දෙවිවරුන් බඳු ගුරුවරුන් සෙවනේ රටක් දිනූ වයඹ හපන්නු | සිළුමිණ

දෙවිවරුන් බඳු ගුරුවරුන් සෙවනේ රටක් දිනූ වයඹ හපන්නු

  • හැමදාම පාරෙ වන අලි
  • ශිෂ්‍යත්වය දවස්වල ගම්වල දරුවන්ට බොන්නවත් වතුර නෑ

‍ෙම් දිනවල වැඩිපුරම කතා බහවන මාතෘකා අතර “5 වසර ශිෂ්‍යත්ව” විභාගයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එය වඩාත් කතා බහට ලක්වන්නේ අති දුෂ්කර ප්‍රදේශවල දරුවන් ලබන ජයග්‍රහණ තුළ ඔවුන් ගේ අනාගත සිහින බොහොමයක් සැඟව තිබෙන බැවිනි. විභාග සමත් වීම අමාරු කාර්යයකි. විභාග සමත් වී වාර්තා තැබීම ඊටත් වඩා අසීරු කාර්යයකි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත අධ්‍යාපන මිනුම් හා ඇගයීම් ක්ෂේත්‍රයේ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදය වන ස්ටැනයින් පරිමාණය අනුව සකස් කරන ලද පාසල් සාධක දර්ශකය අනුව ඉහළ ම දර්ශක සහිත පාසල් 40 ක් නම් කර තිබේ. වසර හතරක් තිස්සේ ‍නොකඩවා එහි පළමු පාසල් 10 අතරට එකම කලාපයක පාසල් 5 ක් ඇතුළත් වීම පුදුම සහගත කරුණකි. ඒ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‘මහව’ අධ්‍යාපන කලාපය යි. මහව අධ්‍යාපන කලාපය කොට්ඨාස හතරකින් සමන්විතය. මෙම සුවිශේෂ ජයග්‍රහණයට උරුමකම් කී පාසල් අයත් වන්නේ මහව, ගල්ගමුව කොට්ඨාසවලටය.

ස්ටැනයින් පරිමාණ දර්ශකයට අනුව දිවයිනේ දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයයි. තුන්වන ස්ථානයේ පාසල් තුනක් පවතින අතර ගල්ගමුව ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලය ද ඒ අතර වෙයි. හයවන ස්ථානයේ පාසල් 4 ක් පවතින අතර, එයින් පාසල් දෙකක් ම මහව අධ්‍යාපන කලාපයේය. ඒ අඹන්පොළ සර් හෙන්රි ඕල්කට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ මහව වලස්වැව ගුණපාල මලලසේකර කනිෂ්ඨ විද්‍යාලයයි. දසවන ස්ථානයේ පාසල් 7ක් පවතින අතර මහව, දළදාගම ප්‍රාථමික විද්‍යාලය ඒ අතර වෙයි.

මහව අධ්‍යාපන කලාපය දුෂ්කර පාසල්වලින් හෙබි අධ්‍යාපන කලාපයකි. මෙම ජයග්‍රහණ සඳහා උරුමකම් කී පාසල් පොදුවේ අලි කරදරවලට මුහුණ දෙන, වසර 4ක් තිස්සේ නියඟයෙන් පීඩා විඳිමින් උග්‍ර ජල හිඟයකට, ඇතුළු දුෂ්කරතා රැසකට මුහුණ දුන් ප්‍රදේශයක පාසල්වීම සුවිශේෂ කරුණකි.

දහසක් දුෂ්කරතා, බාධක, දුක්කම්කටොලු අබියස ජයග්‍රහණයේ මාවත හෙළි පෙහෙළි කරගත් ඔවුන් සොයා යාම, අපි කාගේත් යුතුකමක් කොට සැලකුවෙමු.

ගල්ගමුව නගරයේ සිට ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක් යන විට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය හමුවෙයි. වන අලින්ගෙන් සිදුවන කරදරවලින් ගැලවීමට පාසල වටා ඉදිකර තිබෙන අලි වැටකි. 2017 වර්ෂයේ දිවයිනේ තුන්වන ස්ථානයට පැමිණි මෙම පාසල මෙවර දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.

මෙවර මෙම විදුහලෙන් සිසුන් 102ක් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිය අතර ඉන් 51 ක් දෙනෙක් කඩඉම් ලකුණ පසුකර සිටිති. ලකුණු සියයට අඩු සිසුන් දෙදෙනකු හැරුණ කොට ඉතිරි සිසුහු සියලු දෙනා ම ලකුණු 131 ට වඩා ගත්හ. ලකුණු සියයට අඩු සිසුහු දෙදෙනා වුවද ලකුණු 70 සීමාව ඉක්මවා ලකුණු 98, 81 ලෙස ලබාගෙන සිටිති.

ලකුණු 190 ක් ලබා ගත් ඩබ්.ඒ. අහිංසා නිර්මාණි ජයලත් සිසුවිය ‍මෙසේ තම අදහස් පළකළාය.

“මම ලකුණු 190 ක් ලබා ගත්තේ පාසලේ ගුරුවරුන්ගේ උදව්වෙන්මයි. මම අමතර පන්ති ගියෙ නෑ. කුමන බාධක ආවත් ජයග්‍රහණය සඳහා අරමුණු සහිතව කටයුතු කරන්න කියලා විදුහල්පතිතුමාත්, ගුරුවරුත් නිතරම අපිට කීවා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම. මම ඒ ඉලක්කයත් කෙසේ හෝ ජයගන්නවා.”

එම විදුහලේ නියමුවාණන් වන විදුහල්පති ව.මු. වරුණ බණ්ඩාර මහතා පැවසුවේ මෙවැන්නකි.

“මේ ජයග්‍රහණය ලබන‍්නේ සාමූහික ප්‍රයත්නයකින්. ගුරුවරු, සිසුන්, මවුපියන් ඇතුළු සියලුම පාසල් ප්‍රජාව මේ සඳහා විවිධ අයුරින් දායක වුණා. බොහෝ ප්‍රාථමික පාසල්වල විදුහල්පතිවරුන් පන්තිකාමර ඉගැන්වීම් කටයුතුවල නිරත වෙනවා. නමුත් මම කළේ විදුහල්පති ලෙස ඒ සියලු කාර්යයන් මෙහෙයවපු එක පමණයි.

අපේ පාසල 2007 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුණා. 2016 වසරේ දිවයිනේ 4 වන ස්ථානයටත්, 2017 වසරේ දිවයිනේ 03 වන ස්ථානයටත්, මෙම වසරේ 2 වන ස්ථානයත් ලබා ගත්තා. මේ ජයග්‍රහණ ඉබේ ලැබුණ ඒවා නෙමේ. අනන්ත දුක් පීඩා බාධක මැදින් ලැබූ ජයග්‍රහණ. අපි සාමූහිකව එක් වී නැවතත් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමේ අරමුණ වෙත දිනෙන් දින ඉලක්ක ගත වෙමින් සිටිනවා. කොට්ඨාස කාර්යාලයෙන් හා කලාප කාර්යාලයෙන් ලැබුණ සහයෝගයත් මේ අවස්ථාවේ මතක් කර සිටිනවා.”

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව දිවයිනේ තෙවැනි ස්ථානය ලබා ගත්තේ ව/ම/ගල් ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයයි. එම පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් පිරිස 129 කි. එයින් සිසුන් 53 දෙනෙක් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ පසු කර ඇති අතර ලකුණු 100ට අඩු සිසුන් සංඛ්‍යාව 04කි.

මෙම විදුහලේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 191ක් ලබාගත් එච්.එම්. හිරුන් සංකල්ප හේරත් සිසුවා මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

“මම පන්ති ගියේ ඉංග්‍රිසි විෂයට විතරයි. වෙනත් අමතර ශිෂ්‍යත්ව පන්තිවලට සහභාගි වුණේ නෑ. පාසලේ ගුරුවරු දෙන වැඩ ඒ විදිහටම, එදිනම කළා. මම ඉස්කෝලෙට එද්දි හැමදාම වල් අලි හමුවෙනවා. එතකොට නම් පුදුම බයක් දැනෙන්නේ. ශිෂ්‍යත්වෙට මහන්සිවෙන දවස්වල අපිට හරියට බොන්නවත් වතුර තිබුණේ නෑ.” ඒ දරුපැටවුන්ගේ ජයග්‍රහණ වඩාත් වටින්නේ ඒ ජීවිත කටුකත්වයට ඔවුන්ව යට කරන්න ඉඩ දී නැති නිසාය.

විදුහල්පති වන එච්.එම්. ජයන්ත ගුණතිලක මහතා පැවසුවේ මෙවැන්නකි.

“ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න දරුවන්ගේ අම්මලා බොහොමයක් විදෙස්ගත වෙලා. කිරිඅම්මා, කිරිඅත්තා ළඟ ඉඳලා තමයි පාසල් ආවේ. ඒ නිසා මටත්, ගුරුමණ්ඩලේ අයටත් ඔවුන් වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරන්නට සිදුවුණා. අපේ පාසල 2016 වර්ෂයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතරින් 5 වන ස්ථානය ලබා ගත්තා. 2017 වර්ෂයේ 8 වන ස්ථානය ලැබුණා. වසර ගණනාවක් තිස්සෙ අපි හොඳම පාසල් 40 ඇතුළෙ ඉන්නවා. එයත් ලොකු ජයග්‍රහණයක්. අපේ පාසල්වල ඉන්නෙ අන්ත අසරණ, දුක් පීඩා විඳින සිසුන්. ඔවුන්ට අධ්‍යාපනය හැර වෙන මඟක් නෑ අනාගතය ජයගන්න. ගුරුවරු විදිහට අපි අපේ යුතුකම ඉටු කළා.”

දිවයිනේ 6 වන ස්ථානය ලැබූ පාසල් 2 ක්ම මහව අධ්‍යාපන කලාපයේ ය. ඉන් එක් පාසලක් වන්නේ අඹන්පොළ සර් හෙන්රි ඕල්කට් ප්‍රාථමික විද්‍යාලයයි.

මේ විදුහලේ සිසුන් 60ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර ඉන් 25 දෙනෙක් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ පසු කළහ. ලකුණු 180 ට වැඩි සිසුන් 9කි. ලකුණු 100ට අඩු එක් සිසුවෙකි. ලකුණු 160 - 167 ත් අතර සිසුන් 13 දෙනෙකි.

එම විදුහලේ ලකුණු 188 ක් ලබා ගත් එච්. රංගනා පසින්දි සිසුවිය මෙසේ තම අදහස් ඉදිරිපත් කළාය.

“ඉතාම හොඳ වැඩපිළිවෙළකුත් එක්ක අපි ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කෙරෙව්වේ විදුහල්පතිතුමාත්, ගුරු මණ්ඩලයත් එකතු වෙලා. අපි ඔවුන්ගේ උපදෙස් ඒ විදිහටම පිළිපැද්දා. මම අනාගතයේ වෛද්‍යවරියක් වෙන්න ආසාවෙන් ඉන්නවා.”

එම විදුහලේ විදුහල්පති ධම්මික සමන්ත හේරත් මහතා මෙසේ පැවසුවේය.

“අපි 2016 ව‍සරේ දිවයිනේ හොඳම පාසල් 10 අතරෙ සිටියා. 2017 වර්ෂයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. 2010, 2012, 2013 වසරවල පැනසර තක්සලාව රජත සම්මානයෙන් පිදුම් ලැබුවෙත් අපේ පාසල. මේ සියලු ජයග්‍රහණ සඳහා සාමූහික කැප කිරීම මූලික වුණා. අපේ පාසල පිහිටලා තියෙන්නෙ දුෂ්කර ප්‍රදේශයක. බාධා අපමණ තිබුණත්, අපි ඉලක්කය වෙත ගමන් කළා. මේ අහිංසක, දරුවන්ට අධ්‍යාපනය හැර වෙන මඟක් නැහැ.

දිවයිනේ 6 වන ස්ථානයේ පසුවන මහව අධ්‍යාපන කලාපයේ ම අනෙක් පාසල වන්නේ වලස්වැව ගුණපාල මලලසේකර කනිෂ්ඨ විද්‍යාලයයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් 89 න් 37 දෙනෙක් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ පසුකර සිටිති. ලකුණු සියයට අඩු සිසුන් එක් අයෙකි. ගියවර 38% ක් වූ ප්‍රතිඵලය මෙවර 41.05% දක්වා වැඩි වී ඇත.

ලකුණු 187ක් ලබාගත් ඒ.බී. සෙනුරි සුබෝධිකා මෙලෙස පැවසුවාය.

“යාළුවො ගොඩදෙනෙක් ශිෂ්‍යත්වය සමත් නිසා හරිම සතුටුයි. ගුරුවරු, විදුහල්පතිතුමා අපිට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන්නා. මවුපියන් උදවු කළා. රාත්‍රී කඳවුරු පැවැත්වුණි. දුර්වල යාළුවන්ට ගුරුවරු වෙනම පන්ති දාලා ඉගැන්නුවා. අපි බාහිර වැඩත් කළා. ඉගෙනගන්න වෙලාවට ඒක හරියටම කළා.

විදුහලේ විදුහල්පති වන ඩී.එම්. ජයන්ත දිසානායක මහතා අනාගත ඉලක්ක ඇතුළු බොහෝ කාරණා පිළිබඳ අපූරු අදහසක් ඉදිරිපත් කළේය.

“ගියවර ශිෂ්‍යත්වය සමත් වූ සිසුන් ජනප්‍රිය පාසල්වලට නොයා අපේ පාසලේ ම අධ්‍යාපන කටයුතු සඳහා යොමු වුණා. ඔවුන් මේ පාසලේ විදුහල්පති තුමා සහ ගුරුවරු පිළිබඳ පුදුම විශ්වාසයකින් පසුවෙනවා. ගියවර ශිෂ්‍යත්වය ලියූ දරුවෝ 2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ ලියනවා. එම වසරේදී ඒ නවය සාමාර්ථ 40 ක් ලබාගෙන වාර්තාවක් තියන්න අපි දැන්ම සූදානම් වෙනවා. මෙවර ශිෂ්‍යත්වය සමත් වූ සිසුන් අතරින් ජනප්‍රිය පාසල් වෙත යන්නේ සිසුන් හතර දෙනෙක් පමණයි. අනෙක් සිසුන් මේ පාසලේ ම රැඳී සිටිනවා. ඒ අනුව 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ ඒ නවය සාමාර්ථ 50 ක් ලබා ගැනීමේ අරමුණ වෙත අපි දැන්ම ඉලක්ක ගත වෙනවා. අපේ කිසිදු බලපෑමකින් තොරව සිය කැමැත්තෙන්මයි දරුවන් මේ පාසලේ රැඳී සිටින්නේ.”

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතරින් දිවයිනේ 10 වන ස්ථානය දිනා ගැනීමට මහව දළදාගම ප්‍රාථමික විද්‍යාලය සමත් විය. මෙම විද්‍යාලය 2014 වර්ෂයේ දිවයිනේ තුන්වන ස්ථානය ලබා ගත් පාසලයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 125 න් 53ක් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ පසු කළහ. ලකුණු 180ට වැඩි සිසුන් 16 දෙනෙකි. ලකුණු 170 - 180 සීමාවේ සිසුන් 35කි. ලකුණු 100ට අඩු සිසුන් 4 කි. ඔවුන් ලකුණු 70ට වැඩි ලකුණක් ලබාගෙන ඇත.

ලකුණු 191 ක් ලබාගත් ආර්.එම්.බී. උදාරා සෙත්මිණි රත්නායක සිසුවිය මෙසේ අදහස් පළකළාය.

“අපි ඉගෙන ගත්තෙ ඉතාම සැහැල්ලුවෙන්. විදුහල්පතිතුමා, ගුරුවරු සියලු දෙනා ම අපිට උදව් කළා. මම අනාගතයේ වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා.”

පාසලේ විදුහල්පති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා මෙසේ පැවසුවේය.

“මේ ජයග්‍රහණය ලබන්න ගුරුවරුන්, මවුපියන්, සිසුන් සියලු දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළා. අපි රාත්‍රී පන්ති පැවැත්වූවේ නෑ. නමුත් හැමදාම හවස 4.30 වනතු‍රු වැඩ කළා. විවිධ සම්මන්ත්‍රණ පැවැත්වූවා. ශිෂ්‍යත්ව විභාගයට මාස 3ට පෙර කළ පරීක්ෂණයක දී ලකුණු 100ට අඩු ළමයි 12ක් හිටියා. නමුත් අපි ප්‍රතිපෝෂණ වැඩසටහන් මඟින් ඒ ළමයි ඉදිරියට ගෙනාවා.”

මහව අධ්‍යාපන කලාපයේ ඉහළ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වෙනුවෙන් ගුරුවරු මෙහෙයවන ගල්ගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.ඒ.එච්.එම්.එස්. බංඩාර මහතා දිගු කාලීනව ලබා ගන්නා ජයග්‍රහණ පිළිබඳ මෙසේ හඬ අවදි කළේය.

“මේක වන්නියේ දුෂ්කර දරුවන්ගේ අයිතියක්. විදුහල්පතිවරුන්ගේ, ක්‍රියාකාරි ගුරුභවතුන්ගේ පරමාදර්ශි ගුරු භූමිකාව තමයි මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ප්‍රදර්ශනය වෙන්නෙ. විදුහල්පතිවරුන්ගේ සැලසුම්වලට අනුව ගුරුවරුන් උපරිම කැපවීමෙන් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ගල්ගමුවේ කදුරුවැව දුෂ්කර පාසලත් මෙවර ඉදිරිපත්වූ සිසුන් දහයෙන් හයක් සමත් කළා. අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරු උපදේශකවරුන් සෑම පාසලකටම ගිහින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කළා. කොට්ඨාස, කලාප මේ හැම අංශයක ම ඒකාබද්ධ ක්‍රියාකාරිත්වය තුළ ලැබූ ජයක් මේක. මේ ජය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඉදිරියටත් සහනදායි වැඩ සැලැස්මක් කලාපය පුරාවටම ක්‍රියාත්මක කරනවා.”

මහව අධ්‍යාපන කලාපයේ නියමුවාණන් වන අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්. අරුණ ශාන්ත මහතාගෙන් අපි විමසා සිටියේ මේ ජයග්‍රහණය සඳහා ඔහු‍ෙග් දායකත්වය කෙබඳු ද? යන්නයි. ඔහු සියල්ල මෙසේ පැහැදිලි කළේය.

“2017 මහව කලාපයෙන් දිවයිනේ පළමු පාසලත්, 2018 වර්ෂයේ දී පළමු, දෙවන, තෙවන පාසලත් බිහි කිරීමට හැකි වුණා. මෙවර පළමු, දෙවන, තෙවන වනවාට වඩා වෙනස් වූ ඉලක්ක තමයි අපිට තිබුණේ. ඉන් එකක් තමයි දෙවන පෙළ පාසල් සංඛ්‍යාවක් බිහි කිරීම. ගමේ දුෂ්කර ම පාසල පවා සිසුන් කීප දෙනෙක් සමත් කරමින් ඒ අරමුණට ළඟා වුණා.

අනෙක් ඉලක්කය තමයි දිවයිනේ පළමු පාසල් 10 අතරට අපේ වැඩි පාසල් සංඛ්‍යාවක් ඇතුළත් කර ගැනීම. එයත් ඉටු වුණා. අනෙක තමයි වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් බිහි කිරීම හා 70 ට වැඩි ලකුණු ලබා ගන්නා පිරිස වැඩි කිරීම. මෙවර ඒ සියලු අරමුණු මහව කලාපය ඉටුකරගෙන තිබෙනවා.

‍ෙම් සඳහා ප්‍රාථමික ගුරු හිඟය පියවමින් ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනය කර ඉලක්ක ලබා දුන්නා. ගුරුවරුන් ගේ සුවිශේෂ දක්ෂතා හඳුනාගෙන ඒ අවට පාසල්වලට ඒ අයගේ සහයත් ලබා දුන්නා. නිරන්තර සොයා බැලීම් කළා. ගුරුවරු හා දරුවන් නිරන්තර ඇගයීමට ලක් කළා.”

 

Comments