ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාව රත් කරමින් ඩීඅයිජී නාලක අත්අඩංගුවට පත්වුණු හැටි | සිළුමිණ

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතාව රත් කරමින් ඩීඅයිජී නාලක අත්අඩංගුවට පත්වුණු හැටි

  • පැය 48ක් ප්‍රශ්න කරයි
  • සැකකරුට ඇපත් නෑ...

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් වත්මන් ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඇතුළු පිරිස් ඝාතනයටත්, පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව කටයුතු කිරීමටත් කළ කුමන්ත්‍රණක් පිළිබඳව පසුගිය මස 12 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් රටට හෙළිදරවු කරන ලද්දේ පොලිස් ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ දූෂණ විරෝධි බළකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර වරකාපොළ නමැත්තා විසිනි.

මේ හෙළිදරවුවත් සමඟින් ඇදි ආ දිගු නාටකයේ තවත් ජවනිකාවක් සලකුණු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (25) රාත්‍රී හතට පමණ අත්අඩංගුවට ගෙන රාත්‍රී 9ට පමණ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවියගේ අතුරුගිරියේ නිවෙසට රැගෙන යනු ලැබිණි. මෙහිදී පුද්ගල ඝාතන කුමන්ත්‍රණ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නාලක සිල්වා ලබන මස 11 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එසේම නාලක සිල්වාගේ නීතිඥයා වූ අජිත් පතිරණගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නාලක සිල්වාට දැඩි ආරක්ෂාවක් සලසන ලෙස මෙන්ම අවශ්‍ය රෝගි තත්ත්වයන් වෙනුවෙන් ඖෂධ ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකගේ දැඩි හිතෛෂියකු ලෙස කටයුතු කළ පොලිස් ඔත්තුකරු නාමල් කුමාර, තමන් දෙදෙනා අතර වූ සංවාද පිළිබඳ හඬ පට ගැන මාධ්‍ය ඉදිරියේ කළ හෙළිදරවුවට දිනකට පසු, එනම්: පසුගිය මස 14 වැනිදා - ඔහු පොලිස් පැමිණිල්ලක් කළේය. ඒ හෙළිදරවුවට අදාළ හඬපට ඇතුළත් ඔහුගේ ස්මාර්ට් දුරකතනයද අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කරමිනි.

මේ පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අරඹමින් පසුගිය මස 17 වැනිදා කොටුව අධිකරණයට කරුණු වාර්තා කළේය. එසේම එදිනම නාලක සිල්වා පොලිස් තොරතුරු කොට්ඨාසයට මාරු කර යැවුණේ පොලිස්පති නියෝගයෙනි.

පරීක්ෂණ වෙනුවෙන් පැමිණිලි පාර්ශ්වය වූ නාමල් කුමාරගෙන් දිගින් දිගටම ප්‍රකාශ සටහන් කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරුව කටහඬ පරීක්ෂණයක් සඳහා නාමල් කුමාර මෙන්ම නාලක සිල්වාද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවීය. ඒ අනුව නාලක පසුගිය 28 වැනිදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් කටහඬ පරීක්ෂණයට පෙනී සිටියේය.

මේ අතර නාමල්ගේ හෙළිදරවුව අනුව නාලක විසින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනිණි. එමෙන්ම නාලකගේ කුමන්ත්‍රණයට ඉලක්ක වන බව කියන පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී එම්.ආර්. ලතීෆ් සහ නන්දන මුණසිංහගෙන්ද, රාජ්‍ය බුද්ධි තොරතුරු කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගෙන්ද, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්ගෙන්ද, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන්ද, වරකාපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්තගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනිණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළු මේ ලෙස ප්‍රකාශ සටහන් කරගත් පිරිස නාලක සිල්වා ඇතුළුව 89 දෙනෙකි.

ඒ අතර කොටුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය පරිදි නාමල් කුමාර සහ නාලක සිල්වා පසුගිය 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය දෙදෙනාටම විදෙස්ගත වීම තහනම් කොට නියෝගයක් නිකුත් කළාය.

මීට අදාළ සියලු පාර්ශ්වවල ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසානයට ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාය. ඒ අනුව නාලක සිල්වා පදිංචිව සිටි නිල නිවෙස පිහිටි අදාළ පොලිස් බලප්‍රදේශය වූ කුරුඳුවත්ත පොලීසිය පසුගිය 14 වැනිදා නාලක සිල්වාට දැනුම් දුන්නේ පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙසය. එහෙත් එදින නාලක සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී නොසිටියේ තම දරුවාගේ අසනීප තත්ත්වයක් ගැන කියාපාමිනි. පසුව නැවතත් ඔහුට දැනුම් දුන්නේ මේ මස 18 වැනි දින පෙනී සිටින ලෙසය.

ඒ අතරේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නියෝගයක් මත පොලිස් කොමිසම විසින් නිර්දේශ කරන ලද නාලක සිල්වාගේ සේවය අත්හිටුවීමට පොලිස්පති සිය නියෝග කළේ පසුගිය 17 වැනිදායි. ඔහුගේ සේවය අත්හිටුවූවත් නාලක සිල්වා සිය පොලිස් නිල නිවෙස සහ ඔහුට ලබාදී තිබූ නිල රථය භාවිත කරන බව පෙනී ගියේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ-ගිය විටදීය.

අනතුරුව මේ මස 18, 19, 22, 23 සහ අත්අඩංගුවට පත්වූ 25 වැනිදා දක්වා දින පහ තුළදී පැය 48කට අධික කාලයක් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පිටු 74ක ප්‍රකාශ සටහන් කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම ඝාතන කුමන්ත්‍රණ යටතේ ඔහුව අත්අඩංගුවට ගත්තේ පරීක්ෂණවලට දින 42ක් පිරෙද්දීය.

මේ අතරේ පසුගිය අඟහරුවාදා (23) මේ පිළිබඳව කොටුව අධිකරණයේ පැවැති නඩුවේදී නාලක සහ නාමල්ගේ කටහඬ පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ එම හඬපට 124කින් 123ක්ම ඔවුන් දෙදෙනාගේ බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ බවයි. එසේම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නාලක සිල්වාගේ නිල කාමරයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගත් ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී නාලක විසින් ඒ මඟින් සිදු කළ බොහෝ අකටයුතු ක්‍රියා ගැන හෙළි වී තිබේ. ඒ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරිනියක නමින් තනා තිබූ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කළේය.

නාලක සිල්වාගේ පියාණන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ බඳවාගැනීම් ප්‍රධානියා ලෙස කටයුතු කළ නිහාල් සිල්වා සමයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු නාලක සිල්වා පොලිස් සේවයට එක්වූ ආකාරය පිළිබඳවද බොහෝ විවේචන පොලිස් නිලධාරීන් තුළ තිබිණි. ඒ අනුව ඔහු පොලිස් සේවයට එක්වීමට ඉදිරිපත් කළ ඉන්දීය උපාධි සහතිකය සහ නාලක සිල්වාගේ උස පිළිබඳවද පසුගිය සමයේ පොලිස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් වී තිබිණි.

සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස 1999 වසරේ පොලිස් සේවයට එක්වී අවසානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ඉතාම බැරෑරුම් වගකීම් සහගත රාජකාරි රැසක නිරත වූ නාලක පොලිස්පති පූජිත්ගේ දැඩි හිතවතකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රකටව සිටියේය. අවසානයේ පොලිස්පති විසින්ම ඔහුට හඳුන්වා දුන් පොලිස් ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ නාමල් කුමාර නමැත්තා සමඟ සිදු කරන්නට වූ අපරාධ රැසක් ගැන තොරතුරු කරළියට ආවේ දෙදෙනා අතර වූ කිසියම් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව මේ වන විට අනාවරණය වී අවසානය.

එසේම දෙදෙනා අතර ගැටුමට බලපෑ තවත් ප්‍රධානම චරිතයක් වූයේ සිංහලේ ජාතික සංවිධානයේ වත්මන් සභාපති ඩැන් ප්‍රියසාද් නමැත්තාය. ඒ, නාලකගේ ඕනෑ-එපාකම් අනුව නාමල් විසින් තම සගයන් වූ ඩැන් ඇතුළු කිහිප දෙනකුම පසුගිය සමයේ වූ සිදුවීම්වලදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් කළ බව නාමල් විසින්ම ඩැන්ට පැවසීමත් සමඟයි. ඒ බව ඩැන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන්ට පැවැසීමත් සමඟ නියෝජ්‍ය පොලිස්පති නාලක නාමල්ට එරෙහිව 'යුද' ප්‍රකාශ කිරීම ආරම්භ කළේය.

අවසානයේ නාලක සිල්වාගෙන් ගැලවීමක් නැති වග පෙනී ගිය හෙයින් සිය නිවෙසද අත්හැර ගොස් සිටි නාමල් මහනුවර අවට විහාරස්ථානයක සැඟවුණේය. දෙදෙනා අතර වූ 'ගනුදෙනු' පිළිබඳව ඔහු විසින් මාධ්‍ය ඉදිරියේ හෙළි කරනු ලබන්නේ ඉන් අනතුරුවය.

මේ සියලු කරුණු සියුම්ව විමසමින් නාමල් කුමාරද මේ කුමන්ත්‍රණවලට දායක වූවාද යන්න අනාවරණය කරගෙන, මීට හවුල් වූ සියලු දෙනාටම නීති මඟින් දැඩි දඬුවම් පැමිණවීම වගකිවයුතු පාර්ශ්වවල අනුල්ලංඝනීය වගකීම වන බව අප අවධාරණය කර සිටින්නේ, මොවුන් අත මේ කේවල් කෙරෙමින් පවතින්නේ අප රටේ ජාතික ආරක්ෂාව වන හෙයිනි.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

Comments