සීගිරි බිතුසිතුවම් වින‍ාශය ඇසින් දුටුවෙමි | සිළුමිණ

සීගිරි බිතුසිතුවම් වින‍ාශය ඇසින් දුටුවෙමි

දිනය - 1967 ඔක්තෝබර් 14 වැනිදා

වේලාව - පෙරවරු 7.15 ට පමණ

සීගිරිය මහා මේකුළ මීදුමෙන් වැසී ඇත. සුපුරුදු පරිදි මම සීගිරි මහා විදුහල වෙත පියනගමින් සිටියෙමි. මඟ දෙපස දක්නට ලැබෙන රූස්ස ගස් නිසා ගතට හා සිතට ලැබෙන්නේ සිසිලකි. දවල් කාලය එළඹෙත්ම, අවට පරිසරය රත් වෙයි. එවකට මා සේවය කළේ සීගිරි මහා විදුහලේ උපාධිධාරි ආචාර්යවරයෙකු ලෙසය. මිශ්‍ර පාසලක් වූ මේ විද්‍යාලයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 150 ක් පමණය. ගුරු මණ්ඩලය පස් දෙනෙකුට සීමාවිය. යාර 300 ක පමණ තනි ගොඩනැගිල්ලක එදා මේ පාසල පිහිටා තිබිණි.

සුපුරුදු පරිදි මා පාසල වෙත ගමන් කරන විට දී ජ්‍යෙෂ්ඨ පන්තියේ ශිෂ්‍යයෙක් සිය බයිසිකලය වේගයෙන් පැදගෙන විත් මා අසල නතරවී, මට දුන් පණිවිඩයෙන් මා මොහොතක් ගොළුවිය.

“සර් , ඊයේ රාත්‍රියේ සීගිරි බිතු සිතුවම් විනාශ කරලා. කොළපාට තීන්ත වගයක් සමහර චිත්‍රවල ගාලා. සිතුවම් පහක් පමණ උල්වලින් ඇනලා කඩල දමලා” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා ප්‍රචලිත කළ, අප සතු වටිනාම කලා නිර්මාණයක් විනාශ කළ පුවත අසා කම්පාවට පත්වුණු මා පාසලට නොගොස් ශිෂ්‍යයා සමඟ සීගිරි කඳු පාමුලට ගොස් මිනිත්තු කිහිපයකින් බිතු සිතුවම් ඇති ස්ථානය අසලට ගියෙමි. ඒ වනවිටත් මා හිත මිත්‍ර, පුරාවිද්‍යා උප කොමසාරිස්වරයෙක්ද - සීගිරි බාර නිලධාරියා සහ සේවකයින් කිප දෙනෙකු එම ස්ථානයේ බිම වැටී ඇති අප්සරාවක්, මේඝ ලතාවන් විජ්ජුලතාවන්ගේ කැබලි එකතු කරන අන්දම දුටුවෙමි.

මුළු මහත් කලා ලෝකයම කම්පා කරන මේ පුවත ජාත්‍යන්තර පුවතක් බැවින් මා වහාම සීගිරි තානායමට ගොස් මේ මහ ඛේදවාචකය පෙවරු 9.00 ට පමණ ලේක්හවුසියට වාර්තා කෙළෙමි. සීගිරි විදුහලට පැමිණීමට පෙර මා ලේක්හවුස් ආයතනයේ ඉංග්‍රීසි - සිංහල පුවත්පත්වල වාර්තා කරුවෙකු ලෙස සේවය කෙරුවෙමි.

මා මෙම පුවත මුලින්ම ප්‍රකාශ කළේ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ මගේ පුවත් පත් වාර්තාකරණයේ “ගුරු දෙවියන්” ලෙස මා සලකන ඩී. සී. රණතුංග මහතාටය. (දැන් ඒ මහතා ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පදිංචිව සිටී)

“වෙත්තේ, වෙත්තේ, මේ ඈපා. සීගිරියේ ඉදන් කතා කරන්නේ. ඊ‍යේ රෑ සීගිරි බිතු සිතුවම් විනාශ කරලා” රණතුංග මහතා, දිනමිණ කර්තෘතුමාට කියා. ගතවූයේ මිනිත්තු කිපයකි. ඩේලි නිවුස් කර්තෘ සිසිල් ග්‍රැහැම් මහතාත්, ලේක්හවුස් ප්‍රවීණ කතුවරුන් වන එස්.සුබසිංහ,විමලසිරි පෙරේරා, එල්මෝ ගුණරත්න මහත්වරුද මා සමඟ කතා කළ අතර, ඔවුන්ට ද විස්තර කීවෙමි. විදෙස් වාර්තා කරුවෙක් හා ඡායාරූප ශිල්පියෙකු සීගිරියට එවන්නයි මම ඉල්ලීමක් කළෙමි.

දවල්වන විට පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් සීගිරියට රොක් වී සිටියහ. මුළු සීගිරිය එකම අවමඟුලක සිරි ඉසිලීය සීගිරිය වෙත ජනී ජනයා ඇදි එන්නට පටන්ගත් මේ ඛේදවාචකය වාර්තා කිරීමට දිනමිණේ ප්‍රවීණ මාධ්‍යවේදී දයාසේන ගුණසිංහ මහතා සහ අප ආදරයෙන් “වොලි අන්කල්” යනුවෙන් හඳුන්වන ප්‍රවීණ ඡායාරූප ශිල්පී වොලි පෙරේරා මහතා සීගිරි තානායමට පැමිණියහ.

පසුදා උදෑසන (15 වැනිදා) අප තිදෙනා සිද්ධිය වූ ස්ථානය වෙත ගියෙමු. වොලි පෙරේරා. එම ඛේදවාචකය සිය කැමරා කාචයට ගත් අතර, දයාසේනත්, මාත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක - සේවිකාවනුත් වාර්තා සටහන් කරගත්තෙමු.

පෙරවරු 10.45 ට පමණ දයාසේනත්, වොලිත්, මමත් ලේක්හවුසියේ රියැදුරු මහතා වන ආරියසේන පැදවූ වාහනයකින් පස්වරු 1.45 පමණ වන විට ලේක්හවුසියට ළඟාවුණෙමු.

විමලසිරි පෙරේරා සහ සුබසිංහ මහතා මා අමතමින්,

“ඈපා, දැන්ම ගිහිල්ලා, මහාචාර්ය පරණවිතාන මහතාට මේ පුවත කියලා, එතුමාගේ අදහස් ලබාගන්න. යයි ඉල්ලා සිටියේය.

ආරියරත්න පැදවූ වාහනයෙන්ම මහාචාර්ය පරණවිතාන පදිංචිව සිටි නුගේගොඩ, රේමන්ඩ් පාරේ, නිවසට ගොස් ඒ මහතා හමුවිය.

“ඈපාසිංහ, සිගිරිය මා රැක්කේ මගේ ඇස්දෙක වගේ. මගේ පණට මෙන් මා සීගිරිය එදා ආරක්ෂා කළා. රැක ගත්තා. මා කොමසාරිස් ධූරය දරන කාළේ සීගිරියේ බිතු සිතුවම්, කැටපත් පවුර ආදිය රැක බලා ගන්නට දිවා - රාත්‍රී, නොකඩවා සේවකයන් පත් කළා” පරණවිතාන ශූරීන්හු පැවසුහ.

සීගිරිය සහ පරණවිතාන දෙකක් නොව එකකි. අද වුවද, සීගිරියේ අහිංසක ජනතාව ඒ මහතා හඳුන්වන්නේ පරණවිතාන උතුමාණන් ලෙසය.

සීගිරි ඛේදවාචකය ගැන විවිධ අර්ථකතන පැවසුවද, එම අවාසනාවන්ත සිදුවීම ගැන සත්‍යය අදටත් හෙළිවී නැත. විනාශ කරන ලද සීගිරි බිතු සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීමේ ගෞරවය නිතැතින්ම අත්වන්නේ එවකට නියෝජ්‍ය පුරා විද්‍යා කොමසාරිස් ධුරය දැරූ ආර්.එච්. ද සිල්වා මහතාටත්, ඉතාලියෙන් පැමිණි ලුසියානෝ මරාන්සි මහතාටත්ය.

එම දේපළට පින් සිදුවන්නට, ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ කැපවීම නිසා අප ආදරය කළ අප්සරාවන්, විජ්ජුලතාවන්, මේඝලතාවන් සිනාසෙන අන්දම දැන් අපට යළිත් අපට දැකගන්නට ලැබී ඇත.

Comments