ව්‍යවසායකයන් 23000කට කෝටි 5000ක් දුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා | Page 4 | සිළුමිණ

ව්‍යවසායකයන් 23000කට කෝටි 5000ක් දුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

ව‍යවසායකයන් ලක්ෂයක් දිරි ගන්වමින් නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන” යටතේ මේ වන විට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන හා පුද්ගලයන් 22,957ට රුපියල් මිලියන 49,176කට අධික ණය ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

රජයේ සහ පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” පසුගිය ජූනි මස 22 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි. මෙම සුවිශේෂ හා පෙරළිකාර වැඩසටහන යටතේ සහන පොලී ණය යෝජනා ක්‍රම 16ක් මේ වන විට හඳුන්වා දී ඇති අතර මෙම ණය යෝජනා ක්‍රමවල ඇති විශේෂත්වය වන්නේ ණය මුදලට අදාළ සම්පූර්ණ පොලිය හෝ පොලියෙන් කොටසක් රජය මැදිහත්ව ණයලාභියා වෙනුවෙන් බැංකු වෙත ගෙවීමට කටයුතු කිරීමයි. මෙහිදී පොලී සහන ගෙවීම සඳහා පමණක් රුපියල් මිලියන 5,300කට අධික මුදලක් 2018 අය වැය යෝජනා මගින් වෙන් කර තැබීමටද කටයුතු කරන ලදී.

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන” යටතේ හදුන්වා දී ඇති සුවිශේෂ ණය යෝජනා ක්‍රම අතර “ජය ඉසුර”, “සොඳුරු පියස”, “මාධ්‍ය අරුණ”, “ඇරැඹුම”, “හරිත ණය” සහ “මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය” ඇතුළු ණය යෝජනා ක්‍රම ප්‍රධාන වේ. වේ. එකී ණය යෝජනා ක්‍රම යටතේ ස්වයං රැකියාලාභීන්ගේ සිට මහා පරිමාණ ව්‍යවසායකයන් දක්වා රුපියල් 50,000 සිට රුපියල් මිලියන 750 දක්වා ණය පහසුකම් ලබා දීමටද කටයුතු යොදා ඇත.

මුදල් අමාත්‍යාංශය සතු තොරතුරු වලට අනුව කෘෂි කර්මාන්තය වාණිජකරණය කොට අපනයනය සඳහා යොමු කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ගොවි නවෝදා” යන ණය යෝජනා ක්‍රම යටතේ ව්‍යවසායකයන් විශාල පිරිසක් වැඩි ණය ප්‍රමාණයක් ගතවූ කෙටි කාලය තුළ ලබා ගෙන තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ පමණක් ව්‍යවසායකයන් 6022 ක පිරිසකට මේ වන විට ණය ලබා දී තිබේ. මෙහිදී කාණ්ඩ තුනක් යටතේ රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 750 දක්වා ණය මුදල් ලබා දෙන අතර එම ණය සදහා සාමාන්‍යයෙන් අය කරන 13.5%ක් පොලී අනුපාතයෙන් 6.75%ක්ම රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ ද ව්‍යවසායකයන් 1749ක පිරිසක් ණය ලබා ගෙන ඇත. ගොවි සංවිධාන සහ සුළු පරිමාණ ගොවීන් ඉලක්ක කරගෙන කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය කිරීමේ අරමුණෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත්ව එම ණය ලබා දෙන අතර එහිදීද 13.5%ක් වූ සාමාන්යන පොලී අනුපාතයෙන් 75% ක්ම රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම ණය ලබා ගන්නා ප්‍රතිලාභීන් වාරික මුදල් ගෙවීමේදී බැංකු මගින් අය කරනු ලබන්නේ 3.38%ක පොලී අනුපාතයක් පමණි.

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වන විට වැඩිම පිරිසක් ණය ලබා ගෙන ඇත්තේ “සොඳුරු පියස” ණය යෝජනා ක්‍රමය යටතේය. මෙම ණය වැඩසටහන යටතේද බැංකු මගින් අය කරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතයෙන් 50%ක් ම රජය මගින් ගෙවන අතර පුද්ගලයින් 11711 දෙනෙකු මේ වන විටත් රුපියල් ලක්ෂ දෙකක උපරිමයකට යටත්ව ලබා දෙන එම ණය මුදල් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන ප්‍රධාන රාජ්‍ය බැංකු හරහා ලබා ගෙන තිබේ.

මෙම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහනේ” ඇති තවත් විශේෂත්වයක් වන්නේ විදේශ ණය ආධාර යටතේ ප්‍රතිලාභ ලබා දෙන ණය යෝජනා ක්‍රම තුනක් ද ඒ යටතේ ක්‍රියාත්මක වීමයි. “සූර්ය බල උත්පාදන”, “සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය” සහ “පවිත්‍ර ගංගා” යන ණය යෝජනා ක්‍රම එම විශේෂිත ණය යෝජනා ක්‍රම ලෙස හදුන්වා දිය හැකි අතර කර්මාන්ත ශාලා සහ නිවාසවල වහලය මත සවි කරන ලද සූර්ය බල උත්පාදක වැඩසටහන වෙනුවෙන් පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුපියල් මිලියන 8000ක මුදලක් ද ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලදී.

ඉතා සාර්ථක ලෙස මේ වන විට ක්‍රියාවට නැඟෙන “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහනෙන් තවදුරටත් ජනතාව වෙත සහන ලබා දීම සදහා සෑම මාස තුනකට වරක්ම බැංකු ප්‍රධානීන් හමු වෙමින් වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමටද විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා තීරණය කර ඇත.

Comments