පන්සල් කැඩූ පන්සලේම හැදුණු උපාධිධරයා | සිළුමිණ

පන්සල් කැඩූ පන්සලේම හැදුණු උපාධිධරයා

  • හොරකමේ යන්නම මෝටර් රථයක් අරන්
  • නයිජීරියානුවන් සමඟ හොර සල්ලි අච්චු ගහලා

කූඩැල්ලා මෙට්ටේ නිදි කරවන්න බැරි’ බවට අපේ පැරැණි කියමනක් තිබේ. මේ කියමන අපට සිහිපත් වූයේ පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයෙන් අසන්න ලැබුණු අප්‍රසන්න කතාවක් සමඟිනි. මේ කතාවේ කතානායකයා ‘ප්‍රසන්න’ ලෙස අපි හඳුන්වමු. ප්‍රසන්නට තවත් නැඟණියක හා බාල සොහොයුරකු සිටි හෙයින් ප්‍රසන්නගේ මවට හා පියාට ප්‍රසන්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න හැකියාවක් නොවිණි. වෙන එකක් තබා ප්‍රසන්නට කන්න අඳින්න දෙන්න තරම්වත් වත්කමක් ප්‍රසන්නගේ මවුපියන්ට නොවූයෙන් ඔහු පන්සලක නැවැත්වීමට මවුපියෝ තීරණය කළහ.

ඒ අනුව හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක ප්‍රසන්න නැවැත්වූ මවුපියෝ ඔහුගේ අනාගතය විහාරාධිපති හිමියන්ට බාර කළහ.

ප්‍රසන්නට අධ්‍යාපනය ලබා දීමට නායක හිමියන් තෝරාගත්තේ හොරණ ප්‍රදේශයේ පිරිවෙනකි. එයින් ප්‍රසන්න චරිතවත් සමාජයට වැඩදායි අයකු වනු ඇතැයි විහාරාධිපති හිමියෝ සිතූහ. පිරිවෙන් අධ්‍යාපනය මැනවින් හැදෑරූ ප්‍රසන්න ඇතැම් අවස්ථාවල භික්ෂූන් වහන්සේට වඩා දැනුමින් පොහොසත් අයෙක් බැව් ප්‍රකට කළේය. මූලික පිරිවෙන් අධ්‍යාපනය හදාළ ඔහු උසස් අධ්‍යාපනයද මැනවින් ලැබුවේය.

ඝාතන තැතක්

පන්සලේ සිටින තම පුතුගේ අධ්‍යාපන කටයුතු දැක මවුපියෝ සතුටු වූහ. තමන්ට වත්කමක් නැති වුවත් බුදු දහමේ ආභාසයෙන් තම පුතු ඉහළ යනු දැක ඔවුහු සතුටු කඳුළු හෙළූහ.

සරසවි වරම් ලබන්නට තරම් ප්‍රසන්න දැනුමින් පොහොසත් වූයේය. සරසවි වරම් ලැබූ ප්‍රසන්නට එහිදී නම් යම් යම් දඩබ්බරයන්ද ඇසුරට ලැබිණි. අධ්‍යාපනය හොඳින් හැදෑරුවද හමු වූ මිතුරන් නිසාදෝ ඔහුද යම් යම් දඩබ්බරකම්වලට යොමු විය. එය එක් අතකින් මිතුරන්ගේ ඇසුර නිසායැයිද කිව නොහැකි වන්නේ පන්සලේ හැදුණු වැඩුණු අයකු ඊට වඩා ශාන්ත දාන්ත ඉවසීමක් ඇති අයකු විය යුතු නිසාය. මේ අතර එක් සරසවි සිසුවකු සමඟ දබරයක් ඇති කරගත් ප්‍රසන්න ඔහුට මරණ තර්ජන එල්ල කර තිබිණි. පසුව උල් ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදු කළේය. ඔහු මරා දමන බවට තර්ජනය කර තිබූ හෙයින් ප්‍රසන්නට ඝාතන ප්‍රයත්නයක් යටතේ නඩු පැවරිණි. ඔහුට කොතරම් අවවාද අනුශාසනා පන්සලෙන් ලැබුණත් එයින් පලක් නොවිණි. අවසානයේ පන්සලේ වාසයද ඔහුට අහිමි විය.

ඔහු හොරණ හා බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචියට යන්නේ ඒ අනුවය. ස්ථිර නවාතැනක් ඔහුට නොවීය. සිසු ඝාතන ප්‍රයත්න නඩුව අස්සේ වුවද ඔහු උපාධිය සම්පූර්ණ කළේය. උපාධිය ලබා රැකියා කිහිපයකටම අයැදුම් කළ ඔහුට හිමි වූයේ පිරිවෙන් අධ්‍යාපනය හැදෑරීමේදීද අත්දැකීමක් තිබූ ගුරු වෘත්තියයි. කොළඹින් දුරබැහැර ප්‍රදේශවල ගුරු වෘත්තියේ යෙදුණු ඔහු දින කිහිපයක සම්මන්ත්‍රණයක් සඳහා කොළඹට පැමිණියේය. එහිදී විදේශීය ජාතිකයන් කිහිප දෙනෙක් ඔහුට හමු විය. ‍ඒ අය දවස් කිහිපයක් හමු වූ ප්‍රසන්න ඔවුන් සමඟ දින දෙක-තුනක් විනෝදයට මෙන් කොළඹ නගරයේ කැසිනෝ ක්‍රීඩාවට ගියේය.

එහිදී ඔහුට යොඳ ආදායමක් ලැබිණි. ඒ ආදායමෙන් උපන් තණ්හාව නිසා මුදල් වැඩියෙන් ලබන්නට ප්‍රසන්නට ආශාවක් ඇති විණි. එනිසා දිගින් දිගටම කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන්නට ඔහු පෙලඹුණේය. ක්‍රමයෙන් ප්‍රසන්නගේ සියලු සේසත විනාශ වන්නට විය. අත බැඳි ඔරලෝසුව, ජංගම දුරකතනය පවා අලෙවි කර කැසිනෝ ක්‍රීඩාවට යොමු වුවද එයින්ද ප්‍රසන්නට යහපතක් නොවිණි. මුදල් සාක්කුවෙන් බැහැරට ගියා මිස ආපසු ආවේ නැත.

ගුරු වෘත්තියේ නිමාව

නයිජීරියානුවකුගේ උපදෙස් මත ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නට ප්‍රසන්න යොමු වන්නේ මේ අතරතුරේදීය. එය හොඳ ආදායම් උල්පතක් වුවත් හොරකම සැමදා කළ නොහැකි බව පසක් කරමින් වැඩි කලක් ගත වන්නට ප්‍රථම ප්‍රසන්න නීතියට කොටු වූයේය. එහිදී ඔහුට නඩු පැවරුණු අතර, නඩුව අවසානයේ ප්‍රසන්නට හිරබත් කෑමට සිදු වූයෙන් ඔහුට ගුරු වෘත්තියද අහිමි විය.

කෙසේ වෙතත් කලක් ගත වී හිරෙන් නිදහස ලැබූ ප්‍රසන්න නයිජීරියානුවන් සමඟ එකතුව අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහු ව්‍යාජ ලෙස ඒටීඑම් කාඩ්පත් මුද්‍රණය කර, එමඟින් මුදල් ගැනීමේ ක්‍රමයක් ආරම්භ කළේය. එයින්ද සැලකිය යුතු මුදලක් සොයාගත්තද ප්‍රසන්නට දිගු කලක් ඒ ක්‍රියාදාමයද සිදු කරන්නට නොහැකි වූයේ තනිවම ඒ කාර්යය සිදු කළ නොහැකි වීමත්, ඒටීඑම් යන්ත්‍ර අසල ආරක්ෂකයන් මෙන්ම සීසීටීවී කැමරා සවි කර තිබීමත් හේතුවෙනි.

ඔහු ඊළඟට දියුණු වීමට හොඳම මාර්ගය ලෙස තෝරාගත්තේ දරුණු පිළිවෙතකි. ඒ අනුව ඔහු අත තබන්නේ කුඩා කල තමාට එකම පිළිසරණ වූ විහාරස්ථාන සතු දේපළ සොරාගැනීමටයි. ඒ අනුව පින්කැට ඇතුළු විහාරස්ථාන සතු වටිනා දේපළ, විහාරාධිපති හිමිවරුන්ට පූජා කරන ලද මුදල් සහ වටිනා කෞතුක භාණ්ඩ සොරාගැනීමේ සූක්ෂ්ම ක්‍රමවේදයක් ඔහු ආරම්භ කළේය.

සතියේ දිනවල දහවල් 11.30ට පමණ භික්ෂූන් වහන්සේ දානමය පින්කම් සඳහා වැඩම කරන හෙයින් තම කටයුත්තට එය සුදුසුම වේලාව බව ඔහු අත්දැකීමෙන්ම දැන සිටියේය. ස්වාමීන් වහන්සේ මුදල් මෙන්ම වටිනා දේ ආරක්ෂිතව තබන ස්ථාන ගැනද ඔහුට මනා දැනුමක් තිබිණි.

එලෙස කලක් තිස්සේ මේ කටයුත්තේ යෙදී සිටියදී ප්‍රසන්න‍ට අවබෝධ වූයේ බස් රථවලින් සහ පා ගමනින් ගොස් කොල්ල කෑමට වඩා මෝටර් රථයකින් විහාරස්ථානවලට ගොස් සොරකම් කිරීම පහසු බවයි. වරක් පන්සලකට ගිය අවස්ථාවක එහි ඇබිත්තයා ප්‍රසන්නට එතරම් සැලකිල්ලක් නොදක්වා, මෝටර් රථයකින් පැමිණි අයකුට ‘මහත්තයා’ යැයි අමතා විහාරස්ථානයේ අසුන් ගැනීමට ආසනයක්ද ලබා දීමේ සිදුවීමක් ඔහුගේ සිතට තදින්ම වැදී තිබිණි.

මේ නිසා කොල්ල කෑම් පහසු වන පරිදි, ඇහැළියගොඩ පන්සලක් බිඳ ලබාගත් මුදලින් මරුටි ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් මිලට ගත් ප්‍රසන්න ඒ මෝටර් රථය උපයෝගි කරගෙන තම සොරකම ජයටම කරගෙන ගියේය.

ඔහු‍ට වැරදී ගියේ හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක් සතු දේපළ කොල්ලකෑමට ගිය අවස්ථාවේය. පොලීසියට පැමිණිලි ලැබුණු විට එම කොල්ලකෑම විහාරය ගැන මනා දැනුමක් ඇති අයකු විසින් සිදු කර ඇති බවට පොලීසියට අවබෝධ වී තිබිණි. මෙහිදී පොලීසියේ ඇස ඍජුවම යොමු වුණේ ප්‍රසන්න කෙරෙහිය. පරීක්ෂණ මඟින් ප්‍රසන්න මේ සොරකම් සඳහා සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය විය. ඒ කරුණු මත පරීක්ෂණ පවත්වද්දී ඇහැළියගොඩ හා ගල්කිස්ස ප්‍රදේශවල විහාරස්ථාන කිහිපයකම සිදුව ඇති සොරකම් ගැනද පොලීසියට පැමිණිලි ලැබුණේය. ඇහැළියගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වූයේ විහාරස්ථානය සතු වටිනා දේපළ සියල්ල මෙන් සොරාගෙන ඇති බවකි. පොලීසියේ තියුණු ඇස මේ සම්බන්ධව යොමු වී තිබිණි. ලැබුණු පැමිණිලි ඔස්සේ අවදියෙන් සිටි පොලීසියට සීසීටීවී කැමරා දර්ශන පිරික්සීමේදී රතු පැහැති මෝටර් රථයක් නිරතුරුව විහාරස්ථාන කරා ඇදී යන අයුරු පෙනී ගියේය.

පන්සල් 16ක් බිඳලා

එමෙන්ම ප්‍රසන්න සතු වූ දුරකතනයේ දත්ත පසුපස ගිය පොලීසිය ප්‍රසන්නගේ ක්‍රියාකාරකම් ගැන අවබෝධයෙන් පසු වූයේය. පොලීසිය වහා ක්‍රියාකාරි වී අදාළ මෝටර් රථය සොයාගත්තේය. එය ප්‍රසන්නගේය. කරුණු තවත් සැඟවීමට ප්‍රසන්නට නොහැකි විය. තමා කළ සියලු සොරකම් ගැන ප්‍රසන්න කරුණු වැමෑරුවේ අතුරුගිරිය පොලීසියෙන් ඔහු අත්අඩංගුවට ගත් පසුවය. ඒ සමඟම ව්‍යාජ ඒටීඑම් කාඩ් පත් හා සොරාගන්නා ලද ඉපැරණි මුදල් නෝට්ටුත් සොයාගැනීමට පොලීසිය සමත් විය. දිගින් දිගට කරුණු පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගත හැකි වූයේ විහාරස්ථාන 16ක් බිඳ රැස් කළ රුපියල් කෝටියකට අධික මුදල් හා සොරාගත් කෞතුක භාණ්ඩ විකිණීමෙන් ලත් මුදලින් වැඩි හරියක් ප්‍රසන්න යොදවා ඇත්තේ කැසිනෝ ක්‍රීඩාවට බවයි.

අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ඩී. අලවත්ත මහතාගේ උපදෙස් පරිදි මේ වන විට පරීක්ෂණ පැවැත්වේ. ප්‍රසන්න අත්අඩංගුවට ගැනීමේ වැටලීම සඳහා අතුරුගිරිය පොලීසියේ පොලිස් සැරයන් පියල් (56750), පොලිස් කොස්තාපල්වරුන් වන සුකුමාරන් (36709), ගමගේ (40947), සම්පත් (70701), හර්ෂ (84898), මඩවල (85152) යන අය සහභාගි වූහ.

සොරකම සැමදා කළ නොහැකිය. ප්‍රසන්න අපට ඉගැන්වූ එක් පාඩමකි ඒ.

(සැකකරුගේ නම මනඃකල්පිතයි)

 

Comments