
- භූගත ජලයට කිසිම හානියක් නැහැ
- දිනකට අපද්‍රව්‍ය ටොන් 1200ක් දමන්න පුළුවන්
මෙරට ඉදිවන විශාලතම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැකි අරුවක්කාලු මහා පරිමාණ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් දිනකට අපේ රටේ කුණු මෙට්‍රික් ටොන් 1200 පමණ කළමනාකරණය කිරීම ඉදිරි මාස 3 ඇතුළත ආරම්භ කෙරේ.
මේ පිළිබඳව කරුණු දක්වන මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසන්නේ මෙරට විද්‍යානුකූලව කසළ බැහැර කළ හැකි පරිසර හිතකාමි හොඳ ම ස්ථානය ලෙස අරුවක්කාලු පෙන්වා දිය හැකි බවයි.
රුපියල් මිලියන 22000ක පමණ වියදමෙන් ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘතිය ඉදිරි මාස තුන ඇතුළත අවසන් කිරීමට නියමිත අතර එය වසර 80ක් ප්‍රයෝජනයට ගත හැකිය. මේ සඳහා සියලු පරිසර අධිකාරිවල අනුමැතිය ඇතිව විද්‍යානුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ හා වයඹ පරිසර අධිකාරියේ පූර්ණ අනුමැතිය ලැබී ඇති බවද ලේකම්වරයා පවසයි.
මෙම ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය කළමනාකරණය ආරම්භ වන්නේ කැලණියේ පිහිටුවන පරිසර හිතකාමි අපද්‍රව්‍ය රැඳවුම් හා හුවමාරු මධ්‍යස්ථානයෙනි. එයට රැගෙන එන්නේ කොම්පෝස්ට් කිරීමට බැරි දිරන්නේ නැති හා ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ නොහැකි අපද්‍රව්‍ය පමණි. ඊට පසු ඒ අපද්‍රව්‍යය මුලින් ම දැඩි පීඩනයකට ලක් කරනු ලැබේ. එවිට එන කුණු වතුර නළ මඟින් කැලණියේ ම ඉදිකරන පිරිපහදු මධ්‍යස්ථානයකට යොමු කෙරේ. පසුව මේ ජලය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතියට පිරිසුදු කර මුදා හරිනු ලැබේ.
ඉන්පසු එම අපද්‍රව්‍ය මෙම අපද්‍රව්‍ය ප්‍රවාහනයට මෙරටට ගෙන්වන සුවිශේෂ බහලුම් වලට දමනු ලැබේ. ඒවා සම්පූර්ණ ලෙස ආවරණය කර තිබේ. කුණු ප්‍රවාහනයට සෞඛ්‍ය අංශ අනුමත කර ඇති මේ කන්ටේනර් පසුව අදාළ දුම්රිය තට්ටු මත ස්ථානගත කරනු ලැබේ. කැලණිය අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය මඟින් පිටවන අප ජලය හා අපද්‍රව්‍යවල දුර්ගන්ධය පිටට යෑම වැළැක්වීමට එම ස්ථානය සම්පූර්ණ ලෙස ආවරණය කරනු ලැබේ. දුගද අවශෝෂණය කර ගැනීමට ද සුදුසු කටයුතු කරනු ඇත.
අරුවක්කාලු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි මේ අනුව කැලණිය අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයේදිත් අපද්‍රව්‍ය කන්ටේනර් මඟින් ප්‍රවාහනයේදිත් කිසිම පරිසර හානියක් හෝ ජනතාවට අහිතකර බලපෑමක් හෝ සිදු නොවේ. පසුව මෙම කන්ටේනර් හෙවත් බහලුම් අරුවක්කාලුවලට දුම්රියෙන් ගෙන එනු ලැබේ. පසුව දුම්රියෙන් ට්‍රක් රථවලට පටවන මේ බහලුම් පසුව අරුවක්කාලු කසළ අංගණයට දමනු ලැබේ.
මෙම අරුවක්කාලු යන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජන ශුන්‍ය ප්‍රදේශයකය. ඒ ප්‍රදේශයේ සිට ළඟම පිහිටි ගම්මානයට මීටර් 500 - 600 දුරය. ඒ නිසා මෙම කසළ අංගණයේ අපද්‍රව්‍යවල කිසිම බලපෑමක් ඒ ජනතාවට හෝ ඔවුන්ගේ ළිං වලට හා භූගත ජලයට ඇති වන්නේ නැත.
එමෙන්ම අරුවක්කාලු සනීපාරක්ෂක කසළ අංගණය යට කසළ දමන බිමට කසළවල අප ජලය භූගත ජලයට මිශ්‍ර නොවීමට මීටරයක් පළල ජල පරිවාරක ආරක්ෂිත ස්තර කිහිපයක් අතුරනු ලැබේ.
මේ පිළිබඳව කරුණු දක්වන චයින හාබර්හි නියෝජ්‍ය කළමනාකාර ඉංජිනේරු චන්දන ජයවර්ධන මහතා පවසන්නේ මෙය ඉතා පරිසර හිතකාමි ලෙස සිදුවන බවයි.
කිසිම අවස්ථාවක මේ කුණු කසළ නිකම්ම ගෙනත් අත හැරීමක් සිදු වන්නේ නැහැ. මෙය සිදුවන්නේ නිසි ක්‍රමවේදයකට අනුව. කුණු කසළ ඉවතට නොයෑම සඳහා මුලින්ම අපි මේ ව්‍යාපෘතියේ පැති බැමි කිහිපයක් ඉදිකරනවා. භූගත ජලය පිළිබඳ අපි අනිවාර්යයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කරනවා.
මෙහි භූගත ජල එක් තැනකට එක් රැස් කිරීම සඳහා නළ පද්ධතියක් භාවිත කරනවා. ඉන්පසු mm 40 සිට 60 දක්වා විහිදෙන ගල් තට්ටුවක් යොදනවා.
භූගත ජලය ගෙනයන නළ පද්ධතිය තිබෙන්නේ එම ගල් තට්ටුව තුළ ඊට geo textile එකක් භාවිත කරනවා. එයට උඩින් ඝනකම මැටි තට්ටුවක් භාවිතා කරනවා. එම ගල් සහ මැටි තට්ටුව එකිනෙකින් වෙන් කිරීම සඳහා තමයි අර මුලින් සඳහන් කළ geo textile එක භාවිතා කරන්නේ. මේ සියල්ලටම උඩින් බෙන්තොලයින් මැට් එකක් භාවිතා කරනවා.
ඉන්පසු ඉතාම මිල අධික මිලි මීටර් 1.5 ක් ඝන ප්ලාස්ටික් ෂීට් එකක් භාවිතා කරනවා. අපි පාවිච්චි කරන ෂොපින් බෑග් 1200 ක පමණ ඝනකමක් ඇති මෙම ෂීට් ඇතිරීම නිසා ඊට ඉහළින් ඇති ස්තරය සහ පහළින් ඇති ස්තරය සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා.
ඒ සම්පූර්ණ ස්තරය නිර්මාණය කිරීමෙන් අනතුරුව අපි ඒ මතට යළිත් geo textile දෙකක් යොදනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ plastic sheet එකට හානියක් සිදුවීම වැළැක්වීමයි.
ඒ මත නැවතත් ගල් අතුරලා ඒ තුළ තමයි කසළ අංගණයේ අප ජලය ගමන් කරන නළ පද්ධතිය ස්ථාපිත කරන්නේ. මෙහිදී භූගත ජලය සහ අපජලය අතර කිසිම සම්බන්ධතාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ දෙක මේ ස්තර දෙක තුළ ස්ථාපිත වෙලා තියෙන්නේ. මේ විදිහට එක් රැස් කරගන්න ජලය ව්‍යාපෘතියේ ඇති ගබඩා ටැංකි වෙත රැගෙන ගිහින් ඒ තුළින් ප්‍රතිචක්‍රීකරණය කර ව්‍යාපෘතිය ඇතුළේ අවශ්‍යතා සඳහා ම භාවිතා කරනවා. කිසිම අවස්ථාවක මෙම ජලය පිටතට බැහැර කිරීමක් සිදුවෙන්නේ නැහැ.
ජනතාවට තියෙන විශාලම ගැටලුව මේ ව්‍යාපෘතිය ආශ්‍රිතව පිටත ජලය ගමන් කිරීමට නිර්මාණය කර තිබෙන ඇළ මාර්ගයයි. ඇළ මාර්ගයෙන් පිටතට ගමන් කරන්නේ මෙම ව්‍යාපෘතියෙහි අන්තර්ගත ජලය නෙවෙයි. කසළ අංගනය නිර්මාණය වෙන්නේ වළක් ආකාරයටයි.
මෙයට කෙළින්ම ඇද වැටෙන වැසි ජලය එක්රැස් කරමින් භාවිතාවට ගත්තත් ව්‍යාපෘතියට පිටතින් ගලාගෙන එන වැසි ජලය මෙහි පිරුනොත් එය ගැටලු සහගත තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වටා ඉදිකරන කානු පද්ධතියට වැසි ජලය රැස් කරමින් ඒ ජලය පිටතට යවන්නයි ඇළ මාර්ගය සකස් කර තියෙන්නේ. වගකීමෙන් ප්‍රකාශ කරනවා ඒ ජලය ජනතාව සඳහන් කරන කිසිදු ආකාරයක ගැටලුවක් ඇති වෙන්නේ නැති බවට.
මේ අනුව කසළ අංගනය මඟින් ප්‍රදේශවාසි ජනතාවට කුඹුරුවලට ජල මාර්ගවලට භූගත ජලයට කිසිම අහිතකර බලපෑඹක් ඇති වෙන්නේ නැහැ. චන්දන ගුණවර්ධන මහතා පවසයි.
ව්‍යාපෘති කළමනාකරණ ජයවිලාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ ‘අරුවක්කාලු’ කසළ අංගනයට දමන කසළ දැමූ පසු ඒවා අධිපීඩන “ලෑන්ඩ් ෆීල්ඩ් කම්ෆැක්ටර්” උපකරණයක් මඟින් පීඩනයට ලක් කරන බවයි. ඊට පසු එයින් එන අප ජලය හා කසළ අංගනයට ලැබෙන වැසි ජලය පරිසර හිතකාමි ලෙස පිරිපහදු පද්ධතියකට යොමු කරනවා. ඒ පරිපහදුවෙන් පසු එන ජලයේ ප්‍රමිතිය මධ්‍යම පරිසර අධිකාරියේ අනුමත මට්ටමට පවත්වා ගන්නවා.
දිනපතාම ගෙන එන කුණු කසළ අංගනයට දැමීමෙන් පසුව උඩින් ඝනකම පස් ස්තරයක් දමා පසුව ජල පරිවාරක geo textile ආවරණයක් යොදනවා.
ඊට පසු මේ සනීපාරක්ෂක ව්‍යාපෘතිය ප්‍රදේශයේ යම් දුගඳක් හැමීම වැළැක්වීම සඳහා වායුන් උරා ගැනීමේ හා සුවඳවත් කිරීමේ ක්‍රියාදාම ක්‍රියාවට නංවනවා.” ජයවිලාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අනුව මේ සනීපාරක්ෂක ව්‍යාපෘතිය මඟින් කිසිම පරිසර හානියක් නැති බව මහනගර හා බස්නාහිර පළාත් සභා අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ පිළිබඳව අපට අදහස් දැක්වූ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පැවසුවේ මේ පිළිබඳව විරෝධය දක්වන පිරිස ඒ විරෝධය දක්වන්නේ කිසිම විද්‍යානුකූල පදනමක් නොමැති බවයි. ඒ විරෝධතා දේශපාලන විරෝධයක් බවද ඔහු කියයි. මේ කසළ අංගනයේ සිට ගම්මානවලට කිලෝ මීටරයක් පමණ දුර බවද ඔහු කීය.
අරුවක්කාලු කසළ අංගණය ඉදි කරන්නේ ලොව තිබෙන ඉහළ ම විද්‍යාත්මක පරිසර සංරක්ෂණ වැඩ පිළිවෙළකට අනුව කසළ දමන වළට යටින් මීටරයක් විතර ඝනකම ස්වාභාවික හා කෘත්‍රිම ජල පරිවාරක ස්තර 4 - 5 ක් දමනවා. ඒ අනුව භූගත ජලයට කුණු කසළ නිසා බලපෑම් ඇති වෙන්නේ නැහැ. මාධව වෛද්‍යරත්න මහතා කියයි.
මෙම සනීපාරක්ෂක කසළ ව්‍යාපෘතිය ඉදිකිරීමෙන් පසු නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ හා පහත්බිම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමඟ අඛණ්ඩව නඩත්තු කිරීමට අපේක්ෂා කරන බවද මාධව වෛද්‍යරත්න මහතා පැවසීය.
සේයාරූ - චමින්ද නිරෝෂන්