
පිදුරංගල කඳු මුදුනේ අඩ නිරුවත සමාජ ජාලාවල පෙන්වූ තරුණයන්ට පසුගියදා අධිකරණය තදින් අවවාද කර නිදහස ලබා දුන්නේය. ඔවුන්ගේ කතාව සෑම සමාජ තලයකම වෛරසයක් සේ පැතිර ගියේය. ඔවුන් ඇත්තටම සිදු කළේ වරදක්ද? ඔවුන් මේ විදියට හැසිරුණේ ඇයි? මේ හැසිරීම නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් සදාචාර විරෝධීද?
සාමාන්‍ය ජනතාව පමණක් නොව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කීප දෙනෙකු පවා මා හමු වු අවස්ථාවල මේ තරුණයන්ගෙන් මෙවැනි හැසිරීමක් දකින්නේ මන්දැයි ඔවුන් මගෙන් විමසා සිටියේ මනෝ වෛද්‍යවරයකු මෙය දකින ආකාරය ගැන ඔවුන් තුළ තිබූ කුතුහලය නිසා විය හැකිය.
මා ඔවුන්ගෙන් පෙරළා විමසුවේ ඔබ වයස අවුරුදු 16 වන සිට අවුරුදු 21 දක්වා වයසේදී මෙවැනි පෙරළිකාර ක්‍රියා සිදු කොට නැතිද යන්නය. එසේ නොකළ කෙනෙකු සිටිනවා නම් අත ඔසවන ලෙස මම ඉල්ලා සිටියෙමි. ඔවුන් අතරින් කිසිවෙකු අත එසවුයේ නැත. ඔවුහු අපේ රටේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයයක මහචාර්යවරු පිරිසකි. ඔවුන්ද එසේ නම් එසේ නම් අනෙක් අය ගැන කුමන කතාද? එයින් පැහැදිලි වන්නේ මෙය ගැටවර වියේ සාමාන්‍ය තත්ත්වයක් බවය.
එකම වෙනස නම් එදා මෙවැනි සිදුවීම් වුණත් ඒවා පහසුවෙන් ඡායාරූප ගත කිරීමට වීඩියෝ පටිගත කිරීමට ජංගම දුරකථන වැනි මෙවලම් තිබුණේ නැත. එය ඒ නිමේෂයකින්ම අවසන් වෙයි. එහෙත් අද ඒවා පහසුවෙන් රෑ ගත කළ හැකිය. එසේ ගත සැණින් අන්තර්ජාල සමාජ ජාලවලට මුදා හළ හැකිය. එමඟින් ඉතා වේගයෙන් ප්‍රසිද්ධ කළ හැකිය. අද මෙවැනි ගැටවර හැසිරීම් ඡායාරූප ගත කොට වීඩියෝ කර මුහුණු පොත වැනි නොයෙක් සමාජ ජාලා ඔස්සේ මේවා ප්‍රසිද්ධ කිරීමටත් ළමයි යොමු වෙති.
ගැටවරයන්ගේ මෙවැනි හැසිරීම් එදත් අදත් එක සේය. ඔවුහු සමාජයේ අලුතින් ලබන අත්දැකීම් විවිධ ආකාරයෙන් අත්හදා බලන්නට උත්සාහ කරති. ළමයින් දුම්වැටි මත්ද්‍රව්‍ය වැනි දේවල් අත්හදා බලන්නේත් ඇතැම් ලිංගික හැසිරීම් පටන් ගන්නේත් ඒ නිසාය. ඒ අනුව ඔවුහු ලැබෙන හැම වේලාවකම නිවසේ සහ සමාජයේ ඔවුන්ට ඇති සීමාවන් අත්හදා බලති. එය ගැටවර වියේ සාමාන්‍ය දෙයකි. ඒ වගේම ඔය සීමා අත්හදා බැලීමට ගොස් අනතුරුවලට මුහුණ පාන්නෙත් ඒ නිසාය. ඇතැම් ගැටවරයන් අවදානම සහිත තැන්වලට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙලඹී ජීවිත පවා නැති කර ගත් අවස්ථා ගැන මෙය කියවන ඔබ අසා ඇති.
ගැටවරයින් ගේ මෙවැනි හැසිරීම්වලට හේතුව ඔවුන්ගේ මොළයේ ඉදිරි බාහිකය (Frontal lobe) යනුවෙන් හඳුන්වන කොටස තවමත් නිසි පරිදි වර්ධනය වී නොමැතිකමය. අපි හරි වැරැදි හඳුනා ගන්නේ මොළයේ ඇති සමාජය ගැන නිවැරදි තේරුමක් ඇති කර ගන්නේත් මෙම කොටසිනි. මෙම කොටස නිසි පරිදි මෝරන්නේ වයස අවුරුදු 26ක් පමණ වන විටය.
වෙනත් වචනවලින් කිවහොත් ගැටවරයන් ගේ ඉණෙන් පහළ කොටසින් වැඩිහිටි මිනිස්සු වුණාට බෙල්ලෙන් උඩ තවම කොල්ලෝය. ඒ නිසා ඔවුන්ට කොලු වයසේ කරන කියන මෙවැනි දේවල්වල බරපතළකම වගකීම ගැන වැටහීමක් නැත. ඒ වගේම මෙම වයස අවදානම සහිත දේවලට සහ අනුකරණයට පෙලඹෙන වයසකි. ඒ නිසා ළමයින් මේ වගේ දෙයක් සිදු කළ විට ඒ ගැන දූපත් මානසිකත්වයෙන් මිදී මානුෂීයව බැලිය යුතුය. මෙවැනි දෙයක් සිදු කිරීම ළමයකු සිරගත කිරීමට තරම වරදක් නොවෙයි. පිටුපස පෙන්වීම මෙම තරම් වැරදි ක්‍රියාවක් නම් එදා සිංහලයෝ අමුඩයක් ඇඳ ගෙන සිටීමත් ඔවුන් සිරගත කළ යුතු ක්‍රියාවක් නොවේද?
එසේම මහ පාර අයිනේ මුත්‍රා පහ කරන අයත් පොලීසියෙන් අල්ලා සිර ගත කළ යුතුය. බුදු දහමට අනුව නම් මෙවැනි සුළු වරදක් කරන අයට මෛත්‍රී වැඩීම හැර කළ යුතු දෙයක් නැත.
අප සමාජයක් ලෙස මෙම ළමයින් සිරගත කරවීමට කටයුතු කිරීම ඔවුන්ගේ අනාගතයට කෙතරම් කැළලක්ද? මෙය මා දකින්නේ පොලිසිය විසින් සිදු කරන ලද ළමා අපචාර ක්‍රියාවක් විදියටය. මෙවැනි අනුවණ ක්‍රියාවන් බුදු දහමට ද පටහැණිය. පළිගැනීමක් බුදු දහමේ නැත. බුදුන් දවස බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කළ අය සිටියත් බුදුන් වහන්සේ ඔවුන් දඬුවමකට ලක් කරන්නැයි කියා රජවරුන්ට පැමිණිලි කළේ නැත. වෛර කළේ නැත.
අපේ රටේ නීතිය හා සාමය රකින පොලිසියත් බලා ගෙන ඉන්නේ රටේ ජනප්‍රිය දෙයක් අල්ලා ගෙන ඇති දේටත් නැති දේටත් දෙකටම නීතිය ක්‍රියාත්මක කිරීමටය. ළමයින් කොලුකමට සිදු කළ දෙයක් පසුපස හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගන්නවාට වඩා මේ රටේ කෙතරම් අපරාධ සිදු වී තිබෙනවාද?
මේ වන විට උතුරේ ආවා කල්ලියට නීතිය ක්‍රියාත්මක කළා නම් මීට වඩා පොලිසිය කෙතරම් ජනප්‍රිය වේවිද කෙතරම් පැසසුමට ලක් වෙයිද? කළ යුතුව තිබුණේ ළමයින්ට අවවාද කිරීම සහ එම පින්තූර සමාජ මාධ්‍ය ජාලාවලට වාර්තා කොට ගලවා දැමීමය. මෙම ක්‍රියාවෙන් සිදු වුයේ මෙම පුවත තව තවත් ප්‍රසිද්ධ වීමය. මීළඟ වතාවේ මීටත් වඩා නිරුවත් ඡායාරූප පළ විය හැකිය. හේතුව අවදානමක් ගැනීම ගැටවරයෝ කැමතිම දේ වීමය.
සරල භාෂාවෙන් කියනවා නම් පොරක් වීමට මෙම වයසේ තරුණයන්ට ස්වාභාවිකවම අවශ්‍යතාවක් නිර්මාණය වෙයි. එය සාමාන්‍ය යෙන් කීවත් විද්‍යාත්මකව කීවත් කිව හැක්කේ ඒ වයසේ හැටි කියාය. මේ බව මෙම ලිපිය කියවන මවුපියෝ නම් දනිති. නමුත් මවුපියෝ නොවන භික්ෂූන් වහන්සේත්, මවුපියන් වන පොලිස් නිලධාරිනුත් මෙය කවදා ඉගෙන ගනීද? මෙම ගැටවරයන් සිර ගත කිරීම අද අප සමාජය ක්‍රමයෙන් තලෙයිබාන්කරණය වීමේ තවත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.