
- මෛත්‍රිය වඩන ක්‍රම දෙකක්
- ඉවසීමට හුරු වීම
- සැහැල්ලුවෙන් ජීවත් වීමට නම්
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සියලු සත්ත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම වටහා දීමට කරණීය මෙත්ත සුත්‍රය දේශනා කෙළ්. මෙම සුත්‍රය ආරක්ෂාවට දේශනා කරනු ලබන පිරිතක්. ඒ වගේම භාවනාවට කර්මස්ථානයක්. මේ ධර්ම දේශනාව වදාළේ සැවැත්නුවර උපකට්ටා නම් ගමේ විහාරස්ථානයකදී. විශාල භික්ෂුන් පිරිසක් බුදුරජාණන් වහන්සේ හමු වීමට වැඩම කළා.
මේ භික්ෂුන් කැමැති බුදුරජාණන් වහන්සේගෙන් භාවනා කමටහන් ලබාගෙන ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල වස් වැසීමට කැමැති වුණා. තථාගතයන් වහන්සේ ඒ භික්ෂු පිරිසේ සිටි රාග චරිත ඇති භික්ෂුන්ට අසුභ භාවනා කරන හැටි කියල දුන්නා. ද්වේශ චරිත ඇති භික්ෂුන්ට මෛත්‍රී භාවනාව වැඩිමට උපදෙස් දුන්නා. මෝහ චරිත ඇති භික්ෂුන්ට මරණානුස්සති භාවනාවද විතර්ක චරිත ඇති භික්ෂුන්ට ආනාපාන භාවනාව වැඩීමටත් කියලා දුන්නා . ඒ හද්දා චරිත ඇති භික්ෂුන්ට බුද්ධානුස්සති ධම්මා නුස්සති සංඝානුස්සති භාවනාව වැඩීමට කියලා දුන්නා.
බුද්ධී චරිත ඇති පිරිසට ධාතුමනසිකාර භාවනාව කියලා දුන්නා. මේ පන්සියයක් භික්ෂුන් භාවනා කිරීමට තැනක් සොයමින් යන විට හිමාල වන ප්‍රදේශයේ සිසිල් පරිසරයක් ඇති ගස් කොළන්වලින් ගැවසී ගත් රමණිය පරිසරයක පර්වතයක් දැකලා ඒ පර්වතයේ රාත්‍රි කාලයේ නවාතැන් ගත්තා. පසුවදා උදයේ අවදි වෙලා ශරිර කෘත්‍ය නිම කරලා අසල තියන ගමකට පිණ්ඩපාත වැඩියා.
ඒ ගම විශාල ගමක් ගෙවල් දහසක් තියනවා. ගමේ මිනිසුන් ශ්‍රද්ධාවන්තය පිරිසක්. ඒ ඇත්තො භික්ෂුන් දැකලා කල්පනා කළා පැවිදි උතුමන් දැකීමට ලැබීමත් අති දුර්ලභයි. එසේ සිතන විට ප්‍රිතිය සතුට ඉපදුණා. ඒ භික්ෂුන්ට දන් පැන් පුජා කරලා වන්දනා මාන කරලා ආරාධනා කළා අනේ ස්වාමීනී අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වස් තුන් මාසය මේ ගමේහි වාසය කරන්න කියලා.
ආරාධනා කරලා පන්සියයක් භාවනා කුටි ඉදි කරලා දුන්නා. මේ භික්ෂුන්වහන්සේ දෙවැනි දවසේ ගමට වැඩම කළා ඒ අවස්ථාවේදි ගමේ පිරිස් වස් කාලය වාසය කරන්න කියලා ආරාධනා කළා භික්ෂුන් වහන්සේ මහ වනයට පිවිසිලා ගස්මුල්වල වාඩිවෙලා භාවනා කරන්නට ආරම්භ කළා. සිල්වත් භික්ෂුන්ගේ තේජසින් තෙදවත් නැති වෘක්ෂ දේවතාවන් තමතමන්ගේ විමාන වලින් බැහැලා දරුවන් අරගෙන එහෙ මෙහෙ සැරිසරන්නට ගත්තා. රජතුමා හෝ රාජ මහ ඇමැතිවරුන් වාසය කරන්න ආ විට ගම්වාසින් ගෙවල්වල වාසය කරන්නට විදිහක් නැතිව රාජකිය පිරිසට ගෙවල් දොරවල් දීලා කොහේද යන්නේ කියලා දුර බලනවා වගේ මේ දෙවි වරු විමාන වලින් බැහැලා දුර බැලුවා.
ඒ දෙවිවරු සියලු දෙනාටම හිතුණා මේ ස්වාමින් වහන්සේලා. වස්වැසු පසු තුන්මාසයක් යන තුරුම එක විහාරස්ථායක ඉන්නවා. එතකන් අපි දරුවොත් තියාගෙන මෙහෙම ඉන්නේ කොහොමද ? අපි බිය ජනක අරමුණු දැක්වුවා නම් හොදයි කියා මේ දෙවිවරු හිතුවා. ඉන්පසුව භික්ෂුන් රාත්‍රි කාලේ වස්වසන වේලාවේදි බිය ජනක යක්ෂ රූප මවා භික්ෂුන් ඉදිරියේ පෙනී සිටියා බිය ජනක ශබ්ද කළා.
භික්ෂුන් ඒ රූප දැකලා ශබ්ද අසලා හදවත කම්පා වුණා. දුරුවර්ණ ශරිර ඇති අයට බවට පත් වුණා. ශරිර පඩුවර්ණ වුණා. ඒ නිසාම හිත එකඟ කරගන්න බැරිව ගියා. උන්වහන්සේ එකඟ නොවු සිතින් බයට පත්වෙලා නැවත නැවත තැති ගත්තා සිහිය පිහිටුවා ගන්නට බැරිව ගියා. ඉන් අනතුරු මුලාසිහි ඇති භික්ෂුන්ට ඒ දෙවිවරු දුර්ගන්ධ අරමුණු දැනෙන්නට සැලැස්සුවා. ඒ දුර්ගන්ධ නිසා ඒ භික්ෂුන් වහන්සේලාගේ ඇට මිදුළු පවා පිඩාවට පත් වුණා. අධික වු දැඩිවූ හිසේ වේදනාව හට ගත්තා. ඒ පුවත කෙනෙක් තව කෙනෙකුට කිව්වේ නැහැ.
එක දවසක් ප්‍රධාන තෙරුන්ට උපස්ථාන කරන වේලාවෙහිදී සියලු භික්ෂුන් රැස් වුණා. ඒ වෙලාවෙහි දි මහ තෙරුන්වහන්සේ අනෙක් භික්ෂුන්ගෙන් අහනවා ඇවැත්‍නි, ඔබවහන්සේ වනයට ආපු අලුත පිරිසුදු හමේ වර්ණය ඇතිව ලස්සනට හිටියා. ඒ දවස්වල ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි. ශරීරය දුර්වර්ණ වෙලා පඩු පැහැයට පත්වෙලා. මේ වනය ඔබලාට ගැළපෙන්නේ නැද්ද.
ඒ අවස්ථාවේදි එක භික්ෂුවක් කියා සිටියා 'ස්වාමිනී මට රාත්‍රියේදි මේ මේ වගේ භයානක රූප දකිනවා. භයානක ශබ්ද ඇසෙනවා. මේ වගේ ගඳ දැනෙනවා .ඒ නිසා මගේ හිත සමාහිත වෙන්නේ නැහැ. හැම හාමුදුරුකෙනෙක් ම ඒ විදිහට ප්‍රකාශ කළා. මහ ස්ථවිරයන්වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා, ඇවැත්නි භාග්‍යවතුන්වහන්සේ වස් විසිම් දෙකක් දේශනා කරලා තියනවා . පෙර වස් විසීම සහ පසු වස් විසිම කියලා. අපිට මේ සෙනසුන ගැළපෙන්නේ නැති නම් බුදුරජාණන්වහසේ සමීපයට ගිහිල්ලා අපි වෙන සුදුසු සෙනසුනකට යමු. එසේ කතා කරලා භාග්‍යවතුන් වහසේ ළගට වැඩම කළා . ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වස් කාලය තුළ චාරිකාවේ යන්න එපා කියලා සික්ෂා පද පනවලා තියනවා නේද? ඇයි ඔබ චාරිකාවේ හැසිරෙන්නේ යැයි විමසුවා. විචිට භික්ෂූන් බුදු රජාණන් වහන්සේට සියලු විස්තර ප්‍රකාශ කළා.
බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂුන්වහන්සේ ගැන දිවැසින් බැලුවා ඒ භික්ෂුන්වහන්සේ ඒ සෙනසුන හැර වෙනත් සුදුසු සෙනසුනක් දඹදිව කොහේවත් තියනවා ද කියලා බැලුවා. එබඳු තැනක් දඹදිව කොහේවත් නැහැ. භාග්‍යවතුන්වහන්සේ ඒ භික්ෂුන්වහන්සේලාට දේශනා කළා මහණෙනි, ඒ සෙනසුනෙහිම වැඩ වාසය කර කෙලෙස් නැති කරගන්න. වෙන ඔබලාට ගැළපෙන තැනක් නැහැ. ඒ දෙවිවරුන්ගෙන් අභය කැමැති වෙන්න මේ සුත්‍රය ඉගන ගන්න කියා දේශනා කළා. මේ පිරිත ඔබලාට ආරක්ෂාවක් වගේම පිහිටක් වෙනවා වගේම භාවනා කමටහනක්. එහෙමයි කියා කරණිය මෙත්ත සුත්‍රය දේශනා කළා.
මහණෙනි ඒ සෙනසුනට ම ආපහු යන්න ඔබලා අාරණ්යයේදි පරිහරණය කරන ලද දේවල් දැනගත යුතුයි. තමා තුළ උපදවා ගත යුතු මෛත්‍රී භාවනා වඩන ක්‍රම දෙකක්. ඒ කියන්නේ සැම තැනකදිම මෛත්‍රී භාවනාව කළ යුතු අන්දම සහ අංග සම්පුර්ණව ධ්‍යාන සහිතව මෙත් වඩන හැටි මේ දෙයාකාරයටම ඉගෙන ගෙන මෙත් වඩන්න.
ඒ ආකාරයටම අසුභා ආකාර දෙකටම අසුබ භාවනාවෙහි යෙදෙන්න. ඒ තමයි දෙතිස් කුණකය සහ නවසීවතිකය කියන මේ දෙයාකාරයටම අසුබ වඩන්න. මේ මරණ සති භාවනාවක් සැම තැනම වැඩිය යුතු ස්මරණ සතිය සහ අංගසම්පුර්ණ මරණ සතිය කියන ආකාර දෙකටම මේ භාවනාව පුරුදු කරන්න අෂ්ටමහා සංවේගවත්ථු සිහි කරන්න. ඒ මහ සංවේගවත්ථු අට වන්නේ ජාති, ජරා ව්‍යාධි, මරණ, සතර අපාදුක අතීතයේ විදපු සංසාර දුක අනාගතයේ විදින්නට වෙන සංසාරචක්‍ර දුක මේ ආකාරයට සෙනසුනකදි පරිහරණය කළ යුතු ආකාරය දේශනා කරලා මෛත්‍රී භාවනාවක් විදර්ශනා භාවනාවත් යන ත්‍රිවිධ කරුණු ඇතුළත් වූ කරණිය මෙත්තසුත්‍රය දේශනා කළා .
දැන් අපි මේ භාවනාවේ ගාථාපාඨ වල තේරුම් විමසමු. කරණිය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච ..... යන ගාථාවේ සම්පුර්ණ යෙන්ම පැහැදිලි කළහොත් කරණීය කියන්නේ කළ යුතුයි කියන අර්ථයයි . බුදු දහමේ ඉගැන්වෙන්නේ යමක් තමන්ට අවැඩ පිණිස අයහපත පිණිස පවතිනවා නම් ඒ සියල්ල නොකළ යුතුයි. කළ යුතු නොකළ යුතු දේ දන්න දක්ෂ කෙනාට කියන්නේ අත්ත කුසලේන කියලායි.
ව්‍යාකරණානුකූලව මේ වචනයේ තේරුම දක්ෂ කෙනා යන්නයි. යන්තං සන්තං පදං අභිසමිච්ජේන යන්නෙහි තේරුම ඒ සාන්ත පදය කියලා හදුන්වන නිවනට පත් ව වාසය කිරිමට කැමැති කෙනා විසින් ත්‍රිවිධ ශික්ශා පිරිය යුතුයි. සිලසමාධි ප්‍රඥාවැඩිය යුතුයි. සිල විපත්තිය විත්ති විපත්තිය ආචාර විපත්ති ආජිව විපත්තිය නොකළ යුතුයි. සිල විපත්තිය කියන්නේ තමන්ට නියමිත සිලය බිඳ ගන්නට හොඳ නැහැ. ගිහි අය පන්සිල් කඩා ගන්නට හොඳ නැහැ. විත්ති විපත්තිය කියන්නේ තමාගේ සම්මා දිට්ඨියට බාධා ඇති කර ගන්න හොඳ නැහැ.
ආචාර විපත්තිය කියන්නේ බුද්ධ සාසනයේ වත් පිළිවෙත් ධර්ම වලට ආචාර සමාචාර කරන්න. ඒ නිසා නිවන් අවබෝධ කරගන්නට කැමැති කෙනා තෙරුවන් වැඳීම. පෝයට සිල් ගැනීම දානමාන දීම පුජනීය ස්ථාන පිරිසුදු කිරීම කියන වත් පිළිවෙත් නවත්තන්න හොඳ නැහැ. ආජිව විපත්තිය ඇති කරගන්නට හොඳ නැහැ. අාජිවය කියන්නේ ජීවත් වෙන ජීවන උපාය ධාර්මික වෙන්න ඕනෑ. අධාර්මික ව ජිවත් වෙන කෙනාට නිවන අවබෝධ කරගන්න බැහැ ඒ වගේම කළ යුතු දේවලුත් තියනවා. මේ සාසනයේ ගිහි පැවිදි සැම දෙනාම සම්මා පයෝ කියන ප්‍රතිපදාවේ යෙදෙන්නට ඕනෑ අඛණ්ඩ සිලෝ නොකැඩුණ සිලය ආරක්ෂා කරන්නට ඕනෑ.
ඊළගට නිවන අවබෝධ කරගත යුතු කෙනා අවබෝධ කරගත යුතු ගුණධර්ම කිහිපයක් පිළිබඳව සඳහන් වෙනවා. පළමුවැනි එක සක්කෝ. එනම් දක්ෂ විය යුතුයි. සමර්ථ විය යුතුයි. කුමකට දක්ෂ විය යුතු ද? සිතල ඉවසීමට දක්ෂ විය යුතුයි. උෂ්ණත්වය ඉවසීමට දක්ෂ විය යුතුයි. ලේ බොන මදුරුවන්ගෙන් සුළගින් අව්වෙන් සර්පයින්ගෙන් වන පිඩා ඉවසිය යුතුයි. ඉතාම දරුණු කටුක ජීවිතය නැති වීම යන වේදනා ඉවසීමට දක්ෂ විය යුතුයි. නපුරු වචන ඉවසිය යුතුයි. ශාසනික වත් පිළිවෙත්වල යෙදීමට දක්ෂ විය යුතුයි.
දෙවැනි ගුණය ඌජුජ යනුවෙනුයි. ඍජු විය යුතුයි. ඍජු බව කියන්නේ ඇද නැති බව කායවංක වචීවංක කියන වචනයෙන් පවු කිරිම සහ මනෝ වංක කියන මනසින් පව් කිරිම කියන කාරණා නොකළ යුතුයි.
එයයි ඍජු බව කියන්නේ. සුජුච කිව්වේ වඩා ඍජු වීමයි. ඉතා අවංක කායික ක්‍රියා ඇති ඉතාම අවංක වචන ඇති අවංක සිතුවිලි ඇති කෙනෙක් වෙන්න කෙටියෙන් කියනවා නම් මුළු හදවතින්ම සිල්වත්ව ගුණවත්ව අවංකව ජීවත් වෙන්න ඕනෑ. වංචනික බවෙන් අත්මිදෙන්නට ඕනෑ.
ඊළඟ දේශනා කළා සුවචෝ ගුණය. කාට කීකරු නැති වුණත් තෙරුවන්ට කීකරු විය යුතුයි. මවුපියන් වුවත් වැරැදි දේක යොමු කරන්න හදනවා නම් ඒ අයට පැහැදිලි කරලා දිය යතුයි කියලා.
නමුත් සිලයට ගුණයට කිකරු වෙන්න ඕන. මෘදු කියලා කිව්වේ මෘදු නම්‍ය ශීලි කෙනෙක් විමයි. සිලයට ගුණයට නැමෙන සලකන කෙනෙක් වෙන්නට ඕනෑ. අනති මානි කියන්නේ නිහතමානි කියන ගුණයයි තමන් අන් අයට වඩා උසස් කියන මානය ,මම අන් අයට සමානයි කියන මානය, මට බැහැ කියන හීන මානය, නැති නිහත මානි කෙනෙක් විය යුතුයි.
සන්තුස්ස කෝච සුභරෝච අප්ප කිච්චෝච සල්ල වුකවෘත්ති........ කියලා කියන්නේ ලද දෙයින් සතුටු විමයි . ලද ආහරකින් ලද ඇඳුමකින් ලැබුණු නිවහනකින්ලැබුණ පිරිකරකින් ආදියෙන් සතුටු විය යුතුයි. හොද අහරක් වෙන්න පුළුවන්. සාමාන්‍ය අහරක් වෙන්න මේවා කන්න පුළුවන් ද කියන්නේ නැතුව ලැබෙන මොහොතෙත් අනුභව කරන වෙලාවේදී සතුටින් වැලදිය යුතුයි.
සුභරෝච කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීමයි. සමහර කෙනෙක් කිසිදේකින් සතුටු වෙන්නේ නැහැ. කොයි ආකාරයක දෙයක් ලැබුණත් ප්‍රසන්න සිතින් එය ගත යුතුයි. එසේ ඉතා පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වෙන්න ඕනෑ. අප්පකිච්චෝච යනු අල්ප කටයුතු ඇති කෙනෙක් වීමයි. කම්මා රාම කියන අධික වැඩකටයුතු වල ඇලිමෙන් වෙන් වෙන්න ඕන. පිරිසෙන් වෙන්වෙලා වැඩ කටයුතු කරන්න ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් පිරිසෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ කොහොමද කියලා. කාලෙන් කාලෙට විහාරස්ථානයේ වාසය කරමින් භාවනායෝගිව කටයුතු කරන්නට ඕනෑ.