දැවැන්ත සංවර්ධනයකට උරදෙන්න හැකි වුණා | Page 2 | සිළුමිණ

දැවැන්ත සංවර්ධනයකට උරදෙන්න හැකි වුණා

නාගරික සංවර්ධන අධිකාරියේ අභිමානවත් 40 වසර සැමරේ

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේ වන විට කටයුතු කරන්නේ සුමේධ රත්නායක මහතායි. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධි ලැබූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම මහා මාර්ග හා රථ වාහන පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද හිමිකර ගත්තේය .

සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙසත්, ව්‍යාපෘති කළමනාකරුවකු ලෙසත්, සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙසත් පෞද්ගලික අංශයේ කටයුතු කර පන්නරය ලැබූ සුමේධ රත්නායක මහතා 2016 මැයි මස සිට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලදී.

මේ නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙවර ගැන ඒ මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු ලිපියකි.........

නාගරික සංවර්ධන අධිකාරියේ හතළිස් වැනි අභිමානවත් සැමරුම මේ වසරට යෙදී ඇත. 1978 දී නාගරික සංවර්ධන පනත හරහා ස්ථාපනය කරන ලද මෙම අධිකාරිය පිහිටුවීමේ ප්‍රමුඛ පරමාර්ථය වූයේ රටේ නාගරීකරණය වේගවත් කිරීමට අවශ්‍ය විධිමත් සැලසුම් සකස් කිරීමයි.

සත්‍ය ලෙසම නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීම සඳහා සම්මත කෙරුණු මෙම පනත මෙරට සංවර්ධනය වේගවත් කළ ඉතා ප්‍රබල පනතක් ලෙස සැලකීමට පුළුවන. ඒ අනුව නාගරික කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශ සංවර්ධනයට ඇවැසි සැලසුම් සකස් කිරීම, රෙගුලාසි සැකසීම, එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, සංවර්ධන ව්‍යාපෘති හඳුනාගැනීම හා ක්‍රියාත්මක කිරීම, ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම හා ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂ වැඩ කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉටුවේ.

දශක හතරක් පුරා නාගරික සංවර්ධන අධිකාරිය පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලීමේ දී ඉතා වැදගත් සන්ධිස්ථාන කීපයක් පිළිබඳව අභිමානයෙන් යුතුව ආවර්ජනය කිරීමට පුළුවන. ඒ අතර සඳහන් කළ යුතු වැදගත් සන්ධිස්ථානයක් වන්නේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දී අවධියේ දී එතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ ගම් උදාව සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් දායකත්වයයි. සැබැවින්ම ගම්උදාව වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය යයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.

මහියංගණය, බුත්තල, කඹුරුපිටිය, මිහින්තලය වැනි ගම්උදාව ක්‍රියාත්මක වූ සියලු ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ගම් උදාව වැඩසටහන තුළ හැකි වුණු අතර ගම් උදාවෙන් පසු ද එම ප්‍රදේශවල ස්ථිර ලෙස භාවිතා කළ හැකි ගොඩනැගිලි රැසක් ද ඉදිකරනු ලැබු අතර එම සියලු සංවර්ධන වැඩසටහන් ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක කිරීම සිදු කළේ නාගරික සංවර්ධන අධිකාරියයි.

මීට අමතරව කොළඹ මහ මහානගර සංවර්ධන සැලැස්ම සකස් කිරීමටද එම සැලසුමට අනුව කොළඹ නගරය ක්‍රමානුකූල ලෙස සංවර්ධනය කිරීමේ වගකීමද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉටුකරනු ලැබීය.

නාගරික සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයා ලෙස සිරිසේන කුරේ මහතා කටයුතු කළ අවධියේ දී මෙම අධිකාරිය ඉංජිනේරුවන් රැසක් රටට දායාද කළ මොරටුව විශ්වවිද්‍යාලය සමඟ සමීප සබඳතා වැඩිදියුණු කරගෙන තිබුණි. ඒ අනුව මෙම ආයතන දෙකේම සහායෙන් නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ විද්‍යාපති උපාධිය පිරිනැමීමේ කටයුත්ත ආරම්භ වීමට ද නාගරික සංවර්ධන අධිකාරියේ ඉතිහාසය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දීමට පුළුවන.

මේ වන විට මෙම අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද අභිමානයෙන් යුතුව සඳහන් කළ හැකි අතර එම ව්‍යාපෘති අතර මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය විශේෂයෙන් සඳහන් කළ හැකි එකකි. ඉදිරියේදී ගොඩනැඟෙන මෙම නව නගරය තුළ ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධානතම මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගන බැංකු, මූල්‍ය ආයතන හා නවීනතම වෙ‍ෙළඳ මධ්‍යස්ථානද ඉදිවනු ඇත.

කොළඹ මූල නගරයක් ලෙස ගොඩ නගන ව්‍යාපෘතියට සමගාමීව කොළඹ බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ද නාගරික සංවර්ධන අධිකාරිය මගින් දැනටමත් ක්‍රියාත්මක කර තිබේ. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ බේරේ වැව අවට ඇති ඉඩම සඳහා වැඩි වටිනාකමක් ලබාදී ඒවා අධිකාරියේ සැලසුම් වලට අනුව සංවර්ධනය කර රටේ ආර්ථිකය ගොඩනැංවීමේ කාර්යයට උර දීමයි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පසුගිය කාලයේ සිදුකළ විශේෂ ව්‍යාපෘති අතර රටේ ප්‍රධානම අගනුවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ප්‍රධාන එකකි. තවද කොළඹ නගරය තුළ පිහිටි රාජ්‍ය ආයතන බත්තරමුල්ල ප්‍රදේශය වෙත ගෙන ඒමේ කටයුතුද මෙහෙයවන්නේ මෙම අධිකාරිය හරහා වේ. මේ යටතේ සෙත්සිරිපාය තුන්වන අදියරද තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි.

කොළඹ වෙ‍ෙළඳ නගරය තුළ ඇති අධික තදබදයට පිළියම් ලෙස කොළඹ මාළු වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු අතර ඉදිරියේදී මැනිං වෙළෙඳපොළ පෑලියගොඩ ප්‍රදේශයට ගෙන යාමට සැලසුම් කර ඇත. එය ක්‍රියාත්මක වූ පසු දැන් මැනිං වෙළෙඳපොළ පිහිටි භූමියේ පිටකොටුව බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීමට අධිකාරිය බලාපොරොත්තු වේ. පිටකොටුව බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයට අමතරව කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ද එවැනිම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි වන අතර බත්තරමුල්ල සුහුරුපාය ආසන්නයේද එවැනිම ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අපේක්ෂා වී තිබේ.

මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් වැදගත් ව්‍යාපෘතියක් වන්නේ හෝමාගම ටෙක්සිටි ව්‍යාපෘතියයි. ඊට අනුව හෝමාගම නගරය ආශ්‍රිතව නවීනතම තාක්ෂණ නගරය ඉදිකිරීමට කටයුතු යෙදෙන අතර මොරටුව, ජයවර්ධනපුර හා කොළඹ යන විශ්ව විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණ පීඨ එම තාක්ෂණ නගරය තුළ ස්ථාපිත කිරීමටද ඒ යටතේ සැලසුම් සකස්කර තිබේ.

මීට අමතරව නාගරික ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති කීපයක්ද නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති අතර අඩු ආදායම්ලාභී ජනතාව මෙන්ම මැදි ආදායම්ලාභී ජනතාවද ඉලක්ක කරගනිමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. පහසුකම් සහිත සුවපහසු නගරයක් බිහිකිරීම මෙම ව්‍යාපෘතීන්හී පරමාර්ථයයි. මේ යටතේ අඩුආදායම්ලාභී ජනතාව ඉලක්ක කර ගත් නිවාස 50,000 ක් ඉදිකර අවසන් කිරීමට සැලසුම් සකස් වී තිබේ.

මීට අමතරව මැදි ආදායම් ජනතාව ඉලක්ක කර කරගත් නවතම ව්‍යාපෘති 5ක් බොරැල්ල, පන්නිපිටිය, වීරමාවත, කොට්ටාව හා තලවතුගොඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘතීන්හී බිලියන 30ක වටිනාකමකින් යුත් නිවාස ඒකක දෙදහස් එකසීයක් ඉදි කෙරේ.

තවද කොළඹ නගරයේ අලංකරණය වෙනුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ද අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ 2016 2017 වසරවල නිවාස තුන්දාහක් ඉදි කර ජනතා අයිතියට පත් කරන ලදී. 2018 දීද නව නිවාස 3000ක් ඉදිකිරීම ඇරබුණු මේ ඉදිකරන ලද නිවාස 5900 ක් මේ වසරේදී ජනතා අයිතියට පත් වනු ඇත. මේ සියලු ව්‍යාපෘති සදහා රුපියල් බිලියන 100කට වැඩි මුදලක් වැය කිරීම ද විශේෂත්වයකි.

මේ හැර දිවයින පුරා නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් සකස් කර ඇති නගරවල බස් නැවතුම්, නාගරික උද්‍යාන ,ක්‍රීඩාංගන හා වෙළෙදපොළවල් ඉදිවන “සුඛිත පුරවර“ වැඩසටහනද නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නගා තිබේ. මේ වැඩසටහන් අතරම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ අවට පහසුකම් ඉහළ නැංවීමේ තවත් දැවැන්ත ව්‍යාපෘතියක්ද දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාවට නගා ඇති අතර තිරසාර සංවර්ධනය සඳහා රාජ්‍ය අංශය සතු සියලු ගොඩනැඟිලි හරිත ගොඩනැගිලි බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Comments