
“ඉන්දීය සාගරයේ මුතු ඇටය” යන විරුදාවලියෙන් හඳුන්වන ශ්‍රී ලංකාව මගේ මවුබිමයි. පී.බී. අල්විස් පෙරේරා කවියා මගේ රට ගැන පවසා ඇත්තේ මෙසේය.
පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරෙන් වටය
හෙළ දිවයින මගෙයි මා ඉපදුණු රටය
ලොව අන් සියලු දිවයින් මේකට යටය
අපේ රටේ සශ්‍රීක භූමිය, සුන්දර පරිසරය දුටුවන් සිත් පිනවයි. මෙවන් රටක උපත ලැබීම මගේ පෙර වාසනාවකි. බුදුරජාණන් වහන්සේ වැඩි මගේ රට ඉතා පින්වන්තය. බොහෝ රටවල ජනයා මගේ රටට ආශා කරති.
විජය රජු ලංකාවට පැමිණීමත් සමඟම සිංහල ජාතියේ උපත ඇති විය. එතැන් පටන් පණ්ඩුවාසුදේව, අභය, පණ්ඩුකාභය, මුටසීව, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ රජවරු මගේ රටට නොමැකෙන සේවයක් ඉටු කළහ.
වීරපුරන් අප්පු, කැප්පෙටිපොළ වැනි වීරයෝ මගේ රට රැකුමට දිවි පිදූහ. වෙනත් රටවලට වඩා මගේ රට සැබවින් ම වෙනස් ය. සමහර රටවලට දැඩි ලෙස අව්ව ලැබෙයි. තවත් රටවල් ශරීරවලට දරාගත නොහැකි තරම් සීතලය. නමුත් මගේ රට අව්ව වැස්ස සමසේ ලැබෙන ඉතා වාසනාවන්ත දේශයකි.
දියඇළි, ගංගා, ඇළ දොළ මගේ රට සශ්‍රීකත්වයෙන් පුරවයි. කඳුවැටි, බෑවුම් වලින් පිරුණු උඩරට කඳුකරය දුටුවන්ගේ ගත සිත ප්‍රබෝධවත් කරයි. සමනොළ කඳු මුඳුනින් ඇද හැලෙන මහවැලි, කැලණි, වලවේ, කළු යන සිවු මහා ගංගාවෝ මගේ රටේ වගා කටයුතු සාර්ථක වීමට උදව් කරති. සීගිරිය, මිහින්තලාව, ශ්‍රී පාදය, අනුරාධපුරය වැනි පෞරාණික ස්ථාන විදේශිකයන් ඇඳ බැඳ ගැනීමට සමත් වෙයි.
මගේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජාතීහු සමඟියෙන් වෙසෙති. මෙම ජාතීහු ආගම් අදහති. තම ආගම ඇදහීමට ඔවුන්ට කිසිවකුගෙන් බාධාවක් නැත.
සිංහල දෙමළ අවුරුදු, නත්තල්, හජ්ජි, රාමසාන් වැනි විවිධ ජාතීන්ගේ විවිධ ආගමිකයන්ගේ උත්සව වසර පුරා අපේ රටේ පැවැත්වේ. බෞද්ධයෝ වෙසක්, පොසොන් වැනි ආගමික උත්සව පවත්වති.
තේ, රබර්, පොල් අපේ විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන වැවිලි වෙයි. මීට අමතරව සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්තය ද විදේශ විනිමය සැපයීමට දායකත්වය දෙයි.
පිවිතුරු බුදුදහම පවතින සාමකාමී දේශයක් වූ ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන මට ආඩම්බරයක් හා දැඩි සතුටක් දැනේ.
එච්.පී. තමිඳු පද්මිර
6 ශ්‍රේණිය ‘ජී’,
ධර්මපාල විද්‍යාලය,
පන්නිපිටිය.