතකයන්ගේ ඉලක්කයට ලක් වූවාය.

අනතුරුව කළු අජිත් ජාඇළ පොලීසියට ප්‍රකාශයක්ද ලබාදී ගොස් තිබුණේ, එම ඝාතකයන් තම මෝටර් රථය පසුපස පෑලියගොඩ සිටම පැමිණි බව සඳහන් කරමිනි. ඝාතකයන්ට ඉලක්කය වැරැදී යාමට මූලික හේතුව වී තිබෙනුයේ කළු අජිත් ගිය රථය හා රසිකා ගමන් කළ රථය එකම වර්ගයේ, එකම වර්ණයෙන් යුත් නිසා වන්නට ඇතැයි සැක කෙරේ.

දරුවන් දෙදෙනෙකුගේ මවක වූ රසිකා කලක් ඉතාලියේ වාසය කොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ තිබුණාය. ඇයගේ ස්වාමියා වූ දීපාල් මේ වන විටද ඉතාලියේ වාසය කරයි.

මේ ඝාතනය සිදු කිරීමට සහාය වූ එක් පුද්ගලයෙකු පසුගිය 04 වැනිදා දහවල් 1.30ට පමණ අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොළඹ අපරාධ විමර්ශන ඒකකයට හැකියාව ලැබුණේ අපරාධයට යොදාගත් මෝටර් රථයද සමඟිනි.

අත්අඩංගුවට පත් පුද්ගලයා වූයේ 28 හැවිරිදි ගල්ඔය, හිඳගල පදිංචි මොහොමඩ් රහිම් හෙවත් ප්‍රීතිය. මොහු දිසානායක මුදියන්සේලාගේ ප්‍රසන්න සමීර නමින් ව්‍යාජ හැඳුනුම්පතකින්ද පෙනී සිට ඇති බවට හෙළි වේ.

ඝාතකයන්ගේ ඉලක්කය වී තිබු කළු අජිත්ය. ඔහු 2017 වර්ෂයේදී ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර නමැත්තාට සහ තවත් කීප දෙනෙකුට වෙඩි තැබීම නිසා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව තිබුණේ මීට මාස කීපයකට කලිනි.

පොලිස් වෙඩි පහර

පසුගිය 04 වැනිදා අතුරුගිරිය ඔරුවල ක්‍රීඩාංගණය අසල මයිලංගම මාර්ගයේදී පාතාල සාමාජිකයකු සැරිසරන බවට තොරතුරක් සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලැබිණි.

ඒ අනුව එදින පෙරවරු 11.55 ට පමණ රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා නැමැත්තා අත්අඩංගුවට ගනීමට පොලිස් මෙහෙයුමක් දියත් විය. අඑහිදී 'මයික්‍රෝ' වර්ගයේ ගිනිඅවියක් අතැතිව සිටි බණ්ඩා පොලිස් නිලධාරීන් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාරයට පොලිස් නිලධාරීහු ප්‍රතිප්‍රහාර එල්ල කළහ. බණ්ඩා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. පුවත්පත මුද්‍රණයට යන විටත් ඔහු ජාතික රෝහලේ බණ්ඩා ප්‍රතිකාර ලබමිනි.

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ අයෙකු වන බණ්ඩා මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කා යන පාතාල ප්‍රබලයන්ගේ සුවච කීකරු ගෝලයෙක් ලෙස සැලැකේ. මාකඳුරේ මධුෂ්ගේ පියාණන්ගේ අවමංගල්‍යයේ සියලු වැඩ මෙහෙයවූයේ ඔහු බවට ද වාර්තා වේ. ඊට අමතරව මාතර නිලේඛා ස්වර්ණාභරණ මංකොල්ලයට, කොල්ලකරුවන් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ ඇල්ටෝ මෝටර් රථය පදවාගෙන රැගෙන ගොස් ඇත්තේද මොහු බවටද සැල වේ.

පසුගිය මාස කිහිපය පුරාම නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ මෙහෙයවීමෙන් යුත් පාතාල කල්ලි නිවාරණ ඒකකය මොහු ගැන උකුසු ඇස යොමා සිටියේය. ඒ අනුව බණ්ඩා අත්අඩංගුවට ගැනීමට කිහිප විටෙකදීම උත්සාහ දරා තිබිණි. පසුගිය අගෝස්තු මාසයේදී බණ්ඩාරගම, ගම්මන්පිල බණ්ඩාගේ නිවෙසේදී ලැබුණු ඔත්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය දැරු ප්‍රයත්නයකදී බණ්ඩා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඔහු නිවෙසින් පලා ගොස් සිටි හෙයිනි. එහෙත් එම නිවෙසේ තිබී ටී56 ගිනිඅවියක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම අවිය රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට සහ තවත් අපරාධ ගණනාවකටම යොදාගත් එකක් බවට පසුව අනාවරණය විය.

ඡායා - ලෙස්ලි පෙරේරා, දිලිප් නිශ්ශංක

Comments