මාවනැල්ල දේශපාලකයාගේ ඇඳ යටින් මතු වුණු පාතාලයේ අවි ගබඩාව | Page 2 | සිළුමිණ

මාවනැල්ල දේශපාලකයාගේ ඇඳ යටින් මතු වුණු පාතාලයේ අවි ගබඩාව

පසුගිය දින ගණනාවක සිටම කෑගල්ල, මාවනැල්ල, අරණායක පෙදෙස්වල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගිනිඅවි කීපයක් ලබාගැනීමට පැමිණ ඒ අවට පෙදෙස්වල සැරිසරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට තොරතුරක් ලැබී තිබිණි. එම තොරතුර පිළිබඳව පොලිස්පතිතුමාද දැනුවත් කෙරිණි. අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් විසින් හෝඩුවාව ගැන සොයා බැලීමට කණ්ඩායමක් තෝරා ගත්තේය. කණ්ඩායම සමන්විත වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි තොරතුරු කොට්ඨාසයේ සේවය කරන බුද්ධි තොරතුරු හඹා යෑමේ උපන් හැකියාවක් සහිත නිලධාරී කණ්ඩායමක් වෙතය. එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් පසුගිය දින කීපය පුරාම විශ්වසනීය තොරතුරක් සොයමින් කෑගල්ල පුරා සැරිසැරුයේය. ඊට කෑගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ගෙන්ද ලැබුණේ නොමඳ සහායකි.

දින කීපය පුරාම රැස් කරගත් තොරතුරු අනුව බුද්ධි නිලධාරීන්ට පාතාල සාමාජිකයන් යනෙ'න නිවෙසක් වූ කෑගල්ලේ, ඈෂ්ලී පීරිස් මාවතේ අංක 11 දරන නිවෙස ගැන තොරතුරක් ලැබිණි. කණ්ඩායම පසුගිය 18 වැනිදා පෙරවරු අටට පමණ එම නිවෙස වටලනු ලැබුවේය. අනාවරණය වූයේ නිවෙස් හිමිකරුවා සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායක මොහොමඩ් ඉමිතියාස් කාදර් බවය. මේ ඔහුගේ නි‌ෙවසය. මොහොමඩ් ඉම්තියාස් කාදර් වර්තමානයේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකි. නි‌ෙවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගේ ඇස් උඩ ගියේය.

ඩුබායිවලින් අවි එව්වේ කවුරුද?

ඔවුන්ට කාදර්ගේ නි‌ෙවසේ තිබී හමුවන්නේ එම්පී5කේ වර්ගයේ නවීනතම ගිනිඅවියකි. ඊට යොදන ජීව උණ්ඩ 79කි. පත‍රොම් ගැබකි. ඊට අමතරව ටී56 ගිනිඅවියක් ජීව උණ්ඩ 33ක් සමඟ පත‍රොම් ගැබ් දෙකක් සහ නවතම රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 17ක් ඒ අවි අතර විය. එමෙන්ම විවිධ වර්ගයේ ජීව උණ්ඩ රැසක්ම ඔහුගේ නිවෙසින් සොයා ගැනුණි. උල් පිහි කිහිපයක්ද ඒ සමග හමුවිය.

අත්අඩංගුවට ගත් ගිනි අවි අතර විශේෂ අවියක් විය. Heckler & Koch MP-5k හෙවත් එම්පී5කේ නැමැති එම විශේෂ ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කොමාන්ඩෝ බළකාය වැනි ප්‍රභූ ආරක්ෂාවට එක්වන සාමාජිකයන් පමණක් භාවිත කරන විශේෂ මෙහෙයුම්වලට එක් කරගන්නා අතිනවීන ගිනිඅවියක් විය. එම ගිනිඅවිය ඕනෑම මොහොතක ජැකට්ටුවක, කුඩා මල්ලක හෝ සඟවාගෙන යා හැකි කුඩා පන්නයේ ගිනිඅවියකි. මේ ගිනිඅවියේ තිබෙන සුවිශේෂත්වය වනුයේ මෙහි ඉදිරිපස කොටසට විශේෂ උප කරණයක් සවිකොට ශබ්දය පිට නොවන ආකාරයෙන්ද වෙඩි තැබීමට හැකි වීමය. මාතර නිලේඛා ස්වර්ණාභරණ කොල්ලයේදී හමුවූ ගිනිඅවියද මීට සමාන අවියකි. එහෙත් එදින හමුවූ ගිනිඅවිය නියම එම්පී5කේ ගිනිඅවියක් නොවූවත් කාදර්ගේ නිවෙසින් හමුවූ එම්පී5කේ අවිය එම වර්ගයේ සැබෑම ගිනිඅවියක් බව හඳුනා ගැනුණි.

වැටලීම සිදුවන්නේ කාදර්ද නිවෙසේ සිටියදීය. ඔහුගේ නිදන කාමරයේ ඇඳ යට තිබී හමුවූ ගිනිඅවි පිළිබඳව ඔහු පවසා තිබුණේ, තමා විනෝදාංශයක් ලෙස ගිනිඅවි එකතු කරන බවය. එහෙත් ඒ කිසිම ගිනිඅවියකට බලපත්‍ර නොතිබිණි. එම්පී5කේ වැනි ගිනිඅවියක් ඔහුට ලැබුණේ කෙසේදැයි නිලධාරීන් විමසූ විට පවසා තිබුණේ, ඩුබායිවල සිටින යහළුවෙක් මඟින් රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවා මිලදී ගත් බවය. එය ඩුබායිහි සිට නවීන රූපවාහිනියක් තුළ බහා ගෙන්වාගත් බවද කාදර් පවසා තිබිණි. ටී56 ගිනිඅවිය ලැබුණේ හිටපු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ රියැදුරෙකු ලෙස කටයුතු කළ ඔහුගේ යහළුවෙකුගෙන් බවට බුද්ධි නිලධාරීන් ඉදිරියේ කාදර් පාපෝච්චාරණය කළේය.

නීති විරෝධී ගිනි අවි ළඟ තබාගැනීමේ වරදට කාදර් පොලිසියට කොටුවූයේ පළමු වරට නොවේ. මීට වසර කීපයකට පෙරද ඔහු ගිනිඅවි ළඟ තබාගැනීම නිසා පොලිසියට කොටු වුණේය. ඒ සම්බන්ධ නඩුවක් ඇසෙමින් පවතින බව වාර්තා වේ.

47 හැවිරිදි ඉමිතියාස් කාදර් ව්‍යාපාරිකයකු ලෙස කෑගල්ල අවට ප්‍රචලිතය. ඔහුගේ බිරියගේ නමට කෑගල්ල, මාවනැල්ල අවට මත්පැන් අලෙවිසල් කීපයක්ම පවතින බවටද සැලවේ. මොහු ගිනිඅවි විනෝදාංශයක් ලෙස එකතු කරන්නෙක් නම් මෙතරම් ජීව උණ්ඩ ප්‍රමාණයක් ළඟ තබාගත්තේ කුමන හේතුවකටදැයි යන්න ආරක්ෂක අංශවලට පුළුල් සැකයක් මතුව තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායට දින කීපයකට පෙර ලැබුණ තොරතුර වූයේ ගිනිඅවි ලබා ගැනීමට පාතාල සාමාජිකයන් මාවනැල්ලේ සැරිසරන බවය. මේ සාමාජිකයන් කාදර්ගේ නි‌ෙවස අවටත් සැරිසරා ඇති බවටත් තොරතුරු ලැබේ.

මේ තොරතුරු අනුව මොහු පාතාල සාමාජිකයන්ට ගිනිඅවි සපයන්නකු බව පොලිසිය සැක පහළ කරන්නේය. ලැබෙන බුද්ධි තොරතුරු මේ සැකය තහවුරු කරමින් සිටින්නේය. මේ බුද්ධි මෙහෙයුම නොවන්නට කාදර්ගේ ගිනිඅවි තොගය කිසිදු විටෙක හමු නොවනු ඇත.

කාදර්ට එම්පී5කේ ගිනිඅවිය එවා තිබෙනුයේ ඩුබායිහි සිටින අයෙක් බවට ඔහු පවසා තිබේ. මෙරට පාතාල නායකයන් බොහෝ දෙනෙක්ද මේ වන විට සැඟවී සිටිනුයේ ඩුබායිහිය. ඒ අනුව එරට සැඟවී සිටින පාතාල නායකයකු මේ ගිනිඅවිය කාදර් අතට පත්කොට ඔහු හරහා මෙරට පාතාල සාමාජිකයන්ට ලබාදී අපරාධ සිදුකිරීමට තැත් කළාද යන්න ගැනත් පරීක්ෂණ නිලධාරින්ගේ සැකය යොමු වී තිබේ. එසේම කාදර් කිසියම් හෝ ජාතිවාදී කටයුත්තක් සඳහා ගිනිඅවි රැස් කළාද යන්න ගැනත් අවධානය යොමු වී ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රිය, පොලිස් පරීක්ෂක රාජනායක, උපපොලිස් පරීක්ෂක කුමාර සහ කෑගල්ල කඳවුරේ පොලිස් පරීක්ෂක විජිත කුමාර යන නිලධාරීන් විසින් කළ වැටලීමෙන් අත්අඩංගුවට ගත් කාදර් ගැන වැඩිදුර පරීක්ෂණ සඳහා නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ‍බාර දී ඇත. ඔහු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සංවිධානාත්මක අපරාධ ‍කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ විසින් මෙහෙයවනු ලබයි.

පසුගිය සිකුරාදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කාදර් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. පක්ෂ පාට, කුමක් වුවත් මිනිස් ජීවිත විනාශ කිරීමට අවිආයුධ සපයමින් රටම විනාශ කිරීමට තැත් කරන මෙවැනි පුද්ගලයන් පිළිබඳව නීතිය නිසි පරිදි ක්‍රියාත්මකකොට දිය හැකි උපරීම දඬුවම් ලබාදීම වගකිවයුතු පාර්ශ්වවල යුතුකමය.

පාදුක්කේදී කොටු වූ හයිබ්‍රිඩ් සුද්දා!

මේ අතරේ පසුගිය 18 දා අලුයම තවත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ 37 හැවිරිදි සමීර රසාංග ගුණසේකර හෙවත් හයිබ්‍රිඩ් සුද්දා නමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ ‍කොට්ඨාසය සමත් විය. පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා සහ එහි ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කළ වැටලීමකදී හයිබ්‍රිඩ් සුද්දා අත්අඩංගුවට ගැනුණේ පාදුක්ක නැටිඔළුව ප්‍රදේශයේ කුලී නිවෙසක සිටියදීය. රුපියල් මිලියන ගණනක් වටිනා හෙරොයින් තොගයක් සහ නවතම හයිබ්‍රිඩ් වාහන දෙකක්ද ඇතුළු මුදලින් රුපියල් 75000කට අධික මුදලක් සමඟ අත්අඩංගුවට ගත් හයිබ්‍රිඩ් සුද්දා අං‍ගොඩ, හිඹුටාන පදිංචිකරුවෙකි. මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලැකෙන සුද්දා ගිය 2015 ජූලි 31 වැනිදා මැතිවරණ සමයේදී බ්ලුමැන්ඩල්හි පැවැති රැලියකදී වෙඩි තබා කාන්තාවක් සහ තවත් පුද්ගලයකු ඝාතනය කිරීම ඇතුළු එදින තවත් දොළොස් දෙනකුට තුවාල සිදු කිරීමේ ප්‍රධාන සැකකරුවෙක් වේ. ඔහු ඒ වෙනුවෙන් බන්ධනාගාරගතව ඇප මත නිදහස ලබා තිබුණේ මීට ටික දිනකට පෙරය. කාන්තා ඇසුරට ලොල් වූවකු ලෙස ප්‍රකට හයිබ්‍රිඩ් සුද්දාට බිරියන් සතර දෙනකුම සිටි බවට සැල වේ.

ඉකුත් හතර වැනිදා අතුරුගිරිය ඔරුවල ක්‍රීඩාංගණය අසල මයිලංගම මාර්ගයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායම පාතාල සාමාජිකයකු වූ රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා අත්අඩංගුවට ගැනීමට යාමේදී වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලත් බණ්ඩා පසුගිය 18 වැනිදා කොළඹ ජාතික රෝහලේදී මියගියේය.

මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු වන බණ්ඩා 18 වැනිදා බන්ධනාගාර රෝහලේ සිට අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. පසුව පැය හතරකට පමණ පසුව ඔහු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේය. පසුගියදා මියගිය මාකඳුරේ මධුෂ්ගේ පියාණන්ගේ අවමංගල්‍යයේ ප්‍රධාන කාර්යභාරයක් සිදුකළ බණ්ඩාට එරෙහිව අපරාධ ගණනාවක් ගැනම චෝදනා එල්ල වී තිබිණි. ඒ අතරේ ප්‍රධානම චෝදනාවක් වූයේ පසුගියදා මාතර කොල්ලයේදී කොල්ලකරුවන් රැගෙන යෑමට මෝටර් රථය පදවා තිබුණේ බණ්ඩා විසින් බවටයි. ඊට අමතරව බණ්ඩා විසින් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තබා කෝටි ගණනක මුදල් කොල්ලකෑමක් පිළිබඳවද ඔහුට ‍එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. පසුගිය අගෝස්තු මාසයේදී බණ්ඩාරගම, ගම්මන්පිල බණ්ඩාගේ නිවෙසේදී ලැබුණු ඔත්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය දැරු ප්‍රයත්නයකදී බණ්ඩා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඔහු නිවෙසින් පලා ගොස් සිටි හෙයිනි. එහෙත් එම නිවෙසේ තිබී එදින ටී56 ගිනිඅවියක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම අවිය රත්නපුර මැණික් ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සහ තවත් අපරාධ ගණනාවකටම යොදාගත් එකක් බවට පසුව අනාවරණය විය.

Comments