
- 87 යුද්ධයෙන් පස්සෙ මාළු බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ගියා
- ඇය රැකගන්න ඔහු කළ වරදත් එක්ව බෙදාගෙන. දෙදෙනාවම එකට ජීවිතාන්තය දක්වා සිපිරිගෙට.
- විශේෂ සමාවක් ලැබ නිදහස් වන විට දෙදෙනාම වියපත්
- ලංකාවේ අරුලනීගේ සහ තමිල්නාඩුවේ යෝගාගේ අසම සම ෙප්‍ර්මය - චිත්‍රපටයට
- වසර විසිපහකට පසු ඇය ඔහුගෙන් ඇසූ පළමු පැනය “ඔයා කෑවද?”
සෙල්වනායගම් අරුලනීගේ ආදර කතාව වසරකින් නිමාවට පත් වූවත් එය ඉතාම සුන්දර ආදර කතාවකි.
ආදරයෙන් බැඳුණු අරුලනී ආදරයෙන් වෙන් වීමට දැක්වූ අකැමැත්ත නිසාම ඇයට විවිධ බාධක කම්කටොලු රැසකට මුහුණ පාන්නට සුදුවිණි.
නමුත් කාලයාගේ ඇවෑමෙන් පසුව වසර විසි අටක් ඉකුත් වූ තැන යළිත් වරක් මේ දිරිය කාන්තාවට ආදරයේ සතුට පහස විඳින්නට අවස්ථාව උදා විණි.ඒ සැබෑ ආදරය නිසාවෙන්මය.
1965 වසරේ මාර්තු මාසයේ විසිහය වෙනිදා අරුලනී උපත ලබන්නේ යාපනයේ කන්කසන්තුරේ පළාතට නුදුරින් පිහිටි චුන්නාකම් ගම්මානයේදීය.
''මම ඉස්කෝලේ ගියේ ගමේ තිබුණු කලෙයිමගල් රජයේ පාසලටයි. සාමාන්‍ය පෙළ විභාගෙත් පාස් වුණාට පස්සේ මම ආය ඉස්කෝලේ ගියේ නෑ. ගමේම තැනක ඇඳුම් මහන වැඩ කරගෙන හිටියේ. එතැන හොදට දියුණු වුණා. අවසානෙ දී මම කළේ ඇඳුම් කපන එක විතරයි. ළමයි දහයක් දොළහක් දාලා ඇදුම් මැස්සුවා. ඒ අයට කෑලි ගානට ගෙව්වා.
මෙහෙම ඉන්න කොට තමයි 1987 දී යුද්දෙන් අපේ සේරම දේවල් නැති වුණේ. අවසානේ දී තාත්තා තීරණය කළා ඉන්දියාවට යන්න. මන්නාරමට ගිහින් එහෙන් මාළු බෝට්ටුවල ආධාරයෙන් ඉන්දියාවට අපි පැනලා ගියා.
ගිහින් සතියක් විතර යනකල් එහෙදි පුදුම දුකක් වින්දා. හරියට කෑම ලැබුණේ නෑ. ඒත් ටික දවසක් යනකොට අපිට ජීවත් වෙන්න තැනක් ලැබුණා. කෑම බීම ලැබුණා. තාත්තයි අම්මයි පොඩි රස්සාවලුත් කළා.
තමිල්නාඩුවේ මණ්ඩපම් අනාථ කදවුරේ ඉන්න අතරේ මට එහෙ මිතුරියක් එකතු වෙලා හිටියා. ඇගේ නම මධුරී. එයා නිතරම එනවා මාව බලන්න. එයාලට සාමාන්‍ය මට්ටමේ ඇඳුම් කඩයක් තිබුණා තමිල්නාඩු නගරයේම. මම ඒකේ වැඩට ගියා.
දවසක් මට හිතුණා මම යාපනයට වෙලා කරපු ඇඳුම් මහන රස්සාව මෙහෙත් කරන්න පුළුවන් නේද කියලා. මම මේක මධුරිට කිව්වම එයා මුලින් කැමති වුණේ නැහැ. ඒත් පස්සේ දවසක එයා මට ඒක කරන් යන්න සල්ලි දුන්නා. මම ඉන්න තැනම පොඩියට ඇඳුම් මහන්න ගත්තා.
දවසක් මම රෙදි ගන්න නගරේ කඩේකට ගිහින් එක එක වර්ගේ රෙදි ගන්න කොට ඒ කඩේ අයිතිකාරයා මගෙන් ඇහුවා
''ඔයා විතරයි මේ ජාතිවල රෙදි ගන්නේ මෙහෙ අය නම් ඔව්වා නිකන් දුන්නත් ගන්නේ නෑනේ. ඔයා මෙහෙ කෙනෙක් නෙමයිද? කියලා.
මම කිව්වා ''නෑ. මම ලංකාවේ යාපනේ කෙනෙක්. යුද්දේ නිසා මෙහාට ආවේ කියලා''
ඒ තමයි යෝගගෙයි මගෙයි මුල්ම දෙබස.
කොහොම හරි ඇඳුම් මහන වැඩේට යෝගා උදව් කළා. ඒ අතරෙදි අපි ආදරවන්තයෝ වුණා.
1989 දී අපි දෙන්නා විවාහ වුණා. යෝගා හරිම ආදරණීයයි. කරුණාවන්තයි. මට ගොඩාක් ආදරෙයි. මමත් යෝගාට පණ වගේ ආදරේ කළා.''
අරුලනී මේ කතාව දිග හරින්නේ ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේය. ඇගේ විවාහ දිවිය පිළිබද වූ මතකය යළි අවදි වන්නේ වසර විසි අටකට පසුව වුවත් අරුලනීගේ මුහුණෙන් ඇස්වලින් ප්‍රකාශිත හැඟීම් ඒ මොහොතේදීත් ඇයව ප්‍රීති ප්‍රමෝදයෙන් තබන්නට සමත් විය.
''අපිට එහෙම ආදරෙන්. අවුරුද්දක් වත් ඉන්න ලැබුණේ නෑ. මගෙන් ඇඳුම් අරන් යන්න ආව කොල්ලෙක් මගෙ අතින් ඇදලා මාව බිම පෙරළා ගත්තා. යකෙක් වගේ ඔහු මාව දූෂණය කරන්න උත්සහ කළා. මම ඒකව හැපුවා. පයින් ගැහුවා. කොහොම හරි බේරිලා මම පැනලා දිව්වා. එයා යන්න ගියා.
යෝගා ගොඩාක් කරුණාවන්ත නිසා මම ගොඩාක් කල්පනා කරලා රෑ මේ කතාව යෝගාට කිව්වා. කවදාවත් තරහ යන්නේ නැති යෝගාට හොඳටම තරහ ගියා.
ආදරෙන් මාව තුරුලු කරන් ඇහුවේ ‘අරූ ඔයාට කරදරයක් කළේ නෑ නේද?‘ කියලා විතරයි.
අපි යමු කියලා ඒ වේලාවෙම යෝගා නැගිට්ටා. කොහෙද? කියලා මම ඇහුවම කිව්වෙත් ‘අපි යමුකෝ් ‘ කියලා විතරයි.
යෝගා මාවත් එක්කගෙන මහ රෑම අර කොල්ලගේ ගෙදරට ගියා. ඒ කොල්ලා විතරයි හිටියේ. පොඩ්ඩක් කතා කරන්න ඕනේ වරෙන් කෝ කියලා එයත් එක්ක එළියට ගියා. මට කිව්වා ඔතැනම ඉන්න කියලා. මම හිටියා. පැය බාගෙකට විතර පස්සේ ඇවිත් එයා කිව්වා අපි යමු කියලා.
මම ඇහුවා මොකද වුණේ කියලා ‘නෑ නෑ ..ආය ඔයාට උගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ‘ කියලා එයා මගේ අතින් අල්ල ගත්තා.
මට අතේ සීතල ගතියක් දැණුනා මම ෆෝන් එකේ ලයිට් එක ගහලා බලන කොට තමයි දැක්කේ යෝගාගේ අතෙයි ඇගෙයි තැන් තැන් වල ලේ තිෙයනවා.
මම මේ මොකද කියලා ඇහුවම යෝගා කිව්වා මම අරූව මැරුවා...මරලා ළිදේ දැම්මා කියලා. මම මහ පාරෙම අඩන්න ගත්තා.
මෙහෙම දවස් දෙකක් අපි හැංගිලා හිටියා. පොලිසිය හොයන්න ගත්තා. මම අවසානෙදි යෝගාට කිව්වා ඔයා මේකට හිරේ යනවා. මම එතකොට තනි වෙනවා. මට එහෙම ඔයා නැතුව තනියම ඉන්න බෑ. මමත් එනවා ඔයා එක්ක හිරේට යන්න කියලා.
යෝගා මේකට කැමති වුණේම නෑ. මම එක හෙළාම කිව්වේ මමත් ඔයත් එක්කම හිරේ යනවා කියලමයි.
පහුවදා උදේම මම යෝගත් එක්ක පොලිසියට ගියා. ගිහින් කිව්වා මට කරදර කරන්න මිනිහෙක් ආවා මමයි යෝගයි දෙන්නම එකතු වෙලා එයාව මරලා ළිදකට දැම්මා කියලා. පොලිසිය ඒ වෙනකොට ඒ කොල්ලගේ මිනිය හොයා ගෙන තිබුණා. අපිව අත්අඩංගුවට අර ගත්තා. අපිව දෙන්නටම ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා. ''
අරුලනී මේ තීරණය ගන්නා ලද්දේ යෝගා සමඟ එකට හිරේ සිටින්නට වුවත් ඉන්දීය නීතියත් හිර ගෙවල් වල නීතියත් අනුව දෙදෙනාට සිදු වූයේ හිර ගෙවල් දෙකක කල් ගෙවන්නටය. මුලදී නඩු වාර වලදී අරුලනීට යෝගාව දැක ගැනීමට ලැබුණත් අවසන් වරට නිකුත් වූ නඩු විභාගයේ තීන්දුවෙන් පසුව දෙදෙනාම හිර ගෙවල් දෙකකට වෙන් කළේ ජීවිතාන්තය දක්වාමය.
නඩු තීන්දුව ඇසීමෙන් පසුව මිනී මරන්නට හවුල් නොවූවත් අරුලනී යෝගාට තිබූ ආදරය නිසම හිරබත් කන්නට ගියේ මහා හයියෙන් විලාපතබමින් හඬමිනි. ජීවිතාන්තය දක්වා නියම වූ හිර දඬුවමේ කාලය දිනෙන් දින ගෙවී යද්දී අරුලනී කෙසේ හෝ මේ උගුලෙන් බේරීමට උපායක් කල්පනා කළාය.
අරුලනීගේ සිර මැදිරියට යාබද සිර මැදිරියක සිටියේ රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ වරදට වැරදිකාරියක වී ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින සෂී නැමති කාන්තාවකි.
හිරගෙදර කෑම පෝලිමේදී උදෑසන වතුර ටැංකිය අසලදී නිතර නිතර මේ දෙදෙනා හමු වීම නිසා කාලයත් සමඟ ඔවුනොවුන් අතර මිතුදමක් ඇති විය.
රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව පිළිබදව බොහෝ මතභේද ඉස්මතු වීමත් රජීව් ගාන්ධි මහතාගේ පවුලේ සාමාජිකයන් ඝාතකයන්ට සමාව දීමට කැමැත්ත පළ කිරීමත් නිසා ඒ ගැන කතිකා කිරීමට නිතර නිතර තරුණ නීතිඥවරියක් සෂී හමුවීමට බන්ධනාගාරය තුළට යන්නට එන්නට වූවාය.
අරුලනී ක්‍රමයෙන් ඒ නීතිඥවරිය හඳුනාගෙන තමන්ගේ ජීවිත කතාව ඇයට කියමින් යම් සහනයක් සලසා දෙන ලෙස ඉල්ලා සිටියාය. තරුණ නීතිඥවරිය එය ඉටු කර දෙන බවට පොරොන්දු වූවත් නීති ගාස්තු වශයෙන් එක රුපියලක්වත් නොගෙවා මොන නඩු කතා කිරිල්ලක්ද යන සිතුවිල්ල නිතරම පාහේ අරුලනීගේ මනසේ හොල්මන් කළාය.
නමුත් කාලයත් සමග ගෙවුණු මේ දිවියේදී තරුණ නීතිඥවරියගේ කැපවීම මත අරුලනීට මීට වසර තුනකට ඉහතදී නිදහස ලැබිණි.
නිදහස ලද අරුලනී යෝගා බැලීමට හිර ගෙදරට අවස්ථා කීපයක්ම ගියද ඒ එකම අවස්ථාවකදීවත් ඇයට යෝගාව දැක ගන්නට නොලැබිණි.
නීතිඥවරියගේ මැදිහත් වීමෙන් එකම එක දවසක් අරුලනීට යෝගාව දැකීමට ඉඩ සැලසුණත් ඒ ඔවුනොවුන් ඉතාම සමීප කොට නොවේ. යෝගාව කැටුව ආ බන්ධනාගාර නිලධාරීන් මඳ දුරක් තබා අරුලනීට යෝගාව පෙන්වන විට අරුලනී බන්ධනාගාරය තුළ විලාප තබන්නට වූෙයන් යෝගා ඇයට දෘෂ්‍යමාන වූයේ තත්පර කීපයකි.
එහෙත් ඉකි බිඳ හඬමින් විලාප තබන අවස්ථාවේදීත් අරුලනී යෝගාට ඇසෙන්නට මහ හයියෙන් කියා සිටියේ ''යෝගා මම ඔයාව කොහොම හරි බේර ගන්නවා'' යනුවෙනි.
බන්ධනාගාරයෙන් එළියට පැමිණි අරුලනී තරුණ නීතිඥවරියගේ දෙපා අල්ලා වැද වටෙමින් ඉල්ලා සිටියේ තමාට යෝගාව නිදහස් කොට දෙන මෙන් ඉල්ලමිනි.මේ දසුන දුටු අවට පිරිස කතාව කුමක්දැයි නොදන්නා නමුත් ඔවුන්ගේ දෑස් වලට කදුළු උනා තිබිණි.
අරුලනීව අස්වසාලමින් නැගිටවූ තරුණ නීතිඥවරිය ''මම යෝගාවත් නිදහස් කරලා දෙන්න බලන්නම්'' යැයි පැවසූ විට අරුලනී නීතිඥවරිය බදාගෙන ''මගේ අම්මා...මගෙ අම්මා.."" යනුවෙන් මහ හඩින් කෑ ගසා තිබේ.
තරුණ නීතිඥවරිය අරුලනීට වූ පොරොන්දුව ඉටු කරන්නට අවශ්‍ය මූලික කටයුතු පිළියෙල කළාය. නඩු වාර්තා සිය වියදමෙන්ම ලබා ගෙන ඇය මේ නඩුව වෙනුවෙන් ඉන්දීය අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට වසර දෙකක් පමණ යෝගා නිදහස් කර ගැනීමේ සටනක නියැළුණාය.
තරුණ නීතිඥවරියට අරුලනීගේ අපේක්ෂාව මුදුන්පත් කොට දීමට හැකියාව ලැබිණි. ඉන්දීය අධිකරණය යෝගාගේ ජීවිතාන්තය දක්වා වූ හිර දඬුවම ලිහිල් කළේය.
පසුගිය අගෝස්තු මස පහළොස්වෙනිදාට යෙදී තිබුණු ඉන්දීය නිදහස් දිනයේදී යෝගාගේ නම හිරකරුවන් නිදහස් කිරීමේ ලේඛනයට ඇතුළත් වී තිබිණි.
ඒ අනුව සිදුකෙරුණු සෙසු නීතිමය කටයුතුත් සමගින් පසුගියදා යෝගාට නිදහස හිමි විණි. වසර විසි අටකට පසුව යෝගාට අරුලනීත් අරුලනීට යෝගාත් ඔවුන්ව ආදරයෙන් මුණගැස්වූ භාරත භූමියේදීම යළි ආදරයෙන් මුණ ගැස්වීය. ඉන්දීය මාධ්‍යවේදියෝ සිය ගණනක් මේ දසුන දැක බලා ගැනීමට පැමිණ සිටියහ.
මුලින්ම බන්ධනාගාරයෙන් එළියට පැමිණි යෝගා දෑත් දිගු කරගෙන අරුලනී වෙත දිව එන විට අරුලනී යෝගා ගෙන් විමසුවේ
''මාමා ඔංගලකු එප්පඩි'' (මාමා ඔයාට කොහොමද?) යනුවෙනි.
සිංහල භාෂාවත් දෙමළ භාෂාවත් යන භාෂා දෙකෙන්ම මේ දෙබස විග්‍රහ කරන විට ඉන් කිසිදු සංවේදී බවක් නොදැනේ.
ඊට හේතුව මාමා කී සැණින් ආදරයට වඩා ධ්වනිත වන්නේ ඥාතී බැඳීමක් නිසාය.
නමුත් තමිල්නාඩුවේ දෙමළ භාෂාව අනුව මේ දෙබස වත්මන් ආදර වන්තයන්ගේ භාෂාවෙන්ම සටහන් කළහොත් ''මගෙ චූටි පැටියෝ ඔයාට කොහොමද?'' වැනි අර්ථයකි. උතුරා යන සතුටෙන් සිටි යෝගා අරුලනීගෙන් විමසුවේ ''නීංගල් සාපිටින්ගලා'' යනුවෙනි.
මෙහි සරල අදහස ඔයා කෑවද? යන්න වුවත් එහි ගැබ්ව ඇත්තේ වචන ලක්ෂයකින් හෝ කියා නිම කළ නොහැකි ආදරයකි.
දෙදෙනාගේම මේ දෙබස් සමඟ එකිනෙකා තරයේම වැලඳගෙන ඔවුනොවුන් ඉකි ගසන්නට වූයේ සතුට දුක යන සියල්ලේම සම්මිශ්‍රණය මතය.
මේ ආදර දෙබසත් ඔවුන්ගේ ආදරය දෙසත් බලා සිටි පිරිස සතුටු වී ඇත්තේ ඔවුන්ගේ දෙකොපුල් හරහා රූරා වැටුණු කදුළු බින්දුත් සමගිනි.
ඉන්දීය මාධ්‍යවේදීහුද මේ සංවේදී මොහොතේ කදුළු සැලූහ.
අරුලනීගේත් -යෝගාගේත් වසර විසි අටක මේ ප්‍රේම කතාව ඉන්දියාවේ චිත්‍රපට සමාගමක් විසින් චිත්‍රපටයකට නැඟීමටද කටයුතු කරගෙන යයි.