අලි-කෝච්චි ගැටුමින් වැඩිපුර මැරෙන්නේ ගැහැනු සත්තු | Page 2 | සිළුමිණ

අලි-කෝච්චි ගැටුමින් වැඩිපුර මැරෙන්නේ ගැහැනු සත්තු

පසුගිය මාස 22කට අලි 21ක් දුම්රියේ ගැටී මිය ගිහින් ඉන් 19ක් ගැහැනු සත්තු

දොස්තර නන්දන අතපත්තු නව තාක්ෂණය මඟින් ගැටලුවට විසඳුමක් දෙනවා වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.‍සී‍. සූරියබණ්ඩාර

අලි සම්පතට අද උදාවී ඇත්තේ දරුණු කාල සීමාවකි‍. දුම්රියේ ගැටීම අලි මිනිස් ගැටුම සහ ස්වාභාවික හේතු නිසා මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 21 දක්වා කාලයේදී වන අලි මරණ 210ක් වාර්තා වී ඇත. මේ කාලය තුළ දුම්රියේ ගැටී සිදුවූ අලි මරණ ගණන 14 කි. කෙසේ වුවත් අලුත්ම වනජීවී විශේෂඥ සමීක්ෂණ අනුව මේ අනතුරුවලින් වැඩිපුර මිය යන්නේ කෙ‍ෙණර සත්තු හෙවත් ගැහැනු අලිය.

පසුගිය වසර තුළදී අලි ඇතුන් 256 මියගොස් ඇති අතර ඉන් හත් දෙනෙක් මියගොස් ඇත්තේ දුම්රියේ ගැටීම නිසාය. මේ අනුව පසුගිය මාස 22කට දුම්රියේ හැපී මිය ගිය අලි ගණන 21කි. ඉන් 19ක් ගැහැනු සතුන්ය. වැඩිපුර අලි දුම්රියේ ගැටෙන්නේ මනම්පිටිය හා පූනානි අතර ප්‍රදේශ හා මොරගොල්ලාගම - ගල්ඔය අතර ප්‍රදේශවලයි. මීට අමතරව ගල්ඔය හන්දිය - මඩකලපුව, මින්නේරිය - හබරණ, හබරණ - පලුගස්වැව, අඹන්පොළ - ගල්ගමුව, මැදවච්චිය - වවුනියාව යන දුම්රිය මාර්ග ප්‍රදේශවල හා පුත්තලම මාර්ගයේ, පුත්තලම - අරුවක්කාලු අතර දුම්රිය - අලි ගැටීම් වාර්තාවී ඇත. ඒ ප්‍රදේශවල ඇති මහ වනාන්තර හා වැව් වලට යොමු වී ඇති අලින්ගේ අලි මංකඩ හරහා මෙන් ම ජලය බීමට අලි එහා මෙහා යාම නිසා මෙම අනතුරු බහුල වී තිබේ. අලින්ගේ ස්වාභාවික චර්යා රටා පිළිබඳ අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත් වේ.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.‍සී‍. සූරියබණ්ඩාර මහතා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇති බවයි. ඊට අදාළ මාර්ග පරීක්ෂණය මේ දිනවල වනජීවී නිලධාරීන් කටයුතු කරනවා‍. වාර්තාවක් ඉදිරියට අපිට ලැබේවි. එවිට අපි ඒ අනුව කටයුතු කරනවා” ඔහු කීය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව අලි - දුම්රිය ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්රිය රිය­ැදුරන්ගේ නොසැලකිල්ල හා දුම්රියේ ආලෝක සංඥා ‘වයිෆර්’ හා තිරිංගවල අඩුපාඩුයි. කෙසේ වුවත් අලි මාරුවෙන ස්ථාන ලෙස වේග සීමා දැනට ඇත්තේ ස්ථාන දෙකක් අතරය. ඒ අඹන්පොළ - ගල්ගමුව හා මැදවච්චිය - වවුනියාව අතර පමණි. නමුත් ඒවාවත් ගණන් ගන්නේ නැති දුම්රිය රිය­ැදු‍‍රන් ඇතැයි වනජීවී පරිසර සංවිධාන පවසයි. මේ අනුව අලි දුම්රියෙන් බේරාගැනීමේ ප්‍රමුඛ වගකීම ඇත්තේ දුම්රිය රියදුරන් අතේම ය. මේ පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමකි. අලුත් වේග සීමා දැමීමත් දුම්රියවල අඩුපාඩු සකස් කිරීමත් වහා සිදුකළ යුතුව ඇත. වනජීවී දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳව දැනට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුය. මේ ආයතන දෙකම මනා සම්බන්ධීකරණයක් ඇතිව මේ ගැටලුව විසඳීමට කටයුතු සකස් කළ යුතු බව පරිසර සංවිධානවල මතයයි.

මේ ගැටලුවට දැනට ඉදිරිපත් කර ඇති හොඳම විකල්පය ලෙස වනජීවී විශේෂඥවරු හා දුම්රිය දෙපාර්තමේන්තුව ඉහළ නිලධාරීන් පිළිඅරගෙන ඇත්තේ ගුවන් යානා ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ඉදිරිපත් කර ඇති ඉලෙක්ට්‍රොනික තාක්ෂණික පද්ධතියයි. ඒ R.E.A.P. සිස්ටම් නම් අලි දුම්රියේ ගැටීම වැළැක්වීමේ නව තාක්ෂණික පද්ධතියයි.

ඉරෝෂ් පෙරේරා මහතා පවසන පරිදි එම පද්ධතිය ‍නව තාක්ෂණික උපකරණ ගණනාවකින් යුක්තය. මේ තාක්ෂණික පද්ධතිය අලින්ට ඉතා සංවේදීය.

අලියකු හෝ ඇතකු වෙනත් සත්ත්වයකු දුම්රිය මාර්ගයේ සිටී නම් ඒ සත්වයාට මේ උපකරණයෙන් අපට නොඇසෙන හා අලින්ට ඇසෙන අයුරින් වූ ‘අල්ට්‍රා සවුන්ඩ්’ තාක්ෂණය යටතේ අලියාට ප්‍රබල සන්නිවේදනයක් දැනීමට සලස්වනු ලැබේ.

ඒ සන්නිවේදනයේ බලවත්කම නිසා අලින් හෝ සතුන් පාරෙන් ඉවතට විසිවෙන බව ඉරෝෂ් පෙරේරා පවසයි.

ඊට අමතරව මේ අවස්ථාවේ අදාළ සතුන් පාරෙන් ඉවතට නොගිය හොත් දුම්රිය රියැදුරාට යම් සතෙක් මාර්ගයේ සිටින බවට යම් අයුරකින් යම් සන්නිවේදනයක් ලබා දීමට කටයුතු කෙරේ. රියැදුරු එය ග්‍රහණය කර දුම්රිය ධාවනය නවත්වයි.

අලි කෝච්චිවල ගැටී මියයාම වැළැක්වීමට තිරසර විසඳුමක් නැති නමුත් මේ ගැටලුවට ඉරෝෂ් පෙරේරා දුන් විසඳුම් කාලීන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ. සුමනසේන මහතා පවසයි.‍

“අපි ඔක්තෝබර් 11 සිට 14 දක්වා දිනවල මේ අලින් වැඩිපුර දුම්රියේ ගැටෙන ස්ථාන පිළිබඳව අපි අධ්‍යයනයක් සිදු කළා. ඒ අධ්‍යයන අනුව දුම්රිය - අලි ගැටුම් වැළැක්වීමට විවිධ ආකාරයේ වැඩසටහන් අපි ක්‍රියාවට නංවනවා. මුලින් ම ඉරෝෂ්ගේ තාක්ෂණික පද්ධතිය උපයෝගි කරගන්නවා‍. ඊට පසු අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට විදුලි වැට, උමං මං හා ගුවන් පාලම් වැනි තවත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳව අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යෝජනා කරනවා. පසුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දුම්රිය දෙපා‍ර්තමේන්තු ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඉදිරියේ සුදුසු වැඩසටහන් ක්‍රියාවට නංවනවා” සුමනසේන මහතා පැවසීය.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙ‍ෙහයුම්) ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසුවේ ඉරෝෂ් පෙරේරා ගේ නිර්මාණය 2016 සිට අත්හදා බැලූ බවත් ඒ කාලයේ අලින් දුම්රියේ ගැටුණේ නැති බවත් ය. ඒ අනුව මෙය දිගු කාලීනව ප්‍රයෝජනය ගැනීමට දැනට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඔහු කීය.

මේ අලි දුම්රිය ගැටීම වැළැක්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පත් කළ කමිටුව අදහස් ගණනාවක් ඉදිරිපත් කර ඇත. පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවිකිරීම, දුම්රිය ඇන්ජිමේ මාර්ග බාධක සන්නිවේදන සංඥා පද්ධති සවිකිරීම, අලි ඇතුළු වන ස්ථානවල අලි විදුලි වැටවල් යෙදීම, තාප සංවේදී කැමරා සවිකිරීම, දුම්රියට අඩු සංඛ්‍යාත නළා සවිකිරීම, අලි වැඩිපුර ප්‍රදේශවල දුම්රිය මග දෙපස මීටර් 30 ක් කැලෑව හෙළි කිරීම, කඳු ගැට ඇති ස්ථානවල අලින්ට මාරුවීමට ගුවන් පාලම් ඉදිකිරීම, වේග සීමා ඇති කිරීම හා ඊට අනුගත වීමට දුම්රිය රිය­ැදුරන් ‍ෙයාමු කිරීම ඒ අතර ප්‍රධාන වේ.

මේ පිළිබඳව කරුණු දක්වන හිටපු වන ජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර නන්දන අතපත්තු මහතා පැවසුවේ මේ අලි දුම්රියේ ගැටීම් නිසා වැඩිපුරම මිය යන්නේ කෙනර හෙවත් ගැහැනු සතුන් හා ගැහැනු පැටවුන් බවයි. ඒ ගැන තවදුරටති පරීක්ෂණ කළ යුතුයි. මේ අනුව මේ ගැහැනු සත්තු මිය යාම අනාගත අලි පරම්පරාව ඉදිරියට පවත්වා ගෙන යාමට ලොකු තර්ජනයක්ය. ෙම් වසරේ දින 20 ක් ඇතුළත ගැහැනු අලි හා පැටවු 12 ක් විතර දුම්රියේ ගැටී මිය ගියා. මෙතරම් අලි මරණ කවදාවත් වාර්තා වුණේ නැහැ. ඒ අතර ගැබ්බර කෙණෙරක් හිටියා.

මේකට ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ පාරම්පරික අලි මංකඩ පිළිබඳව කිසිම සැලකිල්ලක් නැතිව දුම්රිය රියැදුරන් වගකීමෙන් තොරව දුම්රිය වේගයෙන් ධාවනය කිරීමයි. ඔවුන්ට ඒ ගැන හොඳ දැනීමක් අවවාදාත්මකව ලබා දිය යුතුයි.

අලියාට සියුම් ශබ්ද ඇහෙනවා. ඒත් මහා හයියෙන් ගහන දුම්රිය නළාව ලොකු අනතුරක් කියලා උන් සිතන්නේ නෑ. ඒ වගේම අලියට දුම්රිය විදුලි ලාම්පු එළියත් පේන්නේ ළඟටම ආවාට පස්සේ. ඒ නිසා කෝච්චියක් එන බව අලින්ට ඒක ළඟට එනකම් තේරෙන්නේ නෑ.

මීටවසර 15 - 20 කට පෙර අලි සංරක්ෂණය භාරව කටයුතු කරන කාලයේ අපි මේකට විසඳුම් රැසක් දුන්නා. ඒ අනුව මුලින් කළේ අලිමංකඩ තිබෙන ස්ථානවල අලින්ගේ හා පැටවුන්ගේ ඡායාරූප සහිත නාමපුවරුවක් ඒ අලිමංකඩට මීටර් 100 කට කලින් දුම්රිය මාර්ගය අසල සවි කිරීමයි. ඒවා තාමත් තිබුණත් රියැදුරන්ගේ අවධානය මදි.

ඒවා ලොකුවට අලුතින් ගහලා ‘ලුමිනස්’ තත්ත්වයෙන් දුම්රිය රියැදුරන්ට ඈතට පේන අයුරින් සකස් කළ යුතුයි. දෙපැත්තෙම මේ ‍‍බෝඩ් ගැසිය යුතුයි.

‍ඊට අමතරව මේ අලි දුම්රියේ ගැටෙන ප්‍රදේශවල දුම්රිය ඇන්ජිමේ වන ජීවී නිලධාරියකුට යන්න කියලා ඒ කාලයේ අපි උපදෙස් දුන්නා. දුම්රිය දෙපාර්තමේන්තුව ඒකට උදවු කළා. ඒකත් යළි ක්‍රියාත්මක කරලා ඒ ප්‍රදේශවලදි දුම්රිය යනවිට රියැදුරන්ගේ අවධානය අලිමංකඩ පිළිබඳව‍ යොමු කළ යුතුයි.

ෙම් නිසා අලි කෝච්චියේ හැපීම් වළක්වන්න ඉහත ක්‍රියාදාම ගත යුතුයි. වන ජීවී එකයි දුම්රිය දෙපාර්තමේන්තුවයි එක්වී මීට වඩා කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි. නැත්නම් අලි - මිනිස් ගැටුමට වඩා අලි - කෝච්චි ගැටුමින් අලි මැරෙන්න පුළුවන්. ඒක අපේ වන අලි ගහනයට මරු පහරක්.' නන්දන අතපත්තු මහතා කීය.

Comments