කුඩුකාර ජාවාරම්කාරයන් සීතල කළ බන්ධනාගාරයේ එස්ටීඑෆ් ආගමනය | සිළුමිණ

කුඩුකාර ජාවාරම්කාරයන් සීතල කළ බන්ධනාගාරයේ එස්ටීඑෆ් ආගමනය

  • මෙහෙයුම් සිදු වෙන්නේ බන්ධනාගාරයෙන් පිට...
  • එක දවසකට කසිප්පු-කුඩු ගංජා තොග ගණනින් අල්ලලා
  • පරීක්ෂා කරන්නේ විශේෂ පුහුණුව ලැබූ නිලධාරීන්...

කාලෙන් කාලෙට බන්ධනාගාරය ගැන මාතෘකාවද අලුත් වෙයි. කලක් එල්ලුම් ගහ ගෙන එන්නේ යැයි කියූ කතාබහ යටපත් වනවාත් සමඟම දැන් කවුරුත් කතා කරන්නේ බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්යය බළකායේ ආරක්ෂාව යෙදවීම ගැනයි. මෙහි මූලික පියවරක් ලෙස මේ වනවිටත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පොලිස් විශේෂකාර්ය බළකායේ ආරක්ෂාව යොදවා ඇත්තේය.

බන්ධනාගාරවලට බන්ධනාගාර නිලධාරීන් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ පිහිට පතන්නට වූයේ ඇයි? මෙය රටේ සාමාන්‍ය ජනතාවට හුදෙක් කුතූහලයක් වත්දී දූෂිත බන්ධනාගාර නිලධාරීන් නම් පත් වූයේ තිගැස්සීමකටය.

අනාදිමත්කාලයක සිට සියලු බන්ධනාගාරවල දවස ගත වූයේ බනධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේය. සුද්දාගේ කාලය කොහොම වුවත් සුද්දාගෙන් පසු කාලය මේ රටේ බොහෝ දේ වෙනස් විණි. බන්ධනාගාරය යනු හැමදාමත් දැඩි නීති ක්‍රියාත්මක වූ ආයතනයකි. එහෙත් ගෙවී ගිය කාලයේ මේ සියල්ල උඩු යටිකුරු වූයේය.

“ඉස්සර නම් බන්ධනාගාරවල මහා ලොකු වැරදි වුණේ නැහැ.‍ හිරකාරයෝ වුණත් හොර බඩුවක් හැටියට තියාගත්තා නම් තියාගත්තේ ගංජා සුරුට්ටුවක්, එහෙමත් නැත්නම් දුංකොළ කෑල්ලක් තමයි. ඒත් ගෙවුණ කාලයේ ගංජා සුරුට්ටු නෙමෙයි හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වගේම ජංගම දුරකතන සිම්පත් ආදි දේ ඇතුළට එන්න ගත්තා. නිලධාරීන් අවංක නොවුණ නිසයි බන්ධනාගාරය දූෂිත තැනක් බවට පත් වුණේ.’’

දිගුකලක් බන්ධනාගාරයේ අත්දැකීම් ඇති විශ්‍රාමික නිලධාරියෙක් පැවසුවේය.

බන්ධනාගාරය දූෂිත තැනක් බවට පත් වූයේ සැබැවින්ම ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාමාර්ග හේතුවෙනි. මේ කතාව සත්‍යයක් බව අපට පිළිගන්න සිදු වන්නේ පසුගිය කාලයේ සිදු වූ දූෂිත ක්‍රියා පිළිබඳ නැවත, නැවත සිතා බලන විටය.

ගෙවී ගිය කාලයේ බන්ධනාගාරය තුළ සිදු වූ අලකලංචි බොහෝය. ඒ හැම අලකලංචියකම ‍කොනක බන්ධනාගාර නිලධාරියෙක් හෝ ජේලර් කෙනෙක්ද සිටියේය. ගෙවී ගිය කාලය තුළ බනධනාගාර බලධාරීන් සිරගෙදර සිදු වන වංචා-දූෂණ මැඬපැවැත්වීම සඳහා කොතරම් උත්සාහ දැරුවද ඒ කිසිවක්ම සාර්ථක නොවිණි. මේ ප්‍රයත්න සාර්ථක නොවීමට බලපෑ හේතු ගණනාවක්ම වේ.

වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය මෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයද පිහිටා ඇත්තේ වනාතමුල්ල, සීවලීපුර ආදි ප්‍රදේශ ආසන්නයේය. විශේෂයෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ එක් තාප්පයක අනෙක් පස ඇත්තේ වනාතමුල්ලය. එහි ඇති ගෙවල්හි එක්බිත්තියක් වන්නේ කාන්තා අංශයේ තාප්පයයි! කෙසේ වුවත් අද-ඊයේ නොව මීට වසර විස්සකට පමණ ඉහත සිටම කාන්තා අංශයට මෙන්ම අනෙක් බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය මෙන්ම ජංගම දුරකතන සිම්කාඩ්පත් ආදියද එන්නේ මේ තාප්පවලට උඩිනි. හිර ගෙදරට කුඩු එන තවත් මාර්ගයක් වන‍්නේ උසාවිවල ගොස් එන සිර කරුවෝය. ඔවුහු සිය රහස් ප්‍ර‍දේශවල සඟවාගෙන මත්ද්‍රව්‍ය රැගෙන එති. එමෙන්ම ‘විසිට්’ එන විටද බත් පාර්සලයේ මාළුමිරිස් කරලේ, වම්බටු කරලේ සඟවාගෙන හිරගෙදරට කුඩු ගෙන එති. මේ කොයි කවුරුත් හිරගේ තුළට ගැනීමට පෙර සෝදිසි කළද ඇතැම් අවස්ථාවල ජේලර්ලාගේ ඇස් වසා තහනම් ද්‍රව්‍ය ඇතුළට ගෙන එනු ලැබේ. කලක් ඊසි කෑෂ් ක්‍රමයට සිරකරුවන් හා බාහිර සමාජය අතර බොහෝ ගනුදෙනු සිදු කෙරිණි. එමෙන්ම පාතාලය සමඟ ගනුදෙනු කරමින් ඇතුළේ සිටින සිරකරුවෝ අපරාධ ක‍ළහ; මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගියහ. මේ හැරුණු විට බන්ධනාගාර නියාමකයන්, ජේලර්ලා මෙන්ම නිලධාරීහුද සිරකරුවනට මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන සිම් කාඩ්පත් ආදිය ගෙන ගොස් දුන්හ. ඒ, ඒ වෙනුවෙන් ඔවුන්ට හිමි වන විවිධාකාර සන්තෝසම් නිසාය.

සිරගෙදර බුද්ධි අංශයේ නිලධාරීහු මේවා පිළිබඳ ඇස ගසාගෙන සිටියද පහු-පහු වන විට ඔවුහුද මේ නරකාදියටම වැටුණහ. ඔවුහුද හොරබඩු එහෙට-මෙහෙට ගෙනයන්නට මේ තක්කඩියන්ට උදවු කළහ. ඇතැම් විටෙක තොප්පියේත්, තවත් විටෙක සපත්තුවලත් සඟවාගෙන හිරගෙදර ඇතුළට කුඩු ගෙන එනු ලැබිණි. ‍ඒ ක්‍රියාවලියට තිත තැබුණේ බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැර, යළි ඒ අතුරින් විශ්වාසවන්තම නිලධාරි පිරිසක් තෝරාගැනීමත් සමඟය. කෙසේ වෙතත් බන්ධනාගාරය සුද්ද කිරීම‍ට ගත් පියවරත් සමඟ බන්ධනාගාර අධිකාරිවරුද මාරුකරන හරිනු ලැබූහ.

එහෙත් හිරගෙදරට හොරබඩු ඒම නතර වූයේ නැත. දිගුකාලීන සාකච්ඡා, නිරීක්ෂණ ඈ සියල්ල අවසානයේ දැන් අලුත්ම ක්‍රියාමාර්ගය වී ඇත්තේ බන්ධනාගාර ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමය.

මේ බළකාය යෙදවීමෙන් අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ බන්ධනාගාර වංචාවෙන් දුෂණයෙන් තොර තැනක් බවට පත් කිරීමය.

“මේ වන විටත් අපි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා. ඒ ප්‍ර‍දේශයේ ජනතාව‍ත් කැමැතියි. දැන් වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවනවා. මේ අය යොදවන්නේ බන්ධනාගාරය ඇතුළට නොවෙයි; පිටතිනුයි. අපි ඇතුළෙ සෝදිසි කිරීම් කරනවා; සිරකරුවන් අතර ජංගම දුරකතන හා අනෙකුත් අනවසර දෑ තිබෙනවද කියලා පරීක්ෂා කරනවා. මේ නව ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ කරන්නේ බන්ධනාගාරයට ඇතුළු වන විට පිටතින් එන සිරකරුන්, නිලධාරීන් සෝදිසි කිරීමයි. අප හිතනවා මේ ක්‍රමය සාර්ථක වේවි කියලා. ලබන සතිය වන විට මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.’’

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සිළුමිණට පැවැසීය.

එල්ලුම්ගහ ගේනවායැයි කියූ විට මානසික ආතතියට ලක් වූයේ මරණීය දණ්ඩනයට නියම වී සිටින රැඳවියෝය. එනමුදු දැන් බන්ධනාගාරවලට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව යොදවන බව දැනගන්නට ලැබුණු විට බන්ධනාගාරයේ තෝරුමෝරුන්, කුඩු මුදලාලිලා ආදි වූ බිස්නස්කාරයෝ සැලෙන්නට පටන් ගෙන ඇත. ඒ මෙතෙක් කාගේ කාගෙත් ඇස් වසා කරගෙන ගිය හොර ජාවාරම්වලට වැට බැ‍ඳෙන බැවිනි.

Comments