හොරිකඩයන්ගේ පාරාදීසයෙන් ඇසෙන මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කෙඳිරිය | Page 2 | සිළුමිණ

හොරිකඩයන්ගේ පාරාදීසයෙන් ඇසෙන මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කෙඳිරිය

ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක් මාෂල් ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවියට කියන්නේ පසුගිය දෙවසර තුළ වැඩිම ක්‍රිකට් පාවා දෙන්නන් වාර්තා වන්නේ ලංකාවෙන් බවය.

අප හිතුවේ අයි.සී.සී දූෂණ විමර්ශන ලොක්කා මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් ඉන්නවා කියාය. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරන තරග පාවාදීමේ චෝදනාවල අවසන් තීරණ එන්න එන්නම ප්‍රමාද වෙමින් පැවතීම අපව එසේ සිතන්නට පෙලඹවූයේය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ උසස් පොලිස් නිලධාරියකු වන අයි.සී.සී. දුෂණ විමර්ශන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් වැඩේ පත්තු කළ හැකි ඉහළම තැනකින් පත්තු කර තිබේ. ඔහු කටයුතු කරමින් සිටින බව පෙනෙන්නේ ඔහුගේ රාජකාරිය පිළිබඳ දැඩි විශ්වාසයකිනි.

කලෙක ආසියාවේ ආඩම්බරය සනත් ජයසූරිය. ඒ වකවානුවේ ලෝක ක්‍රිකට් ආශ්චර්යයත් සනත් ජයසුරිය ය. ඇලෙක් මාෂල් වැඩ ආරම්භ කර ඇත්තේ ඔහුගෙනි. වාර්තා වන පරිදි ඉදිරියේ දී පෙරහරක් එන්නට නියමිතය. බුකි සහිතව ක්‍රිකට් පරිපාලනය කළ පරිපාලකයන් මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් ඒ අතර වනු ඇතැයි විශ්වාසය පළ වෙමින් තිබේ.

ක්‍රිකට් බිඳවැටෙමින් ඇති බව සැබෑය. මේ අත්විඳිමින් ඇත්තේ ක්‍රිකට් පරිපාලනයේ දීර්ඝ කාලීන අලජ්ජී හැසිරීම් මාලාවක ප්‍රතිඵලය . එහෙත් මේ බිඳවැටීම මතු වන්නේ එකවර නැඟෙන භූමිකම්පාවක් ලෙස සියල්ල දෙදරවමිනි. ඒ දෙදරා යන ආකාරය අනුව ක්‍රිකට් තවදුරටත් අප ඇසූ දුටු අත්විඳි ක්‍රීඩාව නොවන බව අයි.සී.සී. යටත් කලින් තේරුම් ගත්තේ අපේ ගම්වල කොල්ලන් කුරුට්ටෝය. ක්‍රිකට් විකිණෙන බව ගමේ පොල්කඩන ජෙමාත් හන්දියේ දී කීවේය. ක්‍රිකට්වල නාඩි වැටුණේ අපේ මිනිස්සුන් හුස්ම ගන්නා රටාවටය. ක්‍රිකට් සමඟ කරන නින්දිත සූදුව සාහසික මානුෂික අපරාධයක් වූයේ ඒ නිසාය.

අයි.සී.සී චෝදනාව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සනත් ජයසූරියට එරෙහිව දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීම සම්බන්ධව චෝදනා කළේය. ඊට පිළිතුරු සැපයීම පිණිස සති දෙකක කාලයක් ලබා දෙමින් පසුගිය 15 දා ඔවුන් නිකුත් කළ නිවේදනය ගැන දැන් ලෝකයම දනී. අයි.සී.සීය ජයසූරියට එල්ල කළ චෝදනා දෙක මෙසේය.

1 නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව - අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

2 නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව - දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

චෝදනා ප්‍රකාරව සනත් ජයසූරිය පිළිගත හැකි හේතුවක් නොමැතිව අයි.සී.සී දූෂණ විරෝධී ඒකකය මෙහෙයවූ කිසිම පරීක්ෂණයකට සහයෝගය දක්වා නැත. පරීක්ෂණයට අදාළ තොරතුර සම්පූර්ණ ලෙස ඉදිරිපත් කර නැත. අයි.සී.සී. ය කළ පරීක්ෂණයට බාධා කර හෝ එය ප්‍රමාද කර තිබේ. අතේ කුණු නැති නම් මේ නැටුම් නටන්නට අවශ්‍ය නැත. දුවන කෝච්චියට බෙල්ල තියන්නට හදනවා නම් ඊට හේතුවක් තිබිය යුතුය. රටට ඇති ප්‍රශ්නයත් එයය.

චෝදනා සඳහා පිළිතුරු ලබා දීමට ජයසූරියට 2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක කාල සීමාවක් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දී ඇත.

චෝදනාවට තුඩු දුන් සිද්ධිය

ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ෆැන්ටසිය කුණු කානුපල්ලට වැටුණේ පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්ථානයෙන් ගුටි කා පළමු වටයෙන්ම විසිවී අවලංගු වුණු දවසේය. ඒ නින්දිත පරාජය නියතයක් බව මුලින්ම දැනෙන ලෙස ලාංකික ක්‍රිකට් ලෝලීන්ට කියා දුන්නේ පසුගිය වසරේ ජූනි මස ලංකාවේ දී ඇරඹුණ සිම්බාබ්වේ තරග සංචාරයය.

කිසිම සංචාරක කණ්ඩායමකට ලංකාව තුළ දී ලංකාව පරාජය කිරීම පහසු දෙයක් නොවේ. එය ලෝකය පිළිගත් සත්‍යයක් වී තිබිණි. ලෝක ශ්‍රේණිගතකිරීම්වල ඇෆ්ගනිස්ථානයටත් පහළින් අංක 11 ස්ථානය හිමිව සිටි සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවට පැමිණ තරගාවලි ජයග්‍රහනයක් කරනු ඇතැයි කිසිවකු කල්පනා කළේ නැත. එහෙත් ඔවුහු එක්දින තරගාවලිය ජයගත්හ. වාර්තා වන ආකාරයට ජයසූරිය සම්බන්ධව පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ මේ එක්දින තරගාවලිය මුල් කරගෙනය.

ජයසුරිය 2011 සිට 2015 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාතිවරයාය. පසුව ඔහු යළිත් තේරීම් කමිටු සභාපතිවරයා වන්නේ 2016 වසරේදීය. ඒ පැමිණීම ඔහු අවසන් කරන්නේ 2017 වසරේ අගභාගයේදීය. නිමිත්ත ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය දඹුල්ලේ දී ලජ්ජාසහගත ලෙස පරාජය වීමත් සමඟ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාගාරයත් වට කිරීමය.

ප්‍රස්තුත සිම්බාබ්වේ ශ්‍රී ලංකා තරගාවලිය ලංකාවේ ක්‍රිකට් ප්‍රතිරූපය තිරශ්චීන ලෙස වෙනස් කළ තරගාවලියක් විය. අයි.සී.සී.ය ඒ පිළිබඳව වැඩි බරක් සහිතව අවධානය යොමු කරන්නට වූයේ එය පෙළ ගැසුණ අතාර්කික විලාශය නිසාය. ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක් බව සැබෑය. එහෙත් අවිනිශ්චිත කම අද්භූද අභව්‍ය පිස්සු විකාරයක් වන විට කුමක් හෝ යමක් සිදු වෙමින් පවතින බව කාට කාටත් වැටහෙමින් තිබිණි.

සිම්බාබ්වේ ශ්‍රී ලංකා පළමු තරගය පැවැත්වුණේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේය. ඒ ජූනි මස 30 දාය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5 කට ලකුණු 316 රැස් කළේය. ලකුණු දෙසීය සීමාව ඉක්මවන්නේ කඩුළු 3 පමණක් දැවී ගිය අවස්ථාවකය. එහෙත් සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු හයක ඉතා පහසු ජයක් අත් කරගත්තේය.

වර්ෂ 2017 ජූලි මස 8 දින හම්බන්තොට පැවැති සිවු වන එක්දින තරගයේ දී ඕවර තිස්පහක දී එකම කඩුල්ලක්වත් නොදැවී දෙසීයේ සීමාව පසු කළ ලංකා කණ්ඩායමට ලකුණු තුන්සීයයකින් නවතින්නට සිදු විය. අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 29 දී ලකුණු 219 ලබා ගැනීමේ ඉලක්කය සිම්බාබ්වේ කණ්ඩායමට ලැබිණි. ඔවුහු ඒ තරගයත් ජයගත්හ. හම්බන්තොට දී පැවැති අවසන් එක්දින තරගයේ දී ලකුණු 203 ට කණ්ඩායම දැවී ගියේය. ඕවර 38 දී සිම්බාබ්වේ කණ්ඩායම සිය ඉලක්කය ලබා ගත්හ. තරගාවලිය 3 -2 සේ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ජයගත්හ. දිනන විට අදහාගත නොහැකි සේ දිනීමත් පරදින විට වටහාගත නොහැකි සේ පැරදීමත් ක්‍රිකට් ක්‍රීඩාවේ මනරම් අවිනිශ්චිත බව ප්‍රකාශ නොකළ බව කියැවිණි.

මේ තරගාවලිය අළලා ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණ ආරම්භ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ එවකට තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියත් අවස්ථා කිහිපයක දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්න කිරීමකට ලක් වූහ. වසරකට අධික කාලයක් මෙම පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණි. ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු වේගපන්දු යවන්නෙකුගේ ජංගම දුරකථනය අයි.සී.සී අත්අඩංගුවට පත්විය. දෙසතියකට පෙර කොළඹ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ පුහුණුකරුවෝ දෙදෙනෙක් අයි.සී.සී යේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූහ. එහි දී ඔවුන් කණ්ඩායමේ සංයුතිය ගැන ප්‍රශ්න කර තිබිණි. බුකි කාරයන්ට තනතිල්ලේ ස්වරූපය පිළිබඳ තොරතුරු ලබුණ ආකාරය ගැන ප්‍රශ්න කර තිබිණි. අයි.සී.සී. ය චෝදනා කරන්නේ මේ පරීක්ෂණය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය තීරණාත්මක තොරතුරු ප්‍රමාණයක් ජයසූරිය විසින් ලබා දී නැති ආකාරය ගැනය. සිද්ධි පෙළ ගැසෙන ආකාරයට අයි.සී.සී.ය දැන් ජයසූරියව යම් නිශ්චිත කාරණාවක් සඳහා කොටු කරගෙන තිබෙන බව පෙනේ.

ජයසූරියගේ උත්තරය

දැන් ලෝකය බලාගෙන ඉන්නේ දින 14 ක් ඇතුළත සනත් ජයසුරිය අයි.සී.සී.ය ට කුමක් කියන්නේද යන්නය. මේ වන විට කිසිම දෙයක් මාධ්‍යය වෙත කීමට හැකියාවක් නැති බවත්, තමන් මෙතෙක් ක්‍රියා කර ඇත්තේ අතිශයින් විනිවිද පෙනෙන ආකාරයට බවත්, තමන්ට එරෙහිව තරග පවාදීමේ චෝදනා කිසිවක් ඉදිරිපත් වී නැති බවත් ජයසූරිය ප්‍රකාශ කළේය.

ජයසූරිය මේ දිනවල නීතිඥයන් සමඟ අයි.සී.සී.යේ උගුලෙන් බේරීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි. අයි.සී.සී.ය තීන්දුවක් ප්‍රකාශ කිරීමත් සමඟ ජයසූරිය තිගැස්සී ඇත. තමන්ට මුහුණදීමට සිදුවන්නේ මහත් බරපතළ ව්‍යසනය ගැන වටින් ගොඩින් ඔහුගේ කන වැකීමත් සමඟ ජයසුරිය මුලින්ම කළේ තමන්ගේ ජංගම දුරකථනය විසන්ධි කිරීමය. අනතුරුව වෙනත් දුරකථනයක් මගින් හිතවතුන් අමතා විසඳුම් සෙවීමය.

ජයසූරියගේ ජංගම දුරකථනය කිහිප වරක්ම අයි.සී.සී.ය පරීක්‍ෂණ සඳහා ඉල්ලා තිබිණි. නමුත් ඔහු එය ලබාදුන්නේ නැත. පසුගිය කාලයේ දී ජයසුරිය සිය ජංගම දුරකථනය නිසා හොඳටම නා ගත්තේය. දැන් යළිත් ඔහු ජංගම දුරකථනය නිසාම නාගෙන තිබේ. අයි.සී.සී.ය දුරකථනය භාරදෙන ලෙස කළ ඉල්ලීමෙන් පසුව ජයසුරිය අලුත් දුරකථන අංකයක් භාවිත කළේය. ඔහුගේ කාලයක් පුරා තිබු ප්‍රසිද්ධ දුරකථන අංකයට සමුදුන්නේය. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ළඟ දුරකථන අංක දෙකක් තිබීම සාමාන්‍ය දෙයකි. ඉන් එකක් තම පෞද්ගලික පරිහරණය සඳහාය. අනෙක් දුරකථන අංකය සියල්ලටම විවෘතය. එහෙත් මේ අත්හැරීමේ ස්වරූපය වෙනස්ය.

සැකකටයුතු තැන්

ජයසූරියට පෙර මෙවැනි පරීක්‍ෂණ මගහැර ගිය ජයනන්ද වර්ණවීර තවමත් ක්‍රිකට් පිටියෙන් අතුරුදන්ය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකය ගාල්ල ක්‍රීඩාංගණයේ හිටපු කළමනාකරු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රීඩකයකුද වූ ජයනන්ද වර්ණවීරට එරෙහිව වර්ෂ 2016 ජනවාරි මාසයේ සිට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ. ගාල්ල ක්‍රීඩාංගනය හා බුකිකරුවන්ගේ සබඳතාවල ස්වරූපය ගැන ලෝකය කතා වුණේ සෑහෙන කාලයක සිටය. මේ වකවානුවේම ලසිත් මාලිංග කියූ කතාවක් රටම තිගැස්සුවේය. වෝටර්ස් ඒජ් හී පැවැති ක්‍රිකට් හදන වැඩමුළුවක දී ඔහු කීවේ ‘අපි ඉල්ලන විකට් එක අපිට දෙන්නෙ නැහැ. හවස ගිහිල්ල බලන විකට් එක උදේට වෙනස් වෙනවා. ඉතිං කොහොමද අපි තරග දිනන්නේ. මවුබිමේ වාසිය අපි ගන්නෙ නැහැ. මේවා ගැන තමයි බලන්න ඕනේ.’ ලෙසය. එහෙත් බැලුව එකෙක් නැත.

අප සිම්බාබ්වේ කණ්ඩායමෙන් පට්ට පළු යන්න ගුටි කෑවේ ගාල්ලේදීය. ඊට මාස කීපයකට පසු අල්ජසීරාව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව බුකි කරුවන්ට අවශ්‍ය ආකාරයට සැකසෙන ආකාරය ගැන කටඋත්තර නැති හෙළිදරව්වක් කළේය. ඒ සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ සිදුවූ අතිශය අභව්‍ය සිදුවීම් සම්බන්ධව ලෝකය මවිත වූයේය.

වර්ෂ 2015 සිට වර්ෂ 2017 දක්වා ටෙස්ට්, එක්දින, සහ 20 විස්ස තරග සඳහා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් 42 එක් කරගෙන තිබිණි. ලංකා ඉතිහාසයේ වැඩිම දෙනෙක් ශ්‍රි ලංකා වරම් ලැබුවේ මේ කාලයේදීය. ලෝකයේ තත්ත්වයත් එසේමය. ශ්‍රී ලංකා වරම් ලැබූ සමහර ක්‍රීඩකයන් ඉදිරිපෙළ තරගවත් ක්‍රීඩා කර නැති ක්‍රිකට් ළදරුවෝය. පකිස්තානු සංචාරයේ දී ලංකාවේ 20 විස්ස සංචිතය දැක පකිස්තානු නායක සෆරාස් අහමඩ් කීවේ ඒ සංචිතය දුටු විට තමන්ට දුක හිතෙන බවය. සෆ්රාස්ට දුක හිතුණාට අපට දුක හිතුණේ නැත. මේ වන විට ශ්‍රි ලංකා වරම් ලැබූ ඒ තරුණයින් බොහෝ දෙනකු අද ආගිය අතක් නැත. එසේ කණ්ඩායමට පැමිණි තරුණ ක්‍රීඩකයන්ගෙන් අයෙක් අද ක්‍රිකට් පාවා දෙන්නන්ගේ ලයිස්තුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නින්දා සහගතම පරාජය සිදුවන්නේ ඉන්දීය සංචාරයේදීය. එහිදි ටෙස්ට් තරගාවලියත් එක්දින තරගාවලියත් මුළුමනින්ම පරාජය විය. ඉන්දියාව සමඟ පැවැති එක්දින තරගාවලියේ පල්ලෙකැලේ ක්‍රීඩා කළ තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම ප්‍රතිවාදී ඉන්දියාවට ලබාදීමට ශ්‍රී ලංකා පිල සැලැසුම් කර තිබිණි. නමුත් කාසියේ වාසිය උරගා බැලීමට ගිය තාවකාලික නායක චාමර කපුගෙදර ඒ අවස්ථාවේ දී කණ්ඩායමේ තීරණය වෙනස් කර පළමුව පන්දුවට පහරදීමට තීන්දු කළේය. ක්‍රීඩාගාරයත් වික්ෂිප්ත විය. කපුගෙදර කීවේ තමන්ට ඒ මොහොතේ දී සැලසුම අමතක වූ බවය. කපුගෙදර කණ්ඩායමෙන් ඉවත් කළේය. නමුත් ඔහුට එරෙහිව මේ වන තුරුත් කළ පරීක්ෂණයක් නැත. අයි.සී.සී.ය ප්‍රශ්න කරමින් ඇත්තේ මේ ක්‍රිකට් ව්‍යභිචාරයේ ස්වරූපය ය. ඔවුන් ජයසූරියගෙන් පටන්ගෙන ඇත්තේ එයය.

අපේ ප්‍රාර්ථනාව අපේ කණ්ඩායම තේරුවේ ක්‍රිකට් බුකි කාරයන් බව නෑසීමය. අපට ක්‍රිකට් ගැස්සුවේ බුකි කාරයන් බව නෑසීමය. තණතීරු හැදෙව්වේ බුකි කාරයන් බව නෑසීමය. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක් මාෂල් ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවියට කියන්නේ පසුගිය දෙවසර තුළ වැඩිම ක්‍රිකට් පාවා දෙන්නන් වාර්තා වන්නේ ලංකාවෙන් බවය. ඉතින් බලා ඉනු හැර වෙන කරන්නට දෙයක් ඉතිරි වී නැත.

Comments