ගුණ පමණක් ඇති අගු ණක් නැති අළුපුහුලේ ඇති වාජීකරණ බලේ | සිළුමිණ

ගුණ පමණක් ඇති අගු ණක් නැති අළුපුහුලේ ඇති වාජීකරණ බලේ

සිරුරේ විස නසන්න අළු පුහුල් යුෂය බොන හැටි

අළු පුහුල් හකුරු සමඟ කෑවොත්...

“පුහුල් හොරා කරෙන් දැනේ” යනු අප හොඳින් දන්නා ප්‍රස්ථා පිරුළකි. ඒ පිරුළට අදාළ ජන කතාවට අනුව නම් එසමයෙහි හොරකම් කරගෙන යන්නට තරම් වටිනාකමක් “පුහුල්” හෙවත් “අළු පුහුල්” වෙත තිබී ඇත. නමුත් අද දවස වන විට ඉබේ වැවුණොත් මිසෙක අලෙවිය අරමුණු කොට සිදුවන අළු පුහුල් වගාවක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. ඒ අළු පුහුල් වල වැදගත්කම හඳුනන සමාජයක් අද දවසේ නොමැති නිසා මිසෙක අළු පුහුල් සතු ඖෂධීය වැදගත්කම අඩු වීම නිසා නම් නොවේ.

ආයුර්වේදයට අනුව වැල්වල හටගන්නා ගෙඩි අතුරින් කෑමට හොඳම ගෙඩි වර්ගය අළු පුහුල් ලෙස සඳහන්ය. අනුරාධපුර යුගයේ වංසකථා අධ්‍යයනයේදී ආමණ්ඩගාමිණීඅභය රජු රජානුග්‍රහයෙන් සිටවූ වැල් වර්ග අතර පුහුල් වැල් ද වූ බව සඳහන් ය.ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දෙන පරිදි අළුපුහුල් වල විද්‍යාත්මක නාමය Benincasa hispida වන අතර එය ‘CUCURBITACEAE’ කුලයට අයත් ය.

දේශිය වෙදකමේදි පමණක් නොව බටහිර වෙදකමේදිද පුහුල් වල ගුණය ලඝු කොට තකන්නේ නැත. විටමින් බී කාණ්ඩයේ පෝෂණ සංඝටකත්, ප්‍රෝටීන්, විටමින් සී ආදියත් අළුපුහුල්වල තිබේ. මේදය ඉතා අඩුවෙන් පවතින අළුපුහුල් වල සෝඩියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, ආදී ඛනිජත් අඩංගු වේ. ජලය අධික එළවළුවක් වන අළුපුහුල් වල ග්‍රෑම් 100ක ශක්තිය ඇත්තේ කැලරි 10ක් පමණි. ශාකමය ආහාර ගන්නන් අතර ප්‍රචලිත අළු පුහුල් රසම් සහ සුප් ආදිය සැකසීමටත් බහුලව යොදාගනී.

කෘතිම ආහාර නිසා ශරිරයේ තැන්පත් වන විෂ කොටස් ද, රසදිය, හොඬොල, නියඟලා සහ ඊයම් වැනි ආහාර වර්ග ශරිර ගත වීම නිසා අතිවන විෂ තත්වයන්ද සමනය කර සිරුර සුවපත් කිරීමේ විස්මිත ගුණ අළු පුහුල් සතුය. හොදින් පැසුණූ අළු පුහුල් ගෙඩියක මදය සිහින්ව ගාගෙන, එය මිරිකා යුෂ ලබාගත යුතුය. ඉන්පසු එම යුෂ කෝප්ප භාගයකට සීනි සහ එළඟි තෙල් ස්වල්පය බැඟින් මිශ්‍ර කර පානය කළ යුතුය.මෙසේ සතියක් පමණ සිදු කිරීමෙන් ශරිරයේ පවතින සියලු විෂ කොටස් ඉන් බැහැර කළ හැකිය. බාල මහලු සහ වැඩිහිටි යන ඕනෑම වයසක අයෙකුට මෙය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.

මත්ද්‍රව්‍ය විසවිමකදී අළු පුහුල් යුෂ බොන්නට දීම ගැමි සමාජයේ තවමත් දක්නට ලැබෙන අත් බෙහෙතකි. ආයුර්වේදීය විග්‍රහයට අනුව රසයෙන් මධුරය. ලඝු, ස්නිග්ධ, බෘංහල සහ ශීත ගුණයෙන් යුතුය. ශීත වීර්යෙන් යුතුය. මධුර විපාකයෙන් යුතුය. මේජ්‍යය ප්‍රභාවෙන් යුතුය. මේ සියලු ගුණයන් සලකා බලා ආයුර්වේදයේදී සහ දේශිය වෙදකමේදී ප්‍රතිකාර සඳහා අළු පුහුල් සහ ඒ ආශ්‍රිත පංචාංගය යොදාගනී.

අළු පුහුල් ව්‍යාංජනය කෑමෙන් ශරීරයේ සියලු දෝෂ සමනය වන බවට මතයක් ගැමියන් තුළ තිබේ. ඒ නිසා අළුපුහුල් කෙරෙහි නගරබද වාසින්ගේ එතරම් රුචිකත්වයක් හඳුනාගත නොහැකි වුවද ගම්බද ප්‍රදේශ වල තවමත් අළුපුහුල් එළවළුවක් ලෙස භාවිතයට ගනී. වට්ටක්කා, කැකිරි වැනි එළවළු පිසින ආකාරයට සමාන ලෙස අළු පුහුල් විධි කිහිපයකට පිස ආහාරයට ගත හැකිය. ජනප්‍රියම ක්‍රමය වන්නේ ඇට සහිත මදය සහ පොතු ඉවත් කරගත් අළුපුහුල් කැබලි කපා, මිරිස්, කහ සහ තුනපහ අතගාගෙන වතුර නොදමා තැම්බෙන්නට හැරීමයි. ඉන්පසු සුදුසු කුළුබඩු වර්ග,පොල් සහ රතු හාල් ස්වල්පයක් එක්කර අඹරා සකස් කරගත් තලපයක් සහ මිටි කිරි මිශ්‍ර කර නටන තුරු තම්බා ගත යුතුය.

අළු පුහුල් පිසීමේදී ගම්මිරිස් කුඩු හෝ එනසාල් භාවිතා කිරීම මඟින් එහි ප්‍රියජනක භාවය වැඩි කරගත හැකිය. කුඩා ළමයින් සේම වැඩිහිටියන්ද එකසේ කැමැති “පුහුල් දෝසි’ සෑදීම සඳහාද අළු පුහුල් යොදාගනී.

ශාන්තිකර්මයක් හෝ ප්‍රේත දෝෂ ඉවත් කිරීමක්, බන්ධන කැපීමක් සහ විණ කැපීම් වැනි ගුප්තවිද්‍යා කටයුතු වලදීද අළු පුහුල් සංකේතාත්මක කාර්යයන් සඳහා යොදාගනී. එහි ඇති සියලු දෝෂ නිවාරණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ගොඩ නැඟී ඇති ජන සම්මතය ඒ සඳහා බලපා ඇත. වාජීකරණ ඔසුවක් ලෙසද අළු පුහුල් වැදගත් කාර්යයක් ඉටු කරයි. පිරිමි මඳසරුභව සඳහා ප්‍රතිකාරයන් වලදී අළු පුහුල් අනිවාර්යයෙන් භාවිතා කෙරේ. අළු පුහුල් යුෂ නිරන්තරව පානය කරයි නම්, එය පුරුෂ ශක්තිය ඇති කර මෛථුන්‍ය සාර්ථකත්වය උදෙසා ඉවහල් වනු ඇත. කැබලිවලට කපා තම්බන ලද අළු පුහුල් හකුරු සමඟ අනුභව කිරීම මඟින් ගැස්ට්‍රයිටීස් තත්වයන් සමනය කිරීමේ හැකියාව ලැබේ. අළු පුහුල් මදය ඇඟේ තැවරීමෙන් සමට සිසිලස ලබා සම ප්‍රකෘතිමත් කරන්නට හැකියාව ඇත. බාහිරව සමට ඇතිවන පිලිස්සුම් තත්වයන් වලදී ක්ෂණිකව යොදාගත හැකි අත්බෙහෙතක් ලෙස අළුපුහුල් පත්‍ර වල යුෂ භාවිතා කළ හැකිය. එසේම ශරීරයේ අභ්‍යන්තර දාහය දුරැලීම පිණිස අළුපුහුල් යොදාගත හැකිය. හොඳින් ගාගෙන මිරිකාගත් අළු පුහුල් යුෂ කෝප්පයකට පෙරුම්කායන් ස්වල්පයක් සහ යවකාර ලුණු ස්වල්පයක් එක් කර පානය කිරීමෙන් ශරිර අභ්‍යන්තර දාහයන් සමනය කරගන්නට පුළුවන. අතිතයේ ගිනි මද්දහනේ හේන් කුඹුරුවල වැඩ කළ ගොවීන් සිය ශරීරයේ විජලන තත්වයන් වළක්වා ගැනීමට අළු පුහුල් යුෂ පානයක් ලෙස භාවිතා කොට තිබේ.

නාසයෙන් රුධිරය පිටවීම, අර්ශස් රෝගය සහ කාන්තාවන්ගේ සීමා රහිත වූ අධික මාස් ශුද්ධිය වැනි රෝගවලදී අළු පුහුල්වලින් සෑදූ ශීත කසාය ඉතාම අගනා හෙළ ඔසුවකි. තනිව ඕනැම අයෙකුට සකසා ගත හැකි අළුපුහුල් ශීත කසායේ ක්‍රමවේදය මෙලෙසය. රාත්‍රියේ ගාගත් අළුපුහුල් මද වලට කොත්තමල්ලී කුඩු, වැල්මී කුඩු සහ සුදු හඳුන් කුඩු එක්කර, භාජනයක දමා වසා රැයක් පහන් වනතුරු පින්නේ තැබිය යුතුය. උදැසනින්ම ඒ මිශ්‍රණය මිරිකා යුෂ පමණක් ගෙන පානය කළ යුතුය.

අතීතයේදී පණු රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස අළුපුහුල් ඇට භාවිතා කොට තිබේ. වියළාගත් අළු පුහුල් ඇට කුඩු කොට ව්‍යාංජන වලට යෙදීමෙන් පටි පණු රෝගය ඇතුළු බොහෝ පණු රෝග අවස්ථා සඳහා ගුණදායකය. ඒ නැතත් අළු පුහුල් ඇට සියුම්ව කුඩු කර එයට සීනි සහ එළඟි තෙල් දමා බොන්නට දීමෙන්ද පණු රෝග සමනය කළ හැකිය. යුනානි වෙදකමේදී අළුපුහුල් ඇටවලින් සිඳ ගන්නා ශිර්ෂ තෛලයක් ගැන සඳහන් වේ.

අපිරිසුදු වාතය ආඝ්‍රාණය කිරීම නිසාත්, දුම්පානය නිසාත්, ඇදුම වැනි රෝගී තත්වයන් නිසාත් පෙණහලු දුර්වල වේ. මේ දුර්වල වූ පෙණහලු ශක්තිමත් කිරිම සඳහා අළු පුහුල් භාවිතා කළ හැකිය. එසේම වකුගඩුවල රුධිර පෙරන ක්‍රියාවලිය නිවැරදි කර වකුගඩු ශක්තිමත් කිරිමේ හැකියාවද පුහුල් සතුව පවතී. එසේම ශරීරයේ කෘෂ බව නිසා පීඩා විඳන්නන්ටද ප්‍රසිද්ධ ප්‍රතිකාරයක් අළු පුහුල් වලින් නිපදවා ගත හැකිය. කුෂ්මාණ්ඩලේහය, කුෂ්මාණ්ඩශ්‍රැතය ඒ අතරින් ප්‍රධානය.

පුහුල් බස්නය යනු දේශිය වෙදකමේ ජනප්‍රිය ඔසුවකි. ඒ සඳහා පළමුව ලොකු පුහුල් ගෙඩියක් ගෙන ඉහළින් ඇස්ස කපා පුහුලට හානියක් නොකර මදේ ඉවත් කර ලොකු කුහරයක් සාදාගනී. ඉන්පසු ඒ පුහුලේ කුහරයට ඉඟුරු ඉස්ම, දෙහි ඇඹුල් ඉස්ම, පොල් පැණි සහ කිතුල් පැණි සමානව (බෝතල් භාගය බැගින් පමණ)එක් කරයි. අනතුරුව යකඩ කුඩු හෙවත් ලෞහ භෂ්ම කුඩා ප්‍රමාණයක් ඒ තුළට දමා ඇස්ස නැවතත් තිබූ පරිදිම වසා දමයි. ඉන් පසුව එය විවෘත නොවන පරිදි දවස් 3ක් ලිප ළඟ තබා, සිවුවන දිනයේදී එම ද්‍රාවණය හොඳින් පෙරා වරකට මේස හැඳි එක බැගින් දිනකට මේස හැඳි 2ක් පානය කිරිමට නිර්දේශ කරයි. මෙම පුහුල් බස්නය රක්ත හිනතාවය සහ කෘශ බව සඳහා වෛද්‍ය ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කෙරේ.

ශරීරය දුර්වල කුඩා දරුවන්ට නිතර අළුපුහුල් කන්නට දෙන්නේ නම් ඔවුන්ගේ ශරීර ශක්තිය වැඩී පුෂ්ටිමත් වේ. රුධිරය හිඟ දරුවන්ට සහ වැඩිහිටියන්ටත් පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නන්ටත් අළු පුහුල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. වට්ටක්කා දලු ව්‍යාංජනය සකසාගන්නා අකාරයටම අළු පුහුල් දලු ව්‍යාංජනය සකසා ගත හැකිය. කොස් ඇට කිහිපයක් තළා දමන්නේ නම් එය වඩාත් රසවත් කරගත හැකිය. අර්ශස් වැනි රෝග තත්වයන් පවතින අයට අළු පුහුල් දලු ව්‍යාංජනය වඩාත් ගුණදායකය.

අළුපුහුල් මද ඉස්මත්, අළු පුහල් ඇට චූර්ණයත් දේශිය වෙදකමේදී මුත්‍ර රෝග සඳහා ප්‍රතිකාර ලෙස භාවිතා කරයි. මුත්‍ර දාහය, මුත්‍රා ගල්, වකුගඩු ආශ්‍රිත දෝෂ සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලෙස මේවා නිර්දේශ කෙරේ. රස වෙදකමේදී රසදිය වැනි ලෝහමය ඖෂධ වල විෂ මැරීම සඳහා අළු පුහුල් යුෂ යොදාගනී. දේශිය චිකිත්සාවෙහි ක්ෂාර වර්ග නිෂ්පාදනයේදී අළුපුහුල් වැල් යොදාගනී.

හදවත් රෝගීන් සඳහාද අළු පුහුල් යෝග්‍ය වේ. පිත් දෝෂය නිසා හටගන්නා උණ තත්වයන් සඳහාද, වෛරස් රෝග ඇති වීමෙන් පසු ශරීරයේ රැඳි තිබෙන වෛරස් ඉවත් කිරීම සඳහාද අළු පුහුල් යොදාගත හැකිය. අළු පුහුල්වල තන්තු ස්වභාවය වැඩි නිසා මලබද්ධය වැළැක්විමේ හැකියාවක් අළු පුහුල් සතුය. එනිසාම අර්ශස් ප්‍රතිකාරයන්ට සමගාමීව ආහාර පරිපූරකයක් ලෙස ද අළු පුහුල් භාවිතා කළ හැකිය.

අද කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා බොහෝ දෙනා තම කාර්යබහුල ජීවන රටාවේදී ආහාරයට ගන්නා කෙටි කෑම සහ ක්ෂණික කෑමවලින් නිසි පෝෂණය තම තමන්ගේ ශරීරයට ලබාගන්නට අසමත් වෙති. මේ නිසා ඇති වන මන්දපෝෂණ තත්වයන් නිසා දරුවන් නිසියාකාරව නොවැඩෙන අතර, වැඩිහිටියන් ඉක්මනින්ම රෝග තත්වයන්ට මුහුණ දේ. මේ තත්වයන් සමඟ දාමයක් සේ එකිනෙක බැඳෙන රෝගයන් ගණනාවකට ප්‍රතිකාරයක් සහ ආහාරයක් ලෙස අළු පුහුල්වලට කළ හැකි විස්මිත දේ බොහෝය.

ඒ නිසා අපේ දෛනික ආහාර වේල් තුනෙන් දෙකක්වත් නිවසේදි පිළියෙල කරගන්නා තැනට අපි ආකල්පමය වශයෙන් හුරුවක් ඇති කර ගත යුතුය. ඒ ආහාර වේල් දෙක හැකි තරම් දේශිය එළවළු සහ පලතුරුවලින් සමන්විත විය යුතුය. ඒ අතරට සතියට දෙවරක් වත් අළුපුහුල් ආහාරයට යොදා ගන්නේ නම් අපට බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා වී නිරෝගිමත් සිරුරක් සහ යහපත් මානසිකත්වයක් ගොඩනඟා ගත හැකි ය.

Comments